ඊළඟ ආත්මෙදිවත් සැප විඳින්න මේ භවයේ වැඩකරන්න | සිළුමිණ

ඊළඟ ආත්මෙදිවත් සැප විඳින්න මේ භවයේ වැඩකරන්න

අද අප කතා කරන්න සූදානම් වන්නේ ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණු සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ සඳහන් වන කෝසල සූත්‍රය පිළිබඳවයි. තථාගතයන් වහන්සේ ‍වැඩ සිටින කාලයෙහි භාරතයේ සිටි රජවරුන් අතර ඉතා ධාර්මික රජකෙනෙක් කොසොල් රජතුමා. එතුමාගේ රාජධානිය කෝසල රාජධානිය ලෙසයි හැඳින්වුණේ.

කොසොල් රටේ අගනුවර සැවැත් නුවරයි. තථාගතයන් වහන්සේ වැඩිම කාලයක් වැඩ වාසය කරලා තියෙන්නෙත් සැවැත් ‍නුවර ජේතවනාරාමය ඇසුරු කරගෙනයි. දිනක් කොසොල් රජතුමා තථාගතයන් වහන්සේ හමු වීමට ජේතවනාරාමයට පැමිණියා. බුදු රජාණන් වහන්සේගේ පාද පද්මයන් ආදරයෙන් ගෞරවයෙන් යුතුව වන්දනා කරලා එකත්පසක වාඩි වුණා. ඒ අවස්ථාවේදී බුදු රජාණන් වහන්සේ කොසොල් මහරජාණන් වහන්සේට කෝසල නම් සූත්‍රය දේශනා කළා.

මහරජතුමනි! මේ ලෝකයේ පුද්ග‍ලයන් හතර දෙනකු දකින්න ලැබෙනවා. ඒ පුද්ගලයන් හතර දෙනා කවුරුද? පළමු වැනි පුද්ගලයා වන්නේ 'තමෝ තම පරායනෝ'. එනම්: අඳුරින් අඳුරට යන පුද්ගලයා. 'තමෝ ජෝති පරායනෝ'. ඒ කියන්නේ අඳුරින් ආලෝකයට යන පුද්ගලයා. අනෙක් පුද්ගලයා 'ජෝති තම පරායනෝ'. අලෝක‍යෙන් අඳුරට යන පුද්ගලයා. අනෙක් පුද්ගලයා 'ජෝති ජෝති පරායනෝ'. අලෝ‍කයෙන් ආලෝකයට යන පුද්ගලයා.

දැන් අපි එම පුද්ගලයන් විස්තර වශයෙන් හඳුනාගනිමු. මේ සම්බන්ධයෙන් බුදුන් වහන්සේ කොසොල් රජතුමාට විස්තර වශයෙන් දේශනා කළා. 'තමෝ තම පරායනෝ'. එනම්: අඳුරින් අඳුරට යෑමයි. සමහර මිනිසුන් සංසාරය පුරා කරගත් අකුසලින් දුප්පත්ව හීන කුලවල උපත ලබනවා. එනම් අසරණ වෙලා උපදිනවා. දිළිඳු වෙලා ඉපදුණු ඒ අයට අකුසල කර්ම නිසා ඉතා අඩුවෙන් ආහාර ඒවගේම ඇඳුම්-පැලඳුම්, බේත්-හේත්, ඉතා දුෂ්කර ආකාරටයි සපයාගන්න සිදු වන්නේ. ඒ විතරක් නොවෙයි, බොහෝ විට දුප්පත්ව උපදින අය රෝගාබාධවලින් යුතුව උපදින බව බුදුන් වහන්සේ දේශනා කළා. ඒ අයගේ ජීවිතවලට අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණා දහයක් ඉතා අපහසුවෙන් සපයාගැනීමට සිදු වනවා. එනම්: ඒ ජීවත් වීමට අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණා නම් ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා (පුරාත‍නයේ මල්මාලා පැලඳීම සිරිතක්. ඒ නිසා එයත් ජීවත් වීමට අත්‍යවශ්‍ය වුණා), ගන්ධ, අලේපන වර්ග, සෙය්‍යා (ඇඳඇතිරිලි), වසත (නිවාසයක්), පථිතෙය්‍ය (අලෝකය). මේවා දුක සේ ලැබෙන්නේ දුප්පත්ව ඉපදුණු අයටයි. දුප්පත්ව ඉපදුණු තැ‍නැත්තන් කයින්, මනසින්, වච‍නයෙන් පාපධර්මවල හැසිරෙනවා. එනම්: බොරු, කේළාම්, හිස් වචන කීම, අන් සතු වස්තුවකට ඇති ආසා‍ව, මිථ්‍යාදෘෂ්ටිය මේ අය බොහෝ දුක් ඇති අපායේ උපද්දනවා. මෙය 'අන්ධකා‍රයේ සිට අන්ධකාරයටම ගමන් කිරීමක්' බඳුයි.

අනෙක් පුද්ගලයන් වන්නේ 'තමෝ ජෝති පරායනෝ'. එනම් අඳුරින් ආලෝකයට යන අයයි. මේ අය දුප්පත්ව උපදින තැනැත්තන් වුවත් ප්‍රඥාවෙන් කල්පනා කරනවා.

ඒ අනුව මට මේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දේ මගේ අකුසලකර්ම නිසා මේ ආකාරය දුක සේ ලැබෙන්නේ නම් මා කුසල් රැස් කළ යුතුයි කියා නුවණින් කල්පනා කර කයින්, මනසින්, වචනයෙන් සුචරිතයෙහි යෙදෙනවා. ප්‍රාණඝාතයෙන්, සොරකම් කිරීමෙන්, කාමමිථ්‍යාචාරයේ යෙදීමෙන් වැළකී සිටිනවා; බුද්ධ වන්දනාවේ, වත්පිළිවෙත්වල, මවුපිය උපස්ථානයේ, වැඩිහිටියන්‍ට ඇප උපස්ථාන කිරීමේ, සිල්වතුන් ගුණවතුන් වන්දනා කිරීමේ, ගරු කළ යුත්තන් ගරු කිරීමේ, දන් පැන් පිදීම් වැනි ක්‍රියාවන්වල යෙදෙනවා; ඒ වගේම බොරු කීම, හිස්වචන කීම, කේළාම් කීම, පරුෂ වචන කීම වැනි වචනයෙන් වන වැරදිවලින් වළකිනවා. සත්‍ය වචන පමණක් කතා කරනවා; කේළාම් අතහැර සමඟිය වර්ධනයට කතා කරනවා; මිහිරි වචන කතා කරනවා. සති සම්පන්නව සිහියෙන් කතා කරනවා; සද්ධාවෙන්, සිහි කල්පනාවෙන් කල්පනා කර, හරිද වැරදිද කියලා අවධානයෙන් කතා කරනවා.

මනසින් සුචරිතයේ යෙදෙනවා කියන්නේ තමන් ළඟ තියන ලෝභය දුරු කරගැනීමට නිතර පරිත්‍යගශීලි වනවා; ව්‍යාපාදය දුරු කරන්න -එනම්: තරහව පාලනය කරන්න- ඉවසීමෙන් යුතුව කටයුතු කරනවා. සම්මාදිට්ඨික වීමත් තවත් කාරණාවක්. එනම්: පින් පවු, හොඳ නරක, කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ වැටහීමයි. එපමණක් නොවෙයි. ගැඹුරු දහම් කරුණු ඉගෙනගන්නවා. සමථ භාවනාවක් පුරුදු පුහුණු කරනවා.

එය 'සමථ භාවනා සම්මාදිට්ටිය' කියලා හඳුන්වනවා. විදර්ශනාවත් උගෙන විදර්ශනා භාවනාව පුරුදු කරනවා. විදර්ශනා භාවනාව පිළිබඳ අවබෝධය 'විදර්ශනා සම්මා දිට්ඨිය' කියලා සඳහන් ව‍නවා.

මේ ආකාරයට දුප්පත්ව උපදින කෙනෙක් නම් ඒ තැනැත්තා මරණින් මතු දෙවියන් සම මිනිසුන් අතර උපදිනවා. ඒ නිසා තමයි 'තමෝ ජෝති පරායනෝ' කියන්නේ.

'ජෝති තම පරායනෝ' කියන්නේ අලෝකයෙන් අඳුරට යෑමයි. පෙර සංසාරයේ පින් බලයෙන් යම් කෙනකු ධන බ‍ලයෙන් ආඪ්‍යව උපත ලබනවා.

ඒ තැනැත්තාට තමන් කැමැති දේ ආහාර ‍පාන ඇඳුම් පැලඳුම්, යාන වාහන ආදි ජීවත් වීමට අත්‍යවශ්‍ය දේවල් ජීවිතේට ලැබෙනවා. ඒත් ඒ තැනැත්තා කල්පනා ‍කරන්නේ නැහැ මම පෙර සංසාරේ කළ පින් බලයෙන් මට මේ දේවල් ලැබුණා‍ කියලා. ඒ නිසා පින් කළ යුතුයි කියලා කල්පනා කරන්නේ නැතුව, ඒ ලැබුණ ධනය උපයෝගි කරගෙන කයින් මනසින් වචනයෙන් පව් කරනවා. මේ ආකාරයට පව් කරලා නිරයේ උපදිනවා. එසේ නැති නම් ප්‍රේතලෝකයේ උපදිනවා; ආලෝකයෙන් අඳුරට යනවා කියන්නේ ඒ නිසයි.

අනෙක් පුද්ගලයාම තමයි 'ජෝති ‍ජෝති පරායනෝ'. එනම්: අලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා‍. ඒ කියන්නේ පෙර සංසාරයේ කරන ලද පිනක් නිසා ඉතා සැප බහුල වාසනාවන්ත ධනවත් පවුලක උපදිනවා. ජීවත් වීමට අත්‍යවශ්‍ය සියල්ල ලබනවා. ඒ තැනැත්තා කල්පනා කරනවා මේ සියල්ල පෙර පිනට ලැබුණ සැප සම්පත්, මේ පින් කෙළවර වුව හොත් මරණින් මතුව මේ උපදින ආත්ම භවයන්හිදී මේ සැපවත් ජීවිතය නැති වී යන්න පුළුවන්, මතු උපදින ජීවිතවලදී මෙවැනි සැප නැතිව දිළිදුව ජීවත් වීමට සිදු වේවි, එසේ නම් මම මේ භවයේදී සිතින් කයින් වචනයෙන් පින් කළයුතුයි කියලා සිතනවා‍. එසේ අවබෝධ කරගෙන පින් දහම්වල නිරත වී මරණින් මතු දෙවියන් අතර ඉපදිය යුතුයි කියලා සිතනවා. මේ අයට කියන්නේ 'ජෝති ‍ජෝති පරායනෝ' කියලයි.

මේ අනුව පෝසත් වෙලා ඉපදීමත්, දුප්පත් වෙලා ඉපදීමත් අප විසින් පෙර කරන ලද කුසල අකුසල කර්ම මතයි සිදු වන්නේ. ඒ පිළිබඳ අප හිතට ගත යුතුයි. දුප්පත් වීම හෝ පෝසත් වීම හෝ ප්‍රශ්නයක් ‍නොවෙයි. දුප්පත් වූ ‍පුද්ගලයා කරන ක්‍රියා මතයි ඉදිරිය තීරණය වන්නේ. ඒ නිසා ඔබ දැනට ජීවත් වන්නේ දුක සේ නම් මතු උපදින ආත්මහ භවවලදී සැප විඳින ආකාරයට ක්‍රියා කරනෙමි කියා ඔබ නුවණින් කල්පනා කර බැලිය යුතුයි.

ඒ අනුව: උපදින ජීවිතවලදි නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපායට පත් නොවන ආකාරයට අංග සම්පූර්ණ ජීවිතයක් ලැබෙන ආකාරයට තමන්ගේ සිත තුළ කුසල සිතිවිලි අනිවාර්යෙන්ම ඇති කරගත යුතුය යන්න මේ සූත්‍රයෙන් අප උගත යුතු ප්‍රධාන පාඩමක් වෙනවා.

ලොවුතුරු බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ ‍ගෝපිකා කියලා කාන්තාවක් සිටියා. ඇය බුදු රජාණන් වහන්සේගේ ඥාතිත්වයක් ඇති තැනැත්තියක්. ස්ත්‍රිත්වය පිළිබඳව කලකිරී සිටි මේ කාන්තාව කල්පනා කළා ස්ත්‍රී ආත්ම භවයේදීම ලොවුතුරා බුද්ධ රාජ්‍යට ඇතුළු වීමට හැකිද කියා. එසේ ස්ත්‍රි ආත්ම භාවයක් තුළ පසේ බුද්ධ රාජ්‍යයටවත් පත්වෙන්න බැහැ. ස්ත්‍රි ආත්ම භාවයෙන් අත්මිදෙන්නේ නැතිව බ්‍රහ්ම ලෝකයක උපත ලබන්නට හෝ නොහැකියි‍. ස්ත්‍රියක් සක්විති රජකෙනකු බවට පත් වන්නේ නැහැ. ස්ත්‍රී භාවය කෙරෙහි කලකිරිලා මේ ස්ත්‍රි ආත්මභාවයෙන් අත්මිදීමට විහාරස්ථානයක් සකස් කර බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කළා. මරණින් මතු මහානුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයකු වෙලා උපත ලැබුවා.

ඕනෑම කෙනකුට මේ ආත්ම භවයේදි සැප සම්පත් ලැබිය නොහැකි නම් ඊළඟ ආත්ම භවයෙදි ලබාගැනීමට සුදුසු වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වැඩපිළිවෙළ කුමක්ද කියලා ධර්මය දන්න අයගෙන් අසා දැනගෙන අනුගමනය කරන්නට ඕනෑ.

අදහස්