මෙවර උසස් පෙළ ප්‍රතිඵලය අපට කියන්නේ කුමක්ද? | සිළුමිණ

මෙවර උසස් පෙළ ප්‍රතිඵලය අපට කියන්නේ කුමක්ද?

  • අම්පාර දිස්ත්‍රික්කය අසමත් වීමේ ඉහළටම
  • ප්‍රධාන විෂයධාරාවන්ගේ සමත් ප්‍රමාණයේ ඉහළ යෑමක්
  • වැඩියෙන්ම සමත් රත්නපුර දිස්ත්‍රික්කයෙන්
  • අසමත් ප්‍රතිශත අතර බස්නාහිර, නැ‍ඟෙනහිර, උතුරු-මැද ඉහළින්ම
  • අඩුවෙන්ම අසමත් උතුරු පළාතේ
  • සමත්-අසමත්බව, දිස්ත්‍රික් අනුව

පාසල් ජීවිතයේ තීරණාත්මක පරීක්ෂණය වන්නේ අපොස උසස් පෙළ විභාගයයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය හා උසස් අධ්‍යාපනය අරමුණු කරගනිමින් පැවැත්වෙන මේ තරග විභාගයෙන් තම අරමුණු සාක්ෂාත් කරගැනීමට හැකි වන්නේ ඉතා සීමිත පිරිසකට පමණක් වීම මෙහි ඇති ඛේදවාචකයයි. වර්ෂයක් පාසා ලක්ෂ දෙකහමාරකට අධික සිසු පිරිසක් උසස් පෙළට මුහුණ දෙන අතර, සාමාන්‍ය වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ මේ අතුරින් 60%කට ආසන්න ප්‍රතිශතයකි. පසුගිය දා නිකුත් වූ 2018 උසස් පෙළ විභාග ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාව මෙවන් තත්ත්වයක් විග්‍රහ කිරීමට හොඳම සාධකයකි.

සාමාන්‍යයෙන් විෂයන් තුනෙන්ම අසමත් වීම ‘උසස් පෙළ අසමත් වීමක්‘ සේ සැලකෙන අතර, මෙවර උසස් පෙළ විභාගයේ අසමත් ප්‍රතිශතයද බොහෝ දෙනකුගේ අවධානයට යොමු වූ කරුණකි. ඒ අනුව මෙවසරේ 24,057 දෙනකු අසමත්ව ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 9.01%කි. පසුගිය වසරේ (2017) මේ ප්‍රමාණය 8.69%කි. 2016 වසරේ අසමත් ප්‍රමාණය 8.67 %ක්ද, 2015දී 9.15%ක්ද, 2014දී 8.24%ක්ද වාර්තා වූ අතර, 2013 වසරේ අසමත් ප්‍රමාණය 11.56%ක ඉහළ අගයක් ගෙන තිබිණි.

මේ අතර මෙවර විභාගයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් විෂයන් දෙකක් සමත් ප්‍රතිශතය 16.54%ක් වන අතර, 2017දී ඒ ප්‍රමාණය 16.08%කි. එම ප්‍රමාණය මෙවර සුළු වශයෙන් ඉහළ නැඟීමක් සිදු වී ඇත්තේය. එසේම මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් එක් විෂයක් පමණක් සමත් වූ ප්‍රතිශතය 11.59%ක් වන අතර, පසුගිය වසරේ ඒ ප්‍රමාණය 10.84%කි. එයත් මෙවර සැලකිය යුතු වෙනස් වීමකි.

උසස් පෙළ විභාග ඉතිහාසයේ පසුගිය වසර කිහිපය හා සංසන්දනයේදී වැඩිම අපේක්ෂක පිරිසක් උසස් ‍පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ පසුගිය වසරේය. ඒ 2,67,111 දෙනෙකි. මෙයිනුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ එයින් 1,67,907 දෙනෙක් පමණි. මෙය ප්‍රතිශතයක් ලෙස ගත හොත් 62.86 %කි. මෙසේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 2017 වසරේ 64.38 %ක්ද, 2016 වසරේ 62.17 %ක්ද, 2015 වසරේ 60.91 %ක්ද, 2014 වසරේ 60.43 %ක්ද, 2013 වසරේ 58.35 %ක්ද වේ.

මේ අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 2017 වසරට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කළද 2013 වසරේ සිට මේ ප්‍රතිශතය අනුක්‍රමයෙන් වැඩි ව ඇති බවක් නිරීක්ෂණය කළ හැකිය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 'ඒ' සාමර්ථ්‍ය 3ක් හිමි කරගැනීමේ ප්‍රතිශතය 2018 වසරේ 1.99 %කි. මෙහිද පසුගිය වසරට සාපේක්ෂව කරන සංසන්දනයේදී යම් අඩුවීමක් පෙන්නුම් කරන අතර, 2017 වසරේ මේ ප්‍රමාණය 3.26 %ක්ද, 2016 වසරේ 2.76 %ක්ද, 2015 වසරේ 2.57 %ක්ද, 2014 වසරේ 2.36 %ක්ද වී ඇත. මේ අනුව 2013 වසරේ සිට 2017 වසර තෙක් විෂයයන් තුනටම ඒ සාමර්ථ්‍ය 3ක් ගැනීමේ ප්‍රතිශතය වසරින් වසර වැඩී වී ඇති අතර, අඩුම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ මේ වසරේදීය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ ප්‍රධාන විෂයධාරා කිහිපයක් යටතේය. මේවා නිදහසේ තමන්ට උචිත පරිදි තෝරාගැනීමේ නිදහස සිසුන්ට තිබුණත්, බහුතරයක් පෞද්ගලිකව තමාට අපහසු විෂයධාරා තෝරාගැනීමද මේ අසමත් ප්‍රමාණය වැඩි වීමට හේතු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට වැඩි සිසු පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ වාණිජ විෂයධාරාවටය. ඒ 66.84 %කි. පසුගිය වසරේ මේ විෂයධාරාවට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. එහෙත් පසුගිය වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට වැඩි සිසුන් පිරිසක් ඉදිරිපත් කිරීම අතින් කලා අංශයට මුල් තැනක් හිමිව ඇතත්, මෙවර එයට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. එනම්: කලා අංශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ 65.61 %කි. මෙහි තුන්වැනි ස්ථානයට අලුතින් හඳුන්වා දුන් ජෛව තාක්ෂණවේදි විෂයධාරාවටත් හතරවැනි ස්ථානයට ජීව‍ විද්‍යා විෂයධාරාවටත් පස්වැනි ස්ථානයට ඉංජිනේරු තාක්ෂණවේදයටත් හයවැනි ස්ථානය භෞතක විද්‍යා විෂයධාරාවටත් හිමිව තිබේ.

පසුගිය වසරට සාපේක්ෂව මේ ප්‍රධාන විෂයධාරාවන්ගේ සමත් වීමේ ප්‍රතිශතය සංසන්දනය කිරීමේදී මෙවර පැහැදිලි වෙනසක් දැකිය හැකි වන්නේය. ඒ 2017 මේ ප්‍රධාන විෂයධාරාවන්ගේ සමත්වීමේ ප්‍රමාණයට සාපෙක්ෂව ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කලා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව තාක්ෂණවේදය හා වෙනත් විෂයධාරා ඔස්සේ පෙනී සිටි අපේක්ෂකයන්ගේ සමත් ප්‍රමාණය මේ වසරේදී පැහැදිලි ලෙසම වැඩි වී ඇති ආකාරය සතුටුදායි වන අතර, වාණිජ විෂයධාරාවේ සමත් ප්‍රමාණයේ පමණක් යම් අඩුවීමක් දැකිය හැකිය. එසේම මෙවර ජීව විද්‍යා, භෞතික විද්‍යා, ඉංජිනේරු හා ජෛව තාක්ෂණවේද යන විෂයධාරාවන්හි විෂයන් තුනටම 'ඒ' සාමර්ථ්‍ය ගත් ප්‍රමාණයද මෙවර යම් වැඩි වීමක් පෙන්නුම් කර තිබේ. එසේම මෙවර භෞතික විද්‍යා හා වාණිජ විෂයධාරාවන්හි අසමත් ප්‍රමාණයේද සැලකිය යුතු අඩු වීමක් පෙන්නුම් කර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී අපේක්ෂකයන් විභාගයට පෙනී සිටින පළාතද වැදගත් සාධකයක් වන අතර, ප්‍රධාන පළාත් නවයේ සමත්-අසමත් වීම් මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලත් ප්‍රමාණයේ පැහැදිලි වෙනස්කම්ද මේ විශ්ලේෂණයේදී දැකිය හැකිය. 2018 උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව පළාත් මට්ටමින් සියලු විෂයන් අසමත් ප්‍රතිශත සටහන් වන්නේ සබරගමුව 7.97 %ක්ද, වයඹ 7.96 %ක්ද, දකුණ 8.78 %ක්ද, බස්නාහිර 8.96 ක්ද, ඌව 8.20 %ක්ද, උතුරු 7.57 %ක්ද, උතුරුමැද 9.53 %ක්ද, මධ්‍යම 8.25 %ක්ද, නැ‍ඟෙනහිර 10.94 %ක්ද වශයෙනි.

ඒ අනුව වැඩියෙන්ම අසමත් පළාත් පිළිවෙළින් නැ‍ඟෙනහිර, උතුරුමැද, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් වන අතර, අඩුවෙන්ම අසමත් ප්‍රමාණයන් දක්වා ඇති පළාත වන්නේ උතුරු පළාතයි. පසුගිය වසරේදීද වැඩියෙන්ම අසමත් ප්‍රතිශතයක් දක්වා ඇත්තේ නැ‍ඟෙනහිර පළාතින් වන අතර, අඩුවෙන්ම වාර්තා වී ඇතතේ උතුරු පළාතින් වන අතර, පසුගිය වසරේ හා මෙවසරේ අසමත් ප්‍රතිශත අතරද කිසිදු වෙනසක් වී නැති වීම විශේෂත්වයකි.

2018 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සමත්-අසමත් වීම් දිස්ත්‍රික් පාදකව විමසුව හොත් පාසල් අපේක්ෂකයන් වැඩිම ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.

ඉන් පසු පිළිවෙළින් මන්නාරම, පුත්තලම, කොළඹ, කුරුණෑගල, යාපනය, මොනරාගල, මාතර, කළුතර, නුවරඑළිය, ගාල්ල ලෙස දිස්ත්‍රික් පෙළගැසෙන අතර, අඩුම සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. කොළඹ අසමත් ප්‍රතිශතය 7.57 %ක්ද, කුරුණෑගල 7 %ක්ද ගම්පහ 8.55 %ක්ද නුවර 9.44 %ක්ද වේ.

මේ සියලු දෙයින් අපට සිතන්නට - කරන්නට බොහෝ දේ තිබේ. රටක් වශයෙන් ඉදිරියට පිය නඟන්නට නම් අධ්‍යාපනයේ යම් යම් ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යය. මේ වන විට උසස් පෙළ විභාගයේ පමණක් නොව, අනෙකුත් විභාගයන්හිද වෙනස්කම් රැසක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.

ඒ අනුව ඉදිරියේදී මීට වඩා යහපත් ප්‍රතිඵල සටහනක් රටට ලැබෙනු ඇතැයි අපි සුභවාදි බලාපොරොත්තු රඳවාගෙන සිටිමු.

(සංඛ්‍යාලේඛන: විභාග දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් සකස් කළ '2018 අපොස උසස් පෙළ විභාග විශ්ලේෂණ වාර්තාව' ඇසුරෙනි)

අදහස්