විල් දෙකක පිපු­ණත් එක ජාතියෙ මල් එකම සුව­ඳයි | සිළුමිණ

විල් දෙකක පිපු­ණත් එක ජාතියෙ මල් එකම සුව­ඳයි

අවසන් කොටස

එදා ආ ධාරා­ණි­පාත වර්ෂාව ශ්‍රීජය වලව්වේ ඇත්තන්ගේ ජීවිත උඩු­ය­ටි­කුරු කර පති­ත­ වු­ණා වගේය. පොලො­න්න­රු­වේදි සිදුවූ රිය අන­තු­රින් විල්ප්‍රඩ් රත්න­සේ­කර හාමුත් නිර්මලා මැණි­කේත් එතැ­න­දීම ජීවි­ත­ක්ෂ­යට පත්වී­මත් රියැ­දුරු කරු­ණා­දාස දෙපා බිඳී ගිය අබ්බ­ගා­ත­යෙකු බවට පත්වී­මත් හරි­යට දෛවයේ වියරු කුරිරු සර­ද­මක් වගේය.

ශ්‍රීජය වලව්වේ අව­මං­ග­ල්‍ය­යට ගම්මුන්ද හැමෝම වාගේ රොද බැඳ­ගෙන ආවේ හැමෝම පුදු­ම­යට පත්ක­ර­මිනි. ශ්‍රීමාල් සිටියේ වේද­නා­වෙන් ගල්ගැ­සුණු සෙල්පි­ළි­ම­යක් වගේය. විටෙක ඔහු මහා හඬින් මොර තියා හැඬු­වේය. පොළොවේ හැපු­ණේය. වලව්වේ නෑදෑ ඇත්තන්ට ඔහුව මෙච්චල් කිරීම ලේසි පාසු දෙයක් වුණේ නැත. රත්න­පුර වලව්වේ ගොඩ­ලි­යද්ද ජෝඩු­වත්, සමන්ති සහ ජයේ­න්ද්‍රත්, මලි­න්දත්, ජය­සු­න්දර හාමු­ලාගේ පවුලේ අයත් හත­ර­දිග් බාග­යේම නෑය­නුත් නොනෑ­ය­නුත් අතරේ ජය­මාල්ද ඇවිත් සිටියේ ශෝක­යෙන් පීඩිත වෙමිනි. අයි­යාව අස්ව­සන්ට ඔහු රදීශ් සමඟ මහා වෙහෙ­සක් ගත්තේය.

******

හත්ද­වසේ දාන­යෙන් පස්සේ මුළු වල­ව්වම මහා සොහොන් පිටි­යක් වගේ ශ්‍රීමාල්ට දැනුණේ ජීවි­තා­ශාව පවා ගිලි­හෙ­මින් පව­ති­ද්දීය. සිරියා සහ ජන්තු සමඟ කුමා­රත් ශ්‍රීමාල් බේබි­හාමු ළඟ නිතර ගැව­සෙ­මින් ඇප­උ­ප­ස්ථාන කළේ ඔහුව අස්ව­ස­න්ටය. මේ භයා­නක රිය අන­තුර පුව­ත්පත් කිහි­ප­ය­කම වාර්තාවී තිබුණේ ගමේ ගොඩේ විවිධ කතා­ව­ල­ටද නිමිති සප­ය­මිනි.

බෝම්බ­යක් පිපි­රු­ණාක් මෙන් ඉරි­තැළී තිබුණු වලව්වේ කැණි­ම­ඬල යළිත් වරක් දෙදරා ගියේ එක්තරා අඳුරු උදෑ­ස­න­ක­දීය. ශ්‍රීමාල් එදින රාජ­කා­රිය සඳහා පිටත්ව ගියේ නැත. වැඩ නවතා තිබූ කම්හ­ල්වල වැඩ ගැන බැලීම් ජය­ති­ස්සට අම­ත­රව ජයේ­න්ද්‍රට සහ කුමා­රට පවරා ඔහු ඔහේ බලා සිටි­යේය.

“බේබි හාමු.. බේබි හාමුව හම්බ­වෙන්න කවුද ජෝඩු­වක් ඇවිල්ලා...”

සිරි­යාගේ හඬින් ඔහු තිගැ­ස්සු­ණත් ඒ කාර­ණය තිගැ­ස්සෙ­න්නම සිදු­වන කාර­ණ­යක් බව නොද­ත්තේය.

ආලි­න්දයේ සිටිය වය­සක ජෝඩු­වක් ශ්‍රීමාල් දැකලා තිගැ­ස්සිලා එකි­නෙකා දිහා බලා­ගත්තේ විදුලි කෙටුවා වගේය.

“මාව හම්බ­වෙ­න්නද ආවෙ... වාඩි­වෙන්න...!”

පිරි­මියා ගැමි පන්න­යට සරම සහ කෝට් එකක් ඇඳ­ලාය. ගැහැ­නිය තම අම්මා­ගේම වයසේ ය. ඇය ඔස­රි­යක් ඇඳ­ලාය. දුප්පත් ජෝඩු­වක් බව බැලූ බැල්ම­ටම පෙන්වන ලකුණු බොහෝ දුට‍ුවේ ශ්‍රීමාල් ය. එක­ව­රම ගැහැ­නිය මහා හඬින් හඬන්ට පට­න්ග­ත්තාය. පිරි­මියා ඇය අස්ව­සන්නට හැදු­වත් මොන ක්‍රම­ය­කි­න්වත් එය කරන්ට බැරිව අස­රණ වූවේය.

“මට වෙලා­වක් නෑ.. කරු­ණා­ක­රලා කියන්න මොකක්ද කෙරෙන්න ඕන කියලා..!”

ශ්‍රීමාල් කීවේ මොවුන්ගේ දරු­වෙකු ෆැක්ටරි වැඩට දාගන්න ඇවිත් කියා උප­ක­ල්ප­නය කර­මින්ය.

නමුත් උප­ක­ල්ප­නය සුන්න­ද්දූලි කර­මින් පැමිණ සිටි පිරි­මියා කතා­වක් පටන් ගත්තේ බිරි­යගේ ඉකි­බි­ඳුම් හඬ මධ්‍ය­යේය.

කිසි­වක් අද­හා­ගත නොහැ­කිව ශ්‍රීමාල් අන්ද­මන්ද වූයේ ඔහුගේ දෙක­කුල් වෙව්ල­න්නට විය. ඔහුට ඉබේ­ටම කෑ ගැසිණි.

“ජන්තු... කෝල් එකක් දෙන්න රත්න­පුරේ වල­ව්වට...!”

“ඇයි බේබි හාමු මේ හදි­සියෙ..”

සිරියා ගේ ප්‍රශ්න­යට ශ්‍රීමාල් උත්තර දෙන්න ගියේ නැත. වහාම දුර­ක­ථ­නය ළඟට ගොස් රත්න­පුර වල­ව්වට ඇම­තු­මක් ගෙන බර­ප­තළ විස්ත­ර­යක් කියා­ගෙන ගොස් දඩස් ගා රිසි­ව­රය තැබුවේ ජන්තුලා පුදු­ම­යට පත්ක­ර­මින්ය.

එකෙ­ණෙ­හිම සිරියා ආලි­න්ද­යට ඇවිත් පැමිණ සිටිය යුවළ දිහා බැලුවේ විප­ර­මිනි. හීන්දා­ඩිය දමා ඇගේ සියො­ල­ඟම වෙව්ල­න්නට වූයේ වසා­ග­න්නට බැරි විදි­යට මුවද අයා­ගෙ­න­මය. ජන්තු දිව­විත් සිරියා වත්තම් කර පුටු­ව­කට බර කළේ වෙන කළ හැකි දෙයක් නුවූ නිසාය.

“හත්දෙ­යි­යනේ... මේං... මේ... තියෙන්නෙ ජීව­මාන සාක්කි... අනේ බුදු නංගියේ.. උඹට මත­කයි නේද.. අපිව... මේ අහිං­සක ගෑනි එම­ලින්.. අවු­රුදු විසි හත­ර­කට පහ­කට උඩදි වෙච්ච සංග­දිය... දෙණි­යායෙ වතු­යා­යෙදි...!”

පැමිණ සිටි අමුත්තා එසේ කීවේ සිරි­යා­ටය. තොල­ කට වේළී සිටි සිරියා ඇස් ලොකු කර­ගෙන හිස කෙළින් අතට වැනුවේ ශ්‍රීමාල් හාමු දිහා බල­මින්ය. ශ්‍රීමාල් හිස බදා­ගෙන සිටියේ අමු­තුම ලෙඩක් හැදිලා වගේය. ඊටත් හෝරා දෙක තුන­කට පස්සේ විල්ප්‍රඩ් රත්න­සේ­කර හාමු ජෝඩුව සහ ජන්තු සිරියා සේවක ජෝඩුව විසින් ඔස­වා­ගෙන සිටි මහා අභි­ර­හ­සක් එළි­වෙද්දී මුළු වලව් වහ­ලම දෙදරා ගියාක් බඳු­විය.

සියලු සිද්ධි විමසා ලිය­කි­ය­වි­ලිද පිරික්සා ඉක්බිති ඩග්ලස් ගොඩ­ලි­යද්ද බර අඩි තබ­මින් එහා මෙහා ඇවිද්දේ සුදු මැණිකේ බිය­පත්ව බලා ඉඳි­ද්දීය.

“නංගිලා දරුවො නැතුව අවු­රුදු දෙකක් විතර හිටියා මත­කයි. ඒත් ඒ එක්කම කළු­තර පැත්තෙ මහ ඉඩ­මට අපි අතර ලොකු ආර­වු­ලක් ඇති­වෙලා අපි වලව් දෙගොල්ලො විර­සක වුණා. ඒ කාලෙ නංගියි ඩග්ල­සුයි අවු­රු­ද්දක් විතර දෙණියායෙ බංග­ලාවෙ හිටියා මට මත­කයි. ඇයි හොඳ­යි­යක් නැති නිසා විස්තර දන්නෙ නෑ. සිරි­යාට මොකක් හරි මත­ක­යක් ඇති ඒ ගැන..”

ගොඩ­ලි­යද්ද හාමු හැරුණේ සිරියා දිහා­ටය. දැන් පැමිණ සිටි ජෝඩුව සිරියා දිහා බලා­සි­ටින්නේ උසා­වියේ නඩු­කා­රයා දිහා බලා සිටින චූදි­ත­යන් ගාන­ටය.

“හාමු.. බොරු­වක් කියන්න ඕන­ක­මක් මට නෑ. මේ රහස හාමුලා දෙන්නා හැරු­ණු­කොට දන්නෙ මම විත­රයි. මම ඒක අපේ මනු­ස්ස­යාට කිව්වෙ එයා දේව­ර­හස් විදි­යට මේක රකිනා බව දන්නා නිසයි...” සිරියා තත­නයි. වට­පිට බලයි. ජන්තු ද සිටින්නේ නළ­ලට ඇස් අර­ගෙ­නය.

“නිර්මලා මැණකෙ හාමුව දෙණියායෙ බංග­ලා­වෙන් වල­ව්වට එක්කරං එන්න යන ගම­නෙදි මාත් එහෙ ගියා කරු­ණා­දා­සත් එක්ක. මාස­තුනේ දරුවා අර­ගෙන ආවෙ. ඒ විදි­යෙම ඒ වය­සෙම දරු­වෙක් අතේ තියා­ගෙන මේ එම­ලින් නංගි අඬ අඬා හිටියා මට මත­කයි..”

“අනේ ඔව් හාමු.. මට ලැබිච්ච නිවුන් දරුවො දෙන්නා­ගෙන් එක්කෙ­නෙක් තමා හාමු­ලාට දුන්නෙ. දුප්ප­ත්කම හින්ද­මත් දරු­වාට යහ­ප­තක් වෙන බව දන්නා නිසා මිසක් කීය­ට­වත් මම දෙන්න හිතුවෙ නෑ..”

“කෝ.. ඒ අනිත් දරුවා”

“එයා ගමේ ඉන්නවා හාමු.. ඇරපු අතක් නෑ මේ පුංචි හාමු වගේ­මයි. දැක්ක ගමන් අපි දෙන්නාගෙ ඇස් ගිනි­කණ වැටු‍ෙණ ඒකයි.”

“අනේ ඒකාට ඉගෙන ගන්න ලැබුණෙ නෑ. වතු­පි­ටි­වල වැඩ කළා මිසක්..” ආයෙත් එම­ලින් හඬයි.

“හාමු­ලාට කියන්න.. මේ මනු­ස්සයා දරුවා දීපු දවසෙ ඉඳලා දැන් අවු­රුදු විසි හතර පහක් තිස්සෙම මතක් කර කර අඬ­නවා දරුවා බලන්න ඕනෑ කියලා.. මම බොහොම අමා­රු­වෙන් තමා මෙයාව වළක්කා ගත්තේ.. අපි හාමුට පොරොන්දු වුණා.. මේ පැත්ත පළාතෙ එන්නෙ නෑ කියලා දරුවා හොයා­ගෙන.. දරුවා වෙනු­වෙන් අපිට හිටපු ගේ කෑල්ලත් ලියලා දුන්නා.. ඒ හාමු හරිම පිංවන්ත හාමු කෙනෙක්.. දෙයි­යනේ පත්ත­රේක දැකලා හාමු­ලාට වෙච්ච ඇබැ­ද්දිය අපි කම්පා වුණා. මෙයැයි බය වුණා දරු­වා­ටත් අන­තු­රක් වෙලාද දන්නෙ නෑ කියලා.. බේරෙන්න බැරි­ක­ම­ට­මයි මේ මනු­ස්ස­යා­ගෙන්.. මම මේ ගමන එන්න කැම­ති­වුණේ.. පහු­ගිය සති­යෙම අස­නී­පෙ­නුත් හිටියෙ.. අපි මේ දරු දුකට ආවා මිසක්කා කිසි දෙයක් කඩා වඩා ගන්න ආවෙ නෑ හාමු මහ­ත්තයා..!”‍

ඊළ­ඟට ආයෙත් සිරියා කතා කරයි.

“ඒ දරුවා වල­ව්වට ගෙනා­වාට පස්සෙ වාස­නාව උදා වුණා කියලා තමා හාමුලා කිව්වෙ.. අවු­රුදු ගානක් දරුවො නැතිව හිටපු මැණිකෙ හාමුට දරු­ස­ම්ප­තක් ලැබුණ අවු­රුදු තුන­කට විතර පස්සෙ.. ඊට පස්සෙ තමා මේ දරු දෙන්නාගෙ නම් එකතු කරලා ‘ශ්‍රී ජය” වලව්ව කියලා වල­ව්වට නමත් දැම්මෙ..”

ශ්‍රීමාල් සෙල් පිළි­ම­යක් සේ සිට කට­හඩ අවදි කළේ නැඟී සිටි­මිනි.

“වෙන්න පුළු­වන් හැම­දේම. හරි ඒත්.. මං කොහොම කිය­න්නද හිත­න්නද මෙහේ ඉන්නෙ මගේ අම්මයි අප්ප­ච්චියි නෙමේ කියලා.. ඒ දෙන්නා මට ආදරේ කරපු හැටි.. සල­කපු හැටි.. සම­හර වෙලා­වට මල්ලි­ටත් වඩා මට ආදරේ කළා කියලා හිතෙ­නවා..!”

ශ්‍රීමාල් කුඩා දරු­වෙකු සේ හඬා වැටු­ණේය. ඊළඟ මොහොතේ නැන්දා සහ මාමා බදා­ගෙන හැඬු­වේය. ඊළඟ මොහොතේ එම­ලින් සහ ධර්ම­දා­සගේ පාමුල වැටී හැඬුවේය.

ඒ උද්වේ­ග­තර දර්ශ­නය එසේ හමාර වෙද්දී ඊළ­ඟට තවත් අව­ස්ථා­වක් උදා­විය. ඒ මොහොත වෙද්දී ශ්‍රීජය වල­ව්වට තවත් අය ඇවි­ල්ලාය. ජය­සු­න්දර හාමු සමඟ රිදීශ් ද මලින්ද ද ජය­මාල් ද ඇවිත්ය. ශ්‍රීමාල් ඔවුන් හැම­දෙ­නාම එක පොකු­රට බදා­ගෙන තම ශෝකය බෙදා­ගත්තේ හරි­යට ත්‍රාස­ජ­නක චිත්‍ර­පට ජව­නි­කා­වක විස්මය විඳි­මින් වගේය. ජය­මාල් ද බොහෝ වේලා­වක් අයි­යාව බදා­ගෙන හැඬු­වේය.

ටික­කින් සංග්‍රහ කර ඉක්බිති අමු­ත්තන් ජෝඩු­වට යන්නට සමු­දුන‍්නේ ඔවුන්ගේ ලිපින සහ සම්බන්ධ කර­ගත හැකි දුර­ක­ථන අංක ද ලබා ගැන්මෙන් අන­තු­රු­වය. ඔවුන් වෙනු­වෙන් තමා කළ යුතු දේවල් ගැන ශ්‍රීමාල් හිත ඇතුළේ පෙළ ගස්වා­ග­ත්තේය. මේ අතරේ හවස් වරුවේ පැමිණි පවුලේ නීති­ඥ­යා­ගෙන් දැන­ග­න්නට ලැබුණේ පුදු­මා­කාර ආරං­චි­යකි.

එනම් රත්න­සේ­කර හාමු තම බූද­ලය තනි­ක­රම ශ්‍රීමාල් ගේ නමට ලියා ඇති බවය! මේ ආරං­චිය ඇසූ හැමෝම පුදු­ම­යෙන් ත්‍රස්ත වූවත් වඩාත්ම අස­රණ වූයේ ශ්‍රීමාල් ය!

හැම­දෙ­යක් ගැනම සාධා­ර­ණව හිතන ශ්‍රීමාල්, කල­බ­ල­යට පත් ජය­මාල්ව අස්වැ­සු­වේය. ජය­මාල් සිටියේ කෝප­යෙන් කෑ මොර ‍ගසමින්ය. අයි­යාගේ වද­නින් ඔහු මෙල්ල වූයේ මොහො­ත­කිනි.

“මාමේ.. මම කව­දා­වත් මල්ලිට අසා­ධා­ර­ණ­යක් වෙන්න ඉඩ තියන්නේ නෑ. මට ලියාපු මේ බූද­ලෙන් බාග­යක් මල්ලිට දෙනවා!”

හැම­දෙ­නාම පුදු­ම­යට පත්ක­ර­මින් ශ්‍රීමාල් එසේ කීම හැම­දෙ­නා­ටම මහා අස්වැ­සි­ල්ලක් වූයේය.

******

තවත් දින කිහි­ප­යක් ම ගත වුණි.

ශ්‍රීමාල්ට ඇති වුණේ ජීවි­තය ගැන මහා කල­කි­රී­මක් වැනි හැඟී­මකි. දින ගණ­නා­ව­කට පස්සේ කාර්යා­ල­යට ගියේද ඇල්මැ­රුණු හැඟී­ම­කින්. රාජ­කාරි ස්ථානයේ අය පවා ශ්‍රීමාල් දිහා බැලුවේ දුකෙනි. ඒ තර­මට ඔහු ලෙඩෙකු සේ සුදු­මැලි වෙලාය.

“මේ ඔක්කෝම අතෑ­රලා දාලා මට මහණ වෙන්න හිතෙ­නවා අයියේ...” දුර­ක­ථ­න­යෙන් කතා කළ මලි­න්දට ඔහු කී‍ෙව් එහෙ­යිනි. එහෙත් දිවා විවේ­ක­යේදී පුදුම දේකට මුහුණ පාන්නට සිදු­විය.

“සර් හම්බ­වෙන්න කවුද මිස් කෙනෙක් ඇවිල්ලා..” සහා­යක ළමයා ඇවිත් එසේ කියද්දී ශ්‍රීමාල් ගණ­න­කට ගත්තේ නැත. සමන්ති අක්කා හෝ කවුරු හරි එන්න ඇති. එසේ සිත­මින් වැරැ­න්ඩ­යට ගිය ඔහු සසල විය.

පැමිණ සිටියේ මේඛ­ලාය.! අවු­රුදු ගාන­කට පස්සේ මේ දකින්නේ මේඛ­ලාය!

“ආ.. ඇයි මේඛලා... ඔ..ඔයා බැඳලා රට ගියා නේද?”

තමා ඇසුවේ මෝඩ ප්‍රශ්න­යක් බව තේරෙ­ද්දිම මේඛලා කතා කරයි.

“මට ආරංචි වුණා ඔයාගෙ අප්ප­ච්චි­ලාට වෙච්ච අන­තු­රත්... මට තාම පුදු­මයි.. ඒත්... ඔයා හොඳ­ටම කෙට්ටු­වෙලා ඇදිලා ගිහිල්ලා සනීප නැද්ද... ශ්‍රීමාල්..”

දැන් අසු­න්වල වාඩිවී දෙදෙනා කතා කරති.

“‍කෝ හස්බන්ඩ් ආවෙ නැද්ද..?”

ශ්‍රීමාල් අසන්නේ අහක බල­මිනි.

“හස්බන්ඩ්...? හහ් එයා හස්බන්ඩ් කෙනෙක් නෙමෙයි යකෙක්.. මාව නැති කරන්න ආපු.. ඉතා­ලි­යට මාව අරන් ගිහින් එයා මාව නැති කර­න්නයි හැදුවෙ.. මම බොහොම අමා­රු­වෙන් ඩිවෝස් එක ගත්තේ.. හොඳ වෙලා­වට මට ඒ මිනි­හ­ගෙන් ළම­යෙක් හිටියෙ නෑ.. නැත්නම් ඒ දරු­වත් අනා­ථයි...”

මේඛලා සිහි­නි­යට කඳුළු සලයි. ශ්‍රීමාල්ට අතී­තය මතක් වෙයි. මේඛලා තමාට මොන­ත­රම් ආද­රය කළාද? ඒත් අප්ප­ච්චි­ලාගේ වලව් මාන්නය නිසා.. ඔවුන්ගේ සිත් සන­ස­න්නට තමාට ඇයට පිටු­පා­න්නට සිදු­වුණු හැටි.. ඒත්.. දැන් තමාගේ වර්ත­මා­නය.. ඒවා කිසි­වක් මේඛලා දන්නේ නැත! ඇසු­වාම පුදුම හිතෙ­නවා ඇත. ඔහු බර සුසු­මක් හෙළයි.

“මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ මේඛලා..!”

මේඛලා මොහො­තක් බලා සිට හෙමි­හිට කට­හඬ අවදි කරයි.

“ජීවිතේ ගැන කල­කි­රෙන්න එපා.. ශ්‍රීමාල්.. ඔයා ඒ තරම් අවා­ස­නා­ව­න්ත­යෙක් නෙමේ.. මම ඔයාට හැම­දාම ඉන්නවා..!”

“මගේ ජීවිතේ මට ම අභි­ර­හ­සක් වුණා මේඛලා.. මම තවම ඉන්නේ ඒ තිගැ­ස්මෙන්.. මට...”

මේඛලා ඔහුගේ වදන් නව­ත්වයි.

“මම.. ඔයා ගැන ඔක්කොම විස්තර දන්නවා.. ශ්‍රීමාල්.. මට මලින්ද අයියා කිව්වා.. ඔයා ඇත්ත­ටම හරිම ගුණ­ග­රුක සාධා­රණ මනු­ස්ස­යෙක්..! මට ඔයා ගැන ආඩ­ම්බ­රයි!”

ඊළඟ මොහොතේ වරු­වක් නිවාඩු දැමූ දෙදෙනා යන්නේ සුපු­රුදු අව­න්හ­ල­ටය. සිසිල් බීම බිඳක් තොල ගාමින් මේඛලා නැවත කියයි.

“විල් දෙකක පිපු­ණත් එක ජාතියෙ මල් එකම සුව­ඳයි.. එහෙම නේද ශ්‍රීමාල්..!”

ශ්‍රීමාල්ට හිනා­වක් මතු­වෙයි. ඒ ආක­ර්ෂ­ණ­යට මේඛලා වශී­වෙ­ලාය.

“ඔව් ඔව් පාට වෙනස් වෙලා පිපු­ණත් එකම ජාතියෙ මල්වල තියෙන්නෙ එකම සුව­ඳම තමා.. ඒ ආදරේ සුවඳ...!”

හෙටත් මල් පිපෙයි. පර­වෙයි. නැවත මල් පිපෙයි. මත­කයේ සුවඳ එක්ක ආද­රය හැම­දාම ජීව­මා­නය! මනු­ස්ස­ක­මත් එක්ක එක­තුවන ආද­රය කොහො­මත් ජීව­මා­නය පූජ­නී­යය!

නිමි

අදහස්