මහනුවර පැවිලියන් මන්දිරයේ සැඟවගිය රජ කතා | සිළුමිණ

මහනුවර පැවිලියන් මන්දිරයේ සැඟවගිය රජ කතා

මහනුවර රජගෙදර සිටි සුද්දන් එදා අපව දුටු හැටි

රංජිත් ගුණවර්ධන

ලක්දිව ඉතිහාසයේ වැදගත් සිද්ධීන් හා බද්ධ වූ මන්දිර අතර රටේ පාලකයන් විසින් භාවිතා කරන ලද ස්ථාන අත්පත් කරගෙන ඇත්තේ විශේෂ ස්ථානයකි. ඒ අතරින් බ්‍රිතාන්‍ය පාලන සමයේදී ‘පැවිලියන් මන්දිරය‘ නමින් හැඳින්වූ මහනුවර පිහිටි ජනාධිපති නිල නිවාසය සුවිශේෂි වැදගත්කමක් දරන්නේ මෙරට ආණ්ඩුකාරවරුන් හා ජනාධිපතිවරුන් වැඩිපුරම පරිහරණය කළ ප්‍රාදේශිය නිල නිවාසය නිසාය.

එම ගොඩනැගිල්ල 19 වැනි සියවසේදී බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි ඉදි කරන ලද ගොඩනැගිලිවල ස්වරූපය දරන්නකි. එම යුගයට අයත් එබඳු ගොඩනැගිලි ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේදී ද දැකිය හැකිය. ඓතිහාසික වටිනාමකින් යුත් මෙම පැවිලියන් මන්දිරය ඉදි කර ඇත්තේ 1815 සිංහල රජු සිහසුනෙන් පහ කොට උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වීමෙන් අනතුරුවය.

පැවිලියන් මන්දිරය ආශ්‍රිතව සිදු වූ අපුරු සිදුවීම්

බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරට ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කළ ටොරින්ටන් සාමිවරයාගේ ධුර කාලයේදී මහනුවර ජනාධිපති මන්දිරය (පැවිලියන් මන්දිරය) ආශ්‍රිතව සිදු වූ අපූරු සිදුවීමක් මෙරට කෝපි වගාවේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ විලියම් බොයිඩ් මහතා රචිත (Ceylon and its pioneers) නම් ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ.

“මරණ දණ්ඩනය නියම වූ අපරාධකරුවෙකු වධකස්ථානය වෙත රැගෙන යනු විලියම් බොයිඩ් තවත් පිරිසක් සමඟ බලා හිඳ ඇත්තේ පැවිලියන් මන්දිරය ඉදිරිපිට මාර්ගයේ සිටිමිනි. එම බිහිසුණු ක්‍රියාව ක්‍රියාත්මක වන අයුරු දැකිමට බොයිඩ් ඇතුළු පිරිස වධකස්ථානයට පිවිස ඇත්තේ කුතුහලයෙනි. එහෙත් එම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ නොහැකි වී ඇත්තේ මරණයට නියම වූ මිනිසා එල්ලූ කඹය කිහිප වතාවකදීම කඩා වැටීම නිසාය. සිවුවන වරටත් මිනිසාගේ ගෙල මත මළ පුඩුව දැමූ අවස්ථාවේදී මිනිසුන් දෙදෙනෙකු වධකස්ථානයේ සිටි පිරිස දෙපසට කරමින් ඉදිරියට පැමිණ හඬ නඟා පවසා සිටියේ එල්ලා මැරීමේ කටයුතු නතර කරන ලෙසය. ඉන් එක් පුද්ගලයෙකු වූ ජැක් කර්ට්මන්ස් ඔහුගේ හිසට උඩින් කඩදාසියක් වනමින් සිටිනු බොයිඩ් මහතා දැක තිබේ.

මිනිසා එල්ලා මැරීමේ ප්‍රථම ප්‍රයන්නය වැරැදීමෙන් කම්පනයට පත් ජැක් කර්ට්මන්ස් වේගයෙන් පැවිලියන් මන්දිරය තුළට ආරක්ෂාවට සිටි භටයන්ද පසු කොට දිව ගිය ඔහු පැවිලියන් මන්දිරයේ පෙරමුණේ සිටි පරිවාර නිලධාරියෙකුද පසෙකට තල්ලු කොට ටොරින්ටන් ආණ්ඩුකාරවරයා සහ පවුලේ අය උදේ ආහාරය ගනිමින් සිටි කාමරයට කඩා වැදුණේය.

කර්ට්මන්ස්ගේ තැතිගත් විලාසය දුටු ටොරින්ටන් ආර්යාව සිහිසුන් වූවාය. ඔහු යටත් විජිතයේ ප්‍රධාන නිලධාරියා ඉදිරියේ දණින් වැටී “උතුම‍ාණෙනි අරුන් මිනිහෙක් මරනවා” යැයි උමතුවෙන් මෙන් හඬ නඟා තිබේ. මහත් සේ කැලැඹීමට පත් ටොරින්ටන් සාමීවරයාගේ සුරතේ තිබූ බිත්තරයද බිම වැටී අනවසරයෙන් කාමරයට කඩා වැදීම පිළිබඳව පරුෂ වචනයෙන් බැණ වැදුණු බව බොයිඩ් හමු වූ ජැක් කර්ට්මන්ස් පවසා ඇත්තේ සිනාසෙමිනි.

කර්ට්මන්ස්ගේ විස්තරය කෝපයෙන් අසා සිටි ටොරින්ටන් ආණ්ඩුකාරවරයා මරණීය දණ්ඩනය අත්හිටුවන ලෙස ආඥාවක් ඔහු වෙත ලබා දී ඇති අතර කර්ට්මන්ස් එදා හිසට උඩින් වනමින් දිව ගියේ ඒ ආඥාව බව බොයිඩ් සිය ග්‍රන්ථයේ විස්තර කොට ඇත්තේ අපූරු ලෙසිනි.

කැරැලිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම

1848 උඩරට කැරැල්ල අවසන් වෙමින් තිබියදී විලියම් බොයිඩ් ‍රෝගාතුරව මහනුව ත්‍රිකුණාමල වීදියේ පිහිටි ‘ස්කොව්ස්කර්ත්’ නම් කතෝලික දෙවස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහු එම ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ මෙලෙසිනි.

“අසනීපය සුව වී නැවත එහා මෙහා යෑමට මට හැකි වන විට උඩරට කැරැල්ල අවසානයට ළං වී තිබිණි. එහෙත් මට ඉතා ජුගුස්සාජනක සිදුවීමක් නැරඹීමේ අවස්ථාව උදා විණි. එක් උදෑසනක දේවස්ථානයේ මිදුලේ මා සක්මන් කරමින් සිටියදී උඩරට කැරැල්ලේ නායකයෙකු ලෙස හැඳින්වූ එක් සිරකරුවකු මහනුවර නගරය වෙත රැගෙන එන බව දැනගන්නට ලැබිණි.

යුද අවි ඇතැතිව සිටියදි අත්අඩංගුවට ගැනුණු ඒ කැරලි නායකයා ඒ වන විට පැවිලියන් මන්දිරයට රැස් වී සිටි යුද්ධාධිකරණය වෙත පැමිණිවීමට නියමිතව තිබුණු බව දැනගත් මා එම සිදුවීම සියැසින් දුටුවේ මෙලෙසිනි.

“මා එහි යන විට 20 දෙනෙකුගෙන් සමන්විත වෙඩි තබන හමුදාවක් පෙළගැසී සිටියේය. කැරලිකරුවා වධකාගාරයට ගෙනවිත් වධක කණුවේ බැඳ දමා තිබුණු අතර අණ ලැබු සැණින් තුවක්කු ඇතැතිව සිටි හමුදා භටයන් දස දෙනෙකු කැරැලිකරුවාට වෙඩි තැබූ නමුත් ඔහු සිටියේ හුස්ම ගනිමිනි. යළිත් අණ ලැබු සැණින් අනෙක් භටයන් දස දෙනා කැරැලිකරුවාට වෙඩි තැබුහ. ඒ අවස්ථාවේදිත් කැරැලිකරුවා පණ අදිමින් සිටිනු දුටු පැවිලියන් මන්දිරයේ උද්‍යාන පාලකවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ස්ටේට්ස් සිය පිස්තෝලයෙන් වෙඩි තබා කැරලිකරුවා මරණයට පත් කළේය.

බ්‍රිතාන්‍ය පාලන සමයේදි පැවිලියන් මන්දිරය ආශ්‍රිතව පැවැත් වූ උත්සව හා සම්භාෂණ

පැවිලියන් මන්දිරය ආශ්‍රිතව උත්සව හා සම්භාෂණ රැසක්ම බිතාන්‍ය පාලන සමයේදී සිදු වී තිබේ. 1857 වසරේදී පැවති එවැනි උත්සවයක් පිළිබඳ 1858 -04 -05 දින නිකුත් වූ “ලෙස්ට්‍රේඩ් ලන්ඩන්” පුවත්පතේ පළ වූ ලිපියකින් විස්තර කොට තිබුණේ මෙසේය.

“ලක්දිව පාලනය කිරීම සඳහා අලුතින් පත් කළ ආණ්ඩුකාරවරයා වු ශ්‍රීමත් ජොර්ජ් ඇන්ඩර්සන් මහනුවර අවට පළාත්වල ස්වදේශිය රදළ ප්‍රධානීන් හා මුලැදැනිවරුන් හඳුනාගැනීම සඳහා ප්‍රිය සම්භාෂණයක් පැවත්වීය. 12 කණිසමට පැවිලියන් මන්දිරයේ පිළිගැනීම් ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව විශාල පිරිසකගෙන් එය පිරී ගියේය. ඔවුන් එහි රැස්ව සිටියේ විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන් ලෙසිනි. දකුණු පස දිසාපතිවරුන් වූ අතර ඔවුන්ගේ අඥාවෙන් රන්පුරයෙන් වැඩ දැමූ මුදුනේ අපුරු මැණිකක් සහිත විශාල සිවුකොන් තොප්පියක්ද ඉදිරියට නෙරා යන සේ අඳින ලද කපු හා මස්ලින් රෙදි සම්මිශ්‍රණය වූ පොට්ටනියකින් ශරිරයේ පහළ කොටස සැරැසී තිබුණේය.

ඔවුන්ගේ නායකයා ලෙස සිටියේ රටේ ඉහළම කුලයට අයත් වැඩිමහලු පුද්ගලයා වූ අවසන් රජුගේ අගමැතිගේ පුත්‍රයා වූ ලොකුබණ්ඩා නැමත්තෙකි. උඩරට රාජධානියේ සුවිශේෂි පිරිසක් වූ බෞද්ධ භික්ෂුන් වහන්සේ වම් පස වැඩ සිටියේ උන්වහන්සේලාගේ පදවියේ ලාංඡනය ලෙස සැලකෙන වටාපත වමතින් ගෙනය. ප්‍රධාන බෞද්ධ භික්ෂුන්වහන්සේ වැඩ සිටියේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පෙරටු කර ගනිමිනි. මුලෑදැනිවරුන් ඔවුන්ගේ පුදුමාකාර හිස් වැස්ම පැලඳ උඩුකය නොවසා ශරිරයේ පහළ කොටස සුදු කළු ඇඳුම් පැලඳ මන්දිර කොරිඩෝවේ එක් පසෙක හිටගෙන සිටියේ පැවිලියන් මන්දිරයේ පිළිගැනිම් ශාලාව රැස්ව සිටි පිරිසට ප්‍රමාණවත් නොවු බැවිනි.

මහනුවර ඇසළ පෙරහර

ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා 1872 වසරේදී මහනුවර පැවිලියන් මන්දිරයේ සිට මහනුවර ඇසළ පෙරහර නැරැඹු ආකාරය ඔහුගේ ජීවිතය පිළිබඳ ග්‍රෙගරි ආර්යාව ලියු( An Autobiography of Sir willam Gregory) නැමති ග්‍රන්ථයේ සටහන් කර තිබේ.

“රාත්‍රි භෝජනයෙන් පසු පැවිලියන් මන්දිරයට පිටතින් මහත් ඝෝෂාවක් ඇසෙන්නට විය ස්වදේශීය රදළ ප්‍රධානි ඔවුන් පෙරහර නමින් හඳුන්වාගත් අලි ඇතුන්ගෙන් සමන්විත සංදර්ශනයකින් අපට ගෞරව කරන්නට බලාපොරොත්තු වන බව දැනුම් දෙන ලදි. රදළ ප්‍රධානීන් හා පන්සල්වල නායක භික්ෂුන් විසින් දිවයිනේ සිටි හොඳම අලි ඇතුන් ගෙන්වා තිබිණි. ඔවුන් මේ සතුන් ළඟ තබාගෙන සිටියේ ප්‍රායෝගික අවස්ථා සඳහාම නොව ප්‍රදර්ශන සහ උත්සව චාරිත්‍ර සඳහා ය .

එක් එක් රදළ ප්‍රධානියා හෝ පන්සලේ නායක භික්ෂුව තමාගේ තූර්ය වාදක කණ්ඩායමට ඉදිරියෙන් ගමන් කළේය. තූර්ය වාදකයෝ ඉතා අප්‍රසන්න භාණ්ඩ වාදනය කළෝය. මේ ප්‍රධානින් පසුපස ගමන් කළේ ශරීර පාට කරගත්තාවූද ශබ්ද නැඟූ පිත්තල ආයිත්තමින් සැරසුණාවූද තමන්ගේ ශරීර විවිධාකර ඇද කුදවලට භාජනය කර සිටි යක් නැට්ටුවෝය. අනතුරුව පසු බිමේ පැවති අන්ධකාරයෙන් කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමි‍ණියේ පන්දම් එළියෙන් යන්තම් දිස්වු විශාල ගම්භීර පෙනුමෙන් යුත්ත වූ අලි ඇත්තුය.

මෙය ඇත්ත වශයෙන්ම ලොමු ඩැහැගන්වන දසුනක් විය. මා අරාබි ජාතිකයෙකු වුයේ නම් මෙම අවස්ථාව රාත්‍රි කාලයට නියමිත කිසියම් භායානක වුද අද්භූත වුද බිලිදීමකට සූදානම් කෙරුණු එබිලිස් නම් වූ අන්ධකාරයේ දේවතාවට කෙරුණු පුද සත්කාරයක් යැයි සිතන්නට ඉඩ තිබිණි. එහෙත් මේ අවස්ථාවේදී කිසිදු බිලිදීමක් සිදු වුයේද නැත. බිලි දෙන ලද්දේ උක්ගස් කිහිපයක් පමණි. පැවිලියන් මන්දිර‍ය වටා රැස්ව සිටි ඉතා යහපත් හැසිරීමෙන් යුත් අලි ඇතුන් උක් ගස් මහත් සේ ගිජු කමින් කා දමනු මා බලා සිටියේ නොවිසිලිමත්වය.”

සුනඛයාට සොහොනක්

ගෙග්‍රරි ආර්යාව සුනඛයන්ට මහත්සේ ඇලුම් කළ කාන්තාවක් වුවාය. ඇය සුරතලේට ඇති දැඩි කළ සුනඛයකු මිය ගිය පසු වළ දමා ඒ මත සොහොනක් ඉදි කොට ගල් පුවරුවක්ද සිටුවා ශෝක වාක්‍ය කෙටු පුවරුව අද වන විට ද මහනුවර ජනාධිපති මන්දිර පරිශ්‍රයේදි දැකගත හැකිය. එම පුවරුවේ” සුනඛයන් අතුරින් ඉතාම විශ්වාසවන්ත වුද, ආදරබරිතවුද, පින්වත් සත්වයෙකු මෙහි සැතපේ.

1871 පෙබරවාරි 14 දින පාදඩ බල්ලෙකු සපාකෑම නිසා ඈ මිය ගියාය. මනුෂ්‍යත්වයට හිමි සියලු යහගුණ දැරු අතර ඊට හිමි දුර්ගුණ කිසිවක් ඇතුළු නොවීය.” යනුවෙන් සඳහන් කොට තිබේ.

‍ෙලෙනාඩ් වුල්ෆ් සහ පැවිලියන් මන්දිරය

බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලංකා සිවිල් සේවයේ සහකාර ඒජන්තවරයෙකු ලෙස කටයුතු කළ රුහුණේ ජන ජීවිතය අදාළ ද විලේජ් ඉන්ද ජංගල් (බැද්දේගම) නැමති ජනප්‍රිය නවකතාවේ රචකයා වූ ලෙනාඩ් වුල්ෆ් මහතා ඔහුගේ ස්වයං චරිතාප්‍රදානයේ පැවිලියන් මන්දිරය පිළිබඳව සඳහන් කොට තිබේ. එම ග්‍රන්ථයේ එවකට යටත් විජිත ලේකම් හා ලක්දිව වැඩබලන ‍ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් හියුක්ලිෆ්ර්ඩ් පිළිබඳව සිදු වීමක් සටහන් කර ඇත්තේ මෙලෙසිනි.

“ක්ලිෆර්ඩ් මහත් සේ ස්ත්‍රී සමාගමය ප්‍රිය කළ අයෙකි. ඔහු වැඩ බලන ආණ්ඩුකාර ධුරය දැරූ කාලයේදී ඉන්දීය යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ රූමත් බිරිය සති කිහිපයක චාරිකාවක් සඳහා මහනුවරට පැමිණියාය. ඇය එම දින කිහිපය ගත කළේ පැවිලියන් මන්දිරයේය. මාද ඒ සමයේ පැවිලියන් මන්දිරය සම්බන්ධ රාජකාරිවල නිරතව සිටියෙමි.

දිනක් මා රොෂල් සමඟ පැවිලියන් මන්දිරයේ හෝර්ටන් ආර්යා චතුරශ්‍රයේ අසුපිට ගමන් කරද්දී අශ්ව කරන්තයක් පසුකොට යනු දුටුවෙමි. එහි සිටියේ වැඩ බලන ආණ්ඩුකාර ක්ලිෆර්ඩ් හා චාරිකාවක් සඳහා මහනුවරට පැමිණි පැවිලියන් මන්දිරයේ නතර වී සිටි රූමත් කාන්තාවය. ඔවුන් දුටු සැණින් ම මට සිතුණේ ක්ල්ෆර්ඩ් ඇය වසඟයට ගෙන ඇති බවය.

ඉන් දින කිහිපයකට පසුව වැඩබලන ආණ්ඩුකාර ක්ලිෆර්ඩ් මට පණිවිඩයක් එවමින් දැනුම් දුන්නේ පැවිලියන් මන්දිර භුමියේ දී ඉහළම පෙළේ අලංකාරවත් උඩරට නැටුම් සංදර්ශනයක් සංවිධානය කරන ලෙසය. රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර පැවැත්වෙන එම නැටුම් සංදර්ශනය සංවිධානය කිරීම සඳහා එවක ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේවරයා එම උඩරට නැටුම් සංදර්ශනය විචිත්‍රවත් කිරීම සඳහා ඔහුගේ පරිවාර නිලධාරීන්, මුලාදෑනිවරුන්, නැට්ටුවන්, බෙරකරුවන් හා සංගීතඥයන් විශාල සංඛ්‍යාවක් සහභාගී කරවීමට ද කටයුතු කළේය.

පැවිලියන් මන්දිරය ඉදිරිපිට පිට්ටනියේ පන්දම් එළියෙන් පැවති එම උඩරට නැටුම් සංදර්ශනය නැරැඹීමට පෙර ක්ලිෆර්ඩ් හා ඉහත කී කාන්තාව ආලිංගනයේ යෙදි සිටි අයුරු මම සියැසින් දුටුවෙමි. මේ සියල්ල සිදු කෙරුණේ මහනුවර සංචාරයකට පැමිණි ඉහත කාන්තාව සතුටු කිරීම සඳහා බව උඩරට නැටුම් සංදර්ශනය නැරැඹීමට රැස්ව සිටි පිරිස රහසින් එහෙන් උපහාසයෙන් කතා කරනු මම නිහඬව අසා සිටියෙමි”.

විශේෂ ස්තුතිය මහනුවර ජාතික

ලේඛනාරක්ෂාගාරයේ නිලධාරි මහතුන්ට.

අදහස්