තාක්ෂණයෙන් වගේම ඔත්තු සේවාවලිනුත් නාවික හමුදාව දැන් සන්නද්ධයි | සිළුමිණ

තාක්ෂණයෙන් වගේම ඔත්තු සේවාවලිනුත් නාවික හමුදාව දැන් සන්නද්ධයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබූ මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම කිමිදුම්නි ලධරයා වන වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා මෙවර 'සිළුමිණ' සමඟ සංවාදයකට එක් වන්නේ

නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වත්මන් මෙහෙවර හා රටට මහත් පිළිලයක්ව ඇති මත්ද්‍රව්‍ය මුහුදින් ගෙන ඒම මැඬලීම පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව කතිකා කිරීම සඳහාය.

යුද්ධය අවසන් වීමෙන් පසු නාවික හමුදාවේ කාර්යභාරය අඩු වී ඇතැයි ඇතැමුන් පවසනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස...

ශ්‍රී ලංකාව කියන්නේ දූපතක්. දූපත් රටකට තිබෙන අභියෝග දවසින් දවස වැඩි වනවා. නාවික හමුදාවේ ප්‍රධාන කාර්යය වන්නේ මුහුද හා සම්බන්ධ ආරක්ෂක කටයුතු සිදු කිරීමයි. විශේෂයෙන්ම දූපත් රටක් නිසා ඉහළ ප්‍රමිතියේ නාවික හමුදාවක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ නිසා යුද්ධයක් තිබුණා හෝ නොතිබුණා හෝ නාවික හමුදාව ශක්තිමත් විය යුතුයි. එසේම නාවික හමුදාවට ඇති කාර්යන් අඩු වන්නේත් නැහැ.

නාවික හමුදාවේ වගකීම් ප්‍රමාණය යුද්ධය පැවැති කාලයේ හා දැන් කාලය හා සසඳන විට අඩු වීමක් පෙන්වන්නේ නැද්ද?

අපේ රටේ ආර්ථික මුහුදු සීමාව නාවික සැතපුම් 200ක් දුරට විහිදී යනවා. රටේ භූමි ප්‍රමාණය වගේ 28 ගුණයක මුහුදක් අපට අයත් වනවා. මුහුදේ කටයුතු කරන සියලු අයගේ ආරක්ෂාව නාවික හමුදාවට පැවරී තිබෙනවා. මේ නිසා නාවික හමුදාවට අයත් වගකීම් කිසිදු ලෙසකින් අඩු වන්නේ නැහැ. ඒ කාර්යන් සඳහා සම්පත් අවශ්‍යයි. සාගරයේ සම්පත් භුක්ති විඳින්නේ වෙනත් ආයතන නමුත් ආරක්ෂාව සැපයීම අපේ කාර්යක්.

ආපදා කළමනාකරණයේදී, විශේෂයෙන්ම ජල ගැලීම්වලදී නාවික හමුදාවට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙනවා නේද?

ආපදා කළමනාකරණයට විශේෂ වූ අමාත්‍යාංශයක් හා නිලධාරීන් සිටිනවා. එහෙත් නාවික හමුදාව ආපදාවක් වූ විට මුල් තැනක් ගෙන කටයුතු කරන්න හැම විටම ඉදිරිපත් වනවා. විශේෂයෙන්ම මේ වන විට අප ඒ සඳහා පුමුඛතාවක් ලබා දී තිබෙන බව කිව යුතුයි. ඒ සඳහා පෙර-සූදානමක් ඇතිව කටයුතු කර තිබෙනවා. ආපදාවක් වූ විට එයට පිළියම් යෙදීමට වඩා පෙර-සූදානම වැදගත් නිසයි අප එලෙසින් සූදානමින් සිටින්නේ.

ඒ ගැන තව දුරටත් පැහැදිලි කළොත්...

වැලිසර නාවික හමුදා කඳවුරේ අප විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා ආපදා සහන මධ්‍යස්ථානයක් ලෙස. මනා පුහුණුව ලත් පිරිස් එහි සූදානමින් සිටිනවා. මේ ඒකකය ගංවතුරකදී සහන සැලසිය හැකි බෝට්ටු, ජංගම මුළුතැන්ගෙයක්, වතුර පොම්ප, ආරක්ෂිත කබා ඇතුළු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිතව සූදානමින් සිටින්නේ. ඒ වගේම එම භාණ්ඩ මෙන්ම සියලු යන්ත්‍රෝපකරණ, බෝට්ටු ආදියේ ක්‍රියාකාරිත්වය නිරතුරුවම පරීක්ෂාවට ලක් වනවා. එසේම ගංවතුරකදී කටයුතු කළ යුතු ආකාරය ගැන විශේෂ පුහුණුවක් මේ පිරිසට දී තිබෙනවා.

ගංවතුර ඇති වූ විට ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ පුහුණුවක් දෙන්නේ කුමනාකාරයෙන්ද?

හොඳ ප්‍රශ්නයක්. අපි පුත්තලම ප්‍රදේශයේ ග‍ඟේවාඩිය ගම්මානයේ විශාල පිට්ටනි 5ක පමණ වපසරියෙන් යුක්තව ජලයෙන් යට වූ ගමක් නිර්මාණය කළා. එහි ආදර්ශ දෙමහල් නිවාස පවා ස්ථාපිත කර තිබෙනවා. දෙමහල් නිවෙසේ ජලයෙන් ආපදාවට පත් වූ අය මෙන්ම මෙන්ම තනි මහලේ නිවෙසේ වහලය මත නැඟ සිටිනා පුද්ගලයන් සිටිනවා. ජල මට්ටම වැඩි වනවා. මෙහිදී පළමුවෙන් ගලවාගත යුත්තේ කවුරුද යන්න ගැන අප කල්පනා කළ යුතු වනවා. එවන් ක්‍රමවේද මඟින් අප කෘත්‍රිමව පුහුණුව දී තිබෙනවා. අප මේ ආපදා සේවා ඒකාබද්ධ සේවා ලෙස සිදු කිරීමට සැලසුම් කර තිබෙන්නේ. විශේෂයෙන්ම වහලේ ඉන්න තැනැත්තා බේරාගැනීමට ගුවන් හමුදාව යොදාගැනීමයි මින් ඉදිරියට කරන්නේ.

නාවික හමුදාව ඕනෑම ආකාරයේ ජල ගැල්මක් ඇතුළු ස්වාභාවික ආපදාවලට සූදානමින්ද ඉන්නේ?

අප දැන් හොඳ ශක්තිමත් තත්ත්වයකයි ඉන්නේ. පසුගිය දිනවල උතුරේ ඇති වූ ගංවතුරින් මිය ගියේ එක් අයකු පමණයි. ඒ තැනැත්තාත් මිය ගිය ආකාරය පිළිබඳ පැහැදිලි නැහැ. හානි අවම වුණා. මා කලින් කිව්වාක් මෙන් පෙර සූදානමයි වැදගත් වන්නේ. උදාහරණයක් ලෙස: දකුණේ කළු, ගිං වගේ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ජලයෙන් යට වූ විට ඇතැම් පහත් බිම් ජලය ගලා නොබැස සැලකිය යුතු කාලයක් තිබෙන බව පැහැදිලි වී තිබෙනවා. එයට හේතු වී ඇත්තේ ඇතැම් පාලම් අවහිර වීමයි.

මේ නිසා ආපදාවක් පැමිණි විටම අප අවහිර වන එම පාලම් වෙත සහන කණ්ඩායම් අවශ්‍ය සියලු ආම්පන්න, යන්ත්‍රෝපකරණ සමඟ යවනවා. එවිට පාලම් අසල යම් අවහිරයක්, බාධාවක් වූ සැණින් ඒවා ඉවත් කරන්න පුළුවන්. ඇතැම් පාලම් අවහිර වී තිබෙන්නේ එම පාලම් අසල රැඳී ඇති ගස්, පඳුරු ඇතුළු ජලයේ ගසාගෙන ආ ද්‍රව්‍ය මත ඇවිදීමට පවා පුළුවන් වන ආකාරයෙන්. ඒවා ඉවත් නොකළ හොත් පහත්බිම්වල ජලය අඩු වන්නේ නැහැ; වගා සියල්ල පවා හානි වනවා.

ආපදා කළමනාකරණ කාර්යන් පිළිබඳ පූර්ව-සූදානමක් ගැන ඔබ කතා කළා. එහෙත් මේ වන විට බොහෝ ඇළ මාර්ග, වැව් ගොඩ වෙලා... ඒ සම්බන්ධ පූර්ව-සූදානමක් නැති පාටයි.

ඇළ මාර්ග, වැව් සම්බන්ධ අයිතිය හා වගකීම හා සුද්ධ පවිත්‍ර කිරීම අයත් වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටයි. ඒත් අප මහජන සේවාව පිණිස එවන් අත්‍යවශ්‍ය කාර්ය විපත් ඇති වීමට පෙර සිදු කරනවා. ජනතාවගේත් වැරැදි ආකල්පයක් තිබෙනවා ජලයෙන් නිවාස ගම්-බිම් යට වූ විට නාවික හමුදාව ඇළ මාර්ග සුද්ධ නොකළ නිසා විපත් සිදු වූ බවට. එහි වගකීම ඇත්තේ නාවික හමුදාවට නොවන බවත්, ජනතාවට සිදු වන අපහසුතා සලකා අපට එවන් කාර්යයන් සිදු කිරීමට ඉල්ලීමක් ආ විට අප ඒ සම්බන්ධව කටයුතු කරන බවත් මෙහිදී පෙන්වා දිය යුතුයි. ඒ කාර්ය සිදු කිරීමට වෙනත් රාජ්‍ය ආයතන තිබෙනවා.

ආපදා ඇති වීම වළක්වාගැනීම පිණිස නාවික හමුදාව අනෙකුත් රාජ්‍ය ආයතන හා සම්බන්ධව කටයුතු කරන්නේ කෙසේද?

මා සඳහන් කළ පෙර-සූදානම තමයි ප්‍රධානම කාර්යය වන්නේ. ගංවතුර තර්ජනයට මුහුණ දීමට අවශ්‍ය සියලු දේ සහිතව අප සූදානමින් ඉන්නේ. එසේම මේ වන විට අප රත්නපුරයට ගංවතුර අවදානමින් මිදෙන්න සිතියම් දත්ත දී තිබෙනවා. එමෙන්ම කළුතරට හා පුත්තලමටත් එවැනි සිතියම් දත්ත ලබා දීමට අප සූදානම්.

මේ වන විට ශ්‍රී ලංකාවට බල පා ඇති ලොකුම තර්ජනය මත්ද්‍රව්‍ය ව්‍යවසනයයි. එය මැඬ-ලීම සඳහා නාවික හමුදාව විසින් කරනු ලබන වැටලීම් වැඩි කර තිබෙනවාද?

නාවික හමුදාව විසින් රට වටා මුහුදේ මුර සේවා තර කර තිබෙනවා. රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ සියලු මං වැසීම සඳහා මේ වන විට පියවර ගෙනයි තිබෙන්නේ. විශේෂයෙන්ම රට තුළට මුහුදු මාර්ගයෙන් වැඩිපුරම පැමිණෙන කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය වැඩිපුරම හසු වී තිබෙන්නේ උතුරු මුහුදු තීරයෙන්. ඊට අමතරව වයඹ මුහුදු තීරයෙන්ද වැඩි වශයෙන් හමුව තිබෙනවා. බටහිර හා නැඟෙනහිර වෙරළ සමීපයෙන් හමුව තිබෙන්නේ අඩු ප්‍රමාණයක්. මේ උවදුර මැඬ පැවැත්වීම පිණිස නව පියවර රැසක් ගෙන තිබෙනවා.

ඒ ගැන විස්තර කළොත්...

මේ පිරිස් පැමිණෙන්නේ ධීවරයන්ට මුවා වී වීම ලොකු ගැටලුවක්. ඔවුන් ධීවරයන් ලෙස මත්ද්‍රව්‍ය ගෙන-එන නිසා ධීවර ජනතාවටත් එය විශාල ගැටලුවක් වෙලා තිබෙන්නේ. ඒත් මේ වන විට අපි බුද්ධි අංශ ජාලය තර කර තිබෙනවා. එමෙන්ම විදෙස් ඔත්තු සේවා පිළිබඳ අවධානය වැඩි කර තිබෙනවා. නෞකාවල රේඩාර් පද්ධති වැඩි දියුණු කර තිබෙන්නේ. ඒ ඔස්සේ වැඩි වශයෙන් වැටලීම් සිදු කළ හැකි වනවා.

රේඩාර් පද්ධතිය ඔස්සේ මෙහෙයුම් සිදු කරනවා නම් බොහෝ නීති විරෝධී ප්‍රවාහන සේවා හසු කරගැනීම පහසු වනවා නේද?

මේ ජාවාරම්කරුවන්ගෙන් නීතියේ රැහැනට හසු වන්නේ ඉතා සුළු පිරිසක්. එමෙන්ම ඒ හසු වන්නේ ඉතා පහළ තරාතිරමේ අයයි. මහ මොළකරුවන් සිටින්නේ සමාජයේ ඉහළ පැළැන්තියේ නිසා ඒ අයත් නව ක්‍රම සොයාගෙන තිබෙනවා. මේ වන විට අපට වාර්තා වී තිබෙනවා මත් ජාවාරම්කරුවන් මත් ද්‍රව්‍ය ජීපීඑස් තාක්ෂණය ඔස්සේ එවා ඒවා බෝයාවක ගැටගසා සඟවාගෙන යෑමේ ක්‍රමවේද ගැන. එම මත්ද්‍රව්‍ය බලාපොරොත්තු වන්නන්ද එම තාක්ෂණයම භාවිත කරමින් ඒවා තමන් වෙත ගෙන්වාගැනීමේ සූක්ෂ්ම ක්‍රම සකස් කරගෙන තිබෙනවා.

ඒ සඳහා මුහුණ දෙන්න නාවික හමුදාව නව තාක්ෂණය යොදාගැන්මට කටයුතු කර තිබෙනවාද?

මේ වන විට අප නවීනතම තාක්ෂණය යොදාගෙන තිබෙනවා. ජාවාරම්කරුවන් නොසිතන නව තාක්ෂණයක් ඔස්සේ අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ ක්‍රමවේදයන් තාක්ෂණය දැන්ම හෙළි කරන්න බැහැ.

අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය ලබාගැන්මට කටයුතු කර තිබෙන බවක් ඔබ කිව්වා. ඒ ගැන ටිකක් පැහැදිලි කළොත්...

ඔව්. අපි එතෙර බුද්ධි අංශ සහයෝගය මීට පෙරත් ලබාගත්තා. ඉන්දියාවේ රේඩාර් තාක්ෂණය ලැබෙනවා. මේ වන විට එක්සත් ජාතීන්ගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬ-ලීමේ කාර්යාංශය (UNODC) අපට විශාල සහායක් දෙනවා. එසේම ඉන්දීය සාගරයේ සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික මෙහෙයුම් මඟින් පසුගිය වසරේ පමණක් ටොන් 60කට ආසන්න හෙරොයින් හා හෂීස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය වසරේ කේරළ ගංජා කිලෝ 2,093ක් මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් බිලියන 2ක් පමණ වනවා. මේ මෙහෙයුම් තවත් වර්ධනය කිරීමට අප මේ වන විට කටයුතු කර තිබෙනවා. පොලීසිය සමඟත් බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නා අතර ධීවරයන්ගෙන්ද අප තොරතුරු බලාපොරොත්තු වනවා.

කෙසේ හෝ අප නවීන තාක්ෂණය භාවිත කිරීමෙන් පසුව මේ වැටලීම්වලට හසු වන පිරිස වැඩි වන බව විශ්වාසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විතරක් නෙමෙයි; අනෙක් අයටත් ඉදිරියේදී මේ නීතිවිරෝධී කටයුතු සිදු කිරීම ලෙහෙසි වන්නේ නැහැ.

මත්ද්‍රව්‍ය මර්දනයට අමතරව නාවික හමුදාව මුහුදු මාර්ගයෙන් සපයනු ලබන සේවාව ගැන විස්තර කළොත්...

මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම අපේ සේවාවේ එක් කොටසක් පමණයි. මීට අමතරව මුහුදු මාර්ගයෙන් රැගෙන එන තාරකා ඉබ්බන්, තහනම් කර ඇති ග්ලයිෆොසේට්, රත් හඳුන් ඇතුළු නීති විරෝධීව ගෙන එනු ලබන සියල්ල අත්අඩංගුවට ගැනීමත් අප සිදු කර තිබෙනවා. එමෙන්ම රටින් පිට කරන මෝර වරල්, මුහුදු කුඩැල්ලන් මෙන්ම රත්රන්ද අප අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය වසරේ පමණක් අවස්ථා 9කදී කිලෝග්රෑම් 70ක රත්රන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය උතුරේ ධීවරයන්ට විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. නාවික හමුදාවට තවමත් ඒ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්න බැරි වුණාද?

සාගරය කියන්නේ සුළු-පටු තැනක් නෙමෙයි. අපේ මුහුදු සීමාවට පැමිණෙන විට අප ඔවුන් පලවා හරිනවා. අත්අඩංගුවට ගැනීම් පවා සිදු කරනවා. මේ වන විට ඉන්දීය බෝට්ටු 181ක් අත්අඩංගුවේ පවතිනවා. ඉන්දීය ධීවරයන් 38ක් මෙරට අත්අඩංගුවේ සිටිනවා. ඔවුන්ට නඩු පවරා තිබෙනවා.

මුහුදු ආරක්ෂකයන් වශයෙන් ධීවරයන්ට සපයනු ලබන සේවා මොනවාද?

ධිවර යාත්‍රා අනතුරුවලට මුහුණ පෑ අවස්ථාවන්හිදී අපි අනිවාර්යෙන්ම ඒ සඳහා මැදිහත් වනවා. ජීවිත හානියක් වන තත්ත්වයක් තිබෙනවා නම් අපි දුර පවා නොබලා ඒ සඳහා යාත්‍රා යොදවනවා. ඇතැම් අවස්ථාවල කිලෝමීටර් 500ක දුරක සිට පවා අප වෙත පණිවිඩ ලැබෙනවා. පසුගිය වසරේ පමණක් ධීවරයන්ගේ ජීවිත බේරාගැනීමට හා යාත්‍රා බේරාගැනීමට රුපියල් මිලියන 228ක ඉන්ධන හා මානව සම්පත වැය කර තිබෙනවා.

මීට අමතරව නාවික හමුදාවේ සමාජ ශුභසාධන සේවා ලෙස සැලකිය හැකි කාර්යයන් සම්බන්ධව විස්තර කළොත්...

අප බොහෝ සමාජ ශුභසාධන සිදු කරනවා. ඒත් ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක වකුගඩු කාර්යසාධක බළකායේ විශේෂ කාර්යයක් ලෙස ජලය ප්‍රතිආස්‍රැත යන්ත්‍ර 619ක් මේ වන විට ස්ථාපිත කර තිබෙනවා. එම ජලය පානීය ජල බෝතල්වලට වඩා අතිශයින් පිරිසුදුයි. ජනතාවට නොමිලයේ ලබා දෙන්නේ. මේ වන විට යාපනය රෝහලටත්, විශ්වවිද්‍යාලයටත්, උතුරේ දූපත්වලටත්, රජරට ප්‍රදේශ රැසකටත් එවැනි ප්‍රතිආස්‍රැත ජල සැපයුම් යන්ත්‍ර ස්ථාපිත කර තිබෙනවා.

එසේම තැලසීමියා රෝගීන්ගේ රුධිර කාන්දුකරණයට අවශ්‍ය රුපියල් 75,000ක් පමණ මිලකට ලබාගත යුතු උපකරණය රුපියල් 1,700ක පමණ මිලකට නිපදවා අප ඒ රෝගීන්ට නොමිලයේම සපයනවා. මේ වන විට රෝගීන් 1,865කට අප ඒ උපකරණ ලබා දී තිබෙනවා.

පරිසර හිතකාමිත්වයටත් නාවික හමුදාව දායකත්වයක් සපයන බව මීට පෙර අවස්ථාවක ඔබ පවසා තිබුණා...

අපි මේ වන විට කඩොලාන පැළ 150,000කට වඩා රෝපණය කර තිබෙනවා. 2016 වසරේ ත්‍රිකුණාමලය තටාකාංගණයට හරිත සම්මානයක් ලැබුණා. එසේම වෙරළ තීරයේ එකතු වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ කර එමඟින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කිරීමත් අප අරඹා තිබෙනවා. වෙරළේ එකතු වන ප්ලාස්ටික් ‍පොලිතීන් ආදිය අප එකතු කරනවා. එසේම ජනතාවටත් අප දැනුම් දී තිබෙනවා ප්ලාස්ටික් අපට ලබා දීමෙන් මුදල් ලබාගත හැකි බව. මේ නිසා පරිසරයත් රැකගෙන, ජනතාවට සේවයකුත් සැලසිය හැකිව තිබෙනවා.‍ එමෙන්ම අප කැස්බෑ සංරක්ෂණයට දායකත්වය සපයනවා; එමෙන්ම පසුගිය කාලයන්හි ගිල්වන ලද නැව් ආශ්‍රිතව මත්ස්‍යයන් බෝ වීමට අප ඉඩ ප්‍රස්තාව සලසා තිබෙනවා. ඒ හරහා සංචාරක කර්මාන්තයටත් විශාල ප්‍රගතියක් අප අත් කර දී තිබෙනවා.

නාවික හමුදාවේ ඉදිරි දියුණුවට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විස්තර කළොත්...

ඉදිරි අභියෝග ජය ගන්න නාවික හමුදාවේ වෘත්තීය නිපුණත්වය වැඩි කළ යුතු වනවා. ඒ සඳහා මේ වන විට නාවික හමුදා අධ්‍යක්ෂ මණ්‍ඩලය විසින් දේශීය මෙන්ම විදේශීය පුහුණුවක් දීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම විදේශීය රටවලට පවා අප විශේෂ පුහුණු කිරීම් සිදු කරනවා‍.

අවසාන වශයෙන් විදේශීය රටවලට සිදු කරන ඒ පුහුණුවීම් ගැන පැහැදිලි කළොත්...

නාවික හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීමෙන් විදේශීය රටවල් සඳහා මාස තුනක ‘අසමමිතික යුද උපක්‍රම පාඨමාලාවක්’ පවත්වනවා. ඒ යුද සමයේ අප ලත් අත්දැකීම් ඇසුරෙන්. ඒ සම්බන්ධව ත්‍රිකුණාමලයේ විශේෂ යාත්‍රා බළගණයේ පවත්වනු ලබන මේ පාඨමාලාවට ඇමරිකාව, ඉන්දියාව, පාකිස්තානය, චීනය, නයිජීරියාව, මාලදිවයින, කෙන්යාව වැනි රටවල් සම්බන්ධ වනවා. එසේම යාත්‍රාවලට ගොඩබැස තහනම් බඩු-බාහිරාදිය ඇත්දැයි පරීක්ෂා කිරීම පිණිස දින 14ක පාඨමාලාවක් පවත්වනවා. මේ පාඨමාලා දෙකම සඳහා විශාල ඉල්ලුමක් විදේශ රටවලින් තිබෙනවා. අපේ සේවා ඉහළ ප්‍රමිතියකින් යුක්ත නිසයි මේ අයුරින් විශාල ඉල්ලුමක් පවතින්නේ.

සේයාරුව - විමල් කරුණාතිලක‍

අදහස්