බෞද්ධ මනෝ උපදේශනයේ ප්‍රායෝගික අගය | සිළුමිණ

බෞද්ධ මනෝ උපදේශනයේ ප්‍රායෝගික අගය

එෂාමා කාරියකරවන

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

වර්තමාන ලෝකය මානසික සුවපත්භාවය අතින් සිටින්නේ අන්ත වූ දරිද්‍රතාවයකය. දියුණුව යනු භෞතික සංවර්ධනය, තාක්ෂණ දියුණුව, සන්නිවේදන පහසුකම් සහ කාමය ආස්වාදනය කිරීම බව මිනිසා අදහස් කරයි. එම නිසා සැපය සඳහාම ඉඩ සොයන , සැලසුම් සදන, ජනසමාජයක් බිහිවී ඇත.

එහෙත් සතුට දර්ශකයක් කර මනිනු ලැබූ විට ලෝකයේ ප්‍රීතිමත්ම රාජ්‍යය ලෙස නම් කෙරෙන්නේ තුන්වන ලෝකයේ ආර්ථික සහ භෞතික සම්පත් අතින් දිළිඳු භූතානයයි. එය භෞතික දියුණුව උපරිමයෙන් ඇති ඇමරිකාව, යුරෝපය, ජපානය හෝ චීනය හෝ නොවන්නට හේතුව කුමක්ද යන්න විමසා බැලීමට වටින කාරණයකි. ඒ පිළිබඳ ප්‍රවෘත්තියක මෙසේ සඳහන්ය

v It is hard to imagine that such a small country, the size of Indiana with the population of Alaska, tucked in the Himalaya Mountains, accessible only by two airplanes, is the “Happiest Country” in the world, the last standing Buddhist Kingdom and has one of the fastest growing GDP’s in the world. This country is Bhutan, “Land Of The Thunder Dragon.” (1)

මිනිසා සියල්ල අත්පත් කරගෙන සතුටු වන්නට උත්සහ ගන්නා ලෝකයක භූතානයේ මිනිස්සු අත ඇති සම්පත් පිළිබඳව සතුටුව එයින් උපරිම ප්‍රයෝජන ගෙන සොබා දහම සහ පරිසරය බද්ධව ජීවිතය වින්දනය කිරීම මේ සතුටට හේතුවයි. රාජාණ්ඩුවක් තිබූ රටක් වූ භුතානයේ අවසන් නරපති වූ ජිග්මේ චන්චූක් රජු සිය රජකම සිය කැමැත්තෙන් අතහැර දමා මහජන සේවයටම තම ජීවිතය කැප කළේය. එසේම එතුමන් විසින් ක්‍රියාත්මක කළ “Gross National Hapiness” සංකල්පය මගින් ලෝකයේ ප්‍රීතිමත්ම රාජ්‍යය බවට භූතානය පත්කරන ලදී.

එහෙත් ලෝකයේ බහුතරය සතුටු වන්නට උත්සහ ගන්නේ බාහිර දේ තමා සතු කරගැනීමෙනි. අත්පත් කරගැනීමෙනි. එසේ මහත් වැර දරා කැපවීම් කර හිමිකරගන්නා දෙයින් ලබාගත් මොහොතේ ලැබූ සතුට කාලයක් ගිය පසු ඔහුට නොවේ. ලෝකයට සීමාවන් නැත. එය අනන්ත විශ්වය දක්වා පැතිරී ඇත. අපට ඒ සියල්ල අත්පත් කරගත නොහැකිය. අප කළ යුත්තේ හිමි නොවීම නිසා ශෝකයෙන් ද්වේශයෙන් ජීවිතය දියකර හැරීමේ නොව, අපගේ සිතට සීමාවන් පනවා ගැනීමය. සිතට සීමාවන් පනවා ගැනීමෙන් සතුටුවීම ඉගැන්වීම අතින් අන් සියලු දර්ශනයන් අභිබවා ප්‍රායෝගික අතින් මුල් තැන සිටින්නේ බුදුදහමය.

බුදු දහමේ ප්‍රායෝගීක බව නිසා එයට අනුව ජීවත්වන්නාගේ සතුටද ඒ හා තරමටම වර්ධනය වේ. බුදුදහම පුද්ගලයාට උගන්වන්නේ කුමක්ද? එය බෞද්ධ උපදේශනයයි. බුදුදහම පුද්ගලයාගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? එය බෞද්ධ මනෝ උපදේශන චිකිත්සාවයි. ලෞකික අරමුණු සහිත පුද්ගලයාට බුදුදහම විසින් සමාජයේ වෙසෙන අනිකුත් පුද්ගලයන් සමග සුහදව, සහයෝගයෙන්, ගරුත්වයෙන් යුතුව ජීවත්වීමට නිත්‍ය ශීලය ලෙස පංචශීලය අනුමත කර ඇත. පංචශීලය පමණක් මිනිසුන් පිළිපැද්දේ වී නම් මොන තරම් නම් මානසික සුවයක් ලෝකය අත්විඳිනු අත්ද?

මිනිසුන් ප්‍රාණඝාතය නොකරන්නේ නම් අනිත් මිනිසුන් මොන තරම් මානසික නිදහසකින්, බියෙන් සැකෙන් තොරව ජීවත් වෙනු ඇද්ද?.එවිට මිනිසුන්ට ආරක්ෂකයන් ආරක්ෂක උපක්‍රම අවශ්‍ය නොවනු ඇත. එසේම මිනිසුන් නුදුන් දෙය නොගනී නම් කිසිවකුට තම වස්තුව, දේපළ පිළිබඳ බියක් විය යුතුද? අතීතයේ මෙරට එවන් කාලයක් තිබූ බව රොබට් නොක්ස් එදා හෙළදිව ග්‍රන්ථයෙන් පවසයි. මේ සිල්පද දෙකක් රැකීමෙන් අත්වන සුවයය.

මේ මානසික සුවය කෙතරම් මානසික ව්‍යාධීන් හට ගැනීම වළක්වනු ඇතිදැයි සිතීම වටී. බෞද්ධ අනුශාසනයේ හෙවත් උපදේශනයේ පස්පව් නොකර සිටීම පිනකි. පස්පව් කිරීමෙන් වැළකීමේ ශික්ෂණය ඇතිකර ගෙන සිටීම කුසලයකි. එපමණක් නොවේ පස්පව් කරන්නන්ට එහි ආදීනව කියා දීමත් එයින් මිදීමෙන් ඇතිවන ආනිශංස කියා දීමත් බෞද්ධ අනුශාසනය වේ. මේ සියල්ල මගින් තමාට සුවයක් ආරක්ෂාවක් ගරුත්වයක් තමාම ඇති කරගනී. ඒ හාම තමා අන් අයටද එය ලැබීමේ අවස්ථාව උදාකර දෙයි. සිල්පද පහකින් පැවැත්මට ඇති කරන යහපත කෙතරම්ද?.එය බුදු දහමේ ප්‍රායෝගික අගය විදහා පෙන්වයි.

පොහොය දින පෙහෙවස් සමාදන්වී දවස ගෙවන්නට බුදුදහම අනුශාසනා කරයි. ආර්ය අෂ්ඨාංගික ශීලය සමාදන් වීමෙන් අතහැරීම පුරුදු වෙයි. ලෞකික මිනිසාට සෑම දිනකම සියල්ල අතහැර ජීවත් විය නොහැකිය.

නමුත් ඉඳහිට මෙබඳු අතහැරීම් කර ඒ අතහැරීමෙන් ලද සුවය මෙනෙහි කළ යුතුය. ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් එම අතහැරීම හැකි තරම් සාමාන්‍ය ජීවිතයට එකතු කරගත යුතුය. එවිට ඇතිවන සරල, සුගම, අල්පේච්ඡ ජීවිතය වින්දනය කළ යුතුය. එම පහසුවෙන් පෝෂණය කළ හැකි සරල ජීවිතය නිසා විශාල කායික මානසික සුවයක් සහ විවේකයක් තමාට ලැබේ. මන්ද තමා බොහෝ තරග වලින් මෑත් වී ඇත. අන් අය හා තමා සංසන්දනය කරමින් ඇති කර ගන්නා සදිසි, ස්‍යෙය, හීනමාන, වැඩීම පාලනය කරගත හැකිය. පරුෂ, හිස් , සම්ප්‍රඵලාපයෙන් තොර වචන සංවරය, අන් අයට ප්‍රිය වූ මනාප වූ සත්‍ය වූ කතා ඇත. ශීලය විසින් මිනිසාට ලබා දෙන මේ සතුට නැති නොවන සතුටකි. ප්‍රායෝගිකව අත්විඳීමට හැකි සතුටකි.

මේ අයුරින් කය ශීලයෙන් හික්මවන පුද්ගලයා සිත තුළ හට ගන්නා රාග, දෝස ආදී කෙළෙස් දෙස බලයි. එයට එරෙහි සිතුවිලි සිතෙහි හට ගැනීමට අනුබලය දෙයි. සමථ භාවනාවෙන් සිත තුළ මතුවී එන කෙලෙස් තවයි. මතුවීමට අවස්ථාව නොදෙයි. සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුව ලෝකය දෙස බලයි. මනස සමාධිගත වීමෙන් දෛනික ජීවිතය සුවපත් වෙයි. සුවසේ නිදියයි. සුවසේ අවදි වෙයි. නපුරු සිහින නොදකී. ඒ මෛත්‍රිය වැඩීමේ ආනිශංස වලින් කිහිපයකි. සමාධිය මිනිසාගේ සිත කය එසේ තැන්පත් කරයි.

කිසියම් පුද්ගලයකුට තවත් දුර විමුක්තිය අරමුණු කර යා යුතු නම් විදර්ශනාව හරහා ප්‍රඥාව වැඩිය හැකිය. සමාධිය මගින් යටපත් කළ කෙලෙස් මල විදර්ශනාවෙන් බලමින් ඉවත් කළ හැකිය. සියල්ල අනිත්‍යය, දුකය, අනාත්මය යනුවෙන් මෙනෙහි කරමින් මමය මාගේය යනුවෙන් තිබූ ආත්ම සංඥාව නිෂේධනය කළ හැකිය. එතැනින්ම ඔහු විමුක්ති මාර්ගයට පිවිසෙයි. අනන්ත කාලයක් බියකරු සංසාර ගමන බිඳ දමයි. මෙතෙක් පෘතග්ජන නාමයෙන් හැඳින්වූ පුද්ගලයා ආර්ය ශ්‍රාවකයකු බවට පත්වෙයි. තමා විසින්ම වැර වෑයමෙන් විමුක්ති මාර්ගය ප්‍රත්‍යක්ෂය කරගනී.

ඉහත සඳහන් කළ ගමන් මාර්ගය පහසුවෙන් පිවිසිය හැකි මගක් නොවේ. එයට හේතුව මෝහය විසින් අපව වෙළාගෙන සිටීමයි. එමනිසා අපි විවිධ කෙලෙස් මලින් සිත වෙළාගෙන විවිධ කායික මානසික පීඩා විඳිමින් ජීවත් වෙමු. සිත රවටන සුලු සුලු කම්සැප දැක එහි නවතිමු.

එය නැවත නැවත ලබන්නට ගිජු වෙමු. ඒ සඳහා උපක්‍රම සොයා වෙහෙසෙමු. සියලු ප්‍රතිමාන බිඳ දමා ඒ පසුපස දුවමු.

මේ ගමන යන තරමට පීඩා වැඩිය. රෝගය අසාධ්‍යය. බෞද්ධ මනෝ උපදේශනයෙන් මෙබඳු අසාධ්‍ය රෝගීහු සුවපත් කරති. ඒ සඳහා ඖෂධයෝ තිස් හතක් අපගේ බුදුහු අනුදැන වදාළහ.

ඒ ඖෂධ භාවිතයෙන් අරිය වමනය කරවති. අරිය විරේචනය කරවති.කෙලෙස් හුල් උදුරා දමන ශල්‍ය කර්ම කරති. එසේ කර පුද්ගලයා පෙළූ සසර දුක නැමති රෝගයෙන් සුවපත් කරති. මේ සුවය ලැබීම සඳහා රෝගියාගේ කුසලතා අනුව පිවිසීම කළ හැකිය. අවම කුසලතා ඇත්තහු ශීලය හරහා පිවිසෙති. මැද මට්ටමේ ඇත්තෝ සමාධියෙන්ද කුසලතා බහුල වූවෝ ප්‍රඥාවෙන්ද පිවිසී සුවය ළඟා කරගනිති.

අදහස්