ජනපති - කොංග්‍රස් ගැටුමෙන් අමෙරිකාවේ රාජ්‍ය වියදම් අනතුරේ | සිළුමිණ

ජනපති - කොංග්‍රස් ගැටුමෙන් අමෙරිකාවේ රාජ්‍ය වියදම් අනතුරේ

“අපට කතා කිරීමට දෙයක් ඉතුරු වී නැත. බයි බායි“

මේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාර්ලිමේන්තු කථානායක නැන්සි පැලෝසි අතර සාකච්ඡාවේ ට්‍රම්ප්ගෙන් ප්‍රකාශ වූ අවසන් වචන කිහිපයයි. ඔහු සඳහන් කර ඇත්තේ කොංග්‍රස් මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීම ‘කාලය නාස්ති කිරීමක් ‘ බව ජනාධිපති ට්‍රම්ප් සිය අවසන් සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.

පසුගිය මාසයේ 22 වැනි දා සිට අමෙරිකාවේ රාජ්‍ය සේවා මූල්‍ය ප්‍රතිපාදන ක්ෂේත්‍රය මුළුමනින්ම අකර්මණ්‍යව පවතින අතර මේ වන විට රාජ්‍ය සේවකයන් අට ලක්ෂයකට අධික සංඛ්‍යාවකට වැටුප් නොලැබී ගොස් තිබේ. ඇතැම් රාජ්‍ය ආයතන වසා දමා ඇති අතර වනෝද්‍යාන හා ජාතික ස්මාරක නඩත්තුවද අත්හිටුවා ඇත. පොදුවේ ‘පාෂල් ෂට් ඩවුන්‘ යනුවෙන් හඳුන්වන මේ රාජ්‍ය අකර්මණ්‍ය ක්‍රියාවලිය හටගන්නේ අමෙරිකාවේ ජනාධිපති හා කොංග්‍රස් මණ්ඩලය අතර මතබේදකාරි තත්ත්වයක් මුල් කරගනිමින් රාජ්‍ය අයවැය පනත් සම්මත කරගැනීමට නොහැකි වීමෙනි. ඇතැම් විට කොංග්‍රසය සම්මත කළත් එම පනත ජනාධිපති විසින් සම්මත කරනු නොලැබීමෙනි.

එහෙත් එය විරල සිදු වීමක් නොවේ. 1980 සිට මේ දක්වා අවස්ථා 15කදී පමණ රාජ්‍ය වියදම් අකර්මණ්‍ය වීම් වාර්තා වී තිබේ. වැඩිම අවස්ථා ගණනක් වාර්තා වී ඇත්තේ ජනාධිපති රොනල්ඩ් රේගන් යුගයේ දීය. දීර්ඝතම අකර්මණ්‍ය වීම වාර්තා වන්නේ 1995 ක්ලින්ටන් පාලන සමයේදීය. ඔබාමා යුගයේදීද කොංග්‍රසය හා ජනාධිපති අතර මතබේද හේතුවෙන් 2013 වසරේ දීද දින 17ක කාලයක් රාජ්‍ය වියදම් අකර්මණ්‍ය වීමක් වාර්තා විය. ට්‍රම්ප් යුගයේදිද 2018 ජනවාරි - පෙබරවාරි හා දෙසැම්බර් යන මාසවලදී මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් වාර්තා විය.

අමෙරිකාවේ අයවැය සම්මත කිරීමේ ක්‍රියාවලිය අධියර 5කින් සමන්විතය. ප්‍රථමයෙන් රාජ්‍ය ආයතන යොමු කරන අයවැය යෝජනා ජනාධිපතිවරයා විසින් කොංග්‍රසය වෙත ඉදිරිපත් කරනු ලබයි. දෙවනුව කොංග්‍රසය හා සෙනෙට් මණ්ඩලය අයවැය යෝජනා සලකා බලා සම්මත කරයි. තුන්වැනිව එම යෝජනා කොංග්‍රස් විසර්ජන කමිටු වෙත යොමු කරන ලදුව විසර්ජන පනත් සකස් කරනු ලැබේ. සිවුවනුව සෙනෙට් හා කොංග්‍රස් මණ්ඩල අදාළ විසර්ජන පනත් විවාද හා සංශෝධනවලින් පසුව සම්මත කරයි. පස්වැනිව ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීම සඳහා අස්සන් තබයි.

මේ ක්‍රියාදාමය තුළ රජයේ විදයම්වලින් 75%ක් එනම් හමුදා ක්‍රියාකාරකම්ද ඇතුළුව සෘජු අනුමැතියකට යටත් කෙරේ. 25%ක් විසර්ජන ක්‍රියාවලියට ලක්කෙරේ. මේ අනුව කොංග්‍රස්-ජනපති ගැටුමකදී අකර්මණ්‍ය වන්නේ රාජ්‍ය මුල්‍ය යාන්ත්‍රණයෙන් හතරෙන් එකක් පමණි. ඊට රාජ්‍ය ආයතන 8ක වියදම් ඇතුළත් වේ. රාජ්‍ය සේවකයන් අට ලක්ෂයකට වැටුප් ලැබීම අත්හිටුවෙන අතර ඇතැම් සේවකයන්ට අනිවාර්යයෙන් නිවාඩු ගැනීමට සිදුවේ. මෙවැනි අවස්ථාවක රජය සේවකයන්ට දැනුම් දෙන්නේ ඔවුන් ණය ලබාගෙන ඇති ආයතන වෙත ලිඛිතව මේ තත්ත්වය දැනුම් දෙන ලෙසටයි.

එමෙන්ම මුල්‍ය අකර්මණ්‍යතාව දිගුකාලිනව පවතින්නේ නම් ජනතාවට නිවාස ණය සැපයීම, සමාජ සහනාධාර ලබාදීම, ශිෂ්‍යාධාර, දිළිඳු සහන හා ස්වදේශික ජනකොටස් සඳහා ලැබෙන සහන සම්පුර්ණයෙන් නතර වෙයි. එහෙත් අමෙරිකානු ආණ්ඩු මේ දක්වා එවැනි සමාජ අර්බුදකාරි තත්ත්වයක් කරා යොමු වීම වළක්වා ගැනීමට සමත් ව සිටී. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙවර පවසන්නේ අයවැය අර්බුදය වසරකට අධික කාලයක් වුවද ඇදගෙන යෑමට තමා සුදානම් බවයි.

එවැන්නක් සිදු වීමේ සම්භාවිතාව ඉතා අවම වුවද යම් හෙයකින් එවැනි තත්ත්වයක් හටගත්තේ නම් අමෙරිකාව බරපතළ සමාජ අර්බුදයකට ඇදවැටීමේ අවදානමක් පවතී. ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙවැනි අයවැය අර්බුදයක බරපතළකම දැන දැනත් ගැටුම්කාරි තත්ත්වයකට අවතීර්ණ වී ඇත්තේ කුමණ හේතුවක් නිසාද? මූලික වශයෙන් අමෙරිකානු කොංග්‍රසය හා ජනාධිපතිවරයා අතර ගැටුම් හටගැනීමේ වාතාවරණයක් පසුගිය මධ්‍ය ධුර කාල මැතිවරණවලදී හටගැනීම ඊට හේතුව සේ සැලකේ. මධ්‍ය ධුර කාල මැතිවරණයෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට කොංග්‍රස් මණඩලයේ බහුතර බලය අහිමි වී එය ප්‍රතිවාදි ඩිමොක්‍රටික් පක්ෂයට හිමි විය.

අත්තනෝමතික පාලකයෙකු සේ සැලකෙන ට්‍රම්ප් හට මේ බහුතර බලය අභියෝගයක් සේ යොදවා තම බලය පෙන්වීම ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂාවයි. ඩිමොක්‍රටික් බලය සහිත කොංග්‍රසයේ කථානායක සේ පත්ව සිටින්නේද දැඩි මතධාරි පරිණත දේශපාලනඥයෙකු ලෙස සැලකෙන අයෝමය කාන්තාවකි. නමින් නැන්සි පැලෝසි වන ඇය විවෘතවම ප්‍රකාශ කරන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ සෑම අභිලාෂයක්ම ඉටු කිරීමට කොංග්‍රස් මණ්ඩලය බැඳී නැති බවයි.

ඇය ට්‍රම්ප් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ‘ කැත්තට පොල්ල‘ න්‍යායයි. මේ දැඩි මතධාරි ස්ථාවරය ජනාධිපති හා කොංග්‍රසය අතර ඉතා බරපතළ ගැටුමක් නිර්මාණය කිරීමට තුඩු දී තිබේ.

වත්මන් අර්බුදයට මුලික හේතුව ජනාධිපති ට්‍රම්ප්ගේ මෙක්සිකෝ දේශසීමා තාප්පයයි. වානේ ආධාරක හා දැඩි ආරක්ෂක රැකවල් සහිතව ඉදි කිරීමට යෝජිත දේශසීමා පවුරේ අරමුණ ලතින් අමෙරිකානු කලාපයෙන් අමෙරිකා එක්සත් ජනපදය තුළට කෙරෙන නීතිවිරෝධි සංක්‍රමණ නවත්වාලීමයි. එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හා ජාවාරම්කරුවන්ට වැට බැඳීම තවත් අපේක්ෂාවකි. අමෙරිකා එක්සත් ජනපදයට නීතිවිරෝධි සංක්‍රමණිකයන්, මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පැමිණෙන ප්‍රධානතම මාර්ගය වැටී ඇත්තේ මෙක්සිකෝ දේශසීමාව හරහාය.

ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් වුයේ දේශසීමා පවුර ඉදි කිරීමෙන් අමෙරිකාවට කෙරෙන නිතීවිරෝධි සංක්‍රමණ නවත්වාලීමයි. ට්‍රම්ප්ගේ බොහෝ ක්‍රියාමාර්ග මෙන්ම දේශසිමා තාප්පයද බරපතළ මතබේද ජනිත කර තිබේ. මූලික වශයෙන්ම ප්‍රතිවාදීන්ගේ තර්කය වන්නේ ජනාධිපති ට්‍රම්ප් තම දේශපාලන වාසිය තකා සංක්‍රමණික තර්ජනය උත්සන්න කර පෙන්වන බවයි. එය තලියේ කිඹුලන් දකින්නක් බව කථානායක නැන්සි පැලෝසිගේ මතයයි.

අයවැයෙන් දේශසීමා පවුර සඳහා ඩොලර් කෝටි 500ක් වෙන් කරන ලෙසට ජනාධිපති ට්‍රම්ප් කොංග්‍රසයෙන් ඉල්ලීමක් කළේය. එහෙත් කොංග්‍රසය ඒ වෙනුවට සමස්ත දේශසීමා ආරක්ෂාව සදහාම වෙන් කිරීමට යෝජනා කරන්නේ ඩොලර් කෝටි 170ක් පමණ මුදලකි. ට්‍රම්ප් පවසන්නේ එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි. තමා ඉල්ලන මුල්‍ය ප්‍රතිපාදන වෙන් නොකරන්නේ නම් අයවැය විසර්ජන පනත් සඳහා ජනාධිපති අනුමැතිය නොදීමට ට්‍රම්ප් තීරණය කර තිබේ.

මේ අර්බුදයේදීද ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්නුම් කරන්නේ බොහෝ අර්බුදවලදී පෙන්නුම් කළ දැඩි අත්තනෝමතික ස්වරූපයයි. ඔහු කොංග්‍රසයේ ස්ථාවරයට නම්‍යශීලි වීම ප්‍රතික්ෂේප කරයි. නැන්සි පැලෝසි ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය අනුගමනය කරන්නේ ද දේශපාලන උපක්‍රමයකි. ඒ වත්මන් අයවැය අර්බුදය හරහා ජනාධිපතිවරයා ජනතාව අතර තවදුරටත් අප්‍රසාදයට පත් කිරීමයි. අයවැය අර්බුදය දිග්ගැසෙද්දි ජනතාවගේ සෘණ ප්‍රතිචාර වැඩිවශයෙන් යොමු වන්නේ ජනාධිපතිවරයා දෙසටයි.

ජනමත විමසුම් පෙන්වා දෙන්නේ දැනටමත් ජනාධිපතිවරයා අයවැය අර්බුදයේදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය ජනතාවගෙන් 51%ක් අනුමත නොකරන බවයි. මේ තත්ත්වය ඉදිරියටද විකාශනය වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් ඇතුළු රිපබ්ලිකන් පක්ෂයට මුහුණ දීමට සිදු වන්නේ දැඩි අවාසිදායක තත්ත්වයකටයි.

 

 

අදහස්