ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455ක් | සිළුමිණ

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455ක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය සහ ප්‍රදානයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හමුවේ එකඟ වී තිබේ.
 
පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා  ඊයේ (17) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අතර, එහිදී එහි සභාපති තකෙහිකෝ නාකාඕ මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාව පළ කෙරිණි.
 
මෙයින් ඇමරිකන් ඩොලර් මිලියන 300ක මුදලක් ශ්‍රී ලංකාවට සැපයීමට එකඟතාව පළ වී ඇත්තේ කොළඹ වරායට පිවිසීම සඳහා කුලුනු සහිත මහාමාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහාය. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු උප කලාපය සඳහා ආර්ථික සහයෝගය සැපයීමේ ප්‍රතිපත්ති රාමුව තුළ එම එකඟතාව පළ වී තිබේ.
 
එමෙන්ම විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කෙරිණි. නගර සංවර්ධන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ලබාදීමට ද එකඟතාව පළ වී තිබේ. මෙම එකඟතාවන්ට අදාළ ගිවිසුම්වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා අතර අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.
 
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද ශ්‍රී ලංකාව ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටින බවයි. දුගී බව තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම එම අභියෝග බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛ සහයක් අපේක්ෂා කරන බව ද කියා සිටියේය. මෙරටට නීති විරෝධි මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට රේගුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ විශේෂඥ තාක්ෂණ දැනුම ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සඳහන් කළේය.
 
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ අද ශ්‍රී ලංකාව නියඟය සහ ගංවතුර යන දෙකෙන්ම පීඩාවට පත්වන අතර ඊට මුහුණදීම සඳහා වඩා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුව ඇති බවයි. ඒ අනුව දේශගුණික හා කාලගුණික විපර්යාසවලින් ශ්‍රී ලංකාවට වන හානිය අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට ද ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා එකඟතාවය පළ කළේය.
 
බලශක්ති සංරක්ෂණය, කෘෂිකර්ම, යටිතල පහසුකම්, කාලගුණික සහ පරිසර, වන සංරක්ෂණ ආදි විවිධ ක්ෂේත්‍රවලින් මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙමින් සිටින අතර එම සහාය අඛණ්ඩ ව ඉදිරියට ලබාදීමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම වාරිමාර්ග, මහාමාර්ග සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති සඳහා ඉදිරියේ දී සහාය දැක්වීමට අපේක්ෂා කරන බව ද හෙතෙම එහිදී කියා සිටියේ ය.
 
කුඩා හා මධ්‍ය පරිමාණ කාෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම මගින් මූල්‍ය කළමනාකරණය ඇති කර ගැනීමේ හැකියාව මෙහිදී පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා ඒ වෙනුවෙන් විශේෂ සහායක් ලබාදීමට අපේක්ෂා කරන බව ද පැවසීය.එමෙන් ම අද ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රගතිය ඇගැයීමට ලක් කළ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති පිළිබඳව ද ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමු කරන බව සඳහන් කළේය.
 
 
 

Comments