අයියාගේ බිරියට ඇතිවූ ආලයෙන් දිවි නසාගත් මල්ලී | සිළුමිණ

අයියාගේ බිරියට ඇතිවූ ආලයෙන් දිවි නසාගත් මල්ලී

සිත ප්‍රකෘතියෙන් පිරිසුදු ය. ප්‍රභාස්වරය බාහිරව එන අරමුණු නිසා සිත කිළිටිවේ. ඇසත් රූපයත් ස්පර්ශ වී හටගන්නා සිත චක්ඛු විඤ්ඤාණයයි. විඤ්ඤාණය යනු විකෘති වූ සිතයි‍. රාග - ද්වේෂ - මෝහ එක් වී විකෘති වේ. එය අකුසල් සිතකි. අරමුණක් සිතට දැනුණු සැණින් යෝනිසෝමනසිකාරයෙන් (නුවණින්) බලයි නම් එය අකුසලයක් බව හඳුනා ගනී. නැතහොත් කෙලෙස් බර වී වරදට යොමු වෙයි.

පුණ්‍යා බණ්ඩාරගම පදිංචි තිස් පස් හැවිරිදි ඉංජිනේරුවරියකි. ඇය ඉතා රූමත්ය. ඇගේ සැමියා පියල් හතළිස් හැවිරිදි බැංකු නිලධාරියෙකි. ඔවුන්ට තවමත් දරුවන් නැත. දැනට වසරක පමණ කාලයක සිට මේ අඹු සැමියන් අතර රණ්ඩු සරුවල් නිතර හට ගන්නට විය. බිරිය හීනෙන් බියට පත්ව කෑගසාගෙන අවදි වෙන්නට වූවාය. ඇගේ පසු පසින් කෙනෙකු සැරිසරන ඡායාවක් ඇයට දැනේ. රාත්‍රි සමගියෙන් නිදන්නට කාමරයට ගියත් වචනයක් හෝ වැරදී ආරාවුලක් හටගෙන දෙන්නා කාමර දෙකක නිදාගන්නට කරුණු යෙදේ‍. පවුල අවුල්වීමට කිසිදු පැහැදිලි හේතුවක් නැති බව දෙදෙනාම දනී. දෙදෙනා සාකච්ඡා කොට මනෝ වෛද්‍යවරයෙකු වෙත ගියත් සතුටුදායක සහනයක් නොවීය.

අන්තිමට මේ දෙදෙනා ඇතුල්කෝට්ටේ ගුප්ත විද්‍යා ගවේෂණ මධ්‍යස්ථානය වෙත ගියේය. ආධ්‍යාත්මීය උ‍පදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති තත්ත්වය පැහැදිලි කොට ප්‍රතිකාර පැතූහ.

ගවේෂකවරයා ඔවුන් වෙත ශක්ති කිරණ එල්ල කරන විට පුණ්‍යා පැද්දෙන්නටත් අඬන්නටත් වූවාය. එදින ඉන් එහා දෙයක් අනාවරණය නොවූයෙන් ‍ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි ප‍ූජා පවත්වා එන්නැයි නියම කළ ගවේෂකවරයා ඊට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ ය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ පුණ්‍යාගේ ශරීරයට භූතාත්මයක් ආවිෂ්ට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය‍.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?” යි ඇසීය.

මම භාරත” යැයි භූතාත්මය උත්තර දුන්නේ ය.

“කවුද භාරත කියන්නේ?”

“මේ පියල් මගේ අයියා”

“ඔබට මොකද වුණේ?”

“මම මගේ ජීවිතය නැති කරගත්තා‍” යි භූතාත්මය අඬන්නට විය. දිගින් දිගට අඬන්නට විය.

ගවේෂණය අත්හිටුවූ ගවේෂකවරයා මේ භාරත ගැන ඔවුන්ගෙන් විමැසීය.‍

භාරත උපාධිධාරී රජයේ නිලධරයෙකු බවත් අවිවාහකව සිටි ඔහු ඉතා නිහඬ චරිතයක් බවත් ඔවුහු පැවසූහ. තවත් සතියක් බෝධි පූජා පවත්වා භාරතට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි උපදෙස් ලැබිණි.

නැවත පැමිණි දිනයේද පුණ්‍යා දිෂ්ටි ගැන්වී භූතාත්මය කතා කළේ ය.

“ඇයි මේ අක්කට අසනීප කරන්නේ?” යි ගවේෂකවරයා ඇසීය.

“ඒක රහසක්්‍. මගේ මරණයට හේතුවත් ඒකයි. මගේ මරණයට හේතුව අනාවරණය නොවීම මගේ හිතට මහා බරක්. එනිසා මගේ අම්මා තාත්තාත් නිතර දුක් වෙනවා. මේ රහස හෙළිදරව් කළොත් මට සැනසිල්ලක් වෙනවා. ඒක කියා ගන්නයි ඕනෑ” භූතයා කීවේය.

තවත් සතියකින් ඔවුන්ගේ මවුපියන් ද කැටුව එන්නැයි නියම කළේ ය. ඒ අනුව පියල්ගේ මවුපිය දෙදෙනා ද සමඟ ඔවුහු සතියකට පසු නැවත පැමිණියහ. එදින ද පුණ්‍යා ආවිෂ්ට වූවාය.

“ඔන්න අද අම්මා තාත්තා දෙන්නාත් ඇවිත් ඉන්නවා.‍ දැන් ඕනෑ දෙයක් කියන්න පුළුවන්” යැයි ගවේෂකවරයා කීවේය.

“ඔව් මට සතුටුයි. මගේ මරණයට හේතුව - රහස කියාගන්න පුළුවන්. මගේ හිත නිදහස් කරගන්න පුළුවන්” යැයි භූතාත්මය කීවේය.

“ඉතින් ඔය රහස කියන්න”

“මේ පු‍ණ්‍යක්කා හරිම ලස්සනයි. දැක්ක දවසේ ඉඳලා පුණ්‍යක්කගේ රූපයට මගේ හිත බැඳුණ. මේ අදහස සිරවෙලා තෙරපිලා පීඩා කරන්න හිටියා. මම පුණ්‍යක්කාට S.M.S පණිවුඩයක් යැව්වා. “අක්කේ! මම ඔයාට කැමැතියි‍. ආසයි. අවුරුදු තුනක ඉඳලා මේ අදහස කියාගන්න බැරුවයි ඉන්නේ” කියලා. එදා පුණ්‍යක්කා මට බැන්නා. මම මගේ ම මල්ලී කෙනෙක් විදිහට හිතාගෙන හිටියෙ තමුසේ කැත හිතක් තියෙන මිනිහෙක් කිව්වා. ඊට පස්සෙ මුළු ගෙදරම නිහඬ බවක් පෙනුණා. පුණ්‍යක්කා මේ සිද්ධිය කාටවත් කියලත් නෑ. අම්මා තාත්තා දන්නෙත් නෑ. මම කොයි තරම් වැරදි ද? ඇයි මට මෙහෙම දෙයක් හිතුණේ? කියලා තනිවම පසුතැවිලි වුණා. අන්තිමට මේක දරාගන්න බැරුව මම එල්ලිලා මැරුණා” යි භූතයා කීවේය.

පුණ්‍යා ප්‍රකෘති සිහියට පත්කොට මේ S.M.S කතාව ඇත්තදැයි ගවේෂකවරයා ඇසීය.

“ඔව්. භාරත මගේ මහත්තයගෙ මල්ලී. මගේ ම සහෝදරයෙක් වගෙයි ආශ්‍රය කළේ. අරක්කු සිගරට් පාවිච්චියක් නැති ඉතාම නිශ්ශබ්ද කෙනෙක්. ඒත් දවසක් මගේ මොබයිල් ෆෝන් එකට භාරතගෙන් S.M.S පණිවිඩයක් ආවා. අක්කා ගැන මගේ කැමැත්තක්, ආශාවක්, අදහසක් තියෙනවා කාලයක ඉඳලා කියලා.

ඒ S.M.S එකෙන් මාව උඩ ගිහින් බිම වැටුණා වගේ වුණා. ඉතින් ඊට පස්සෙ මට මල්ලි මුණ ගැහුණු හැටියේ මම එයාට දොස් කිව්වා. මම මේ සිද්ධිය පියල් එක්කත් කීවා.

ඒකට මල්ලිට දොස් කිව්වා නම් දැන් ඒ ඇති. අපි නිශ්ශබ්දව ඉමු බලන්න කියලා පියල් කිව්වා. ඉතින් ඔය සිද්ධිය දන්නෙ අපි තුන් දෙනා විතරයි.

භාරත මල්ලි ජීවිතය නැති කරගත්ත හේතුව කවුරුත් දන්නේ නෑ. අම්මා තාත්තා දෙන්නත් තවම හොයනවා මොකක්ද හේතුව කියලා. භාරත මල්ලිගේ භූතාත්මයෙන් තමයි මරණයට හේතුව අනාවරණය වුණේ.

එයා ලජ්ජාවට, මුහුණ දෙන්න බැරිකමට දරාගන්න බැරුව මැරුණා. ඒ වගේ ම දරාගන්න බැරුව එයාම පාපොච්චාරණයක යෙදුණා වගෙයි‍.‍ මමයි මහත්තයයි මේ S.M.S සිද්ධිය නිසා මල්ලි එක්ක රණ්ඩු කළා නම් ඒත් සිද්ධ වෙන්නේ මේ ටිකම තමයි. යළි පුණ්‍යා කීවාය.

ඒ සමඟ හිටි හැටියේ පුණ්‍යාට යළිත් භූතාත්මය ආවිෂ්ට වී මවුපියන් ඇමතීය.

“ඔව් අම්මේ, පුණ්‍යක්කා කියපු ඔක්කොම ඇත්ත‍. මට පුණ්‍යක්කාව මගේ වයිෆ් කරගන්න හිතුණ. මම ඒක කිව්වා. පස්සේ ඒක මටම දරාගන්න බැරි වුණා. මම මගේ ජීවිතය නැති කරගත්තා” යි කීවේය.

ගවේෂකවරයා භූතාත්මය ඇමතීය.

“දැන් ඔබේ අවශ්‍යතාව ඉටු වුණා. කියාගන්න වුවමනා දේ මවුපියන් ඉදිරියේ කියාගත්තා. දැන් හිත නිදහස්. මේ සිද්ධියේදී පුණ්‍යා අත වරදක් නැහැ. අයියා අතත් වරදක් නැහැ. දැන් වුණ දේ වුණා. ඒ ගැන පසුතැවී වැඩක් නැහැ.”‍

“මේ මනුෂ්‍ය ලෝකය කාම ලෝකයක්. ඇස, කන, නාසය, දිව, කය, මන පිනවන්නට කවුරුත් කැමැතියි.

ලස්සන දෙයක් දැක්කාම ඊට හිත ඇලෙනවා. ඒ තැන් හා හාවීම තණ්හාවයි. ඒත් අපට දහමක්, සංස්කෘතියක් තියෙනවා. හිත කැමැති දේවල් අරමුණු වුණාම නුවණින් (යෝනිසෝමනසිකාරයෙන්) කල්පනා කරන්න ඕනෑ. වරැදි දේ අත්හරින්න ඕනෑ.‍ ඔබත් හිත බැඳුණු දේ හොඳ ද නරක ද කුසල් ද අකුසල් ද කියා කල්පනා කළා නම් අද පසු තැවෙන්න වෙන්නේ නෑ.

මස් මාළු නොකෑවට අරක්කු නොබිව්වට ආධ්‍යාත්මය දියුණු කරගෙන නෑ. දැන් හොඳ සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට හිත යොමු කරන්නැ”යි ගවේෂකවරයා භූතාත්මයට අවවාද කළේ ය.

“ඔව් මහත්මයා! ඒ වගේ දේකට මම කැමැතියි. මට උදව් කරන්නැ”යි භූතයා කීවේය.

මවුපිය දෙදෙනා ද සමඟ ගමේ පන්සලට දානයක් පිරිනමා භාරතට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි පියල්ටත් පුණ්‍යාටත් උපදෙස් දුන්නේ ය.

දානය පිරිනමා ඔවුහු නැවත පැමිණියහ‍. එදින සුදු මල් වට්ටියක් ගෙන්වා භූතාත්මය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම අනුරාධපුරයට යැවීය.

අදහස්