ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති කාටද? | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති කාටද?

මූල්‍ය පරිමාධිපත්‍ය රජයන සමාජයක ජනතා පරමාධිපත්‍ය කොළ කැබලිවලට සීමා වීම අරුමයක් නොවේ. එවන් සමාජයක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අයිති වන්නේ ද ක්‍රීඩකයන්ට හෝ සමාජයට නොව, මුල්‍ය පරමාධිපත්‍යයට බවට සාධක සෙවීමට මහන්සි විය යුතුද? ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති කාටදැයි ක්‍රීඩා අමාත්‍යවරයාට ප්‍රශ්න කරන්නට සිදුවන්නේ ද මුල්‍ය පරමාධිපත්‍ය ක්‍රිකට් ක්‍රීඩාව තුළ කලක පටන් ම හොල්මං කළ බැවිනි. අද වනවිට අඩු වැඩි වශයෙන් එයට වන්දි ගෙවීමට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවී ඇති බව පැහැදිලිය.

“දැන් අපිට විශාල චෝදනාවක්, එල්ලවෙලා තියෙනවා. මම අමාත්‍යාංශය බාර අරගෙන මුලින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරින් හමුවේදි කිව්වේ ක්‍රිකට්වලින් දූෂිත ම රට විදියට ශ්‍රී ලංකාව දකිනවා කියලයි. ක්‍රිකට්වලට ආදරය කරන මට ඒක අහපුවා ම හිතට ලොකු දුකක් දැනුණා. සිම්බාබ්වේට වඩා අපි දූෂිතයි කිව්වා.” මේ ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා මාධ්‍ය හමුවකදී පැවැසූ දිගු කතාවක සාරාංශයකි.

ලා‍ංකේය සමස්ත ක්‍රීඩාවේ ඛේදය වනාහි ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ දේශපාලනයේ පවා පවතින්නා වූ අගතියේ සහ කුහකත්වයේ නියත ප්‍රතිඵලයක් බව අපි අනෙක වාරයක් අකුරු කර ඇත්තෙමු. ක්‍රීඩාව පිළිබඳ නීති අධ්‍යාපනයක්, සංස්කෘතියක්, සාහිත්‍යයක්, පුහුණු න්‍යායික කලාවක, වෛද්‍ය විද්‍යාවක්, පෝෂණයක්, ජාතික වැඩපිළිවෙළක් නැති ලාංකේය ක්‍රීඩාවේ මෙකී ලක්ෂණයන් සියයට සියයක් නැතත් වැඩි ප්‍රතිශතයක් හෝ දක්නට ලැබුණොත් තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණි. මෙරට ක්‍රිකට් පරිපාලනයේ අගතියේ සහ කුහකත්වයේ ලක්ෂණයන් එළියට නැතත් අළුයට ගිනි පුපුරු මෙන් මතුවෙමින් යට යමින් පැවැතුණ ද ඒවා එළියට නොපැමිණි තරම්ය. එහෙත් අද වන විට සමස්ත ක්‍රීඩාව ම ගිලගෙන ඇති මෙකී රෝග ලක්ෂණයන් ක්‍රිකට් ක්‍රීඩාවේ ද දක්නට ලැබීම අභාග්‍යයකි. අද ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ද අනෙක් ක්‍රීඩාවන් මෙන් ම ජරාජීර්ණ ඕජස් ගලන තත්වයට ම දිනෙන් දිනම ගමන් කිරීම තත්වය වඩාත් භයානක වීමට හේතු වී තිබේ. ක්‍රිකට් පරිපාලන‍ය යහමඟට ගැනීමට එකම අරමුණ බවට දිවුරා පොරොන්දු දෙමින් මුල් පුටුව මෙතෙක් කාලයක් ඩැහැ ගත්තෝ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ගෙන ගොස් ඇති ස්ථානය සිම්බාබ්වේටත් නොදැවෙනි බව අමාත්‍යවරයාගේ වදන්වලින් ම පැහැදිලිය. මෙකී ගැටලු තව තවත් වර්ධනය වීම නම් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට එතරම් ම සුබදායක නොවන බවට අටුවා ටීකා අවැසි නැත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි ඒකකයේ ස්ටිව් රිචඩ්සන් මේ දිනවල මෙරටට පැමිණ තිබෙන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සහ වංචා පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට සති දෙකක කාලයක් ලබා තිබේ. මේ සහන කාලයකි. මෙකී සහන කාලය අවසන් වීමට තවත් ඇත්තේ දින 11 කි. තරග පාවා දෙන ලෙස ක්‍රීඩකයන්ට සිදුවී තිබෙන පෙලඹවීම් වාර්තා කිරීමට මේ කාලය ලබා දී තිබෙන අතර, එකී කාලය තුළ තොරතුරු වාර්තා නොකිරීම, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති අනුව වරදක් වන අතර, මෙකී සහන කාලය ප්‍රයෝජනයට ‍ගෙන තොරතුරු වාර්තා කරන ක්‍රීඩකයන්ට සහනයක් ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එකඟ වී තිබේ. මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ තොරතුරු ලබා දෙන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතික වන බවයි.

මේ අතර ක්‍රිකට් නිලවරණය ද ලබන මස මුල් සතියේ පැවැත්වීමට නියමිතය. මෙරට ක්‍රිකට් නිලවරණය ද මහ මැතිවරණ තරම්ම උණුසුම්ය. ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව ජනපති - අගමැති පුටුවට වඩා බලවත් බව නොරහසකි. ඒ නිසාම මේ පිළිබඳ සමාජ මතවාදය වන්නේ රටේ ඉහළ ම දේශපාලනයේ මැදිහත්භාවය ද කිසිදු අඩුවක් නැතුව මෙයට ලැබෙන බවයි. පාර්ශ්ව දෙකක් දැනටමත් මේ සටනට අවතීර්ණව තිබේ. අද වනවිට සෑම අතින් ම බින්දුවට වැටී ඇති ක්‍රිකට් ගොඩ ගැනීමට මේ දෙපාර්ශ්වයට ම ඉදිරියේදි සිය තුරුම්පු ඉදිරිපත් කරනු ඇත. මෙරට කීර්තිමත් වෙළෙඳ සන්නාමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති මොහොතක එය ගොඩ ගැනීමට රජය උපරිමයෙන් ම ඒ සඳහා උරදිය යුතුය. එසේම සිදුවන්නාවූ සියලුම ක්‍රියාකාරකම් පිළිබඳ රජය මීට වඩා අවධානයක් ද යොමු කළ යුතුය.

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ පසු මෙරට ක්‍රිකට් ආයතනයට ගලා ආ ධනස්කන්ධය ඉදිරියේ උමතු භාවයට පත්වූ නිලධාරින් සහ බලධාරීන් අතීතයේ ක්‍රියා කළ ආකාරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ද සමාජය සතුය. එකී නිලධාරින් සහ බලධාරින් එදා හරියට වැඩ කළේ නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් වවාගෙන කන බොන බවට පත්කර නොගත්තේ නම් මෙවැනි අර්බුද මතු නොවනු ඇත. කෙසේ වෙතත් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මහත් දයාබරිතව සහ හැඟීම්බරව කෑමොර දෙන්නන් කවුද යන්න මේ විනාශය දෙස දෑස් දල්වා බලා සිටින්නන් හොඳින් ම දනිති. සල්ලි මිටි ගණන් හෝ විසි කරමින් ක්‍රිකට් ඡන්ද සටනට පිඹුරුපත් සකසන්නේ මේ කන්න හදන්නේ පැළයම බව දන්නෝ දනිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝටි ගණනින් නොව, ප්‍රකෝටි ගණනින් ණය වුවද කිසිදු අපුලකින් සහ හිරිකිතියකින් තොරව ම බාර ගන්නට පොරකන පිරිස්වල අඩුවක් නම් නැත. ඒ ඇයිද යන්න රහසක් නොවන නමුත්, මෙහි රසපහස දන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තැනට ඇද දමා හප කර දැමූ පිරිස් මිස අන්කවරකුත් නොවේ. 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් තැන් පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගලා ආ ධනස්කන්ධය බේරා ගන්නට එකකු එළවා දමා තව එකකු ගෙන එන්නට සිදු වූ අතීතයක් ද මෙරට ක්‍රිකට්වල තිබුණි. ‍ඒ නිසාම මේ කිඹුල් කඳුළු කාරයන්ට මෙන් ම පුහුල්හොරුන්ට ද ආයෙත් අහු වෙනවාද නැද්ද යන්න ක්‍රීඩාව කරවන වග කිව යුත්තන්ගේ වගකීමකි. ඒ නිසා ම සියලු ම දෙනාම මේ පිළිබඳ අවධානය යොමු කර ක්‍රීඩාව කරවන බලධාරීන් පමණක් නොව, එයට උනන්දු වන සියලු ම දෙනාගේ දෑත් ද මේ මොහොතේ එක්විය යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති නරා වළෙන් ගොඩ ගැනීමටය.

ක්‍රිකට් ගහන්න නම් ජීවිතයේ ‍ෙහාඳ ම කාලය පිට්ටනිවලට අව්වේ කර වෙන්න ඕනෑ. දවස් දෙක තුනක් නෙවෙයි. අවුරුදු 13 න් පහළ ඉඳල ම පුහුණු වී ගෙන එන්නේ. ජීවිතය ම ක්‍රිකට් කර ගෙන ඉන්නේ. බොහෝ වෙලාවල්වලට අපොස සාමාන්‍ය පෙළ විභාගය පවා සමත් වීම අපහසු වෙනවා. උසස් පෙළ ගොඩ දා ගන්න ගොඩක් අපහසු වෙනවා. ඒකට හේතුව ක්‍රිකට් වෙනුවෙන් පිට්ටනිවලම ඉන්න නිසා. අමාත්‍යවරයා පවසන ආකාරයට එසේ‍ වැර වීර්යයෙන් ගොඩ නගා ගන්නා ක්‍රිකට් ක්‍රීඩාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන ආකාරයට අද වන විට සූදුවට එහා ගිය පාතාලයත් සමඟ සම්බන්ධ යැයි චෝදනා කරන විට ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මඟ පැහැදිලියි. ඒ අනුව ඇත්තට ම අද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උරුමක්කරුවෝ කවුද යන්න තීරණය කිරීම හංසයාට දියෙන් කිරි වෙන් කර ගන්නවාටත් වඩා අසීරු කරුණක් වී තිබේ.

අදහස්