දින තුනෙන් ගැස්සුණු ණය වාරිකය IMF දිනාගැනීමට ගිය ‘මංගල’ ගමන | සිළුමිණ

දින තුනෙන් ගැස්සුණු ණය වාරිකය IMF දිනාගැනීමට ගිය ‘මංගල’ ගමන

ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තිරසර, ඉහළ ගුණාත්මක වර්ධන මාවතකට රට යොමු කරන වැඩපිළිවෙළට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන බව සහතික කෙරිණි. ඒ, මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රමුඛ රජයේ ‍නියෝජිත පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පිහිටි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය හමු වූ අවස්ථාවේය.

ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස මෙවර එක්සත් ජනපදය බලා පිටත්ව ගියේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල අප රටට ලබාදීමට එකඟව සිට, හදිසියේ මෙරට ඇති වූ දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් අත්හිටුවා තිබූ විස්තීරණ ණය මුදලේ පස්වැනි වාරිකය දිනාගැනීම සඳහාය.

මේ සාකච්ඡා සභාවේදී මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රධාන නියෝජිත පිරිසට නියමිත පරිදි වාරික ලබාගැනීමට සාර්ථකව සාකච්ඡා පැවැත්වීමට අමතරව, දේශපාලන අස්ථාවරභාවයක් ඇති කළ 2018 ඔක්තෝබර් 26 සිට දින 52ක් වූ ආණ්ඩු කාලයේ අප රටේ පහළ දැමුණු ණය ශ්‍රේණිගත කිරීම් වෙනුවට, එය නැවත ඉහළට ගෙන ඒමට ගත යුතු පියවර කතිකා කිරීමේ වගකීමද පැවරී තිබිණි.

මෙහිදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නියෝජිතයන් මෙරට අභියෝගාත්මක ආර්ථික පරිසරය ජය ගැනීමට ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළට සහාය දීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සූදානම්ව සිටින බවත්, විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට තම දූත කණ්ඩායමක් පෙබරවාරි මස මැද භාගයේදී කොළඹ සංචාරය කිරීමට නියමිත බවත් ප්‍රකාශ කළාය.

වසර 1965 සිට අන්තර්ජාතික මූල්‍ය අරමුදල අප රට සමඟ ගනුදෙනු සිදු කොට තිබේ. එකල පළමුවෙන්ම ඇ.‍එ.ජ. ඩොලර් 22,500ක ණයක් අනුමත කරගත් අප, අවසන් වතාවට වසර 2016දී අනුමත කොටගත් ණය මුදල ඇ.‍එ.ජ. ඩොලර් මිලියන 1500කි. මෙය වසර 2016-2019 දක්වා කාලසීමාව සඳහා ලබාදීමට නියමිතව පැවතිණි. මෙයින් වාරික හතරක් දැනටමත් ලැබී තිබේ. පස්වැනි වාරිකය මෙරටට ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ කරුණු සාකච්ඡා කොට පිටත්ව ගොස් තිබිණි. ඔවුන් එම කතිකාවේ ප්‍රගතිය 2018 ඔක්තෝබර් 29 දා ඉහළ විධායක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ඔක්තෝබර් 26 දින මෙරට ඇති වූ දේශපාලන අස්ථාවරභාවය නිසා සාකච්ඡාව නොපැවැත්විණි. ඒ, අප ‍රටේ ආණ්ඩු කරනුයේ කවුරුන්දැයි නිශ්චිතව හඳුනා නොගෙන ගනුදෙනු පනත කථා කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් නොවූ බැවිනි. එනමුත් නැවත වතාවක් රටේ අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කොට, නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ර‍ට ඉදිරියට ගෙන යෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගැනීමත් සමඟ නැවතී තිබුණු සාකච්ඡා යළි ඇරැඹිණි. ඒ අනුව මංගල සමරවීර මහතා ප්‍රධාන පිරිස ඇමෙරිකාවේදී සාකච්ඡා පැවැත්වූ අතර, එය ඉතා සාර්ථක ප්‍රතිඵල රටට අත්කරදීමට සමත් වී තිබේ.

වසර 1965 සිට ගත වූ 54 වසරක කාලය තුළ ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ඇ.‍එ.ජ. ඩොලර් බිලියන 442ක ණය මුදලක් ගෙන තිබේ. මේ මුදල් යොදවා රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ උදෙසා විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කොට ඇත.

රටේ අයවැය හිඟය අඩු කරගැනීම, ආනයන-අපනයන අතර පවතින දැඩි වෙළෙඳ හිඟය පියවාගැනීම, රජයේ ආදායම් ඉහළ නංවාගැනීම, රාජ්‍ය ව්‍යවසායයන් ලාබදායි ආයතන බවට පත් කිරීම උදෙසා විවිධ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල මඟ කියා දී තිබේ. මේ මඟ අනුව යමින් කටයුතු කරනවා යැයි කියා ණය ගෙන අනතුරුව ඉන් බැහැරව විවිධ රජයන් කටයුතු කොට ඇත. ඒ නිසා ජනතාවට කෙටිකාලීනව සහන හිමි වුවද මැදි හා දිගුකාලීන සහන ලැබීම් ප්‍රමාද වන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අදහස වී ඇත.

කරුණු කෙසේ නමුත් වසර 2016-2019 විස්තීරණ ණය එකඟතාව නියමිත පරිදි ලබාගෙන රටේ වර්තමානයේ මතුව ඇති විදේශ විනිමය අර්බුදයට, විශේෂයෙන් විදේශ නිල සංචිත ඉහළට ඔසවාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ අන්තර්ජාතික ස්වාධීන ආයතන තුනම - එනම්: ෆිච් රේටීන්ස්, මූඩිස් හා එස් ඇන්ඩ් පී ආයතන තුනම - මේ වන විට ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමේදී අධික අවදානමක් සහිත රටක් බවට පත් කරවමින් ශ්‍රේණිගත කිරීම් පහත දමා තිබේ.

මේ ශ්‍රේණිගත කිරීම් පහත දැමීම හේතුවෙන් අප රටට විදේශයන්ගෙන් ණය මුදල් ගැනීමේදී ඊට ගෙවිය යුතු පොලී මුදල ඉහළ යනු ඇත. ඒ නිසා අප රටේ පොලී පිරිවැය වැඩි වීම සිදු වේ. පොලී පිරිවැය වැඩි නම් ණය ආපසු ගෙවීමේදී හා එම මුදල් ආයෝජනය කොට මුදල් ඉපැයීමේදී පෙරදාටත් වඩා මූල්‍ය කළමනාකාරිත්වයක් බලධාරීන් ඇති කරගත යුතු වෙයි.

මේ අන්දමේ අභියෝග රැසක් ජය ගනිමින්, ඉදිරියටත් විදේශ ආයතනවලින් අරමුදල් ලබාගනිමින්, රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉදිරියට යෑම කිසි සේ්ත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ ඒ අභියෝගය ජය ගැනීම රජයේ ඒකායන අභිප්‍රායය බවයි.

Comments