පිරිමි කරන්න ඕනෙ පිරිමිකමට ගැළපෙන දේ | Page 2 | සිළුමිණ

පිරිමි කරන්න ඕනෙ පිරිමිකමට ගැළපෙන දේ

 ඔහුට අවශ්‍ය, ජේත්තුකාර වැදගත් පිරිමින්ගෙන් පි‍රි රටකි. වසර 70 ක් පුරා Men’s wear හැදූ හමීඩියා, 2019 සිට ෆවුසුල් හමීඩ් හා අලුත් සිහිනයක් දකියි. එනම්, ‘Man must be a real man…’ යන්නයි.

එය සැබෑ වුවහොත්, අපේ රටේ හැම පිරිමියෙකුම ‘සැබෑ පිරිමියෙකු’ සේ සිතනු පතනු ඇත. අඳිනු පලඳිනු ඇත. යම් පමණක හෝ වැදගත් පිරිමි සමාජයක් රටට බිහිවනු ඇත.

ව්‍යාපාරික ලෝකෙ තරුවක් වෙලත් ඇයි තවමත් ඩිසයිනර් කෙනෙක් හැටියට හඳුන්වනවට කැමැති...

ඕ‍ෙන කෙ‍නකුට පුළුවන් ව්‍යාපාරිකයෙක් වෙන්න. ඒත් ඩිසයිනර් කෙනෙක් හැටියට මං මේ කරන දේ හැමෝටම කරන්න බැහැ. ඩිසයිනින් හරහා මං මිනිස්සුන්ගෙ ප්‍රතිරූපය වෙනස් කරනවා. ආකල්ප වෙනස් කරනවා. මිනිස්සු මං කියන දේ පිළිගන්නවා. මේ සමාජයේ මට කොහේ හරි හොඳ තැනක් තිබෙන බව පේනවා. ඒ තැන මං ගොඩනඟා ගත්තෙ, ව්‍යාපාරය ගොඩනඟනවා තරම්ම මහන්සියකින්. වැදගත්ම දේ තමයි, මං ඩිසයින් කරන්නෙ විකුණන්න. ඉතින්, විකිණෙන ඩිසයින් කරන එකයි, මේ ව්‍යාපාරයේ පැවැත්ම.

ව්‍යාපාරය රටේ ඉහළම තැනෙක තිබෙද්දීත් ඇයි ඔබ මේ අලුත් සංකල්ප සමාජගත කරන්න වද වෙන්නෙ...

මං ඇඳුම් විකුණලා, ලාභ ලබලා විතරක් සෑහීමකට හෝ සතුටට පත් වන කෙනෙක් නෙවෙයි. මම, මෙන්ස් වෙයාර්, ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. නිෂ්පාදකයෙක්. පිළිගත් ඇඳුම් මහන්නෙක්. රිටේලර් හෙවත් සිල්ලර වෙළෙන්දෙක්. උපදේශකයෙක්. මේ හැම කෙනෙක් විදියටම ලබන අත්දැකීම් එකිනෙකට වෙනස්. තෘප්තිය වෙනස්. හැබැයි අවසානයේ යන්නෙ එකම අරමුණකට.

මොකක්ද ඒ අරමුණ....

පිරිමි අඳින්න පලඳින්න ඕනෙ, පිරිමි වගේ‍. ඒ වගේ ම, අඳින ඇඳුමෙන් පිරිමියකුගේ බලය - ජවය සහ වැදගත්කම පේන්න ඕනෙ. මගේ තේමාව තමයි ‘Man must be a real man…’ මේ රටේ හැම පිරිමියෙක් ම ‘රියල් මෑන්’ කෙනෙක් විදියට හිතන - පතන, අඳින - පලඳින තැනට ගේන එකයි මගේ ඒ සිහිනය.

ඉතින් ඔබ විතරක් කොහොමද ඒ දේ කරන්නෙ...

යූ ටියුබ් එකේ, ‘FH. Men‘s style Guid’ අපේ චැනල් එක හරහා. තව, අපේ FH ෆැෂන් ඇකඩමිය හරහා. FH යූ ටියුබ් චැනල් එකෙන් මේ රටේ ඕනෑම කෙනකුට පුළුවන්, හොඳ ඇඳුමක් තෝරාගන්නෙ කොහොමද... පෞරුෂය පේන්න අඳින්න පලඳින්නෙ කොහොමද කියන දැනුම සහ උපදෙස් ලබාගන්න. මොකද සල්ලි තියෙනවා නම් ඇඳුමක් - රෙද්දක් මිලදී ගන්න එක, රොකට් සයන්ස් නෙවෙයි. හැබැයි හරිම සහ හොඳම දෙයක් මිලදී ගන්න, ඔබට මඟ පෙන්වන්නෙක් අවශ්‍යයයි. මං ඔබට උගන්වන්නෙ ඒ මඟ පෙන්වීම.

එතකොට FH ඇකඩමියෙ උගන්වන්නෙ...

ස්මාර්ට් පිරිමියෙක් විදියට කොහොමද ඉදිරියට යන්නෙ කියන දේ‍. හුඟක් ආයතනවල කොයිතරම් හොඳින් වැඩ කළත් ප්‍රමෝෂන් ලැබෙන්නෙ නැහැ. යහපත් ආකල්ප, තැනට ගැළපෙන ඇඳුම් පැලඳුම්, තෝරාගන්නා වර්ණ, හෙයාර් කට් එක... කතා කරන‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ ඇවිදින විදිය. මේ හැම දේම වෘත්තීය ජීවිතයේ ඉහළට යෑම කෙරෙහි බලපානවා. මේ සියල්ල ඇතුළත් එක් දින වැඩසටහනක් මං පටන් ගත්තා. ‘Real Men’ කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එකයි මං මේ වැඩසටහනින් කියලා දෙන්නේ.

Real Men කෙනෙක් වෙන්න අත්හළ යුතු දේ මොනවද...

ගැහැනු වගේ ඕපාදූප කතා කරන එක. මඩගහන දේවලට හවුල් වෙන එක. කේළාම් කියන සහ අහන එක. කොටින්ම පිරිමියකුගේ වැදගත්කමට හානි කරන හැමදේම.

පිරිමියෙකුගෙ වැදගත් පෙනුම නැති කරන වර්ණ මොනවද...

පිරිමියෙක් අඳින්නෙ ඕනෙ කෝපරේට් කලර්ස් නැත්නම් පිරිමි පාට. නිල්, සුදු, අළු, බේජ්, නිල් ඉරි, කොටු මේවායේ විහිදුණු වර්ණ පරාසයන් හොඳයි. රෑට නම් තද වර්ණ තමයි පිරිමින්ට ගැළපෙන්නෙ. රෝස, කහ, තැඹිලි, පිරිමින්ට ගැළපෙන පාට නෙ‍ෙවයි.

අපිළිවෙළට අඳින පිරිමි දකිනකොට මොනවද හිතෙන්නෙ‍...

ඇත්තටම මට තරහා යනවා. මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ කියලා හිතෙනවා. තමන්ගෙ වයිෆ්ව ලස්සනට අන්දවලා ඉස්සර කරගෙන යන බහුතර පිරිමි දිහා බලන්න. බඩ ඇවිල්ලා, ඇඳුමෙ පැලඳුමේ පිළිවෙළක් නැහැ. ඒ අය හිතන්නෙ හොඳ වාහනයක් ගෙයක් ගන්න. හොඳ ෆෝන් එකක් ගන්න විතරයි. හැබැයි තමන් ගැන සැලකිල්ලක් නැහැ. තියෙන්නෙ සපත්තු කුට්ටම් දෙකද, ඒක ඇඳුමෙ පාටට මැච් කරලා අඳින්න බැරි ඇයි. බෙල්ට් එක සහ සපත්තු දෙක අනිවාර්යයෙන් එකම වර්ණයක් විය යුතුයි. පිරිමියෙක් පළමුවෙන් ම ස්මාර්ට් වෙන්නෙ, අඳින ඇඳුමෙන්.

Men’s wear විතරක් නොකර, කාන්තා විලාසිතාත්, විකුණුවා නම් ලාභයි කියලා හිතෙන්නෙ නැද්ද...

නැහැ. ඒ ලාභයට වඩා, පිරිමියෙක් පිරිමිකමට, වැදගත් පෙනුමට ඇඳලා ඉන්නවා දකින කොට මට මාර සතුටුයි. ගෑනු ළමයි හොයන්නෙ ස්මාට් කොල්ලො. පළමු දැක්මෙන් ම, පෙනුම නෙ‍ගටිව් වුණොත් වැඩක් නැහැ.‍ මොන විදියකින් හරි Real Men කෙනෙක් වීමයි වැදගත්. මට ඕනෙ ඒ දේ කරන්න.

හමීඩියා පවුලේ ව්‍යාපාරයක් ද...

ඔව්. අදටත් මගේ අම්මා සභාපති ධූරයේ හිඳින. 1925 බිස්නස් එක පටන් ගත්තෙ මගේ තාත්තගේ මාමලා. 1940 මගේ තාත්තා සම්බන්ධ වුණා. 1949 මගේ ආච්චි, තාත්තට ව්‍යාපාරය සල්ලි වලට අරන් දුන්නා. හැබැයි එක කොන්දේසියක් උඩ. ‘මේ බිස්නස් එක ඔයාට දෙන්නෙ, ඔයත් දියුණු වෙලා, දුප්පත් නෑයන්ටත් සලකනවා කියන පොරොන්දුව පිට. Sharing and caring ඒ තමයි, ආච්චිගෙ අණ. ඇත්තටම තාත්තා එහෙම කළා. පුංචි කාලෙ ඉඳලා අපි දැක්කෙ තාත්තගෙ ඒ ආදර්ශය. මගේ තාත්තා එයාට පුළුවන් තරමට දියුණු කරලා බිස්නස් එක දුන්නෙ. එයාගෙ ළමයි හය දෙනාගෙන් පිරිමි දරුවො තුන් දෙනාට. මගෙ අයියා, මම සහ මල්ලිට දැන් මගේ අයියගෙ මල්ලිගෙ ළමයිනුත් ව්‍යාපාරයට ඇවිත්. නජ්ජිත්, මගේ ලොකු දූත් වැඩ කරනවා. හමීඩියා 70 වැනි සංවත්සරය සමරද්දී, තුන්වැනි පරම්පරාවත් වැඩ පටන් අරන්.

අද ඉතාලියේ. හෙට ජපානයේ. අනිද්දා තවත් රටක. ෆැෂන් ෂෝ... සමාජ සේවා... බිස්නස්... මේ ජීවිතේ වෙහෙස නැද්ද...

මේ, මං අවුරුදු 17දී පටන් ගත්තු ගමනක්. වෙහෙස මහන්සිය කෙළවරක් නැහැ. ඒත් ‘ස්ට්‍රෙස්’ මට ප්‍රශ්නයක් නෙවෙයි. ඕනෑම කෙනකුට ජීවිතේ ටිකක් ස්ට්‍රෙස් තියෙන්න ඕනේ. එතකොට තමයි උද්‍යෝගය එන්නේ. උත්තේජනයක් අරන් වැඩ කරන්න හිතෙන්නෙ. කලබල - කරදර නැතිව ඔහේ ගලාගෙන යන ජීවිතේ රහක් තියෙනවද. ස්ට්‍රෙස් ගතිය වැඩි නම් මං පීනන්න යනවා. චම්පක, කළු, රුවන්, මහේල මගේ පරණ ක්‍රිකට් යාළුවො එක්ක ෆුට්බෝල් ගහනවා. ජිම් යනවා. මං ස්ට්‍රෙස්, ෆන් එකක් කරගත්තු කෙනෙක්. ඒ කියන්නෙ ආතතියත් මට විනෝදයක්.

ව්‍යාපාරිකයෙක් හැටියට, රට වෙනස් වෙන්න ඕනෙ කොහොම කියලද හිතෙන්නෙ...

ඇන්ජලෝ මැතිව්ස් හොඳට සෙල්ලම් කළේ නැහැ කියලා එයාව ටීම් එකෙන් හැලුවා. ඇන්ජලෝට එහෙම දඬුවම් කරන්න පුළුවන් නම් ඇයි මේ රටට වැඩක් නොකරන දේශපාලකයන් හලන්න බැරි. තමන් ගැන විතරක් හිතන, බලයට පොරකන මැති ඇමැතිලව මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න ඕනේ.හැම ‍උත්සවයකටම දේශපාලකයන් ගෙන්වා ගන්න කල්චර් එක වෙනස් කරන්න ඕනෙ. අපේ රටේ මිනිස්සු විතරයි මේ විදියට දේශපාලකයන් දේවත්වයෙන් සලකන්නේ. දියුණු රටවල මිනිස්සු ඔවුන්ව තැබිය යුතු තැන තබනවා. ඔවුන්ට ‍ඔවුන්ගෙ රාජකාරිය කරන්න ඉඩ හරිනවා. මං හිතන්නෙ දේශපාලකයාට කලින් අපේ රටේ මිනිස්සුයි වෙනස් වෙන්න ‍ඕනේ.

එහෙම කිව්වට බොහෝ දේශපාලකයන් හැඩ වෙන්නෙ ඔබේ ඇඳුම්වලින්...

මනුෂ්‍යයෝ හැටියට ඔවුන් කිසිම කෙනෙක් එක්ක මගේ පෞද්ගලික තරහක් නැහැ. ඒ හැමෝම හිතවතුන්. මට තියෙන්නෙ රට පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. මා ළඟට එන කාව වුණත් මං උපරිම ලෙස ස්මාර්ට් කරනවා. ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරු වගේ ම, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ගෝඨාභය රාජපක්ෂ, නවීන් දිසානායක, ඉම්ටියාස් බාකීර් මාකර් තුන් පරපුරම ඇතුළු මැති ඇමැතිවරු ගණනාවක් මං හැඩ කරලා ඇති.

එංගලන්තයේ අතිශය ජනප්‍රිය Mr. England Modelling Contest එකේ නිල මෝස්තර නිර්මාණ ශිල්පියාත් ඔබ...

ඒක මට විතරක් නෙවෙයි, ලංකාවටම ලැබුණු ගෞරවයක්. 2014 පටන් මේ දක්වා, එංගලන්තයේ Mr. England තරගාවලියේ නිරූපණ ශිල්පීන් විසි දෙනාගේ ම ඩිසයිනර් හැටියට කටයුතු කරන්නෙ මම. එංගලන්තයේදී චාල්ස් කුමාරයාට මං හදපු කෆ්ලින්ස්වලට එයා හුඟක් කැමැති වුණා. අපේ රටේ ප්‍රභූන්ට වගේම, විදෙස් රටවල ප්‍රභූන් රැසකට ඩිසයිනර් වෙන්න මට පුළුවන් වුණා.

ඔබත් සේවකයන් එක්ක වැඩි ඇයි - හොඳයියක් නැති නායකයෙක්ද...

ඇයි මං එහෙම වෙන්නේ? බිස්නස් එක මගේ වුණාට මට හම්බ කරලා දෙන්න මහන්සි වෙන්නෙ ඒ අය නම්, ඒ මිනිස්සු එක්ක හිනාවෙලා වචනයක් දෙකක් කතා කළාම මොකද වෙන්නෙ. තමන්ගෙ මිනිස්සුන්ව බලාගන්න එක හොඳ නායකයකුගෙ වගකීම. මගේ ළඟ වැඩ කරන සේවකයන් 1300 දෙනාම මට එක වගේ. ලොකු තනතුරක හිටියත්, පොඩි සේවකයෙක් වුණත් දෙන්නම මගේ.

සේවකයො ඇඟට එයි කියලා හිතෙන්නෙ නැද්ද...

කොහෙත්ම නැහැ. මං මනුස්සකමත් දන්නවා. සීමාවත් දන්නවා. ඔබ දන්නවද මාත් දවල්ට කන්නෙ සේවකයන්ගෙ කැන්ටිමෙන්‍. මට කැන්ටිමෙන් කන්න බැරි නම් වැඩ කරන මිනිස්සු කන්නෙ කොහොමද. මං කැන්ටිම ගැන බොහොම අවධානයෙන් ඉන්නෙ. බුෆේ ක්‍රමයට එළවළු තුනක්, මාළු හෝ චිකන් එක්ක දෙන ක‍ෑම වේල රුපියල් හැටයි. ඕන ආයතනයක් මාව ආදර්ශයට අරන් සේවකයන්ට මේ විදියට හොඳ දවල් කෑම වේලක් දෙන්න කියලා මම යෝජනා කරනවා. ඕන සභාපතිවරයකුට, MD කෙනෙකුට යුතුකමක් තියෙනවා, තමන්ගෙ සේවකයො කන්නෙ කොහොමද කියලා කැන්ටිමට ගිහින් සොයා බලන්න. එහෙම කළාම සේවකයන්ගෙ හිත්වලින් එන්නෙ තමන්ගෙ නායකයාට ආශිර්වාදයක්. මං ඒ ආශිර්වාදය විඳින්න කැමැතියි.

කවුද ඔබේ ජීවිතයේ Role Model…

අම්මා. අවංකකමේ, ධෛර්යයේ මේ හැම පාඩමක්ම මං ඉගෙන ගත්තෙ අම්මගෙන්. දැන් අවුරුදු 83 ක් වයසයි. ඒ වුණාට තවමත් හැමදේ ගැනම හරිම අවධානයෙන් ඉන්නෙ‍. හැම උදයකම අම්මා මට කතා කරනවා. විස්තර අහනවා. උපදෙස් දෙනවා. වයස 83 ක් වුණාට සර්වන්ට් එක්ක, දෙහිවල ගෙදර තනියම ජීවත් වෙන්නෙ. හිත හරි හයියයි. ඒ වගේම සැරයි. මං අදටත් අම්මට බය පුතෙක්.

අම්මා ඔබේ ජීවිතයට කළ ලොකුම බලපෑම කුමක්ද...

පුංචිම කාලෙ නෝම්බි අල්ලනකොට, මං බොරුවක් කළා කියලා දැනගත්තු වෙලේ අම්මා මගේ කටට මිරිස් කුඩු දැම්මා. අනික තමයි, තාත්තගෙන් බිස්නස් එක ලැබුණට පස්සෙ අයියත් මාත් ටිකක් වැඩිපුර හම්බ කරන්න හිතුවා. ටැග්, ලේබල් නැති සමහර ඇඳුම් අපි විකිණුවෙ ඉම්පෝටඩ් කියලා. අම්මට ආරංචිය ගියා. ‘බිස්නස් එකට බොරු කරන්න එපා!” කියලා එදා අම්මා හොඳටම බැන්නා. අවංක වුණොත් වරදින්නෙ නැහැ කියන ජීවිත පාඩම මං ඉගෙන ගත්තා.

එතකොට තාත්තාගෙන්...

වැල්ලවත්තෙ රෙදි කඩේ කරන කොට තාත්තා ණයට බඩු ගන්නවා. හැබැයි ගෙවනවා කිව්වොත් වෙලාවට ගෙවනවා. වැල්ලවත්ත ලංකා බැංකුව එක හමාරට වහන නිසා, තාත්තා ඊට පැය කාලකට හරි කලින්, අපි කාව හරි ඇතුළට දානවා. අන්තිම මොහොතෙ හරි සල්ලි ටික එකතු කරගෙන ඇවිත්, බැංකුවට දානවා. මුදල් ගනුදෙනුවලදී විශ්වාසය අංක එක, කියන ඒ ජීවිත පාඩම මං ‍ඉගෙන ගත්තෙ, පොඩි ව්‍යාපාරිකයෙක් වෙච්ච මගේ තාත්තගෙන්.

පිටරට බ්‍ර‍ෑන්ඩඩ් ඇඳුම් ඕසෙට ගෙන්වන රටක, ඔබ ලංකාවට බ්‍රෑන්ඩ් හැදුවෙ දෙපාරක් හිතලද...

ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයො හුඟ දෙනෙක් කළා වගේ මුල් කාලෙ අපිත් විකිණුවෙ පිටරටින් ගෙන්වන ඇඳුම්. එහෙම කරද්දි, අනුකරණවලට ව්‍යාජ බඩුවලට අපිත් ඕනෙ තරම් අහුවෙලා තියෙනවා. මෙහෙම දේ විකුණලා පාරිභෝගිකයා රවටලා, ඉදිරියට යන්න බැරි බව තේරුම් ගියේ අම්මා බැණපු දවසේ. මින් පස්සෙ මං විකුණන්නෙ, මට වගකියන්න පුළුවන් මගේම දේ පමණයි කියන තැනට මං ආවා. ෂුවර් නැති ගැරන්ට් නැති අනුන්ගෙ බඩු විකුණන එක නැවැත්වුවා. මං FH, LeBond, Signature, Envoy, Rugby බ්‍රෑන්ඩ් හැදුවා. පිටරටින් මොන දේ ආවත්, අද මේ බ්‍රෑන්ඩ්ස් ලංකාවෙ මධ්‍යම සහ ඉහළ පාන්තික සමාජ තලවල අය අතර හුඟක් ජනප්‍රියයි. වැදගත්ම දේ, මං මේ එක බ්‍රෑන්ඩ් එකක්වත් හැදුවෙ, මාකටින් ඩිග්‍රි ගහලා නම් නෙවෙයි.

පුංචි කාලෙවත් අරපිරිමැස්ම අත්විඳ තියෙනවද...

පුංචි කාලෙ අපි හිටියෙ බේරුවල. මගේ යාළුවො හිටියා මැණික් මුදලාලිලගේ ළමයි. දවසට රුපියල් 10 ක් පොකට් මනි ගේනවා. මට රුපියල් දහයක් හම්බ වෙන්නෙ මාස තුනකට සැ‍රයයි. බිස්නස් එකක් කළාට ළමයි හය දෙනෙක් ඉගෙන ගන්නවා‍. හිතූ විදියට අත දිග ඇරලා වියදම් කරන්න පුළුවන්කමක් අම්මටයි තාත්තටයි තිබුණෙ නැහැ. මං හිටියෙ කොළඹ සහිරා හොස්ටල් එකේ. ගෙදර ගියේ නිවාඩුවට‍. අරපිරිමැස්ම, දරාගැනීම ඒ ළමා කාලෙ මං ඕනෙ තරම් අත්විඳ තියෙනවා.

ඒ සියල්ලට හරියන්න, අද ඔබ මේ රටේ ධන කුවේරයන් අතර කෙනෙක්...

මං තවමත් එහෙම හිතන්නෙ නෑ... අපි එක ඇඳුමක් හදලා විකුණන්නෙ මේ රටට බදු වර්ග 10ක් විතර ගෙවලා. මේවා ඇඟේ ‘උණට’ කරගෙන යන ව්‍යාපාර. අපි අදත් ගෙවන්නෙ ඔබ හිතන තරම් කුවේර ජීවිත නෙවෙයි. හැම මාසෙකම මං රටවල් දෙක තුනකට යනවා. මගේ යාළුවො ඉන්නෙ තරු පහේ හෝටල්වල. මං ඉන්නෙ තරු දෙකේ හෝටලයක. මං හොයන්නෙ, පිරිසුදු සුදු බෙඩ් ෂීට් එකයි, සුදු කොට්ටයි, නාන්න හොඳට වතුර තියෙන පිරිසුදු බාත් රූම් එකකුයි විතරයි. ඒක තරු හත ද පහද දෙක ද කියන එක මට වැදගත් නැහැ. මගේ සරල අවශ්‍යතා ටික තියෙනවා නම් එච්චරයි. මං කවදාවත් තියෙනවට වඩා පෙන්වන්නෙ නැහැ. බිස්නස් එක අනවශ්‍ය විදියට පාවිච්චි කරන්නෙත් නැහැ.

කවුද ‍ඔබේ මැහුම් ගුරු...

මැහුම් ලෝකෙ මගේ විශ්වවිද්‍යාලය වුණේ, මගේ තාත්තගෙ වැල්ලවත්ත රෙදි සාප්පුව; ටේලර් සාප්පුව, මගේ ගුරුවරු වුණේ එහි වැඩ කරපු කෝට් බාස්ලා. මැෂිමටවත් උස නැති පුංචි කාලෙ මං රෙදි කෑලි අරන් කැපුවා. මැෂිමෙ මැහුවා. කෝට් බාස්ලා රෙදි කපන විදිය - මහන විදිය බලාගෙන ඉඳලා ට්‍රයි කළා. අද මම ‘Men‘s wear’ හරහා කරන හැම අලුත් දෙයක් පිටුපස්සෙම තියෙන්නෙ, එදා වැටුණු පදනම, මම මහන්සියෙන් ගොඩනැඟු‍ෙණ ඒ ශක්තිමත් පදනම උඩ.

ඔ‍බේ දරුවන්ටත් ඒ හැඟීම තියෙනව ද...

මගේ ලොකු දූ, නජ්ජිත් ඒ හැඟීම විඳිමින්; ව්‍යාපාරය ඉගෙන ගනිමින් ඉන්නවා. වයස 24 යි. ‘රෝස්වර්ක්’ නමින් එයාගෙම බ්‍රෑන්ඩ් එකක් හදලා. නමුත් හබීබා දුව සහ මිඛායිල් මගේ එකම පුතා මේ රටට එන්න කැමැති නැහැ. ඒ දෙන්නම මෙහෙ ජීවත් වෙන්න බයයි. නූහා මගේ වයිෆ්, දරු තුන්දෙනා එක්ක රටින් පිටවුණේ මීට අවුරුදු දහයකට විතර කලින්. අපිට තිබුණු තර්ජන නිසා. නමුත් දැන් සියල්ල වෙනස්. නජ්ජිත් නිර්භීතව එයාගෙ ගමන පටන් අරන්. ‘mesure twice, cut once’ මං එයාට කියලා දුන්නෙ ඒ දේ. එයා ඒක හරියටම තේරුම් අරන්. ඒක මට සතුටක්. ඒත් හබීබ් තෝරාගෙන තියෙන්නෙ, customer care. එයා දැනටත් රෝහලක වැඩ කරනවා. පුතා නම් ‍‍ෆැෂන් ඩිසයිනින් ඉ‍ෙගන ගන්නවා.

ඔබේ බිරියත් ව්‍යාපාරවලට සම්බන්ධයිද...

නැහැ. ඇය වෙහෙසෙන්නෙ අපේ පවුල වෙනුවෙන්. දරුවො වෙනුවෙන්. අපි මුණ ගැහුණෙ, මට ඒ තරම් සල්ලි තිබුණු කාලෙක නෙවෙයි. ඉස්සර එයත් මොඩ්ලින් කළා. බැන්දට පස්සෙ මොඩ්ලින් අතෑරියා. හොඳ බිරියක් වුණා. හොඳ අම්මෙක් වුණා.

ඔබට තිබෙන වත්කම් කියන්න කැමැතිද...

ගෙවල් දෙකයි. ෂෝරූම්ස් 18 යි. ෆැක්ටරි තුනයි. වත්කම් එකතු කරනවට වැඩිය මං සතුටු වෙන්නෙ ෆැෂන් ගැන අලුත් දේ කරලා.

මැතිව්ස්, රොෂාන් මහානාම, භාතිය - සන්තුෂ්... මේ අය තවම ඔබේ ‘ළමා අරමුදලට’ උදව් කරනවද...

ඔව්. මේ හතර දෙනාම තවම මට උදව් කරනවා. අපි My Friends අරමුදලෙන් මේ වෙනකොට ළමයි පන්දාහකට වඩා බලාගෙන තියෙනවා. FH බ්‍රෑන්ඩ් එකෙන් විකිණෙන ඇඳුමක් ගාණේ, මේ අරමුදලට මුදල් බැර වෙනවා. මං කරන්නෙ පිටුපසින් ඉඳන් මූල්‍ය ශක්තිය දෙන එක. කොළඹ දුප්පත් පාසල්වලට අපේ මේ ජනප්‍රිය ක්‍රීඩකයෝ, ගායකයො පොත් පත් අරන් ගියාම ඒ ළමයි හරි සතුටු වෙනවා. එයාලා එක්ක අපි සෑහෙන වෙලාවක් ගත කරනවා.

ඇයි, කොළඹ විතරක්. රටේ තව දුප්පත් දරුවො මොන තරම් ඉන්නවද...

මුළු රටටම වුණත් උදව් කරන්න ආසයි, පුළුවන්කම තිබුණා නම්. මං මට පුළුවන් ‍උපරිමය කරනවා. මේ රටේ සල්ලි තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ ව්‍යාපාරිකයන්ට ධනවතුන්ට මං ආරාධනා කරනවා, අඩුම තරමේ තමන්ගෙ පළාතෙ දුප්පත් දරුවො පණස් දෙනකුටවත් කෑම වේලක් - පොත් ටිකක් දීලා ඒ අය ඉගෙන ගන්න තුරු බලාගන්න කියලා. එවිට මේ රටේ සෑහෙන දුප්පත් ළමයි ප්‍රමාණයක් ඉගෙන ගනීවි. ඔබට‍ ඒකට අදහසක් ඕනෙ නම් My friends ට කතා කරන්න.

කාට හරි ඕනෙ නම් ෆවුසුල් හමීඩ් වගේ වෙන්න, මොනවද කරන්න ඕනේ...

ඔබ දන්නවද, මට අවුරුදු 17 දී විතර මගේ තාත්තා අසනීප වුණා. මල්ලි පොඩියි. තරුණ නංගිලා තුන් දෙනෙක් බන්දලා දෙන වගකීම තිබුණෙ අයියටයි මටයි. මං ඒ ලෙවල් අතෑරියා. බිස්නස් එකට ආවා. එතැන ඉඳලා හිතුවෙ බිස්නස් එක දියුණු කරන විදිය. ඒ වයසට වඩා මං හුඟක් වැඩ කළා. ඩිසයින් අතින් ඇන්දා. ඉංග්‍රීසි මැගසින් හොයාගෙන ඇවිත් ඒවා බල බලා ඉගෙන ගත්තා. ඉන්ටනෙට් කියන නමක්වත් අහලා නැහැ. හැමදේම හොයාගෙන ගිහින් හැදෑරුවා. කැපුවා. මැහුවා. ලෙහුවා. ආයෙ මැහුවා. ශාස්ත්‍රයයි බිස්නස් එකයි දෙකම ඉගෙන ගත්තෙ ඒ තරම් දුක් විඳලා. ඔබ මං වගේ වෙන්න නම් , මගේ හැම පරාසයක්ම හොඳින් අධ්‍යයනය කරන්න. විශේෂයෙන් දුප්පතුන් හා බෙදාගන්න.

එතකොට කවුරු හරි ඔ‍ෙබන් ගන්න ඕනෙ හොඳම දේ...

ඔබේ සිහිනය හඹායන්න නම්, පුළුවන් තරම් නෙගටිව් සිතිවිලි - නෙගටිව් මිනිස්සු ඈත් කරන්න. කොටින්ම, නෙගටිව් පාට ඇඳුම් පවා. මාකටින් - ෆැෂන් ඩිග්‍රි නැතුවට මං අද විශ්වවිද්‍යාලවල, පිටරට දේශනවල පවා කතා කරනවා. මගේ විශ්වවිද්‍යාලය තමයි, මගේ අත්දැකීම්. මං මගේ විෂයෙ නිතර update වුණා. ප්‍රැක්ටිකල් වුණා. කැප වුණා. ඔබ මගෙන් ගන්න ඕනෙ මෙන්න මේ දේවල්. අද මං ළඟ ඕනෙ තරම් ඩිග්‍රිකාරයො වැඩ කරනවා. ඔවුන් මගෙනුත්, මං ඔවුන්ගෙනුත් ඉගෙන ගන්නවා. කිසිම පහසුකමක් නැති කාලයක් පහු කරගෙන මං මේ තැනට ආවා නම්, අද වගේ සම්පත්, පහසුකම් බහුල කාලයක ඔබට මොනතරම් දුරක් යන්න පුළුවන්ද.

ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්