මර්ස­ලින් ජය­කොඩි පිය­තු­මාගේ ඥාති දිය­ණිය පළමු වරට හෙළි කරන පන්සලේ පිය­තුමා ගැන නොකියූ කතාව | සිළුමිණ

මර්ස­ලින් ජය­කොඩි පිය­තු­මාගේ ඥාති දිය­ණිය පළමු වරට හෙළි කරන පන්සලේ පිය­තුමා ගැන නොකියූ කතාව

* පිය­තු­මාගේ කනේ අමා­රු­වට සීයා ගඳ තෙලක් හිඳලා ගෙනැවිත් ගානවා
* සීයා යන තුරු ඉඳලා පිය­තුමා තෙල් පිස­දාලා ලැව­න්ඩර් ක්‍රීම් ගාලා සුවඳ බල­නවා

“වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ
ඉරෙත් හඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ...”

දුරුත්තේ දී වුණත් වෙසක් කැකුළු ගීතය ඇතැම් විට මුව­ගට නැඟෙයි. ඒ පද අතර සිත නතර වෙයි. ස්වභාව සෞන්දර්ය පිළි­බඳ ලියැ­වුණ එවන් ගී සිහි­පත් කරන්නේ ඒ පද රච­ක­යාගේ දක්ෂ­තා­වයි. බාල වියේ සිට ඇසූ ඒ ගී පද සිහි වන විට එතු­මාගේ අහිං­සක රුව දෑස් ඉදි­රියේ මැවෙයි. ඒ මර්ස­ලින් ජය­කොඩි පිය­තු­මාය.

උන් වහන්සේ ස්වර්ගස්ථ වී මේ ගෙවෙන්නේ විසි වැනි අවු­රු­ද්දයි. උන්ව­හන්සේ ගැන සිහි­පත් වන සෑම විටෙ­කම උන් වහ­න්සේගේ ළඟම ඥාති­යෙ­කු­වත් නැති දැයි යන ප්‍රශ්නය ද සිතෙහි මතු වෙයි. පසු­ගිය දිනෙක ආනන්ද කරු­ණා­රත්න නම් වූ සිළු­මිණ පාඨ­කයෙක් අප ඇම­තීය.

“මර්ස­ලින් ජය­කොඩි පිය­තු­මාගේ ඥාති දිය­ණි­යක් සිටි­නවා. ඇය කැම­තියි උන්ව­හන්සේ ගැන කතා කරන්න.”

ආනන්ද කියූ තොර­තුරු අනුව අපි පසු­ගිය දිනෙක ජය­කොඩි පිය­තු­මන් ජීවත්ව සිටි­යදි වාසය කළ කලා­පුර නිවෙ­සට ගියෙමු. ඔවුන් අප පිළි­ගත්තේ ඉතා ආද­ර­යෙනි.

“ඉතිං”

අපි කතා­වට මුල පිරු­වෙමු.

“වැඩක් නැහැ දරුවෝ. මගේ ස්වාමි නැති වුණාට පස්සේ ජීවිතේ මහා පාළු­වක් දුකක් දැනෙ­නවා.”

විනී­ප්‍රීඩා නම් වූ ඇය හඬ­න්නට වුවාය. අැගේ දුක සංසි­ඳෙන තුරු හඬ­න්නට ඉඩ දී අප බලා සිටි­යෙමු.

නිවෙස ඇතුළේ එක් පසෙක ඇත්තේ ජය­කොඩි පිය­තු­මන්ගේ විශාල ප්‍රමා­ණයේ ආලේ­ඛ්‍ය චිත්‍ර­යකි. එය දුටු විට දැනෙන්නේ පිය­තු­මන් ජීව­මාන බවකි. එම සිතු­වම ඇඳ ඇත්තේ පාලිත ලොකු­පෝ­තා­ගම චිත්‍ර ශිල්පියා විසිනි.

නිවෙසේ එක් කාම­ර­යක් ජය­කොඩි පිය­තු­මන් සිටි­යදි පාවිච්චි කර ඇත. එහි තව­මත් එතුමා සිටි­යදී පරි­හ­ර­ණය කළ දෑ ඇත. මේ සියල්ල බලන අතරේ මම නැවත ඈ ඉදි­රියේ අසුන් ගතිමි.

“දැන් මගේ වයස අවු­රුදු අසූ පහයි. මගේ තාත්තයි පිය­තු­මයි, අයි­යයි මල්ලියි. මගේ තාත්තා ජේමිස් ජය­කොඩි. අපේ සීයා දොන් ජුසේ අප්පු­හාමි.

අපේ පවුලේ ඔක්කෝම පස්දෙ­නයි. නමුත් මමයි මගේ අක්කා එරි­නුයි අපේ පුංචි කාලේ පිය­තු­මාව ළඟින් ඇසුරු කළා. අපේ සීයා ඒ කියන්නේ පිය­තු­මාගෙ තාත්තා බොහෝම ගම්භිර කෙනෙක්. ඔහු ගමේ ප්‍රසිද්ධ වෙද­ම­හ­ත්ත­යෙක්. ඔහු කොණ්ඩය බැඳලා, කලි­සම ඇඳලා ඊට උඩින් පූජී­සිල්ක් සරම ඇඳලා බ්‍රැකට් ඔර­ලෝ­සුව දාලා, තමයි හැඩ වෙන්නේ. අග උල්වෙච්ච සපත්තු දාන්නේ. ඒ මදි­වට නැමි පනා­ව­කුත් ගහ­නවා. සීයාට අඳින්න පැය භාග­යක් විතර ගත­වෙ­නවා.

දව­සක් සීයා බොහෝම උව­ම­නා­වෙන් මතුර මතුර තෙලක් හිඳි­නවා. තෙල හිඳලා ඉවර වුණාට පස්සේ සීයා ඉස්ස­රහා වාඩි­වෙලා ලියු­මක් ලිය­නවා. අක්ක­ගෙයි මගෙයි වැඩේ සීයා මේ ලියන ලියුම දිහා හොරෙන් බලන එක. සීයා ලියුම ලියන්නේ පිය­තු­මාට. ලියුම මුලින්ම පටන් ගන්නේ ගරු කට­යුතු පූජා ප්‍රසා­ද­ත­ුමනි කියලා.

මේ කාලේ පිය­ත­තුමා හිටියේ මග්ගොන. අපි හිටියේ මීග­මුව පළාතේ. පිය­තුමා හිටිය මීසමේ හිටියා අපේ ඥාති වන අයියා කෙනෙක්. ඔහුගේ නම ලියෝ. සීයා පිය­තුමා බලන්න මීස­මට යන විට අපිත් යනවා. සීයා ලියෝ ලියෝ කියලා අර අයි­යට කතා කර­නවා. ඔහු එන්නේ නැති වුණාම සීයා අලියෝ කියලා කෑග­හ­නවා.

ඒ කාලේ පිය­තු­මාගේ කනේ අමා­රු­වක් තිබුණා. සීයා අර තෙල් හින්දේ ඒ අස­නී­ප­යට. මේ තෙල ගෙනි­හිල්ලා සීයාම පිය­තු­මාගේ කනේ ගානවා. ඒ තෙල හරි ගඳයි. සීයා එහෙට මෙහෙට වන තුරු ඉඳලා පිය­තුමා තෙල් හෝදලා ලැව­න්ඩර් ක්‍රීම් ගාලා සුවඳ බල­නවා.”

විනී­ප්‍රීඩා සිහි­පත් කරන්නේ සිය ළමා වියේ පිය­තු­මන් ඇසුරේ ලැබු අත්දැ­කීම්ය. ඇතැම් විටෙක ඇය නිහ­ඩ­ඬව සිටි­න්නීය. ඒ පිය­තු­මන් නැති සෝකය දරා­ගැ­නී­ම­ටය. තවත් විටෙක ඇය මහ හඬින් හිනැ­හෙයි. ඒ පිය­තු­මන් කළ කව­ට­කම් සිහි­පත් වීමෙනි.

“පිය­තුමා නෙළුම් පිපිලා ගීති­කාව ලිව්වා. ඒක ගැයුවේ සිරිල් හා සුසිල් කියලා දෙන්නෙක්. අක්කයි මමයි හැම වේලා­වෙම පිය­තු­මාගේ අත්දෙකේ එල්ලිලා ඉන්නේ. අපිට ඒ කාලේ වයස අවු­රුදු හයක් හතක් විතර ඇති. ඔහොම අත්වල එල්ලිලා අපි පිය­තුමා එක්ක ගියා. පිය­තුමා ජනේ­ලය ළඟට ගිහිල්ලා බට­න­ළාව අර­ගෙන නෙළුම් පිපිලා කියලා ගැහුවා විත­රයි ඒක ඇතුළේ හිටපු මී මැස්සෝ ඇවි­ස්සිලා පිය­තු­මාට විද්දා. අපිට හරි­යට හිනා. පිය­තු­මාත් හූ කිය කියා හිනා වෙනවා. පිය­තු­මාගේ මුහුණ හොඳ­ටම ඉදි­මිලා.

පහු­වදා මොකක් හරි උත්ස­ව­යක්. උත්ස­ව­යට ආව අය පිය­තු­මා­ගෙන් අහ­නවා ඇයි මුහුණ ඉදි­මිලා තියෙන්නේ කියලා. පිය­තුමා කිය­නවා ඊයේ රෑ මී මැස්සෝ නෙළුම් පිපීලා කිව්වනේ කියලා. එහෙම කියලා පිය­තුමා හිනා­වෙ­නවා.”

විනී­ප්‍රීඩා කියන්නේ පිය­තුමා ගැන අප මෙතෙක් නෑසු කතාය.

එක්ද­හස් නව­සිය දෙකේ ජුනි මස තුන් වැනි දා උපන් මර්ස­ලින් ජය­කොඩි පිය­තුමා පුජ­ක­ව­රය ලබන්නේ එක්ද­හස් නව­සිය විසි හයේ දෙසැ­ම්බර් මස විසි වැනි­දාය. කොළඹ සාන්ත ජෝශප් විද්‍යා­ලයේ ඉගෙනු ලබන පිය­තුමා පසුව වයස අවු­රුදු විස්සේදී දෙව්ස­ත්හ­ලට ඇතු­ළත් වෙයි. විවිධ පළාත් මිස­ම්වල සේවය කළ පිය­තුමා කලක් ඥානාර්ථ ප්‍රදීප පුවත් පතේ කර්තෘ ලෙස ද කට­යුතු කළේය.

පිය­තුමා විසින් නෙළුම් පිපිලා, රොනට වඩින බිඟු ඔබයි, ආදි ගී රචනා කරනු ලබන්නේ මීට අවු­රුදු හැත්තෑ අට­කට පෙරය.

පල්ලිය උරුම වූවද පන්ස­ලට ළැදි­යා­වක් දැක්වූ කතෝ­ලික බෞද්ධ භේද­ය­කින් තොරව වටිනා ගී නිර්මා­ණය කළ උන් වහන්සේ අපුරු චරි­ත­යක් විය. පිලි­පී­නයේ සුප්‍ර­කට මැග්සෙසේ සම්මා­න­යෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකි­කයා වන්නේද ජය­කොඩි පිය­තු­මාය. අවා­ස­නාව නම් පසු කලෙක පිය­තු­මන්ට ලැබුණ එම සම්මා­නය කවු­රුන් හෝ සොර­කම් කර තිබී­මය.

“රහස් පොලි­සි­යෙන් ආවා සොයන්න. මට හිතෙ­නවා ඒක ගත්ත කෙනා ගැන පිය­තුමා දැන­ගන්න ඇති. පිය­තුමා ඒ ගැන කතා කරන්න කැමති වුණේම නැහැ.

මගේ ජීවිතේ හැඩ වුණේ පිය­තුමා නිසා. යුද්ධ කාලේ අපි මීග­මුවේ ඉන්න බය වුණා. තාත්තා වන්නි­යට යමු කියලා අපි­වත් අර­ගෙන බිංගි­රිය පැත්තට ගියා. ඉස්කෝලේ ගමන නතර වෙලා තිබුණේ.

මම දව­සක් අම්මගේ සාරි කැලි දෙකක් ඇඳ­ගෙන සෙල්ලම් කර­නවා. පිය­තුමා එනවා දැකලා මම දිව්වා . පිය­තුමා මාව උස්ස­ගෙන ඇවිත් කොළඹ ගෙනාවා. වත්තල හෝලි ෆැමිලි කොන්වන්ට් එකට ඇතු­ළත් කරලා ඉගැ­න්නුවා. පිය­තුමා සුමා­න­ය­කට සැර­ය­ක්වත් බලන්න එනවා. අක්කයි මමයි පිය­තු­මාට සරම් අන්ද­නවා. ඊට පස්සේ පටි­ය­කුත් ගැට ගහ­නවා.

දව­සක් අක්කයි මමයි එක­තු­වෙලා පිජාමා එකේ කකුල් මූට්ටු කළා. අන්ති­මට පිය­තුමා කකුල් දෙකම එකක් ඇතු­ළට දාලා ඇද­ගෙන වැටුණා. අපි හිනා වෙන කොට පිය­තු­මාත් හිනා වෙනවා. තව දව­සක් පිය­තු­මාගේ යාළු විදේ­ශික යුව­ළක් ආවා එතුමා බලන්න. ඔවුන් පිය­තු­මාට මේස් ජෝඩු­වක් ගෙනාවා. පිය­තුමා මේස් ජෝඩුව සාක්කුවේ දාගෙන අපි දෙන්නව අර­ගෙන චිත්‍ර­ප­ට­යක් බලන්න ගියා. අපි ගියේ කෝච්චි­යෙන්.

කෝච්චි­යේදි පිය­තුමා සප­ත්තුව ගල­වලා මේස් දාගත්තා. නමුත් ඔහුට දාගන්න පුළු­වන් වුණේ එක මේස් එකයි. අපි බහින තැනට ආවා. පිය­තුමා අපි දෙන්නව අත්දෙ­කට අර­ගෙන කෝච්චි­යෙන් බැස්සා. මේස් එකක් කෝච්චිය ඇතුළේ. ඊට පස්සේ මේස් කකුල නිකං කකුල කිය කියා හිනා­වෙවි පාර දිගේ ගියා. පිය­තුමා බොහෝ විනෝ­ද­යෙන් හිටිය කෙනෙක්. ඔහු කා සම­ඟ­වත් තරහා වුණේ නැහැ.

ඉගෙ­නීම අව­සා­නයේ මම පාසල් ගුරු­ව­රි­යක ලෙස ගුරු සේව­යට බැඳුණා. විවාහ වුණා. නමුත් මට පුළු­වන් හැම විටම පිය­තුමා බලන්න ගියා. එතු­මාත් අපි ගැන සොයා බැලුවා.

පිය­තුමා හරිම කැම­තියි මුං කැවුම්, කුර­ක්කන් පිට්ටු, හැලප, ආදිය වගේම අමු හාල්මැ­ස්සන් උයලා, අගු­ණ­කොළ සම්බෝල, එක්ක බත් කන්න”

විනී­ප්‍රී­ඩාට ජය­කොඩි පිය­තු­මන් ඇසුරේ ගෙවූ ජීවි­තය සොඳුරු අත්දැ­කී­මකි.

සංගී­ත­යට කලා­වට ඇල්මක් හැකි­යා­වක් දැක්වූ ජය­කොඩි පිය­තුමා සංගී­ත­යට වැඩි ඇල්මක් දැක්වු­යේය. උන් වහන්සේ සංගීත භාණ්ඩ ද වාද­නය කළේය. අද ද ජය­කොඩි පිය­තු­මන් විසින් පරි­හ­ර­ණය කරන ලද සංගීත භාණ්ඩ විනී­ප්‍රීඩා බොහෝ පරි­ස්ස­මෙන් ආරක්ෂා කර­ගෙන සිටී.

“මේ ගේ දැන් පර­ණයි. වහල තෙමෙ­නවා. මට මේවා රැක­ගැ­නීම අමා­රුයි. පිය­තු­මාගේ පොත්පත් සංගීත භාණ්ඩ මෙන්ම එතුමා පාවිච්චි කළ බොහෝ දේ තිබෙ­නවා. මම මේවා බොහොම අමා­රු­වෙන් පරි­ස්සම් කරන්නේ. සම­හර දේවල් මීයෝ කාලා යනවා. දැන් පර­ම්ප­රා­වට මේවායේ අග­යක් නැහැ. නමුත් මගේ ස්වාමී මේ රටේ ජාතික සම්ප­තක්. මම බැරි අමා­රු­වෙන් හරි මේ දේවල් රැක ගන්නේ ඒ නිසයි. ආනන්ද කරු­ණා­රත්න මහ­ත්මයා අපට පොරොන්දු වුණා පිය­තුමා නමින් මේ හැම­දේම පරි­ස්සම් කර­නවා කියලා. ඔහු ආරම්භ කර තිබෙ­නවා කලා­ශුරී මර්ස­ලින් ජය­කොඩි පිය­නම පර්යේ­ෂණ හා අධ්‍ය­යන කේන්ද්‍රය. පිය­තුමා සතු සියල්ල මම ඔවුන්ට භාර දෙනවා. මට ඕන තවත් කාල­යක් පිය­තු­මාගේ නාමය නොමැකී පව­ති­න්නයි.”

ඇය එසේ පව­ස­මින් අපට පිය­තුමා පරි­හ­ර­ණය කළ දෑ පෙන්වයි. ඇතැම් පොත පත කෑලි හැලී ගැල­වෙ­න්නට ළඟය.

අනිද්දාට ජය­කොඩි පිය­තු­මන් ස්වර්ගස්ථ වී වසර විස්සකි. මේ විසි වසර තුළද තව­මත් උන් වහන්සේ විසින් ලියූ ගී අදද අප අතර ජන­ප්‍රි­යය.

සරල දිවි පැවැ­ත්මක් ගෙවූ ජය­කොඩි පිය­තු­මන්ගේ අගය මෙන්ම එතුමා පිළි­බඳ බොහෝ අය සොය­න්නට පටන් ගන්නවා ඇත්තේ තවත් කල් ගිය පසුය. එක්ද­හස් නව­සිය අනු­පහ වස­රේදි ඉත්තෑ­පාන ධම්මා­ලං­කාර ස්වාමීන් වහන්සේ විසින් පිය­තුමා පිළි­බඳ පොතක් ලියා ඇත. ඒ ‘මල් පැලේ උපන් පන්සලේ පිය­තුමා’ යන නමිනි.

කොත­රම් උගත්, ජන ප්‍රසා­ද­යට මෙන්ම දෙස් විදෙස් සම්මා­න­ව­ලින් පිදුම් ලැබූ­වද සරල දිවි­පෙ­තක් ගත කළ පිය­තු­මන් එම කෘතියේ එක් තැනක තමන් වහන්සේ ගැන මෙසේ සඳ­හන් කර ඇත.

“මගේ ජීවි­තය වුණේ අපේ යහ­පත් ගතිය වැඩි වැඩි­යෙන් දියුණු කර ගැනී­මට මහන්සි ගැනී­මයි. යම් යම් ප්‍රති­ලාභ අර­මුණු කර­ගෙන සේවය කිරී­මට මගේ බලා­පො­රො­ත්තු­වක් තිබුණේ නැහැ. මගේ අර­මුණ වුණේ තන­තුරු නොවෙයි සේව­යයි.”

සැබැ­වින්ම එතුමා මේ රටට කලා­වට මහඟු සේව­යක් කළේය. දැන් විනි­ෆ්‍රීඩා ඉල්ලා සිටි­න්නේද එතුමා නමින් ඇති සියල්ල රැක ගන්නා ලෙසය.

ඡායා­රූප - වාසිත පට­බැ­ඳිගේ

අදහස්