කාන්තාවන්ට තහනම් කෝවිල නිසා කේරළය නොසන්සුන් | සිළුමිණ

කාන්තාවන්ට තහනම් කෝවිල නිසා කේරළය නොසන්සුන්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සබරිමාලා හින්දු කෝවිලට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු වූ බව පසුගිය දා වාර්තා විණි. ඔවුන් දෙදෙනාගේ ඇතුළු වීම සැලවීමත් සමඟම කේරළ ප්‍රාන්තය තුළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ නොසන්සුන් වාතාවාරණය නැවත වරක් තීව්‍ර වන්නට පටන් ගත්තේය. එයින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. පුද්ගලයෝ සියදෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුහ.

පවත්නා තත්ත්වය පාලනය කිරීමට පොලීසිය 5800කට අධික විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ. තම සංචාරකයන්ට, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සංචාරය කිරීම අන්තරාදායක බැව් පවසමින් නිවේදනයක් නිකුත් කරන්නට ඇමෙරිකා එක්සත් ජනපද සහ එක්සත් රාජධානි බලධාරීහු ඒ සමඟ පියවර ගත්හ.

අය්යප්පන් දෙවියන්ට කැප කළ සබරිමාලා හින්දු කෝවිල මුල් කරගෙන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ නොසන්සුන් වාතාවරණයක් ඇති වන්නට පටන් ගත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ය. කෙටියෙන් කිවහොත්, සබරිමාලා කෝවිලෙහි දොර කාන්තාවටත් විවෘත විය යුතු යැයි කියා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ ය. එම තීන්දුව ප්‍රකාරව සබරිමාලා අය්යප්පන් හින්දු කෝවිලට ඇතුළු වීමට සහ එහි ආගමික කටයුතුවල නියැළෙන්නට කාන්තාවන්ටත් ඉඩක් ලැබිණ.

වයස අවුරුදු 10ත් 50ත් අතර වයස් ඛණ්ඩයේ කාන්තාවන් හෙවත් ඔසප්වීම් කාල පරාසය තුළ සිටින කාන්තාවන්ට පළමුව කී හින්දු කෝවිලට ඇතුළු වීම සම්ප්‍රදායෙන් තහනම් කර තිබිණි. එකී වයස් ඛණ්ඩයේ පසු වන කාන්තාවන්ගේ ආර්තව චක්‍රය ක්‍රියාත්මක බැවින් ඔවුන් අපිරිසිදුයැයි කියන මතය ඊට පදනම් වී තිබිණි. සම්ප්‍රදාය මඟින් ක්‍රියාත්මක කෙරුණු එම තහනම කාන්තාවන්ට එරෙහිව සියවස් කිහිපයක් තිස්සේ නිර්ධය ලෙස බල පැවැත්විණි.

ඉන්දියාවේ සෙසු හින්දු කෝවිල්වල එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙතත් ආර්තව කාලයේදී කාන්තාවන්ට කෝවිල් තුළට පැමිණීම තහනම් බැව් සම්මතයක් හැටියට ඒ කොතැනත් ක්‍රියාත්මක වේ. සබරිමාලා අය්යප්පන් කෝවිලේ ක්‍රියාත්මක විපරිත සහ සම්ප්‍රදායික මේ නීතිය හේතුවෙන් කාන්තාවන්ටත් පුරුෂයන්ටත් දෙආකාරයකින් සලකනු ලැබෙන්නේ යැයි කියා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණා. පෙත්සම විභාග කෙරුණේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් මඟිනි. එම විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු අග්‍රවිනිශ්චයකාර දීපාක් මිශ්‍රා ය. තීන්දුව ලබා දෙමින් ඔහු කියා සිටියේ ගැහැනු සහ පිරිමි දෙපාර්ශ්වයටම ආගමික වතාවත්වල යෙදෙන්නට හිමිකම ඇත යනුවෙනි.

පළමුව කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට විපක්ෂව කරුණු දැක්වූයේ එම විනිශ්චය මඬුල්ලේ සිටි එකම කාන්තා නියෝජනය - විනිශ්චයකාර ඉන්දු මැල්හොත්‍රා පමණි. ඈ කියා සිටියේ ආගමික පරිචයන් සම්බන්ධ තීරණ, ආගමික ප්‍රජාව ගත යුතු බවයි. එය අධිකරණ තීන්දුවක් නොවිය යුතු බව ඈ වැඩිදුරටත් කියා සිටියාය. ඉන්දු මැල්හොත්‍රාගේ එම විරුද්ධත්වය එලෙසම තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක වීම ආරම්භ විණි.

එවක අග්‍ර විනිශ්චයකාර පදවියේ කටයුතු කළ දීපාක් මිශ්‍රා ආන්දෝලනාත්මක විනිශ්චයන් කිහිපයක් ලබා දී තිබුණු අතර ඔහුගේ එම විනිශ්චයන් ගැන බොහෝ දෙනෙක් මත පළ කරමින් සිටියහ. එසේ වඩාත් කතාබහට ලක් වුණු ඔහුගේ විනිශ්චයන් අතර අනාචාරයේ හැසිරීම සහ සමලිංගික හැසිරීම් අපරාධ වැරැදි නොවන්නේය යන විනිශ්චයත් විය. එවැනි තීන්දු නිසා ඉන්දියාවේ ඇතැම් පිරිස් අග්‍ර විනිශ්චයකාර දීපාක් මිශ්‍රා වීරයකු හැටියට සලකමින් සිටියහ. සබරිමලා කෝවිලේ තීන්දුවත් ඇතැම් ඉන්දියානුවන් තුළ උද්‍යෝගයක් ඇති කළ බවක් පෙනෙන්නට තිබිණි.

ඒ නිසාම සබරිමාලා හින්දු කෝවිලට කාන්තාවන්ට ඇතුළු වීමට ලැබුණු අවසරය ප්‍රායෝගික යථාර්ථයක් කරගැනීමට එම තීන්දුව ලැබුණු අවස්ථාවේ සිටම විශාල පිරිසක් උත්සාහ කිරීම නොවැළක්විය හැකි විණි. එසේ වුවත් සම්ප්‍රදායට ගරු කළ ඇති බහුතරය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෙළා දුටුවා පමණක් නොව සබරිමාලා හින්දු කෝවිලට ඇතුළු වන්නට උත්සාහ කරන කාන්තාවන්ට එරෙහිව විරෝධතාව පළ කරන්නටත් පටන් ගත්හ.

තීන්දුව ක්‍රියාත්මක කරමින් සබරිමාලා හින්දු කෝවිලට ඇතුළු වීමට කාන්තාවන් විටින් විට උත්සාහ ගත් අතර ඒ සෑම අවස්ථාවකදීම අනෙක් පාර්ශ්වයෙන් විරෝධතා පැන නැඟෙන්නට විය. එහි අවසන් ප්‍රතිඵලය දෙපාර්ශ්වය අතර ඉතා ඉක්මනින්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියා මතු වීමයි. කෝවිලට ඇතුළු වීමට උත්සාහ ගන්නා කාන්තාවන්ටත් ඊට අනුබල ලබාදෙන පිරිස්වලටත් ගල් මුල් ප්‍රහාර එල්ල විණි. සබරිමාලා කෝවිල ආසන්න ප්‍රදේශයට විශාල ආරක්ෂාවක් ලබාදීමට ප්‍රාන්ත බලධාරීන්ට සිදු විය. අය්යප්පන් දෙවියන් නමින් සබරිමාලා හින්දු කෝවිල ඉදි කර තිබුණත් සියවස් තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ එය කිසිවකුගේ අවධානයට ලක් නොවී පැවැති බව සඳහන් වේ. එම කෝවිල නැවත සොයා ගන්නේ 12 වන සියවසේදී පමණ ය. ඒ සඳහා මුල් වන්නේ පන්ඩලම් නමැති රාජවංශයේ කුමාරයකු වූ මනිකන්දන් ය. ඔහු මෙම කෝවිල සොයාගෙන ගියේ තවත් පිරිසක් සමඟ බව කියැ වේ. එසේම ඇතැම් තැනෙක සඳහන් වන ආකාරයට එම කුමාරයා අය්යප්පන්ගේ අවතාරයකි. මනිකන්දන් කුමාරයා ඓතිහාසික අය්යප්පන් කෝවිල සොයා ගත් පසු එය ප්‍රතිසංස්කරණය කෙරිණි.

සබරිමාලා ශ්‍රී ධර්මසාස්ත කෝවිල හෙවත් සබරිමාලා කෝවිල පිහිටා තිබෙන්නේ කේරළයේ පතනාතිට්ටු දිස්ත්‍රික්කයේ පිහිටි පෙරියාර් නමැති වන සංරක්ෂිත ප්‍රදේශයට අයත් භූමියක ය. කෝවිල පිහිටි පෙදෙස, මුහුදු මට්ටමෙන් මීටර 480ක් පමණ ඉහළින් ඇත. එය කඳු ගැට 18කින් පමණ සමන්විත වූත් තද වනාන්තර සහිත වූත් ප්‍රදේශයකි. කෝවිල විවෘත කෙරෙන්නේ වසරේ මණ්ඩලපූජා නමැති වතාවත් කෙරෙන කාලයේදීත්, මකර සංක්‍රාන්තියේදීත්, මහා විෂ්ණු සංක්‍රාන්යෙදීත්, මලයාලම් මස පළමු දින පහේදීත් පමණි.

පුවත් වාර්තාවන්ට අනුව මේ කියන සියලු සම්ප්‍රදායන් බිඳ හැර කාන්තාවන් දෙදෙනෙකු සබරිමාලා කෝවිල තුළට ප්‍රථම වතාවට පසුගිය දෙවැනි දා පිවිස තිබේ.

ඔවුන් දෙදෙනා අවුරුදු 50ට අඩු වයස්වල පසු වූ අය බව සඳහන් වේ. ඒ නිසා කෝවිල පවිත්‍රීකරණය කිරීමේ පූජා විධි පවත්වන්නට එම කෝවිල භාරව කටයුතු කරන ප්‍රධානීන්ට සිදු විණි.

එම කාන්තාවන් කෝවිලට ඇතුළුවීමත් සමඟ කෝවිල සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් කටයුතු කරන පිරිස් අතර දැඩි නොසන්සුන්තාවක් ඇති විණි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාරව ක්‍රියා කරන්නට යන පිරිස සහ සම්ප්‍රදාය අනුව කටයුතු කරන බහුතරය අතර ඇති වී තිබෙන මේ ගැටුම සමාජයේ යහපැවැත්මට තවදුරටත් බාධාවක් වන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 49ක් ඉදිරිපත් කරන්නට විරෝධතාකරුවන් ක්‍රියා කර තිබේ. එම පෙත්සම් මඟින් ඔවුන් ඉල්ලා සිටින්නේ සබරිමාලා කෝවිලට කාන්තාවන්ට ඇතුළු වීමට අවසරය ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව නැවත විමසා බලන ලෙස ය. එම විමසා බැලීම ජනවාරි 22 වැනි දා සිදු කිරීමට නියමිතව ඇත.

 

අදහස්