ඉස්කෝලේ ලොක්කන්ගේ සූදුවට ජීවි‍තෙන් වන්දි ගෙවූ කොලු පැටියා | Page 2 | සිළුමිණ

ඉස්කෝලේ ලොක්කන්ගේ සූදුවට ජීවි‍තෙන් වන්දි ගෙවූ කොලු පැටියා

ඡායාරූප කාංචන ආරියදාස (සීගිරිය විශේෂ)

පසිඳු පවුලේ වැඩිමලාය. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියද ඔහුට බොහෝ රාජකාරි තිබිණි. නිවෙසේදී නංගීත් මල්ලීත් බලාගැනීමද, අම්මා ගෙදර නැති විට කෑම ඉවීම හා ගේ-දොර අස්පස් කර රෙදි සෝදා පිරිසුදු කිරීමද ඒ ලෙස ඔහු තමන්ටම පවරාගත් කටයුතුය. පාසලේ ශිෂ්‍ය නායකයකු වන පසිඳු තම යහළු-යෙහෙළියන්ට මෙන්ම තම බාල සහෝදර-සහෝදරියන්ටද හැම දිනම කීවේ හොඳ ගති-ගුණ පුරුදු වන්න කියාය. මේ කුමක් කළත් ඔහු ඉගෙනීමේ කටයුතුද අතපසු කළේ නැත. “හොඳට ඉගෙනගන්න ඕනෑ... හොඳ කෙනෙක් වෙන්න ඕනෑ...” ඒ පසිඳුගේ එකම බලාපොරොත්තුව විය. තමා ගැනම එලෙස බලාපොරොත්තු රඳවාගෙන සිටි පසිඳුගේ සිතේ ඊටත් වඩා ලොකු ප්‍රාර්ථනාවක්ද තිබිණි. ඒ මුළු ගම වෙනුවෙනි. එනම්: තම ගමට යෑමට පාලමක් ඉදි කිරීමය.

මේ සියලු අපේක්ෂා සිත්හි දරාගෙන ඉකුත් 10 වැනිදා ඔහු පාසල් ගියේ වෙනදා මෙන්ම ප්‍රබෝධයෙනි.

මවු-පිය-වැඩිහිටියන්ගේ දෙපා නමැද උදය ගෙදරින් පිට වූ පසිඳු සිව්දෙනකුගේ කර මතින් හැන්දෑවේ නිවෙසට ඒයැයි කිසිවකුත් සිතුවේ නැත. අලුත් දවසක බලාපොරොත්තු ගොන්නක් සිත්හි තබාගෙන පාසල වෙත පියමැන්න පසිඳුගේ මාරයා කොන්ක්‍රීට් කණුවක සැඟව සිටිතැයි කාටවත් සිතුණේ නැත.

“ක්‍රීඩා උත්සවය ළඟයි. ඒකට ක්‍රීඩාගාරය හදනවා. පසිඳු යාළුවන් එක්ක සෙල්ලම් කර-කර හිටියා... ටිකකින් මහන්සි නිසා අපි ඔක්කෝම හෙවණට ආවා. පසිඳු කණුව බදාගත්තා... ඒක පසිඳුගේ ඔළුවට වැටුණා. අපිට හිතගන්න බැහැ පසිඳුට මොකද වුණේ කියලා... ”

පසිඳුගේ වයසේමයැයි සිතිය හැකි පාසල් සිසුවා අමාරුවෙන් වචන ගළපන්නට විය. සිදු වූයේ කුමක්දැයි කිසිවකුටත් සිහියෙන් යුතුව පැවසිය නොහැකිය. හැම කෙනෙක්ම වැලපෙති.

“ගෙදරටම හයියක් වුණ ලොකු පුතේ... උඹ නැතිව ජීවත් වෙලා මොකටද මගෙ රත්තරනේ...”

ඇසූ-දුටුවන් කම්පා කරවමින් මව තම තරුණ පුතුගේ දේහය ඉදිරියේ හඬා වැලපෙන්නීය. විටෙක ඇය සිහිසුන් වන්නීය. පුතුගේ වියොවෙන් තැවෙන පියා සිය පුතුගේ සේයාරුවක් තුරුලේ හොවාගෙන සිටින්නේ සිදු වූයේ කුමක්දැයි කියා තවමත් වටහාගන්නට බැරිවාක් මෙනි.

“අනේ අගේට හිටපු කොලු පැටියා. මේ ගමේ කවුරුවත් මේ දරුවට වරදක් කියන්නේ නැහැ. හැමෝ එක්කම බොහෝම හිතවත්. ඔය අම්මා පොඩි පොඩි රස්සාවල්වලට යනවා. තාත්තා බස් රියැදුරෙක්. සමහර වෙලාවට මේ දරුවා තමයි ගෙදර උයන පිහන වැඩ කරලා රෙදි හෝදලා නංගියි මල්ලියි ආච්චියි සීයයි බලාගන්නේ. ගහක් ගලක් වගේ හිටපු දරුවට මේ වෙච්ච දේ කොහොම උහුලගන්නද? ගෙරට යන්න පාරක් නැහැ හරියට. ඒ නිසයි ඒ දරුවගෙ ආච්චිගේ ගෙදරයි මරණය තියලා තියෙන්නේ... ” ගැමියකු පවසන්නේ කම්මුලේ අතක් ගසාගෙනය.

පාසල් දරු-දැරියෝ සිය මිතුරාගේ අකල් මරණය ගැන කිසිවක් කීමට නොහැකිව බලා සිටිති. පසිඳු පාසල් යන විට අතේ බැඳි ඔරලෝසුව, හිස පැලඳි තොප්පිය, ඔහු ලැබූ පදක්කම් ආදියත් කන්නට ආශා කළ චොක්ලට්ද යහළු-යෙහෙළියන් විසින් පසිඳුගේ දේහය මත තබා ඇත.

පසුගියදා අනුරාධපුර ගල්කිරියාගම බුදුගේහින්න මහා විද්‍යාලයේ පාසලේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක කණුවක් හිසට වැටීමෙන් මිය ගිය එල්.කේ. පසිඳු ක්‍රිශාන්ත කරුණාතිලක පාසල් සිසුවාගේ මරණය අහඹු සිදු වීමක් වුවද මෙය නොසැලකිල්ල එහෙමත් නැත් නම් වගකීමක් නැතිව රාජකාරි කළ කිහිපදෙනකුගේ එකතුවකින් සිදු කළ මරණයක් යැයි කීවාට කිසිවකු උරණ නොවනු ඇත.

“එක වසරට ළමයින්ගෙ සල්ලි ලැබුණා. ඒ ලැබුණ සල්ලියි මේ පාසලේ දරුවන්ගේ මවුපියන් දෙන සල්ලියි එකතු කරලා තමයි විදුහල්පතිවරයා මේ ගොඩනැඟිල්ල හදන්නේ. හරි නම් ගොඩනැඟිල්ලක් පාසලේ හදනකොට අනුමැතිය ගන්න ඕන. එත් මෙතන එහෙම වෙලා නැහැ. බාස්ලා කියන්නේ මේ විදුහල්පතිවරයා එක්ක වැඩ කරන්න අමාරුයි කියලා. කොහොම වුණත් මේක මේ ප්‍රමිතියට හදපු එකක් නෙමෙයි. ගොඩනැඟිල්ලක කණු හිටවකොට යම් ප්‍රමිතියක් තියෙනවානේ... මේකේ කරලා තියෙන්නේ කණුව තියලා නිකම්ම වටේට සිමෙන්ති දාපු-එක විතරයි. මේ අනතුර නොවී මේ ගොඩනැඟිල්ල හැදුණා නම් දරුවන් ගොඩකගේ ජීවිත හානි වෙන්න තිබුණා. ඔක්කෝටම හපන් සිද්ධිය වෙලා සෑහෙන වෙලාවක් යන තුරු විදුහල්පති මේ පැත්ත පළාතෙ ආවේ නැහැ. මේ වගේ කිසිම වගකීමක් නැති මිනිස්සු ගැන නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ.”

පසිඳු පුතුගේ ළඟම ඥාතියකු පවසන්නේ හඬා-වැටෙමිනි.

දසමසක් කුස හොවා දහසක් බලාපොරොත්තු ඇතිව පහළොස් වසරක් උස්-මහත් කළ තම කුලුඳුල් පුතුට සිදු වූයේ කුමක්දැයි ජේ.පී. නිමන්කා කුමාරි ජයලත්ට සිතාගන්න වත් බැරිය. ඇය සිය බාල දියණිය තුරුලු කරගෙන එක් පසෙකය. තුන වසරේ ඉගෙනුම ලබන පසිඳුගේ දෙවැනි සොහොයුරා විටින් විට සිය නිවෙසේ මැද තබා ඇති සිය සොහොයුරාගේ නිසල සිරුර දෙස විටින් විට විත් බලන්නේ අහළ-පහළ සිටින කාගේත් නතෙග කඳුළු රඳවමිනි.

පුවත්පත ඔබ අතට පත් වන විට සියල්ල සිදුව අවසන්ය. තවත් ටික කලක් යන විට පසිඳුගේ මරණය තවත් එක් මරණයක් පමණක් වනු ඇත. එහෙත් කියන්නට දෙයක් ඉතිරිව ඇත. ලංකාවේම පාසල්වල අලුත් ගොඩනැඟිලි ඉදි වනු ඇත. එහෙත් ඒ ඉදි වන ගොඩනැඟිලිවලින් තවත් පසිඳුලා මිය නොයා යුතුය. රටක් වටින දරුවකු අහිංසක මවුපිය යුවළකට අහිමි වූයේ කාගේ නම් අවාසනාවට ද? පසිඳුගේ මරණය සම්බන්ධයෙන් දිය යුතු වන්නේ කැකිල්ලේ තීන්දුවක් නොවේ.

 

අදහස්