මුද්ද­රයේ වරුණ ගැන අපට කියන අනුර | සිළුමිණ

මුද්ද­රයේ වරුණ ගැන අපට කියන අනුර

මුද්දර එකතු කිරීම ලොකු කුඩා බේදයකින් තොරව බොහෝ දෙනකුගේ විනෝදාංශයකි. එලෙස කුඩා කල සිට මුද්දර එකතු කිරීම විනෝදාංශය කරගත් කෙනෙක් ලෙස අනුර සමරවීර හැඳින්විය හැකිය. මේ උනන්දුව නිසාම පසු කලෙක ඔහුට මුද්දර කාර්යාංශයේ සේවය කිරීමටද අවස්ථාව උදා කළේය. එහිදී ලද අත්දැකීම් හා පොත පත කියවීමෙන් ලත් දැනුමෙන් අනුර සමරවීර මහතා විසින් ‘මුද්දර විනෝදාංශ’, ‘මුද්දර වගතුග’ නමින් මුද්දර එකතු ලෝලීන් හට බොහෝ ප්‍රයෝජනවත් ග්‍රන්ථ දෙකක් ප්‍රකාශයට පත් කර තිබේ. තමා සතු හැකියාවන් මනා ලෙස උපයෝගී කරගනිමින් ඉතා ලිහිල්, පැහැදිලි බසින් රචනා කර ඇති එම පොත් ගැන ලේඛකයා සමඟ කළ සංවාද සටහනකි මේ.

මුලින්ම ඔබ හඳුනාගනිමු.

මම අනුර සමරවීර. මුද්දර එකතු කරන්නකු වගේම ඒ පිළිබඳව විශේෂාංග ලේඛකයකු වශයෙන් ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි අන්තර්ජාතික ප්‍රකාශන රැසකට ලිපි සපයා තිබෙනවා. ඊට අමතරව මේ වනවිට ග්‍රන්ථ කිහිපයක් නිකුත් කර තිබෙනවා.

එතකොට ඔබේ වෘත්තිය?

තැපැල් සේවා නිලධාරියකු වශයෙන් සේවය කර විශ්‍රාම අරගෙනයි ඉන්නේ. ඒ වගේම මුද්දර උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් වගේම විශ්ව තැපැල් සංගමයට අනුබද්ධිත මුද්දර විද්‍යාව පිළිබඳ ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංවිධානයේ (AIJP) සාමාජිතක්වය දරනවා.

අනුර සමරවීර ලේක්හවුස් ආයතනයටත් අමුත්තෙක් නෙවෙයි?

ඇත්තටම මම ලේක්හවුස් ආයතනය මට අමුතු තැනක් නොවෙයි. මම වසර ගණනාවක සිට මිහිර ළමා පුවත්පතට මුද්දර පිළිබඳ ලිපි ලියා තිබෙනවා.

බොහෝ දෙනකුගේ විනෝදාංශයක් මුද්දර එකතු කිරීම. ඔබ කොහොමද ඊට නැඹුරු වුණේ?

මම පාසල් යන කාලයේ ඉඳලා මුද්දර එකතු කිරීම කළා. දුර්ලභ ගණයේ මුද්දර රැසක් මගේ එකතුව තුළ තිබෙනවා. ඒ වගේම මිල කළ නොහැකි මුද්දරත් ඒ අතර තිබෙනවා.

සමහරු මුද්දර එකතු කරනවා විතරයි. ඒත් ඔබ ඉන් එහා ගිහින් ඒ ගැන ලියන්නත් පටන් ගන්නවා?

මුද්දර විනෝදාංශය ආශ්‍රීත ග්‍රන්ථයක් පළ කිරීමේ අදහස ආවේ පුවත්පත් ලේඛකයකු ලෙස ලද අත්දැකීම් එක්කයි. මුද්දර එකතු කිරීම ලොව පුරා විනෝදාංශයක් වුණාට අපේ රටේ පාඨකයන්ට ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීමේ අපහසුතාවත්, මෙතෙක් ඒ පිළිබඳව සිංහලෙන් ලියැවුණු ග්‍රන්ථවල අඩුවක් තිබුණා. මේ සියල්ල මඟ හැරීමේ අටියෙන් තමයි ඊට අදාළ පොත් ලියන්න තීරණය කළේ.

ඒ ග්‍රන්ථවලින් පාඨකයන්ට ඔබ මොනවගේ දැනුමක්ද දෙන්නේ?

මුද්දර විනෝදාංශ වගේම මුද්දර වගතුග කියන පොත් මේ වෙන විට පළ කර තිබෙනවා. මුද්දර විනෝදාංශය හඳුන්වා දීම, එහි හරවත් බව අවබෝධ කර දීම, වැදගත් තොරතුරු ලබාදීම ඇතුළු තොරතුරු රැසක් මුද්දර විනෝදාංශ නමැති පොතේ අන්තර්ගතයි. ඒ වගේම මුද්දර වගතුග පොතේ මුද්දරයේ උප‍ෙත් සිට මුද්දර පරිහරණය කරන්නේ කොහොමද, මුද්දර ලෝකයේ අතීත තොරතුරු, එය පවත්වාගෙන යන්නේ කොහොමද කියන කරුණු රැසක් ඇතුළත් කර තිබෙනවා.

මුද්දර විනෝදාංශයේ මුහුණ දෙන අභියෝග ගැනත් සඳහන් වෙනවා. ඒ මොනවාද?

මුද්දර ලෝකය ආක්‍රමණය කරන විවිධ අනර්ථකාරී මුද්දර වර්ග හේතුවෙන් තමයි අභියෝගවලට මුහුණ දෙන්න සිදුවන්නේ. මම ඒ ගැන මේ පොතහි සවිස්තරාත්මකව සඳහන් කර තිබෙනවා.

අපේ රටේ වැඩියෙන්ම භාවිතා කරන්නේ කුමන වර්ගයේ මුද්දරද?

තැපැල් මුද්දර සහ ආදායම් මුද්දර. ඒ කියන්නේ තැපැල් මුද්දර දැනට සත 10 ඉඳලා රුපියල් 200 වටිනාකමින් නිකුත් කර තිබෙනවා. ආදායම් මුද්දර සත 10 ඉඳලා රුපියල් 1000 දක්වා වටිනාකමින් නිකුත් කර තිබෙනවා.

මුද්දර භාවිතය ලොවට හඳුන්වා දුන්නේ කවුරු ද? ඒ කොයි කාලයේද?

බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ‘රෝලන්ඩ් හිල්‘ මහතා තමයි එය හඳුන්වා දුන්නේ. ඒ වගේම ලෝකයේ මුල්ම තැපැල් මුද්දරය 1840 මැයි 01 වැනිදා සිට එංගලන්තයේ තැපැල් කාර්යාලවල අලෙවි කළා. ඒත් එය භාවිතය සඳහා වලංගු වුණේ මැයි මාසේ 06 වැනිදා ඉඳලා.

කවුරුන් සංකේතවත් කරන්නද ලොව ප්‍රථම මුද්දරය නිකුත් කර තිබෙන්නේ?

ලොව ප්‍රථම තැපැල් මුද්දරය ‘පෙනී බ්ලැක්‘ නමින් හඳුන්වනවා. එය පැන්සයක වටිනාකමින් යුතුව කළු පැහැයෙන් මුද්‍රණය කරලා තිබෙන්නේ. මේ මුද්දරයේ රූපය සඳහා තෝරා ගෙන තිබුණේ එවකට බ්‍රිතාන්‍යයේ මහ රැජන වූ වික්ටෝරියා රැජනගේ උඩුකයේ රූපයක්.

ලොව වටිනාකමින් වැඩිම මුද්දරය වගේම අඩුම වටිනාකමින් යුතු මුද්දරය මොකක්ද?

වැඩිම වටිනාකමින් යුතු මුද්දරය තමයි කෙන්යාව, උගන්ඩාව. ටැන්ගනයිකාව යන රටවල් තුනෙහි පැවැති ඒකාබද්ධ තැපැල් සේවාවෙන් 1925 දී නිකුත් කළ රතු හා කළු පැහැති පවුම් 100 ක මුහුණත වටිනාකම සඳහන් මුද්දරය. ඒ වගේම වටිනාකමින් අඩුම මුද්දරය තමයි හන්ගේරියානු පෙන්ගෝ 300ක මිල සඳහන්ව එරටින් 1946 දී නිකුත් කළ මුද්දරය. (එම මුදල ඇමරිකානු ඩොලරයකින් ප්‍රකෝටියකින් පංගුවක් යැයි කියැවේ)

මේ තරම් මුද්දර ගැන දන්න ඔබ ඇගයීමටත් ලක්වෙලා ඇති?

හොංකොං එක්ස්ෆෝ අන්තර්ජාතික මුද්දර ප්‍රදර්ශනය 2004 දී සිල්වර් බ්‍රවුන් සම්මානය, ක්වාලාලාම්පූර් මුද්දර දැක්ම 2004 දී ලාජ් සිල්වර් බ්‍රවුන් සම්මානය, තායිපේ අන්තර්ජාතික මුද්දර ප්‍රදර්ශනය 2005 සිල්වර් බ්‍රවුන් සම්මානය, බැංකොක් අන්තර්ජාතික මුද්දර ප්‍රදර්ශනයෙන් සිල්වර් බ්‍රවුන් සම්මාන වගේම දේශීය සම්මාන රැසක් හිමි කරගෙන තිබෙනවා.

අනාගතයේදී මුද්දරවලින් මොනවද කරන්න හිතන් ඉන්නේ?

ඒක පුද්ගල ප්‍රදර්ශනයක් පවත්වන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ වගේම මුද්දරවල වටිනාකම ගැන තව තවත් දැනුම්වත් කරන්න සැලැසුම් සකස් කරමින් ඉන්නවා. 

අදහස්