කෙටි පාරෙන් දිව්‍ය ලෝකයට යන්න ලක්ෂ 700ක් එකට නාන පූජනීය මංගල්‍යය | සිළුමිණ

කෙටි පාරෙන් දිව්‍ය ලෝකයට යන්න ලක්ෂ 700ක් එකට නාන පූජනීය මංගල්‍යය

ඉන්දියාවේ ගත කළ එක් සැදෑවක මගේ අසල් වැසි මංජරි ගුප්තා මගේ ආ ගිය තැන් ගැන අසමින් සිටියාහ. ඒ සියල්ල අවධානයෙන් අසා සිටි ඇය අවසන ඔයා “කුම්භමේලාවට” යන්න කැමති නැද්ද? යැයි ඇසුවේ තවත් ගමනකට මගේ හිත නතු කරමිනි. ඒ කතාව අවසන් වූයේ මංජරී හා ඇගේ නෑ පරපුර යන්නට යෙදුණු “කුම්භමේලාව” සඳහා මාද ඈඳාගනිමිනි.

ඉන්දියානු සංස්කෘතියට ලොල් වැඩු මගේ හිත කුම්භමේලාව දැකබලාගන්නට පෙරුම් පුරන්නට විය. එවර කුම්භමේලාව පැවැත්වුණේ උජ්ජේනියේය. එනම් ෂිප්රා ගංගාවේ එක් ඉවුරකය. මයිසුර් දුම්රිය පොළින් උදෑසන දහයයි විස්සට ජයිපූර් එක්ස්ප්‍රස් දුම්රියට ගොඩවූ අපි දවසකුත් පැය එකොළහක් ගතකොට උජ්ජේනි දුම්රියපොළින් බැසගතිමු.

මම මුල් වරට නිඝණ්ඨයන් දුටුවේ මෙහිදීය කුම්භමේලා භූමිය පුරා බලන බලන අත දැකිය හැකි වූවේ තැඹිලි පැහැ රෙදි ඇදි කොණ්ඩා රැවුල් වැවූ පුජකයෝය. සන්නාසියෝය. එසේම ඇඟේ නූල් පොටක් නැති නිගණ්ඨයෝය.

ඉන්දියානුවන්ට එහි අමුත්තක් නොතිබුණද අප වැනි විදේශිකයන්ට හේ දෑස්වලට මෙන්ම කැමරා කාචයන්ට කුතුහලය උතුරා ගිය දසුන් විය. මංජරීගේ සහෝදරයා ඉන්දීය පොලිසියේ (කර්ණාටක ප්‍රාන්ත) ඉහළ නිලධාරියෙකු වීම හේතුකොටගෙන විශේෂ වරප්‍රසාද ලබා ගන්නටද හැකිවිය.

කුම්භමේලාවට පැමිණ සිටි ගිහි පැවිදි ,කාන්තා පිරිමි බාල වැඩි මහලු , දෙස් විදෙස් සියලු දෙනා එහි රොද බැඳ සිටියහ. අලි, ඇතුන්, අශ්වයන් පිට නැගුණු සාධු වරුන්, නිගණ්ඨයෝ මෙන්ම සැරසූ වාහනවල නැඟුණු සාධුවරුන්, ජෛන නිගණ්ඨයෝද වූහ. මල් ගැසූ රථ මෙන්ම බෙර ගසමින්, හක්ගෙඩි පිඹිමින්, විශාල කොඩි දැරූ මිනිසුන්ද වුහ. අපේ ඇස් ඒ සියල්ලම සටහන් කර ගනිමින් උන්නේ ඇස් පිල්ලමක් වත් ගසන්නට ලෝභකමිනි.

කුම්භමේලාව යනු ඉතා පැරණි පුජනීය උත්සවයකි. ඉතා සරලව හඳුන්වා දීම නම් “කුම්භමේලා” යනු ලොව වැඩිම පිරිසක් එක්රැස්වී පවත්වන පූජනීය උත්සවයයි.. මිලියන හැත්තෑවක් පමණ දෙනා සෑම කුම්භමේලාවකටම අවම වශයෙන් සහභාගී වෙති.

කුම්භමේලා සැණකෙළියේ ඉතිහාසය දහ අටවන ශතවර්ෂය දක්වා දිවෙන්නෙකි. එම උත්සවය ඉන්දියාවේ පහළ වූ “ශිලා බිත්‍ය” නම් වූ රජු දවස ආරම්භ වූ බවට විශ්වාසයක් වේ. චීන දේශාටකයකු වූ හියුං සෑං හිමියන්ගේ දේශාටන වාර්තාවලද එවැනි උත්සවයක් පිළිබඳ වාර්තා වේ.

අද වන විට යුනෙස්කෝව මගින් කුම්භමේලාව ලෝක උරුමයක් ලෙස නම් කොට ඇත.

“කුම්භමේලාව” යන වචන‍ය සරලව ගෙන බලන විට කුම්භ යනු කළයයි මේලා යනු උත්සවයයි. මෙහිදි ජලය මූලික කොට පැවැත්වෙන උත්සවයක් හේතුවෙන් එම නම ඉතිහාස‍යේ පටන් ව්‍යවහාර වන්නට ඇත. ප්‍රධාන වශයෙන් කුඩා කළ භාවනා කරමින් ස්නානය කිරීමේ චාරිත්‍රය ඊ‍ට බලපාන්නට ඇත. මුළු ලෝකයම පුදුම කරවන්නා වූ කුම්භමේලා උත්සවය වර්ග තුනකි. පළමු වැන්න මහා කුම්භමේලාවයි. එය අවුරුදු එකසීය හතළිස් හතරකට වරක් උදාවන සුබ නැකැත් දිනයන්හිදී පැවැත්වේ. 2013 වසරේදී අවසාන මහා කුම්භමේලාව උදාවූ අතර එය අලහබාද්හි ප්‍රයාග්‍රාජ්හිදී පැවැත්විණි.

දෙවැනි වර්ගය පූර්ණ කුම්භමේලාවයි. එය අවුරුදු දොළහකට වරක් පැවැත්වේ. තෙවැනි වර්ගය නම් අර්ධ කුම්භමේලාවයි. එය වාර්ෂිකව පැවැත්වේ.

කුම්භමේලා උත්සවය පැවැත්වෙන්නේ සුවිශේෂි ස්ථාන හතරකය. එක් වසරකට එක් ස්ථානයක පමණක් පැවැත්වෙන කුම්භමේලාව දෙවියන්ගේ උත්සවයක් ලෙස හින්දු ජනයා විශ්වාස කරති. මෙම ස්ථාන හතර නම් අලහබාද්හි ප්‍රයාග්රාජ්, හරිද්වාර්, නාසික් හා උජ්ජේනි යන ස්ථාන හතරයි. මෙම ස්ථාන හතරම ගංගා කීපයක ඉවුරුවල පිහිටා ඇත. විශ්වාසයේ එන පරිදි විෂ්ණු දෙවියන් අමෘතය බින්දු හතරක් එම ස්ථාන හතරට හලා ඇත. එම නිසා කුම්භමේලාවන්ට සහභාගී වීමෙන්, දෙවියන්ට ළං විය හැකි බව විශ්වාස කරයි.

ප්‍රයාග්‍රාජ් හිදි ගංගා, යමුනා හා පුජනීයත්වයෙ විශ්වාසයක් වන සරස්වති යන ගංගා ත්‍රිත්වය එකට හමුවේ. එය “ත්‍රිවේණි සංගම්” ලෙස හඳුන්වයි. ඉන්දියාවේ ප්‍රධානතම ෙජ්‍යා්තිෂ ලිත වන ‘වික්‍රම් සම්වත්’ නම් ලිතට අනුව උදා වන ග්‍රහමාරු විමසා එම සුබ දින නම් කරනු ලබයි. කුම්භමේලාව සැමරීමට කොපමණ දුර ගෙවා හෝ සියලු සන්නාසිය, සාධුවරුම මෙන්ම නිගණ්ඨ පිරිස්ද පැමිණෙති ඔවුහු බෙර වයමින්, සාජන් ගායනා, ස්තෝත්‍ර කියමින් විවිධ පුද පුජා කරමින් උත්සවයට එක් වෙති. කුම්භමේලා උත්සවයට සහභාගී වීම භාග්‍යයක් ලෙස සලකන්නට ඔවුහු හුරු වී සිටිති. ඊට හේතුව ඉන්දියාවේ සිටීයැයි විශ්වාස කරනු ලබන අවුරුදු සිය ගණනක් වයසැති මුනිවරයෙකි. “බාබාජී” නමින් හැඳින්වෙන එම මුනිවරයා භාවනා කරමින් දීර්ඝායුෂ විඳින බවට විශ්වාස කරයි. “බාබාජී” මුනිවරයා කොපමණ කල් ගියද වයසට නොයන තරුණ පෙනුමකින් යුත්ත වූවකු ලෙස සැලකේ. දෙවියන්ගේ අවතාරයක් ලෙස එම මුනිවරයා පිළිබඳ භක්තිමත් වන හින්දු ආගමිකයෝ කුම්භමේලාවෙදී තමන්ට මුනිවර බාබාජී මුණ ගැසෙනු ඇතැයි බලාපොරොත්තු වෙති. බාබාජීතුමා සිල්වතුන් හමුවී කතා කරන බවත්, කිසිවෙකුට ඔහු හඳුනාගත නොහැකි බවටද විශ්වාසයක් වේ. ඒ නිසා කුම්භමේලාව ඔවුන්ට වටිනාම උත්සවයකි. සෘග් වේදයේ සඳහන් වන්නේ එලෙස ගංගාව එක්වන ස්ථානයන්හි ස්නානය කිරීමෙන් දිව්‍යලෝකයට ළඟා වීම ඉක්මන් බව බවයි. කුම්භමේලාවට සහභාගී වන ඇතැමුන් විවිධ කලබලකාරි වාතාවරණ හේතුකොට ගෙන ජීවිතය පූජා කරන අවස්ථාද නැතුවා නොවේ. 1820 වසරේදී හරිද්වාර්හි පැවති කුම්භමේලාවක සිදු වූ කලබලකාරී තත්ත්වයකින් 485 දෙනකු මිය ගිය අතර 1954 වසරේදී 800 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. විවිධ ධර්ම සාකච්ඡා, ගීත ගායනා, ආලෝක පුජ, දන්සල් ආදී විශේෂ කටයුතු මෙන්ම ප්‍රධානම පූජාව වන ස්නානය කිරීමද සිදුවන්නේ ඉතා බැතිබරවය.

මීට වසර දෙකකට ඉහත මා දුටු කුම්භමේලාව අදටද මගේ මතකය පුරා වැඩි ඉඩක් අවුරාගෙන ඇත. ඒ මතකය අලුත් වූවේ මේ වසරේ පැවැත්වීමට නියමිත කුම්භමේලාව පිළිබඳ ලැබෙන ප්‍රවෘත්ති ඇසීමෙනි. උතුරු ඉන්දිය රජය විසින් ඉන්දියා රුපියල් මිලියන 42,000 ක වියදමින් කුම්භමේලා සැණකෙළිය පැවැත්වීමට කටයුතු සකසමින් සිටී. ඒ අනුව උතුරු ඉන්දියාවේ අලහබාද්හි ප්‍රයග්‍රාජ් හි ත්‍රිවේතී සංගම්හි කුම්භමේලාව පැවැත්වෙනු ඇත. දසදෙසින් පැමිණෙන මහ ජනයා වෙනුවෙන් හෙක්ටයාර් 2500 ක වපසරියකින් යුතු නගරයක් ඉදිවෙමින් ඇත. එම නගරයේ ඇති සියලු ගොඩනැගිලි වර්ණවත්ව ඉන්නේ මෙවර කුම්භමේලාව උදාවන තුරුය.

උත්සවය වෙනුවෙන් තාවකාලික වැසිකිළි 122,000න් මෙන්ම අනෙකුත් නේවාසික ගොඩනැගිලි ද සකස් කොට ඇත. මේ බිමට ඇදී එන ලක්ෂ ගණන් බැතිමතුන් උදෙසා විශේෂ දුම්රිය 800 ක් හා විශේෂ ගුවන් ගමන් වාරද සකසා ඇත.

ලෝකයේ වැඩිම පිරිසක් සහභාගී වන කුම්භමේලාව උදෙසා මෙවර ඉදිකරනු ලබන තාවකාලික නගරය ලෝකයේ විශාලතම තාවකාලික නගරය ලෙස ද වාර්තාගත වනු ඇත.

පූජනීය ගංගාවන්ගේ පූජනීය ජලය ස්නානය පෙරදැරි කරගත් කුම්භමේලාව නම් මහා සැණකෙළිය මේ ජීවිත කාලය පුරා එකවරක් හෝ දැකබලා ගත යුතුම වුවකැයි යන හැඟීම සඟවාගත හැකි නොවේ.

අදහස්