දුප්පත්කම නැති කිරීම පිළිබඳ බෞද්ධ කියැවීම | සිළුමිණ

දුප්පත්කම නැති කිරීම පිළිබඳ බෞද්ධ කියැවීම

දිල්ශාන් මනෝජ් රාජපක්ෂ

කථිකාචාර්ය

බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

දිළිදුකම හෙවත් දුප්පත්කම.......සමාජ සන්දර්භය අතින් සාපේක්ෂක වූ ද පුද්ගල දෘෂ්ටික වූ ද සංකල්පයකි. එය නිර්වචනය කිරීම සදහා භෞතික, සංස්කෘතික ආදි විවිධ මාන භාවිත කර ඇති බව පෙනේ. ආර්ථික විද්‍යාත්මකව දිළිදුකම යනු භෞතික වුවමනා අතින් හීන වීම යි. සමස්තයක් ලෙස ආර්ථික විද්‍යාඥයන් දිළිදුකම අර්ථ දැක්වීම පිණිස ආර්ථික සමෘද්ධිය හා මානව සම්පත් අතින් හිඟභාවය ආදි භෞතික කරුණු කෙරේ අවධානය යොමු කර තිබේ.

සමාජ, මානව විද්‍යාත්මකව දිළිඳුකම යන්න ජීවිතය පවත්වාගෙන යෑම පිණිස අවශ්‍ය ඇතැම් මූලික හැකියාවන්ගේ ක්‍රියාකාරීත්වය බිඳ වැටීමේ ප්‍රතිඵලය යනුවෙන් නිර්වචනය කළ හැකි ය. සමාජ හා මානව විද්‍යාඥයන් මේ පිළිබඳව දක්වන නිර්වචනාත්මක පදනමට සමාජ, සංස්කෘතික හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ කරුණු කෙරේ ද අවධානය යොමු වී ඇත. කවර සමාජයකවත් කුමන සන්දර්භයකින්වත් දරිද්‍රතාව ක්‍රියාත්මක වනු දැකීම අනුමත නොකරනු ඇත.

එයට හේතුව නම් දරිද්‍රතාව නිසා සමාජ, ආර්ථික වශයෙන් අනිසි ප්‍රතිඵල රැසකට මුහුණ පාන්නට සිදු වීම යි. ජාත්‍යන්තර වශයෙන් උතුරු දකුණු පරතරය වර්ධනය වීම (සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවත්නා රටවල් අතර පරතරය දිනෙන් දින ඉහළ යෑම), ජාතික වශයෙන් දුගීබවේ විසම චක්‍රයට නතු වීම, පෞද්ගලික වශයෙන් පහළ ජිවන රටාවකට ගොදුරු වීම මෙහි අනිසි ප්‍රතිඵල අතර ප්‍රධානත්වයක් ගනී. සමස්තයක් ලෙස එමඟින් සමාජ, ආර්ථික දේශපාලනික හා පාරිසරික වශයෙන් විවිධ අර්බුදවලට මුහුණ දීමට සිදු වේ.

පුද්ගලයා සසරෙහි දුක් විඳින්නේ ඔහු තුළ තිබෙන තෘෂ්ණාව නිසා ය. (යායං තණ්හා පෝනෝභවිකා) තෘෂ්ණාව මූලෝත්පාටනය කොට විමුක්තිය සාධනය පිණිස පුද්ගල අවධානය යොමු කරන බුදු සමය විරාගී දර්ශනය සහ චරණය අවධාරණය කරයි. ඕනෑ ම ප්‍රස්තුතයක් පිළිබඳ බෞද්ධ ආකල්පය යොමු වන්නේ විරාගී දර්ශනයෙනි. බුදු දහමට අනුව විරාගයට හිතකර ධර්ම අර්ථ සම්පන්න ය. විරාගයට අහිතකර ධර්ම අර්ථ විරහිත ය. දරිද්‍රතාව වනාහී ලෞකික සහ ආධ්‍යාත්මික අරමුණු සාක්‍ෂාත් කරගැනීමෙහිලා බාධාවකි.

එය විරාගය පිණිස නො පවතියි. දරිද්‍රතාව සහ විරාගය අතර කවරාකාරයේ සම්බන්ධයක් බුදුදහමින් ප්‍රකට වන්නේදැ’යි යන්න පිළිබඳ විවාදයක් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්‍යාර්ථීන් අතර පවත්නා බව පෙනේ. එම විවාදයේදී බෞද්ධ සමාජ දේශපාලන ආර්ථික දර්ශනය විෂයෙහි ප්‍රතිපක්ෂ පාර්ශ්වයකින් විවේචන ඉදිරිපත් කළ (මැක්ස් වේබර්, බෙල්පඞ් ඊ. ස්පයිරෝ, හෛයින්ස් බෙෂර්ට්ස්, ඇනටෝල් ප්‍රාන්ස්, මාර්ටින් වික්‍රමසිංහ, දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ, ටී. ආර්. වී. මූර්ති, එඩ්වඩ් ජේ- තෝමස්, ආනන්ද කුමාරස්වාමි, ගුණාර් මිල්ඩාර්, අර්නල්ෆ් කැම්ප්ස්, වින්ස්ටන් එල්. කිං, යූ. එන්. ඝෝෂාල් ආදී) පිරිස් අතර ස්වකීය ව්‍යාප්තිය සනිටුහන් කරගත් ප්‍රදේශවලට දුප්පත්කම ද ප්‍රදානය කළ බව පෙන්වා දුන් විචාරක පිරිස් සිටි බව පෙනේ.

මැක්ස් වේබර් නම් සමාජ විද්‍යාඥයාට අනූව විමුක්තිය වූ කලී සාකල්‍යයෙන් ම තමා කෙරෙහි ම විශ්වාසය පිහිටුවා ලබාගත යුතු පුද්ගලයාගේ පෞද්ගලික ක්‍රියාවකි. වෙනත් කෙනෙකුට හෝ සමාජයේ වෙනත් කිසිවෙකුට ඔහුට උදව් කළ නො හැකි ය. නියම ගූඪවාදයක් දැකිය හැකි අසමාජීය ස්වරූපය මෙහි උපරිම තැනට දියුණු කර ඇත.

ඔහුගේ අදහස වන්නේ බුදු සමය වූ කලී අතිශයින් ආත්මාර්ථකාමී සමාජභාවයන් ප්‍රතික්‍ෂේප කරන විමුක්තිය හුදු තනි පුද්ගලයෙකුගේ කාර්යයක් බවට පත් කර ඇති දහමක් බව යි. එසේ ම ගුණාර් මිල්ඩාර් නම් ආර්ථික විද්‍යාඥයාට අනූව ආසියාතික රටවල දුගී දුප්පත් බවට බුදු දහම හේතුවක් විය. සියවස් ගණනාවක් තිස්සේ නවීකරණයට සහ සංවර්ධනයට මග පෑදූ බලවේගයක් නොවේය යන්න ඔහුගේ ස්ථාවරය යි. අර්නල්ෆ් කැම්ප්ස් නම් සමාජ විද්‍යාඥයාට අනූව බුදු දහම ගුප්ත ආගමකි. එය ආසියාතික රටවල දුප්පත්කමට හේතුව යි. බුදු දහම පිළිබඳ අති-වාමපාක්‍ෂික දේශපාලකයන්ගේ මතයට අනුව ද බුදුදහමෙන් දිළිඳුභාවය සාධාරණීකරණය වේ.

ඔවුනට අනූව බුදුදහම කර්ම සංකල්පය මඟින් සමාජයේ ධනපති පන්තියේ වාසිය පිණිස දුප්පත්කම යුක්ති සහගත කරයි. බුදුදහම වනාහි දුප්පත්කම කර්ම විපාකයක් හෙයින් දුප්පතා එය බැති සිතින් පිළිගෙන විසිය යුතුය යන සංකල්පය සමාජය තුළ තහවුරු කර ආර්ථික ප්‍රගතිය නිවාරණය කරන දහමකි. කර්මවාදයෙන් මත් වන දිළින්දෝ පවත්නා තත්ත්වය එසේ ම පිළිගෙන ප්‍රගතිය විෂයෙහි පසුබට වෙති. එම විවේචනය ජනප්‍රිය කර්මවාදය මත පදනම්ව කළ ප්‍රකාශයකි. ජනප්‍රිය කර්මවාදය තේරුම් ගැනීමට රදළ වැඩවසම් ධනේශ්වරවාදීන්ගේ අයථා ක්‍රම නිදසුන් ය.

මුල් බුදුදහම තුළ ජනප්‍රිය කර්මවාදයක් දැකිය හැකි නොවේ. දරිද්‍රතාව ප්‍රතික්‍ෂේප කරන බුදුසමය ධනයේ උපයෝගීතාව අවධාරණය කරයි. දුප්පත්කම කාමභෝගී ගිහියනට දුකකි. (දාළිද්දියං භික්‍ඛවේ දුක්ඛං ලෝකස්මිං ගිහීනෝ කාමභෝගීනෝ......... -අංගුත්තර නිකාය, 6 නිපාතය,ධම්මික වග්ගය) තරුණ කල සිට තම ශක්‍යතාව වර්ධනය කර මුදල් ඉපයීම කළ යුතු ය යන්න බෞද්ධ උපදේශය යි (අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනෙ ධනං, ඡින්නකොඤ්චාවඣායන්ති - ඛීණමච්ඡෙව පල්ලලෙ ධම්මපදය - ජරා වග්ගය) දුගී බව නැසීම තුළින් උභයාර්ථ සාධනය (භෞතික සමෘද්ධිය හා ආධ්‍යාත්මික සමෘද්ධිය) ඇති කරගත හැකි බව බුදුරදුන් සූත්‍ර දේශනා ගණනාවකින් පෙන්වාදී ඇත. දුගී බව නසා ධනය ඉපයීමෙන් සමාජ තත්ත්වය වුව ද වෙනස් කර ගත හැකි ය. (අය්‍යෝ හුත්වා දාසෝ හෝති දාසෝ හුත්වා අය්‍යෝ හෝති – මජ්ක්‍ධිමනිකාය, අස්සලායන සූත්‍රය) ධනය නැති නම් ක්‍ෂත්‍රීය වුවත් රජකම නො පැතිය යුතු ය. (අප්පභෝගෝ මහා තණ්හෝ - ඛත්තියේ ජායතේ කුලේ, සෝ ච රජ්ජං පත්ථයති - තං පරාභවතෝ මුඛං, සුත්තනිපාතය පරාභව සූත්‍රය) බුදුදහමට අනුව දුපප්ත්කම නැසීමට ධනය ඉපයීම සිදු කළ යුත්තේ ධර්මික බව, මධ්‍යස්ථ බව, අනලස් බව හා සදාචාරාත්මක බව යනාදී අංශ කෙරේ සැලකිලිමත් වෙමිනි.

බුදුදහම දුප්පත්කමේ ආදීනව ආකාර දෙකකින් ඉදිරිපත් කරයි. එනම්, දුප්පත්කම නිසා සමාජගත අර්බුද මතු වීම සහ දුප්පත්කම නිසා පුද්ගලයාට මුහුණපාන්නට සිදු වන අර්බුද යනුවෙනි.

දුප්පත්කම නිසා සමාජගත සදාචාරය පිරිහෙන අයුරු දීඝනිකායේ චක්කවත්තී සීහනාද සුත්‍රයේ විස්තර වෙයි. එහිදී දුප්පත්කම නිසා සොරකමත් සොරකම නිසා ප්‍රාණවධයත් ප්‍රාණවධය නිසා බොරුවත් එමඟින් කේලම, ප්‍රලාපය, මාත්සර්ය, ඊර්ෂ්‍යාව, වෛරය, කාම අපරාධ ආදිය ඇති වන අයුරු හේතු ඵල ක්‍රමයෙන් විග්‍රහ කොට අවසානයේ සමාජ පරිහානිය සිදු වන අයුරු පෙන්වා දෙයි. (අධනානං ධනේ අනුප්පදියමානේ දාළිද්දියං වේපුල්ලංමගමාසි දාළිද්දියං වේපුල්ලං ගතේ...) දිළිඳුකභාවයෙහි ප්‍රායෝගික දරුණු පාර්ශ්වය විග්‍රහ කරන කූටදන්ත සූත්‍රය දක්වන දස්සුඛීලය හෙවත් පීඩිත පන්තියේ නැඟී සිටීම සහ කැරැලි කෝලාහල ඇති වීම පිළිබඳ නිදසුන් රැසක් ලෝක ඉතිහාසයෙන් ද සපයාගත හැකි ය.

පුද්ගලික වශයෙන් සාකච්ඡා කරන විට දුප්පත්කම නිසා පුද්ගලයාට මුහුණපාන්නට සිදු වන අර්බුද ද ලඝු කොට සැලකිය යුතු නැත. තමාගේ කියා කිසිවක් නැති, කිසිවෙකුත් නැති (අස්සංකෝ) නොසරු සාර, බොහෝ නැති (අනාල්හිකෝ) පුද්ගලයා අනුනට ණයගැති වෙයි. (ඉණම් අද්දියති) හේ පොලියට හෝ පොලී නැතිව ආපසු ගෙවීමේ පොරොන්දුව මත ණය ගනියි. (වද්දිං පතිසූපති) ණය වීමේ දුර්විපාක රැසකි.

01 ණය වීම නිසා පොලී ගෙවීමට සිදු වෙයි.

02 චෝදනා ලැබීමට සිදු වෙයි. (චෝදනාපි)

03 ලුහුබඳියි. (අනුචරියාපි)

04 දඩුවම් ලැබීමට සිදු වෙයි. (බන්ධනාපි)

(ඉණ සූත්‍රය)සමාජ ප්‍රගතිය විෂයෙහි දරීද්‍රතාවෙන් පිළිඹිබු කෙරෙන ඍණාත්මක පදනමට ප්‍රතිපක්ෂව ඉදිරිපත් කරන පිළියම් රැසක් බෞද්ධ සූත්‍ර දේශනාවල අන්තර්ගත වේ. මේ සම්බන්ධයෙන් දීඝනිකායේ කූටදන්ත සූත්‍රයේ අන්තර්ගත වන කරුණු ජාතික දරිද්‍රතාව නැසීම පාර්ශ්වයෙහිලා අගය කළ හැකි ය. එහිදී පෙන්වා දෙන්නේ දරීද්‍රතාවය තුරන් කිරීමේ අභිලාෂයෙන් ජනතාවගෙන් උපයාගත් ජාතික භාණ්ඩාගාරය ජනතාවගේ ම සමෘද්ධිය පිණිස යෙදවීමට රාජ්‍යයේ පාලකයන් කටයුතු කළ යුතු ආකාරය යි. එහිදී පාලකයන් රාජ්‍යයේ කෘෂිකාර්මික, කාර්මික, වාණිජ, රාජ්‍ය සේවය යනාදී අංශ කෙරේ පමණක් නොව සැලකිල්ලට බඳුන් විය යුතු ස්වකීය ශක්තියෙන් නැඟී සිටීමට නොහැකි පිරිස් කෙරේ ද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙයි.

දරිද්‍රතාවට ප්‍රතිපක්ෂව පෞද්ගලික දායකත්වය ද අවධාරණය කරන බුදුසමය ස්වකීය ශක්තියෙන් ධාර්මිකව, මධ්‍යස්ථව හා සදාචාරීව වෙර වීරීය ඇතිව කටයුතු කළ යුතු අයුරුත් උපයා සපයා ගත් ධනය බුද්ධිමත්ව හා ආරක්ෂාකාරීව පරිභෝජනය, ආයෝජනය ඉතිරි කළ යුතු අයුරුත් පෙන්වා දී ඇත.

අදහස්