නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

දුම්රියේ දෙවියා

දුම්රිය නැව­තුණු වහා ම මම මා රැක ගත් දෙවියා සෙවීමි. ඔහු නොවී ය. ඔහු මා බිමට බසි­න්න­ටත් පෙර බැස ගොස් තිබිණ. මට ඔහුගේ මුහුණවත් හරි­ය­කට දැක බලා ගන්නට නොහැකි විය. එතැන් සිට මම ඔහු­ටත්, ඔහු හැදූ වැඩූ දෙමා­පි­ය­න්ටත් හිතින් පින් දෙමි.

මා මහ­නු­වර සිට කොළඹ නග­රයේ සේවාව පිණිස එන්නේ උදෑ­සන ම ධාව­නය කැරෙන බස­ය­කිනි. කැල­ණියේ පට්ටිය හන්දි­යෙන් බැස ගන්නා මා වහ වහා කැල­ණිය දුම්රිය පොළට යන්නේ එතැන් සිට දුම්රි­ය­කින් ගමන් කරනු පිණිස ය. මාර්ග තද­බ­ද­යට මා සොයා ගෙන ඇති විස­ඳුම එය ය.

ළඟදී දිනක මා කැලණි දුම්රිය පොළට එන විට වෙනදා දක්නට නොලැබි මහ සෙන­ඟක් එහි සිටිය හ.

කොළඹ බලා යන දුම්රි­යක් එහි පැමි­ණියේ උදෑ­සන 7.33 ට ය. එය අතුරු සිදුරු නැතිව සෙන­ඟින් පිරී තිබිණ.

පා පුව­රුවේ එල්ලී සිටි පිරිස් ඇතු­ළට යනු ඇතැයි මුල දී මට සිතුණ ද ඔවුහු එසේ ම එල්ලී සිටිය හ. එසේ යෑමට ඉඩක් ද නොවී ය.

ඊළඟ දුම්රිය එහි ළඟා වන්නේ 7.45ට ය. එවිට මට පමා‍ වේ. එහෙ­යින් කෙසේ හෝ මේ දුම්රියේ එල්ලිය යුතු යැයි මට සිතිණ.

ඒ එක්කම මම ද පාපු­ව­රුවේ එල්ලු­ණෙමි. එවිට ම දුම්රිය ඇද්දිණ. මම එහි එල්ලී සුළං පහර කමින් යන්නට වීමි. මා කර ඇත්තේ කෙත­රම් අනු­ව­ණ­ක­මක් දැයි මට වැට­හුණේ එසේ යන අතර ය. වයස පනහ පැන්න මා බඳු අය­කුට මේ පීඩාව දැරිය නොහැකි ය.

බිමට ඇද වැටේය යන බිය මට දැනිණ. මට ඉදි­රියේ ඇති කැලණි ගඟ ද පාලම ද සිහි­පත් විය. මගේ බිය ඉන් වඩාත් වැඩි විය. ඇඟ දිගේ වේද­නා­ව­කුත් හිරි­ය­කුත් එන්නා සේ දැනිණ. මම බියෙන් සලිත වීමි.

‘අංකල් අමා­රුද?’ මා ළඟ ම එල්ලී සිටි තරු­ණයා මගෙන් ඇසුවේ ය.

‘ඔව්’ මට එක­ව­රම කියැ­විණ. ඔහු වහා ම මට කිට්ටු වී මා වටා අතක් දමා මා රැකෙන පරිදි දුම්රියේ පාපු­ව­රුවේ එහා පොල්ල අල්ලා ගත්තේ ය. දැන් ඔහු මට දෙවි­යකු සේ ආර­ක්ෂාව සල­සයි. එය හිතට සහ­න­යක් වුව ද ගතේ අමා­රුව එසේ ම ය. යම් සහ­න­යක් ලැබී­මට මට ඔහුට බර­දිය නොහැකි ය. එවිට අප දෙදෙනා ම ඇද­වැ­ටිය හැකි ය. දුම්රිය දෙම­ට­ගො­ඩට පැමිණ නතර කරන තුරු ම මම ශරී­රයේ තිබූ සියලු ශක්තිය දෑතට එකතු කර පාපු­ව­රුවේ එල්ලී ගෙන සිටි­යෙමි.

දුම්රිය නැව­තුණු වහා ම මම මා රැක ගත් දෙවියා සෙවීමි. ඔහු නොවී ය. ඔහු මා බිමට බසි­න්න­ටත් පෙර බැස ගොස් තිබිණ. මට ඔහු ගේ මුහු­ණ­වත් හරි­ය­කට දැක බලා ගන්නට නොහැකි විය.

එතැන් සිට මම ඔහු­ටත්, ඔහු හැදූ වැඩූ දෙමා­පි­ය­න්ටත් හිතින් පින් දෙමි.

මහ­නු­වර, මුරු­ත­ලාවේ ජයන්ත ග. ජෝති­ය­රත්න මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.


වාට්ටුවේ ළමයා

මේ ළමයාගේ වයස අවු­රුදු දහ හත­රකි. බර කිලෝ ග්රෑම් 150කි.

මා නැවතී ප්‍රති­කාර ලබ­මින් සිටි හදිසි අන­තුරු වාට්ටු­වට ආ මේ ළමයා අප කවු­රුත් පුදු­ම­යට පත් කළේ ය.

ඔහු ගේ කාර්යය වූයේ හැම තිස්සේ ම සිය ජංගම දුර­ක­ථ­න­යෙන් ගෙද­රට කතා කිරීම ය.

“මමී, අද උදේට මට චිකන් ප්‍රයිඩ් රයිස් එකක් එවන්ඩ. දව­ල්ටයි රෑටයි ප්‍රයිඩ් රයිස් දෙකක් ඕඩර් කරන්ඩ“

මව ඔහු ගේ ඉල්ලීම ඉටු කළා ය. පියා අහර පාර්සල් රැගෙන රෝහ­ලට ආවේ ය.

ළමයා හොඳ ආසා­වෙන් ඒවා භුක්ති වින්දේ ය.

මේ කියන දවසේ ද ළමයා ප්‍රයිඩ් රයිස් එකක් භුක්ති විඳි­මින් සිටියේ ය. පියා ද ඔහු ළඟට වී සිටියේ ය.

මේ දුටු වාට්ටු බාර හෙදිය පියා ළඟට කිට්ටු කළා ය.

‘මහ­ත්තයො, ඔය රයිස් කවල මේ දරුවා තවත් ලෙඩ කරන්ඩ එපා. තව අවු­රුදු කීප­යක් යන කොට සීනි, කොලෙ­ස්ට­රෝල් දෙකම වැඩි වෙනවා. මේ විදි­හට ගියොත් මේ ළමය අනි­වා­ර්ය­යෙන් ම ලෙඩෙක් වෙනවා. දැන්වත් මේ ළම­යට සාමාන්‍ය කෑම වේලක් දෙන්ඩ. උදේට ඇට වර්ග දෙන්ඩ“

පියා නිහඬ ව සිටියේ ය. ළමයා කිසිත් නෑසුණු ගානට අහර භුක්ති වින්දේ ය.

“ඔයාට ඔය ළමය ව බලා­ගන්ඩ බැරි නං අපි එයාව බලා­ගන්නං. කරු­ණා­ක­රල ඔයා යන්ඩ“

හෙදිය එසේ කියා­ගෙන යන්නට ගියා ය.

පියා ද ටික­කින් පිට ව ගියේ ය.

පසු දා පියා මුලක් ඔතා­ගෙන ආවේ ය.

“ඕකෙ මොන­වද තියෙන්නෙ?“ළමයා ඇසුවේ ය.

“කඩල“

“මට එපා. මට ප්‍රයිඩ් රයිස් ඕනැ“ දරුවා කීවේ ය.

පියා පාර්ස­ලය තබා පිට ව ගියේ ය.

ළමයා එය නොකා උදේ­ටත් දව­ල්ටත් බඩ­ගින්නේ ම සිටියේ ය.

රෑ දහය පසු­වුණු පසු වාට්ටුවේ ලයිට් නිවිණි. ළමයා හොරෙන් ම පාර්ස­ලය රැගෙන පසෙ­කට ගියේ ය. ටිකක් කෑවේ ය.

මට කාලෙ­කින් හිනා­වක් ගියේ ය.

කොස්වා­ඩියේ, ගාමිණී සේනා­ධීර මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසුරෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments