ජාතික උරුමය වෙනුවෙන් කැප වූ මහාචාර්ය අබය ආර්යසිංහ | සිළුමිණ

ජාතික උරුමය වෙනුවෙන් කැප වූ මහාචාර්ය අබය ආර්යසිංහ

 මාදුරුඔය ජලාශය ආශ්‍රිතව පැරැණි බැම්මක් සහ බිසෝ කොටුවක් කැණීම්වලදී මතු කරගත් අවස්ථාවේ එය කවර කලෙක කවුරුන් විසින් කරවන ලද්දක් දැයි නිර්ණය කරගෙන තිබුණේ නැත. එතෙක් ‘මදුරුඔය’ යනුවෙන් භාවිත කරමින් තිබූ නාමය ‘මාදුරුඔය’ යනුවෙන් නිවැරැදිව හඳුන්වා දුන්නේ මහාචාර්ය අබය ආර්යසිංහයන් විසිනි. දකුණේ යටාල දාගැබ යන ප්‍රවාදයේ ඇති යටාලදාගැබ නොව දන්ත ධාතුවක් තැන්පත් කර ඇති දාගැබක් බව සෙල්ලිපි ආශ්‍රයෙන් පහදා දුන්නේ ද එතුමා විසිනි.

මහාචාර්ය අබය ආර්යසිංහයන් මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ ඉතා සමීප ශිෂ්‍යයෙකු ලෙසින් පුරාවිද්‍යා විෂය හැදෑරීමේ වරම ලබාගත්තේ ය.‍ සිංහල පාලි හා සංස්කෘත පිළිබඳ ගෞරව උපාධි ලැබ පුරාවිද්‍යා විෂයයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. ප්‍රාග් ඉතිහාසය නාණක විද්‍යාව (පුරාණකාසි පිළිබඳ) අභිලේඛන හා වාස්තු විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෙනරත් පරණවිතාන පාද මූලයෙහි සිට උගත් අබය ආර්යසිංහ විද්වතා විසින් සිංහල අක්ෂර රූප පරිණාමය ගැන ලියූ පර්යේෂණ ග්‍රන්ථයට ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (පී.එච්.ඩී‍.) ආචාර්ය උපාධිය පිරිනැමුණි.

ශ්‍රී ජයවර්ධනපුර (එවක විද්‍යෝදය) හා කැලණි (එවක විද්‍යාලංකාර) යන විශ්වවිද්‍යාලයන්හි පුරාවිද්‍යා අංශ පිහිටුවා එහි ආරම්භක අංශාධිපති වූයේ අබය ආර්යසිංහ මහතා ය. ඒ විද්‍යාර්ථය කැලණි විශ්වවිද්‍යාලයේ එවක මණ්ඩපාධිපති (උපකුලපති) ධූරය ද දැරීය. ජපන් පදනමට අයත් අධිශිෂ්‍යත්වයක් ලැබ ජපානයට ගොස් පුරාවිද්‍යාව පිළිබඳ නවීන පර්යේෂණ ක්‍රම පිළිබඳ හදාළ අප රටේ සිටින එවන් පුහුණුවක් ලද එකල සිටි එකම පුරාවිද්‍යාඥයා ඔහු ය. (අසෝක ධම්මලිපි - මහාචාර්ය අබය ආර්යසිංහ - සංඥාපනය - මහාචාර්ය ඇම්.බී. ආරියපාල 2002)

බෙම්මුල්ල ග්‍රාමයේ උපන් මහාචාර්ය අබය ආර්යසිංහ පාලි, සංස්කෘත මෙන් ම ඉංග්‍රීසි භාෂාව ද හදාළ පඬිවරයෙකි. අවුකන බුදුපිළිමයට ඉහළින් සාදන ලද ආවරණයට එරෙහිව පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ එකම විද්වතා වූයේ මහාචාර්ය අබය ආර්යසිංහ ඇදුරිඳු ය. කුඩා ග්‍රන්ථයක් ද සම්පාදනය කරමින් එහි මෙසේ සඳහන් කළේය.

“විද්‍යාත්මක අදහස්වලට පිටුපා අවුකන බුදුපිළිමය සඳහා සාදා ඇති ගඩොල් පියස්සෙන් වතුර කාන්දු වී යයි. එය දිරාපත්වී යෑම හඟවන පෙර නිමිත්තකි. එසේ නම් ටොන් ගණනක් බර පියැස්ස කවර මොහොතක හෝ කඩා වැටී බුදුපිළිමය විනාශ වනු ඇත. චිරාත් කාලයක් පැවැති මේ අමිල බුදුපිළිමය තවත් එබඳු කාලයක් පවතින්නට නම් අවිද්‍යාත්මකව අවිචාරවත්ව බැඳි ඒ ගඩොල් පියැස්ස වහාම ඉවත් කළ යුතු ය.

(අවුකන බුදුපිළිමය හා මිසදිටු අගුව - මහාචාර්ය අබය ආර්යසිංහ - පි. 10 – 1996)

වෙනත් කිසිවෙකු විසින් නොදකින පැත්තක් ගැන ජාතික උරුමය මතු නොව අනෙකුත් සමාජ ප්‍රශ්න ගැන වෙනත් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු නොලියන අන්දමින් ඒ ප්‍රශ්න විග්‍රහ කර ලිවීමේ සහජ හැකියාවක් අප ඇදුරුතුමන්ගෙන් මම දකිමි. පුවත්පත්වලට විශේෂයෙන් ජාතික උරුමය පිළිබඳ ලියන ලද ලිපි ලේඛන දහස් ගණනකි. එම ලිපි රැසක් එකතු කර සංස්ක‍‍ෘතික විචාර යනුවෙන් ලියා පළ කළ ග්‍රන්ථය එවැන්නකි. එතුමා විසින් ලියා පළ කරන ලද ග්‍රන්ථ රැසකි.

එසඳ මාදුරුඔය, උතුරේ ආර්ය රාජ්‍යය, සකල සිංහල චක්‍රවර්ති, පාණදුරාවාදය, අසෝක ධම්ම ලිපි, ලංකාවේ රජ සිරිත් සහ ලෝක චාරිත්‍ර - ජපන් සදූපදේශ සරණිය සහ ඉංග්‍රීසි භාෂාවෙන් ද ග්‍රන්ථ පහක් පමණ ලියා තිබේ.

පුවත්පත් මාධ්‍යවේදීන් සමඟ ඉතා සමීප සබඳතා පැවැත්වූ මහාචාර්ය අබය ආර්යසිංහ අප ඇදුරිඳු මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙන්ම කාලීන වශයෙන් සති අන්ත පුවත්පත්වල ජාතික උරුමය හා සම්බන්ධ ප්‍රශ්න නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශයට පත් කර ඇත.

විශේෂයෙන් ම උතුරු - නැගෙනහිර බෞද්ධ අයිතිය පිළිබඳ එතුමා විශේෂ අවධාන‍යක් යොමු කළේ ය.

1996 වසරේදී මහාචාර්ය අබය ආර්යසිංහ විද්වතා සහ තවත් විද්වතුන් රැසකගේ දායකත්වයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම පිහිටුවන ලදී. එහි ප්‍රථම සභාපතිවරයා වූයේ ද මහාචාර්ය අබය ආර්යසිංහ මහතාය. මහාචාර්ය අබය ආර්යසිංහ අප ඇදුරිඳු මීට වසර 10 ට ඉහතදී 2009 ජනවාරි 14 දා අභාවප්‍රාප්ත විය.

අප රටේ ජාතික උරුමය වෙනුවෙන් දිවි කැප කළ මේ මහා පඬිවරයා අප අතරින් සමුගත් නමුදු එතුමාගේ සේවාව සදාකල්හිම අප අතර පවත‍ී.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ ලේකම්
සිරිසමන් විජේතුංග

අදහස්