අවුරුදු තුන්දහසකටත් පෙර සිට මහවැලි නිම්නයේ ජීවත්වූ මිනිස්සු | Page 2 | සිළුමිණ

අවුරුදු තුන්දහසකටත් පෙර සිට මහවැලි නිම්නයේ ජීවත්වූ මිනිස්සු

වංශකාථානුගත තොරතුරු හෙළි කරන මහවැලි නිම්නයේ පුරාණ ජනාවාසකරණය

මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය

පීඨාධිපති, සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ විශාලතම පෝෂණ කලාපය හිමි කරගෙන සිටින මහවැලි ගඟ මෙරට දීර්ඝම ජල මාර්ගය වේ. මහවැලි ගඟ මහා ගංඟා, මහාවාලුකා ගංඟා හා ගංඟා ආදි වශයෙන් වංශකථාවල විවිධ නම්වලින් හඳුන්වා තිබේ. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසය තුළ හිමි කරගෙන ඇත්තේ වැදගත් ස්ථානයකි. ඓතිහාසික ශ්‍රී ලංකාවේ ජනාවාසකරණයට මෙන් ම කෘෂි කර්මාන්තයේ සංවර්ධනයට මහවැලි ගඟ සහ ප්‍රධාන අතු ගංඟාවලින් සිදු වූ දායකත්වය සුවිශාල වූ බව පැහැදිලි ය. සිංහලයේ මහා ශිෂ්ටාචාරය ගොඩනැංවූ මේ ජලධාරාව ඇසුරෙහි පුරාණ ජනාවාසකරණය සිදු වූ ආකාරයත්, වාරි කර්මාන්තය ගොඩනැඟී මේ දක්වා පවතින ආකාරයත් සම්බන්ධව කෙරෙන ශාස්ත්‍රීය ලිපි මාලාවක පළමු වැනි ලිපිය මෙසේ පළ වේ. මෙම ලිපියෙන් මහවැලි නිම්නයේ පැරැණි ජනාවාසකරණය පිළිබඳ සංක්‍ෂිප්ත විමසීමක් කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ පැරැණි ඉතිහාසය තුළ ඉතා වැදගත් ස්ථානයක් මහවැලි නදියට හිමි වෙයි. එය කලෙක රජරට හා රුහුණු රට එකිනෙක වෙන් කරන සීමාව ලෙස ක්‍රියාත්මක විය.

වංශකථාවේ දැක්වෙන තොරතුරු අනුව අනුරාධපුර මුල් යුගයේ සිට ම මහවැලි නිම්නය ඓතිහාසික වශයෙන් වැදගත් වූ ප්‍රදේශයක් විය. ආරම්භක අවදියේ සිට ම පහළ හා මධ්‍ය මහවැලි නිම්නය ආශ්‍රිතව ජන ව්‍යාප්තිය ඉහළ මට්ටමක පැවති බව එම කලාපය තුළ දක්නට ලැබෙන පූර්ව හා අපර බ්‍රාහ්මී ශිලා ලේඛනවලින් තහවුරු කරගත හැකි ය. එයින් පැහැදිලි වන්නේ අනුරාධපුර මුල් අවදියේ සිටම මෙම ප්‍රදේශයේ ජනාවාස ගොඩනැඟී තිබුණු බවය.

වංශකථා අනුව මහවැලි නිම්නයේ පැරැණිම ජනාවාස පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ මහියංගණ ප්‍රදේශයෙනි. බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කොට යක්‍ෂයන් දමනය කළ බව මහාවංශයේ දැක්වේ. එහි සඳහන් යක්‍ෂයන් යනු මෙරට මූල ඓතිහාසික අවදියේ වියළි කලාපය ආශ්‍රිතව ව්‍යාප්ත වී සිටි ප්‍රධාන ස්වදේශක ගෝත්‍රය වන යක්‍ෂ ගෝත්‍රිකයන් බව උපකල්පනය කළ හැකිය.

පූර්ව අනුරාධපුර අවධියේ සිට මහවැලි නිම්නයේ ජනාවාස පැවති බවට සාක්‍ෂි ඇත. මූල ඓතිහාසික යුගය නියෝජනය කරන මෙගලිතික සුසාන කිහිපයක්ම එම නිම්න ආශ්‍රිතව පිහිටා තිබේ.

ඒ අතර ඇළහැර ආශ්‍රිතව ගල්පෙට්ටි සුසාන සහිත සුසාන භූමිය දක්නට ඇත. පූර්ව අනුරාධපුර අවධියේ දී මහවැලි මෝය ප්‍රදේශය වැදගත් තොටමුණක් ලෙස ක්‍රියාත්මක වූ බව තහවුරු වන්නේ ඉන්දීය ජන සංක්‍රමණිකයන් අතර සිටි භද්දකච්චායනා කුමරිය ඇතුළු ජන කණ්ඩායමක් ගෝකණ්න පටුනින් මෙරටට පැමිණීමේ පුවතිනි.

පණ්ඩුකාභය රාජ්‍ය සමය වන විට මහවැලි නිම්නය ආශ්‍රිත ප්‍රදේශය ජනාවාසව පැවති බවට වංශකථාවෙන් තොරතුරු අනාවරණය වේ.

මේ නිම්නයේ පිහිටි දිඹුලාගල අතීතයේ දී හඳුන්වා ඇත්තේ දුම්රක්ඛගල ලෙසිනි. පණ්ඩුකාභය කුමාරයා හා සම්බන්‍ධ වන දොලුගල, තිඹිරියහනවිල හා කච්ඡක නම් තොට, දුම්රක්ඛගල ආශ්‍රිතව පිහිටා තිබිණි. දිඹුලාගල, ධූමරක්ඛ පබ්බත හෙවත් උදුම්බර පබ්බත ලෙසින්ද හඳුන්වා ඇත. ක්‍රිස්තු පූර්ව අවසාන භාගයට අයත් පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි ගණනාවක්ද ඒ ආශ්‍රිත ව දක්නට ලැබේ.

මහවැලි නිම්නයේ පිහිටි පැරැණි ජනාවාස විශාල ප්‍රමාණයක් පිළිබඳ වංශකථාගත තොරතුරු ඇසුරින් අනාවරණය කරගත හැකිය. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දුටුගැමුණු අවදියේදී මෙන්ම ක්‍රිස්තු වර්ෂ දොළොස් වැනි සියවසේ පරාක්‍රමබාහු රාජ්‍ය අවධියේ දී ඇති වූ යුද්ධමය අවස්ථාවලදී මහවැලි ගංගා තීරය ආරක්‍ෂා කිරීමට ගත් පියවර පිළිබඳ වංශකථාවේ සඳහන් තොරතුරුවලින් පැහැදිලි වේ.

ඉන් ප්‍රකට වන්නේ එම ගංගා නිම්නය ආශ්‍රිත ව ජාතික වශයෙන් පැවති උපයෝගීතාවයයි. මින් ඇතැම් ස්ථාන ආශ්‍රිතව ආරක්‍ෂිත බළකොටු පිහිටා තිබිණි.

සමහර ප්‍රදේශවල නොයෙක් රජවරු වෙහෙර විහාර, වැව් අමුණු ඉදි කළහ. කාවන්තිස්ස රාජ්‍ය අවධිය වන විට මේ නිම්නයේ බළකොටු රාශියක් පිහිටා තිබූ බව සඳහන්ය. ඒවා එළාර රජුගේ සේනාව මඟින් පාලනය විය.

මහාවංශය ප්‍රකාරව දුටුගැමුණු රජු විසින් මෙහෙය වන ලද සංග්‍රාමයේ දී බිඳ හෙළනු ලැබූයේ එම බළකොටු ය. මියුණුගණ හෙවත් මහියංගණය, අම්බතිත්ථක හෙවත් අඹතොට, අන්තරාසොබ්බ හෙවත් අතුරුහෙබ, ද්‍රෝණ හෙවත් දෙනගම, හාලකෝළ හෙවත් හල්කොළ, නාලිසොබ්බ හෙවත් නැලිහෙබ, දික් අබාගල, කච්ඡතිත්ථ හෙවත් කසාතොට, ගාමිණීගම, කෝඨනුවර, වහිට්ඨගම, කුම්බගාම හෙවත් කුඹගම, තඹගම, ජම්බුගාම හෙවත් දඹුන්නරුව හා උන්නගාම මහවැලි ගඟ ආශ්‍රිත ව පිහිටා තිබූ බළකොටු විය. එහෙත් විජිතනුවර හෙවත් කඳවුරුපිටි බළකොටුවත්, කහලනගර බළකොටුවත් පිහිටා තිබුණේ මහවැලි ගඟේ ප්‍රධාන ශාඛාව වූ අඹන් ගඟ නිම්නයේ ය. වර්තමාන පොළොන්නරුව නව නගරය පිහිටා තිබූ ප්‍රදේශය පුරාණ විජිතපුර බළකොටුව පිහිටා තිබූ ප්‍රදේශය ලෙස සැලකේ.

මහවැලි නිම්නයේ පිහිටි අන්තරාසොබ්භයේ පස් වැනි අග්ගබෝධි (ක්‍රි.ව. 718-724) රජු විසින් දේව නමින් විහාරයක් කරවා ඇත. මහාරුක්ඛ සමීපයේ පිහිටි නීලගාමයේ පළමු වැනි උදය (ක්‍රි.ව. 797-801) රජු නීලගල්ල විහාරය ඉදි කොට ඇළ මාර්ගයක් එයට පූජා කළ බව සඳහන් වේ. මහාචූලිකමහාතිස්ස (ක්‍රි.පූ. 77-63) රජු විසින් දීඝාභයගල්ලක ප්‍රදේශයේ විහාර දෙකක් කරවූ බව සඳහන් වී තිබේ. තුන් වැනි දප්පුල (ක්‍රි.ව. 815- 831) රජුගේ විජිත නම් සෙනවියකු එහි කච්ඡාවාල නමින් විහාරයක් කරවා ඇත. මහවැලි නිම්නයේ මහගන්තොට ප්‍රදේශයේ පිහිටි නන්දිගාමයේ සුභ (ක්‍රි.ව. 60 – 77) රජු නන්දිගාමක විහාරය කරවා තිබේ. සහස්සතිත්ථ හෙවත් දාස්තොට මධ්‍යකාලීන අවදියේ දී වැදගත් ආගමික මධ්‍යස්ථානයක් විය.

මහවැලි ගඟේ දකුණු ඉවුර ආශ්‍රිත ව පිහිටි මුතුගල නම් ප්‍රදේශයේ පැරැණි විහාරයක නටබුන් දක්නට ලැබෙන අතර ක්‍රිස්තු පූර්ව දෙ වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ හත් වැනි සියවස දක්වා සෙල්ලිපි රාශියක් ද එහි තිබේ. එම සෙල්ලිපිවල තොඩිකටන, වළගරින යන ග්‍රාම නාම ද, විජිරිබූපවතගල නමින් වූ විහාරයක් පිළිබඳ ද, පනගමක නමින් වූ වැවක් සම්බන්‍ධයෙන් ද සඳහන් වේ. මුතුගලට ආසන්නයේ පිහිටි කුරුණාකල්ලු යන ස්ථානයේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් ලිපියක ග්‍රාම ශ්‍රේණියක් විසින් පූජා කරන ලද ලෙනක් පිළිබඳව සඳහන් ව ඇත.

මහවැලි ගඟ හා මාදුරු ඔය අතර වූ ප්‍රදේශය පුරාණයේ දී අන්තරගංගා නමින් හඳුන්වා තිබේ. දිඹුලාගල ආසන්නයේ පිහිටි මෝලාහිටිය වෙලේගල ලිපියක මෙම නාමය සඳහන් වේ. ක්‍රිස්තු පූර්ව පළමු වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවස දක්වා සෙල්ලිපි එම ස්ථානයේ ඇත. ඉන් එක් ලිපියක දුබලගම නමින් වූ ප්‍රදේශයක් පිළිබඳ ව සඳහන් වේ. තවත් ලිපියක අනුරවික හා නිකවිලි නම් ග්‍රාම නාම දෙක සඳහන්ව ඇත. අන්තරාගංගා විහාරයට තුන් වැනි ජෙට්ඨතිස්ස රජු චුල්ලමාණික ග්‍රාමය පූජා කර ඇත. එයින් පැහැදිලි වන්නේ අන්තරගංගා නම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථක ජනාවාසකරණයක් පැවති බවයි.

මහවැලි ගඟේ වම් ඉවුරේ වර්තමාන සෝමාවතිය ආශ්‍රිත ප්‍රදේශය ද ඓතිහාසික අතින් අනුරාධපුර මුල් භාගයේ සිටම වැදගත් වේ. ඒ ආසන්නයේ මහවැලි නදිය සමීපයේ ම පිහිටි මින්විල ක්‍රිස්තු පූර්ව පළමු වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ දෙ වැනි සියවස දක්වා කාලයට අයත් සෙල්ලිපි දක්නට ලැබේ. එක් ලිපියක කහිගම, හුමනාතගම හා තොටගම නමින් වන ගම්මාන තුනක් පිළිබඳ ව සඳහන් ව ඇත. භාතිකතිස්ස (ක්‍රි.ව. 143-167) රජුගේ කාලයට අයත් සෝමාවතී චේතිය පුවරු ලිපියේද ඉහත ග්‍රාම නාම සඳහන් වන අතර කෙහිගම අතර ගඟ පෙදෙසේ වූ බවද එහි දැක්වේ. මහගල්ලකනාග (ක්‍රි.ව. 136-143) රජුගේ පුතා වූ නකළ කුමාරයා විසින් පජිනිනකල අරඹ විහාරය සෝමාවතියෙහි කරවා තිබේ. කණිට්ඨතිස්ස (ක්‍රි.ව. 167-186) රජුගේ සෙල්ලිපියක සෝමාවතී දාගැබ මණිඅගිය චේතිය ලෙසින් හඳුන්වා ඇත.

පොලොන්නරුවට ඊසාන දෙසින් මහවැලි නිම්නයේ පිහිටි අතුරු දිසාවක් පුරාණයේ දී පාචීනඛණ්ඩ රාජි යනුවෙන් හඳුන්වා ඇත.

මධ්‍ය මහවැලි නිම්නයේ වූ කුඹුක්කන්දන ප්‍රදේශයේ නටඹුන් සහිත භූමියක හතර වැනි සියවසේ සිට හත් වැනි සියවස දක්වා කාලයට අයත් සෙල්ලිපි කිහිපයක් වේ. එක් ලිපියක දිසා ප්‍රධානියා හෙවත් රටියා විසූ තබරය නම් වූ ගමක් පිළිබඳ සඳහන් වේ. මාඝ ආක්‍රමණ සමයේ දී සිංහල ප්‍රධානියකු මණිමේඛලා දිසාව හෙවත් වර්තමාන මිණිපේ ප්‍රදේශයේ ගංඟාද්‍රෝණි කන්දේ බළකොටුවක් තනාගෙන එම ප්‍රදේශය ආරක්‍ෂා කර තිබේ.

අනුරාධපුර අවසාන භාගය වන විට මහවැලි නිම්නයේ පිහිටි පොලොන්නරුව ප්‍රදේශය වැදගත් දේශපාලනික කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනාගෙන ලැබ තිබිණි. අනුරාධපුර මුල් අවධියේ සිටම පොලොන්නරුව අවට ප්‍රදේශයේ ජනාවාස ශීඝ්‍ර ලෙස වර්ධනය වීම තුළ ස්ථාවර කෘෂි කාර්මික පසුබිමක් මෙම ප්‍රදේශ ආශ්‍රිත ගොඩනැඟීණි. මෙම ප්‍රදේශයේ වැදගත්කම ප්‍රථමයෙන් සොළී ආක්‍රමණිකයන් විසින් හඳුනාගනු ලැබ තිබිණි.

 

මහවැලි නිම්නයේ පිහිටි පොලොන්නරුව ක්‍රිස්තු වර්ෂ 8 - 9 සහ 10 සිටම දේශපාලනික වශයෙන් වැදගත් විය. අනුරාධපුරයේ ඇතැම් රජවරු යුදමය හේතූ මත වරින් වර පොලොන්නරුව රාජකීය වාසස්ථානය වශයෙන් භාවිතා කළහ. එම ප්‍රදේශයේ නොයෙකුත් වෙහෙර විහාර මෙන්ම වාරි කර්මාන්තද කරවූහ. ලක්දිව යටත් කරගත් චෝළ අධිරාජ්‍යයේ ප්‍රතිරාජවරුන් ස්වකීය අගනුවර ලෙස තෝරාගන්නා ලද්දේ ද පොලොන්නරුවය. ඔවුන් එය ජනනාථමංගලම් ලෙස නම් කරන ලදී.

මහවැලි නිම්නයේ පිහිටි එම ප්‍රදේශය සොළීන් පරිපාලන මධ්‍යස්ථානය වශයෙන් තෝරාගන්න ඇත්තේ භුගෝලීය වශයෙන් එම ගංගා නිම්නයේ පවතින වැදගත්කම සැලකීම නිසා බව පෙනේ. පළමු වැනි විජයබාහු රජු අභිෂේක ලැබූයේ අනුරාධපුරයේ දී මුත් සොළීන් කළ ලෙසට පොලොන්නරුවේ සිට ම රාජ්‍ය පාලනය කිරීමට තීරණය කරන ලදී. යුද සමයේදී අනුරාධපුරයට අත්වූ විනාශයත්, මහවැලි නිම්නයේ පහළ ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය සඳහා විශාල වශයෙන් අවකාශය තිබීමත් ඒ සඳහා හේතු වන්නට ඇති බව විද්වත් මතය වේ.

ඉන් පසු තම අගනුවර පොලොන්නරුවේම පිහිටුවීමට පළමු වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186), නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187-1196) වැනි රජවරුන් ඇතුළු ඔහුගේ අනුප්‍රාප්තිකයන් කටයුතු කර ඇත. ස්වකීය අගනුවර ලෙස එම භූමිය තෝරාගැනීම කෙරෙහිත් හේතු වන්නට ඇත්තේ පොලොන්නරුවද අයත් වන මහවැලි නිම්නය භුගෝලීය වශයෙන් රුහුණ සහ රජරට වෙන් කෙරෙන සීමාවේ මධ්‍යගත වීම නිසා බව අනුමාන කළ හැකිය. මීට අමතරව පළමු වැනි පරාක්‍රමබාහු රජු පොලොන්නරුව අගනුවර කරගැනීමට තීරණය කරන ලද්දේ ගොඩනැඟී තිබූ කෘෂි කාර්මික පසුබිමට අමතර ව මහවැලි ගඟ ඔස්සේ ත්‍රිකුණාමලය වරාය මඟින් අන්තර්ජාතික සම්බන්ධතා ඇති කරගැනීමට පහසුවීමත්, මහවැලි ගඟ හරහා රුහුණු ප්‍රදේශයේ පාලනය කිරීමට හැකි වීමත් නිසා බව පැහැදිපිය.

පළමු වැනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී යුදමය වශයෙන් වැදගත් වූ ප්‍රදේශ ගණනාවක් ද මහවැලි නිම්නයේ පිහිටා තිබිණි. වල්ගම්තොට, තලනිගාමය, සමීරුක්ඛ නම් තොට හෙවත් වර්තමාන හෙබරව, මහාරුක්ඛ නම් තොට හෙවත් මාරක, නාලිසොබ්බ හෙවත් පොල්වත්ත, අන්තරභණ්ඩක, කාණතාලව, යක්ඛසූකර හෙවත් යක්කුරේ, වෙහෙරවෙදහල් නම් තොට, අස්සමණ්ඩල හෙවත් අස්මඩලාතොට, විල්ගම්තොට, සුළුනාතොට, නිකවැලිතොට, බිල්පත්කඩ, නන්දිගාම, හෙදිලිකඩගම, බිල්ලගාමතොට හෙවත් බෙල්ගමුතොට, මල්ගමුතොට, ගොලබාන තොට නම් ස්ථාන පිළිබඳව වංශකථාවේ සඳහන්ව ඇත.

පොලොන්නරු අවධියෙන් පසු රාජධානි විකේන්ද්‍රණය වීමේ ක්‍රියාවලිය තුළ ඉහළ මහවැලි නිම්නය වැදගත් දේශපාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. එනම් ගම්පොළ, සෙංකඩගල හා මහනුවර යන මහවැලි ගඟට ඉතාම සමීප ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ලංකාවේ රාජධානි බිහි වීම ය.

 
 

අදහස්