ජාතික තරුණ සේවා සභාවේ ස්වර්ණ ජයන්තිය | සිළුමිණ

ජාතික තරුණ සේවා සභාවේ ස්වර්ණ ජයන්තිය

ශ්‍රී ලංක‍ාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා පිහිටුවා ඇති ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන ජාතික තරුණ සේවා සභාව පිහිටුවා මේ වසරට වසර 50ක් සම්පූර්ණ වේ. මෙරට රාජ්‍ය ආයතන අතර කැපී පෙනෙන ආයතනයක් වන ජාතික තරුණසේවා සභාවේ ඉතිහාසය පිළිබඳව සිහිපත් කිරීම එහි ස්වර්ණ ජයන්තිය සමරන මේ මොහොතේ වැදගත් යැයි සිතමි.

1960 දශකය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරාම තරුණ පිබිදීමක් ඇති වූ කාල සීමාවකි. එවකට පැවැති රජය 1967 දී මෙරට තරුණ ප්‍රශ්න පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඊශ්‍රායෙල් ජාතික විශේෂඥයෙකු වූ බ්‍රිගේඩියර් අරියෙ ලෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදි. එම කමිටුව ප්‍රධාන මාතෘකා හතරක් ඔස්සේ සිය නිර්දේශ ඉදිරිපත් කළේය. ඒ අතර ඔවුන් ප්‍රධාන ලෙස අවධානය යොමු කර ඇත්තේ විධිමත් අධ්‍යාපන ධාරාවෙන් ගිලිහෙන තරුණ පෙළ ගැනය. එනම් අධ්‍යාපනය සඳහා පාසලට ඇතුළත් වන දරුවන්ගෙන් අතරමගදී ගිලිහී යන 70%ක් පමණ වූ තරුණ පෙළ ගැනය. කමිටු නිර්දේශ කර සිටියේ අපතේ යන තරුණ ශ්‍රමය ජාතික සංවර්ධන කාර්යයේ යෙදවීම සඳහා ජාතික තරුණ සංවිධානයක් පිහිටුවිය යුතු බවයි.

ඒ අනුව එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම රාජ්‍ය ඇමති ධූරය දැරූ ජේ.ආර්. ජයවර්ධන මහතා 1967 අංක 11 දරන ස්වෙච්ඡා ජාතික තරුණසේවා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ජාතික තරුණසේවා සභාව පිහිටුවන ලදි. එම පනත 1967 අප්‍රේල් 07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය ඇමතිතුමා මෙසේ ප්‍රකාශ කොට ඇත.

“ස්වේච්ඡා ජාතික තරුණ සේවා පනත ජාතික තරුණ සේවා සභාවක් පිහිටුවීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ හා ඒ හා අදාළ කටයුතු පිළිබඳවය. මේ පනතෙන් සභාව පිහිටුවීම සිදු කෙරේ.” යනුවෙන් ආරම්භ කළ දීර්ඝ කතාව අවසන් කොට ඇත්තේ “මෙම පනතේ වගන්ති පිළිබඳව විවාදයක් නොකරන ලෙස මම ඉල්ලා සිටිමි. සෑම රජයකටම වයස 14 – 21 ප්‍රමාණයේ තරුණ පෙළ ජාතික ජීවයට සම්බන්ධ කරගන්නා ආකාරය කෙසේදැයි සොයා බැලීම අවශ්‍යව තිබේ. මේ අදහස් කරන බලමණ්ඩලයේ අරමුණද එයයි. එම නිසා ගරු සාමාජිකයන් ඉදිරිපත් කරන වැදගත් සහ ප්‍රයෝජනවත් අදහස් සැලකිල්ලට භාජනය කරන අතර තරුණ සභාවට ඒ යෝජනා ගැන කල්පනා කිරීම‍ට ඉල්ලා සිටිය හැකිය. මේ මොහොතේ මෙම පනතේ මූලික අරමුණ ජාතික තරුණ සේවා සභාව ඇති කිරීමයි. මෙම පනත ඉදිරිපත් කිරීමට ලැබීම බලවත් සතුටකි.” (විසි වසරක පිය සටහන්)

මේ පනතට පක්ෂව එදා පාර්ලිමේන්තුවේදී ඡන්ද 51ක් හා විපක්ෂව 12ක් ලැබීමෙන් සභා සම්මත විය. රාජ්‍ය ඇමතිවරයා මේ පනත ඉදිරිපත් කළත් සභාව පිහිටුවන ලද්දේ රාජ්‍ය නායකයා වන අග්‍රාමාත්‍යවරයා යටතේය. මෙහි ප්‍රථම සභාපති වූයේ ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකුව සිටි මෑතක දී අභාවප්‍රාප්ත වූ ඩී.ඇම්.පී.බී. දසනායක මහතාය. සභා සාමාජිකයන් ලෙස අනෝජා ප්‍රනාන්දු මහත්මිය, ලලිත් හේවාපතිරණ, සෑම් කේ. කදිරගාමර් ලෙප්ටිනන් කර්නල් ඩී.ඇම්. අතුළත්මුදලි යන මහත්වරු පත් කරනු ලැබුහ. මෙම සාමාජිකයන්ගෙන් සැදුම් ලත් ජාතික තරුණසේවා සභාවේ ආරම්භක රැස්වීම 1968 ඔක්තෝබර් 11 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙසේ පිහිටුවනු ලැබූ සභාව ක්‍රියාත්මක දිනය ලෙස 1969 ජනවාරි 23 ලෙස එදින පළ වූ අංක 14837/6 දරන විශේෂ ගැසට් පත්‍රයේ පළ විය.

ජාතික තරුණ සේවා සභාව විසින් තරුණ ශ්‍රමය ජාතික සංවර්ධන කාර්යයේ යෙදවීම සඳහා ප්‍රථමයෙන්ම ඇරඹූ කාර්ය වූයේ ජාතික සේවා ව්‍යාපාරයයි. අදාළ ප්‍රදේශයේ තරුණ තරුණියන් ඒකරාශී කොට ජාතික සංවර්ධන කාර්යයක යෙදවීම මේ වැඩසටහනේ අරමුණ විය. දීප ව්‍යාප්ත එවැනි වැඩසටහන් මෙහෙයවිය යුතු විය. ජාතික තරුණසේවා සභාව ඉතාම සීමිත කාර්ය මණ්ඩලයකට සීමා වීම නිසා මෙවැනි පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අපහසු විය. එම නිසා ප්‍රාදේශීය උපදිසාපති කාර්යාල මගින් ඒවායේ සිටින නිලධාරීන් උපයෝගී කරගෙන ජාතික සේවා ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම ඇරඹීය. ඒ අනුව 1969 අප්‍රේල් මස දැදිගම ආසන‍ෙය් අල්ගමදී ප්‍රථම ජාතික සේවා ව්‍යාපාරය අරඹමින් වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

කෙසේ වෙතත් පුළුල් පදනමක් නැතිව එම වැඩසටහන් ඇරැඹීමට සිදු වූ නිසා 1970 පමණ වන විට මෙම වැඩසටහන් ගැන විවේචන එල්ල විය. 1970 දී බලයට පත් වූ රජය ජාතික සේවා ව්‍යාපාරවලට වඩා ආහාර නිෂ්පාදන වැඩසටහන්වලට ප්‍රමුඛතාව දුන් නිසා ජාතික තරුණසේවා සභාව මගින් සමූහ තරුණගොවි ව්‍යාපාර අරඹන ලදි. සිරිමාපුර, එරමිණියාය, වලකුඹුරුමුල්ල, සුනේත්‍රා ගොවිපළ, චන්ද්‍රිකා ගොවිපළ වැනි සමූහ ගොවිපළ අරඹන ලද්දේ මේ යටතේය. එහෙත් අවසානයේ සිදු වුයේ මෙම ව්‍යාපාර ජන වේගය නැමැති එක්තරා දේශපාලන කල්ලියක වැඩ සඳහා තරුණ තරුණියන් නැඹුරු කරන ව්‍යාපාර බවට පත්වීමයි. එම නිසා 1977 වන විට තරුණ සේවා සභාවේ කටයුතු මහජන අප්‍රසාදයට ලක් විණි.

1977 බලයට පත් රජය තරුණ සේවා සභාවේ සභාපති ලෙස චරිත රත්වත්ත මහතා පත් කොට අප්‍රසාදයට ලක්ව තිබූ ආයතනය වසා දැමීමට නිර්දේශ ඉදිරිපත් කරන ලෙස දැක්වීය. එහෙත් තරුණසේවා සභාවේ කටයුතු හා එයින් කළ හැකි මෙහෙය ගැන සලකා බැලූ චරිත රත්වත්ත මහතා එය ඇත්තටම මේ රටේ තරුණයන් වෙනුවෙන් සේවා සපයන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කළේය. ඒ යටතේ තරුණ සේවා කටයුතු සඳහා ඇති කරන ලද නව සැලසුම් නිසා ඇති වූ තරුණ ප්‍ර‍බෝධය නිසා එවකට ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතා තරුණ කටයුතු වෙනම අමාත්‍යාංශයක් යටතට පත් කළේය.

එවකට තරුණ සේවා සභාව ක්‍රියාත්මක වුයේ ජේ.ආර්. ජයවර්ධන මහතා යටතේ තිබූ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය ‍ය‍ට‍ෙත්ය. ඒ අනුව ප්‍රථම යෞවන කටයුතු හා රැකීරක්ෂා ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලදි. ඒ මහතා 1979 නොවැම්බර් 8 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද “ජාතික තරුණ සේවා පනත” යටතේ ජාතික තරුණ සේවා සභාව අධිකාරි බලතල ඇති ආයතනයක් බවට පත් කරන ලදි. 1980 ජනවාරි 1 දින සිට එය ක්‍රියාත්මක විය. අමාත්‍යාංශය පිහිටුවීමට පෙර සිටම චරිත රත්වත්ත මහතා විසින් ආරම්භ කර තිබූ තරුණ සේවා සභාවේ ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ගාමිණි අතුකෝරළ මහත්වරුන් යටතේ අමාත්‍යාංශය මගින් වේගයෙන් ක්‍රියාත්මක කරන ලදි. යොවුන්පුරය වැඩසටහන ද පසුව ක්‍රියාවට නැංවිනි. දිස්ත්‍රික් කාර්යාල හා පළාත් මට්ටමින් පළාත් කාර්යාල පිහිටුවා සභාවේ කටයුතු විමධ්‍යගත කරන ලද අතර ජාතිකසේවා, මධ්‍යස්ථාන පුහුණු, ක්ෂේත්‍ර පුහුණු, ප්‍රජාසේවා, යෞවන සමාජ, ක්‍රීඩා සමාජ, ක්‍රීඩා, සංස්කෘතික කටයුතු, විශේෂ සංස්කෘතික කණ්ඩායම්, ජාත්‍යන්තර තරුණ හුවමාරු තරුණ මාර්ගෝපදේශ, කෘෂිකර්ම කටයුතු, වෘත්තීය මාර්ගෝපදේශ, යෞවන තිළිණ, වීඩියෝ තාක්ෂණය ඇතුළු නව තාක්ෂණ පුහුණු කටයුතු, කාර්ය මණ්ඩල පුහුණු ආදී විවිධ ක්ෂේත්‍ර යටතේ සේවා ව්‍යාප්ත කරන ලදි. විශේෂයෙන් මෙකල සිදු වූ වැදගත්ම කාර්යයක් වන්නේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානය ඉදි කිරීමයි.

ජාතික තරුණ සේවා සභාව යටතේ ගොඩනඟන ලද ක්‍රීඩා පුහුණු වැඩසටහන්විලින් හා සංස්කෘතික පුහුණු වැඩසටහන්වලින් පුහුණුව ලැබූ තරුණ තරුණියන් රැසක් හමුදා තූර්ය වාදක, නැටුම් හා ක්‍රීඩා කණ්ඩායම් සඳහා බදවාගන්නා ලද නිසා විශාල තරුණ පිරිසකට රැකියා අවස්ථා උදාවිය විවිධ ආයතනවල ක්‍රීඩා කණ්ඩායම් සඳහා තරුණසේවා පුහුණුව ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල ඉල්ලුමක් ඇති විය. යෞවන සම්බන්ධතා වැඩසටහන මගින් වර්තමානයේ නාට්‍ය ක්ෂේත්‍රයේ, නිවේදක ක්ෂේත්‍රයේ, රංගන ක්ෂේත්‍රයේ, කැපී පෙනෙන කලාකරුවන් රාශියක් රටට හඳුන්වා දී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාට අධ්‍යපන අමාත්‍යාංශයක් එක් කළ නිසා තරුණ ‍කටයුතු මෙහෙයවීමේ වගකීම තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගාමිණි අතුකෝරාල මහතාට පැවරිණි. ඒ මහතා තරුණයන් අතරට යමින් තරුණ ක්‍රියාකාරිකයෙකු සේ කටයුතු කිරීම නිසා තරුණසේවා සභාවේ කටයුතු වඩාත් කාර්යක්ෂම විය. එතුමාගේ අකල් වියෝව තරුණ කටයුතු ක්ෂේත්‍රයට සිදු වූ බරපතළ හානියකි.

ජාතික සංවර්ධන සේවයේ කටයුතු නැවතී යෑම නිසා එවැනි ස්ථානගත හමුදාවක ආකාරයේ පුහුණුවක වැදගත්කම සලකා යළිත් 2001 දී යොවුන් සේනාංක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. මේ අනුව වෘත්තීය පුහුණුව සමඟම විනය ගරුක තරුණ පෙළක් බිහි කිරීම අරමුණ විය. මේ වැඩසටහන අද වන විට පුහුණු මධ්‍යස්ථාන 18 ක් ඔස්සේ ක්‍රියාත්මකය. එය සිදු කරන ලද්දේ මීට පෙර ක්‍රියාත්මක කර තිබූ “ජාතික සංවර්ධන සේවයේ” අත්දැකීම් මතය. එම ජාතික සංවර්ධන සේවය මඟින් තරුණයන් ස්ථානගත කර ගොවි හමුදාවක් ස්වරූපයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇරැඹීය.

පසු කාලයේදී මුදල් ප්‍රතිපාදන පවා හරිහැටි සභාවට නොලැබුණු නිසා එහි කටයුතුවල පසුබෑමක් දක්නට හැකි වූවත් තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ දැවැන්ත වැඩ කොටසක් කළ හැකි ආයතනයක් ලෙස ජාතික තරුණ සේවා සභාව හැඳින්විය හැකිය. 2018 දෙසැම්බර් මස සිදු වූ අමාත්‍යාංශ ප්‍රතිසංස්කරණවලින් පසු නැවතත් ජාතික තරුණ සේවා සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යභාරය යට‍තට පත් වීම මගින් එම ආයතනයට නැවැතත් වඩාත් යහපත් අනාගතයක් උදාවන බව අපේක්ෂා කළ හැකිය.

අදහස්