ගින්නෙන් උපන් මනුස්සකම | සිළුමිණ

ගින්නෙන් උපන් මනුස්සකම

ඡායාරූප-රුවන් මීගම්මන

මහනුවර නගර මධ්‍යයේ ඇති වූ ගින්න නිවී ගොස්ය. එහෙත් ඉන් කම්පනය තවමත් අප තිගස්වයි. ඒ ගින්න අඹුසැමි ආදරයත් පීතෘ සෙනෙහසත් පිළිබඳ කතා බහක් සමාජය තුළ ඇති කළේය. ඒ සංවාදය තවමත් මැකී ගොස් නැත. ගින්නෙහි උණුසුමට වඩා රාමරාජ් තම දරු තිදෙනා හා බිරිය ගින්නෙන් බේරාගැනීම සඳහා කළ වික්‍රමය තුළ ගැබ්ව තිබූ උණුසුම ජනතාවගේ හදවත්වලට තදින් කාවැදී තිබිණි.

සිද්ධියේ දර්ශන මාධ්‍යය මඟින් දුටු පිරිස් එම ස්ථානයට පැමිණ ගිනිගත් ගොඩනැගිල්ලේ අඩි පනහකට වඩා උසකින් වූ ඉහළම මහල දෙස බලා දිගු සුසුම් හෙළන්නේ මෙතරම් උසක සිට පහළට ඇද වැටී රාමරාජ් පවුල දිවි බේරාගැනීම පුදුමයට කරුණක් නිසාය. රාමරාජ්ගේ ධෛර්යත් ඔහුගේ බිරිය හා දරුවන් පහත සිට අල්ලා ගත් පිරිස තුළ වූ මිනිස්කමත් විසින් එම පුදුමය උපද්දවා තිබිණි.

ආත්මාර්ථය පෙරදැරිව මිනිසත්කම් වළපල්ලට ඇද දමමින් දිවයන සමාජයේ දෑස් මොහොතකට විවිර කරන්නට එම සිදු වීම හේතු විය. තම දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් වුව අඩි පනහක පමණ උසක සිට පහළට තම දරුවන් අත හැරීමට පියෙකුට හැකිද? එසේ කළ හැක්කේ පහත සිට දරුවන් අල්ලාගැනීමට බලා සිටින පිරිස එය අකුරටම ඉටු කරාවි යැයි විශ්වාසයක් තිබුණ හොත් පමණි. රවිරාජ් තැබූ විශ්වාසය ඔවුහූ අකුරටම ඉටු කළහ. පහළ සිටි සිංහල, දෙමළ, මුස්ලිම් වුව මිනිසත්කමින් පොහොසත් මිනිස්සු රාමරාජ්ගේ දරුවන් අල්ලාගත්තේ ඔවුන් තමන්ගේ දරුවන් යන හැඟීමෙනි.

දිවි රැකගැනීමට වුව එතරම් උසකින් තම දරුවන් අතහැරීම පියෙකුට සිතකින් කළ හැකි ක්‍රියාවක් නොවේ. අපිව පහළට දාන්න එපා යැයි කියමින් තම දරුවන් හඬා වැලපෙද්දී රාමරාජ් ඔවුන් බිමට අතහැර අවසානයේ තම බිරියගේද දිවි බේරාගැනීමට සමත් වූයේය.

බණ්ඩාරවෙල උපත ලැබූවෙකු වන රාමරාජ් මහනුවරට පැමිණ ඇත්තේ මෙයට වසරකට පමණ ඉහත දීය. ගින්න හටගත් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ කොටසක් කුලියට ගෙන ඔහු එහි කනකර අභරණවල රන් ආලේප කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගොස් තිබේ. දරුවන් දෙදෙනෙකු බණ්ඩාරවෙල පාසලක අධ්‍යාපනය ලබන බැවින් බිරියද ඔවුන් සමඟ සිටීම නිසා රාමරාජ්ට මාසයේ වැඩි දින ගණනක් ගත කරන්නට වූයේ පවුලෙන් ඈත්වය. ව්‍යාපාරය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ භාරකරුගේ අවසරය මත පාසල් නිවාඩු කාලයේ තම බිරිය හා දරුවන් මහනුවරට කැඳවාගෙන ඇවිත් ව්‍යාපාරය කළ කාමරයට යාබද කාමරයක ඔවුන් ‍සමඟ ගත කිරීමට රාමරාජ් පියවර ගත්තේ එම කාලය තුළ හෝ පවුලක් ලෙස එකට සිටිමේ අරමුණිනි.

දරුවන් මහනුවර පාසලකට ඇතුළත් කර බිරිය හා දරුවන් සමඟ මහනුවර නිවසක් කුලියට ගෙන ජීවත් වීමේ අරමුණ ඇතිව රාමරාජ් පාසල් නිවාඩුව අවසන්ව බණ්ඩාරවෙල ගොස් යළි බිරිය හා දරුවන් සමඟ වැඩපොළ වෙත පැමිණ ඇත්තේ එය ගින්නෙන් විනාශ වූ දින අලුයමය.

බණ්ඩාරවෙල ඉඳලා ත්‍රීවිල් එකෙන් එදා අපි නුවර කඩේට අවේ පාන්දර එකට විතර. මඟදී පොඩි එවුන්ට වීල් එකේම නින්ද ගියා.අපි හතර වැනි තට්ටුවේ තියෙන වැඩපොළ ළඟ කාමරේ නිදා ගත්තේ. මහන්සියටත් එක්ක හොඳට නින්ද ගියා. ත්‍රීවිල් එක රෑ පාර අයිනේ නතර කරලා තිබුණ නිසා මම ඒක වෙන තැනක පාක් කරන්න උදේ 6.30 ට විතර නැඟිටලා ගියා. වීල් එක පාක් කරලා අපහු එනකොට තුන්වෙනි තට්ටුවේ තිබුණ බියුටි සෙන්ටර් එකේ දොර ඇරගෙන කවුදෝ ඉන්නවා දැක්කා. ඔහු සැකකටයුතු විදිහට හැසිරුණේ. මගේ මූණ දිහාවත් බැලුවේ නැහැ.හොරෙක්ද කියලා මට ටිකක් සැක හිතුණා. මම මොනවත් නොකියා උඩට ගිහින් නෝනට කිව්වා කවුදෝ පහළ බියුටි සැලූන් එකේ දොර ඇරගෙන ඉන්නවා කියලා. ඒක අයිති නෝනගේ මහත්තයාද දන්නේ නැහැ කියලා අපේ නෝනා කිව්වා. මම කෝකටත් ගොඩනැගිල්ල අයිති මහත්තයාට කෝල් එකක් දුන්නා. ඒත් මහත්තායා ආන්ස්වර් කළේ නැහැ. පහළින් එක පාරටම ශබ්ද වගයක් ඇහුණා. ඒත් එක්කම දුමක් එක්ක ගින්දර උඩට ආවා. මට මොනවද කරන්නේ කියලා හිතා ගන්න බැරිවුණා.

නිදාගෙන හිටපු ළමයි ඇහැරවා ගෙන අපි බිත්තිය පැත්තට ගියා. ගින්න එන්න එන්නම අපේ පැත්තට එන්න ගත්තා. කාමරේ පුරා දුම පිරුණා. බිල්ඩිමෙන් පිට වෙන්න තියෙන්නේ එක පඩි පෙළයි. වෙන කිසිම තැනක් නැහැ එළියට යන්න. කරන්නේ මොනවද කියලා මට හිතා ගන්න බැරිවුණා. ගින්දර සැරට ජනෙල්වල වීදුරු පුපුරන්න පටන් ගත්තා. ජනේලේ ඇරලා පල්ලෙහා බලන කොට මිනිස්සු විස්සක් විතර කෑගහනවා.

මම කිව්වා දරුවෝ තුන්දෙනා ඉන්නවා කියලා. ඔයා බය නැතුව දාන්න අපි අල්ලගන්නම් කියලා එයාලා අත් උස්සගෙන කෑ ගැහුවා. නිදාගෙන හිටපු මෙට්ටේ පහළට දාලා ඒක උඩට පනින්නම් කියලා හිතුවා. මෙට්ටේ පහළට දාද්දී ඒක මඟ හිරවුණා. මහනුවර ශික්ෂණ රෝහලේදී ශල්‍යකර්මයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි තිස් හය හැවිරිදි නාමනාදන් රාමරාජ් එක් වරම කතාව නතර කළේ ඉන් පසු සිදු වූ දේ යළි සිහිපත් කිරීම පවා බිය උපදවන සුලු නිසාය.

දිගු සුසුමක් හෙළා යළි කතාව ආරම්භ කළ රාමරාජ් සිද්ධිය මෙසේ විස්තර කළේය.

මෙට්ටෙට එළලා තිබුණු බෙඩ් ෂීට් දෙකක් මම පහළට වීසි කළා. පල්ලෙහා හිටපු අය බය නැතුව පනින්න අපි අල්ලා ගන්නම් කියනවා. ඒ අය බෙඩ් ෂීට් දිග ඇරලා අල්ලාගෙන දැන් ළමයි දාන්න කිව්වා. අනේ අප්පා අපිව පහළට දාන්න එපා කියලා දරුවෝ කෑගහනවා. මම ළඟම හිටිය අවුරුදු තුනක් වයස පුතාව අතට අරන් දෙවියන් සිහි කරලා පහළට දැම්මා. පහළ අය දරුවව අල්ලා ගත්තා. අනෙක් දරුවෝ දෙන්නා දාන්න මම දෙපාරක් හිතුවේ නැහැ. මටත් මගේ දරුවන්ටත් බිරියටත් අනතුරක් නොවුණේ පහළින් ඉඳන් අපිව අල්ලාගත් අය නිසයි. ඒ මිනිස්සු ඇත්තටම ජීවමාන දෙවිවරු මහත්තයෝ.

ගින්න ඇති වූ ගොඩනැගිල්ලේ මුහුණත පිහිටා තිබෙන්නේ යටිනුවර වීදිය දෙසටය. රාමරාජ් තම දරුවන් ගොඩනැගිල්ලේ සිවු වන මහලේ සිට පහළට දමන විට පහළ සිට එම දරුවන් අල්ලාගත් පිරිස රැඳී සිටින්නේ ගොඩනැගිල්ලේ එක් පැත්තක් යොමුව තිබෙන කාසල් වීදියේ සිටය. වසර හතළිහක පමණ කාලයක් ඒ ආසන්යේ නිවසක ජීවත් වන එස්.එස් නසීර් සිද්ධිය වූ ස්ථානයට මුලින්ම ගිය කිහිප දෙනාගෙන් කෙනෙකි.

“අපි රාමරාජ්ට කෑගහලා කිව්වා ළමයි අතඅරින්න අපි අල්ලා ගන්නම් කියලා. ඒ වෙන කොටත් මිනිස්සු විසිපස් දෙනෙකු විතර අත් උඩට උස්සගෙන ළමයි බය නැතුව දාන්න කියලා කෑගැහුවා. එයා උඩ ඉඳලා බෙඩ්ෂීට් දෙකක් පහළට දාලා ඒක අල්ලන්න කිව්වා. ඒවා දෙකට නමලා අපි හතර වටින් හැමෝම එකතු වෙලා වට්ටියක් වගේ ඇල්ලුවා. ඒ වෙලාවේ තිබ්බ හයියට බෙඩ් ෂීට් එක නොතිබුණත් අපි ළමයි අල්ලනවා මහත්තයෝ. පළමු වැනි ළමයා දැම්මට පස්සේ අපි එයාව කිසිම තුවාලයක් වෙන්න නොදී අල්ලා ගත්තා. ඊට පස්සේ ඒ මනුස්සයා අනෙක් දරුවෝ දෙන්නා බයක් සැකයක් නැතුව පහළට අතහැරියා. නෝනත් පහළට අරන් රාමරාජ් බිමට බැස්සට පස්සේ තමයි මහනුවර ගිනි නිවන හමුදාවේ කට්ටිය ආවේ. උදේ 7.00 ට විතර ගින්න ඇති වුණා. ගිනි නිවන එකට කීයට දැනුම් දුන්නද කියලා නම් මම දන්නේ නැහැ. ඒත් එයාලා අවේ සිද්ධිය වෙලා පැය භාගයට විතර පස්සෙයි“

එලෙස පවසන නසීර් සිද්ධිය වූ අවස්ථාවේ යුද හමුදාවේ හා පොලීසියේ නිලධාරීන් කළ සේවය අගය කරන්නටද අමතක නොකළේය.

ගිනි නිවන හමුදාවේ තියෙන දිග ඉණිමඟ තියෙන ලොකු වාහනය කාසල් පටු මඟට ඇතුළු කරන්න බැහැ.මොකද මේක විවෘත කරන කොට පාර හරහා දාලා තියෙන බෝඩ් එක තියෙන්නේ පහළින්.ගිනි නිවන ලොකු ලොරිය ගත්තොත් එකේ උඩ කොටස බෝඩ් එකේ වැදෙනවා. අනෙක් පැත්තෙන් මේ පටු මඟේ හරස් අතට ටෙලිකොම් වයර් දාහක් විතර ඇදලා තියෙන්නේ. ලොකු වාහනයකට යන්න බැහැ. මේ ගැන නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නත් කිසිම පියවරක් ගන්නේ නැහැ. මීට කලින් කොඩුගොඩැල්ල වීදියේ නිමි ඇඳුම් ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය බිල්ඩිමක් ගිනි ගත්තා. ගින්න නිවන්න කාසල් පටුමඟේ ගිනි නිවන ලොකු ලොරියට එන්න බැරි වුණා. අපි එදත් කිව්වා මේකට පියවරක් ගන්න කියලා. කවුරුත් ගන්න ගත්තේ නැහැ. නුවර ප්‍රධාන වීදි එකතු වෙන හරස් පටු මාර්ග වල කඩ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒවායේ ගින්නක් ඇති වුණොත් බාල්දිවලින් තමයි වතුර ගහන්න වෙන්නේ“නසීර් පවසන්නේ ආවේගයෙනි.

“මහනුවර අනවසර ඉදිකිරීම් රැසක් තිබෙනවා. මේ සියල්ලට ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහාය ලැබෙනවා. මේ ගින්න ඇති වූ ගොඩනැගිල්ල වගේ අනාරක්ෂිත ගොඩනැගිලි තවත් රැසක් මහනුවර තිබෙනවා. නගර සභාවෙන් හෝ නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමත කරන සැලසුමට නොවෙයි ඉදිකිරීම් සිදු කෙරෙන්නේ. සැලසුමට අනුව ඉදිකිරීම් කළාද කියලා සොයා බලන්න වැඩපිළිවෙළක් නැහැ. සැලසුමක් අනුමත කර ගන්නේ නමට විතරයි. වැඩේ කෙරෙන්නේ ව්‍යාපාරිකයාට ඕන විදිහටයි. සේවකයන් සිය ගණන් වැඩ කරන ව්‍යාපාරික ගොඩනැගිලි රැසක් නුවර තියෙනවා. මේවා බොහොමයක හදිසි අවස්ථාවකදී පිට වෙනන් විකල්ප මාර්ග නැහැ. ගිනි ආරක්ෂණ උපකරණයක්වත් මේ ගොඩනැගිලි වල තියෙනවාද කියලා බදු අය කරන නගර සභාව සොයා බලන්නේ නැහැ. මේ වගේ විපතක් වුණාම හැමෝම ඒක ගැන කතා කරලා ටික දවසකින් ඔක්කොම අමතක කරලා දානවා“ පොදු දේපොළ සුරැකීමේ සංවිධානයේ සභාපති අනුර කුමාර ගෝනවල මහතා පවසයි.

මෙම ගින්නත් සමඟ බොහෝ පිරිස් නාගරික ගිනි නිවීම් ඒකකයටත් මහනුවර නගර සභාවටත් ඇඟල්ල දිගු කරන්නට පටන්ගෙන තිබේ. එම චෝදනා සම්බන්ධයෙන් මහනුවර පුරපති කේසර සේනානායක මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

“මේ බිල්ඩින් ගොඩක් ඉස්සර හදපු ඒවා. මේ ගොඩක් බිල්ඩින්වල ඇතුළ ඒ අයිතිකාරයන් නගර සභාවට නොදන්වා හිතුමතේ වෙනස් කරනවා. මේ සිද්ධියවූ ගොඩනැගිල්ලේ ඉහළම කොටසේ පවුලක් ජීවත්ව ඉඳලා තියෙන බව අපි දැනගත්තේ මේ ගින්නත් එක්කයි. ව්‍යාපාරික ස්ථානවල මේ විදිහට පවුල් පිටින් ජීවත් වෙන්න අවසර නැහැ. අද නගරයේ පර්ච් එකක මිල ඉතා ඉහළයි. එක බිම් අඟලක් ඉතුරු නොකර කඩ හදලා තියෙන්නේ. එකින් එකට බද්ධ කරලයි. එකක ගින්නක් ඇති වුණොත් ඔක්කොම විනාශයි. අලුතින් කෙරෙන ඉදිකිරීම්වලට අපි අනුමැතිය දෙන්නේ ආරක්ෂාව ඇතුළු සියලු කරුණු සම්පූර්ණ කළොත් පමණයි.

අපේ ගිනි නිවීම් ඒකකයට විශාල සේවක හිඟයක් තියෙනවා. දැන් ඉන්නේ හරියටම අවශ්‍ය සේවක පිරිසෙන් හරි අඩයි. පළාත් පාලන අමාත්‍යාංශයෙන් අවස්ථා කිහිපයකදී නව බඳවාගැනීම්වලට ඉල්ලීම් කළත් ඒකට අවසර ලැබුණේ නැහැ. දැනට විලියම් ගොපල්ව මාවතේ පවත්වා ගෙන යන ගිනි නිවීම් ඒකකය මහනුවර නගර මධ්‍යයට ඉතා ඉක්මනින් ගෙන එනවා. මේ සිද්ධියේදී ගිනි නිවීම් ඒකකය නිසි ලෙස ක්‍රියාත්මක වෙලා තිබෙනවා. පාසල් දිනයක් නිසා විලියම් ගොපල්ලව මාවතේ උදේට අධික වාහන තදබදයක් තිබෙනව. අපි චෝදනා කරන්න කලින් මේවා ගැනත් හිතන්න ඕන.

එම ගොඩනැගිල්ලේ ව්‍යාපාර පවත්වාගෙන ගිය බොහෝ දෙනෙකු අත පත්ව සිටින්නේ අසරණ තත්ත්වටයට. ඇතමුන් දුක් මහන්සියෙන් ජීවිත කාලය පුරා උපයාගත් දේ ගින්නෙන් විනාශ වී ගොස් තිබේ. එහි තෙවන මහලේ මංගල ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය රංගිකා විජේරත්න මෙසේ ප්‍රකාශ කළාය

මගේ අම්මා අවුරුදු විස්සක් විතර මේ ගොඩනැගිල්ලේ ව්‍යාපාරය පවත්වා ගෙන යනවා. මුලින් ගින්න ඇති වෙන්න ඇති කියලා හිතන බියුටි සෙන්ටර් එකට අල්ලලා තමයි මගේ කඩේ තියෙන්නේ. කඩේ තිබුණු මැෂින්, මංගල සාරි ඇතුළු ඔක්කොම විනාශ වෙලා. මොකද කරන්නේ කියලා හිතා ගන්න බැහැ. අපි රජයට බරක් නොවී අපේ හයියෙන් ජීවත් වෙන මිනිස්සු. රජය මේ ගැන අවධානය යොමු කරලා අපිට සහනයක් දෙනවා නම් ලොකු දෙයක්.

මායි අයියයි නිවුන්නු. සිද්ධිය දැනගත් වෙලාවේ අපි බණ්ඩාරවෙල ඉඳලා ආවා. මගෙයි නෝනගෙයි ඇඳුම් අරන් අයියටයි අක්කටයි දුන්නා. රුවෝ නුවර ඉස්කෝලේට දාන්න බණ්ඩාරවෙල පාසලෙන් ගත්ත ලියකියවිලි තියෙන ෆයිල් එක අක්කා ගින්න වෙලාවේ පහළට දාලා තියෙනවා. නුවර පෝස්ට් ඔෆිස් එකට ඒක කෙනෙක් බාරදීලා අද මට ගෙනත් දුන්නා. නුවර අපි කවදාවත් නොදැකපු අපි නොදන්න අය තමයි මේ වෙලාවේ ඇවිත් අයියගේ දරු පවුල බේරා ගත්තේ. ඒකට අපි හැමදාම ඒ අයට ණය ගැතියි.“ලක්ෂ්මන් කාන්තන් පවසයි.

තම බිරිය බේරාගැනීම සඳහා සිවුවන මහළේ ජනේලයෙන් පිටතට පැමිණ පහළින්වූ වීදුරුවලට පාදයෙන් පහර දීමේදී රාමරාජ්ගේ පාදයකට තුවාල සිදුව තිබිණි. එම පාදයේ ඇනී තිබී මහනුවර රෝහලේදී විදුරු කැබලි කිහිපයක් සැත්කම් මඟින් ඉවත් කරනු ලැබීය. ඔහු බිරිය හා දරුවන් සමඟ ඉකුත් 10 දා රෝහලින් පිටව ගියේය. රාමරාජ් ගින්නෙන් උපන් වීරයෙකු වුවත් ගින්න ඔහුගේ ආර්ථික සම්පත් සියල්ල විනාශ කර තිබිණි. අද ඔහුටත් බිරියට හා දරුවන්ටත් ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණි. එසේ වුවත් ගින්න විසින් තංගවේල් රාධිකාටත් ඇගේ දරු තිදෙනාටත් පණටත් වඩා ආදරය කරන පුද්ගලයෙකු සිටින බව පසක් කරදී තිබේ. ඒ ආදරයෙන් උපදින ශක්තිය ඉදිරියේදී ඔවුන්ට බොහෝ සැප සම්පත් ළඟා කර දීමට තරම් බලවත් වනු නොඅනුමානය.

එම ගින්න කිසිවෙකු විසින් හිතාමතා ඇති කළ එකක් බව රමරාජ්ගේ ප්‍රකාශයෙන් පෙනීයන බව පවසන පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. රජයේ රස පරීක්ෂක වාර්තා ලැබුණු පසු ඒ පිළිබඳ සියලු කරුණු තව නොබෝ දිනකින් හෙළි වනු ඇත.

ඉන්ද්‍රානි තෝරදෙණිය

අදහස්