ෆෙඩරල් බිල්ලා සහ පළාත් සභා ඡන්දය ! | සිළුමිණ

ෆෙඩරල් බිල්ලා සහ පළාත් සභා ඡන්දය !

ප්‍රජාතන්ත්‍රවාදය හා කළු මාධ්‍ය පිළිබඳ ව ඇති වූ වාද විවාද උද්ඝෝෂණ විරෝධතා ආදි සියල්ල යටපත් කරමින් දැන් අලුත් මාතෘකාවක් සමාජ දේශපාලන ක්ෂේත්‍රවලට ලැබී තිබේ. අලුත් යැයි කීවාට එය අලුත්ම නැත. ඉහත සඳහන් කළ මාතෘකා වගේම එයත් කලින් කලට මතු වෙන යළිත් යටපත් වන මාතෘකාවකි. වෙනත් ආකාරයකින් කියන්නේ නම් මේ හැම එකක් ම හොඳට පදම් වූ දේශපාලන මුවහම් ය. එහෙත් සිරිතක් වශයෙන් ඒවා ගැන වාද විවාද කරනු විනා ඒවාට තිරසර විසඳුම් සෙවීමට උත්සාහ ගන්නා බවක් නම් කිව නොහැකිය. දැන් යළිත් වරක් රටම උණුසුම් කරමින් නොයෙක් ආකාරයේ විවේචන විමර්ශන පමණක් නොව අවලාද නින්දා අපහාස පවා සිදුවන මේ ව්‍යවස්ථා රණ්ඩුව කුමක්ද? එයට හේතු මොනවාද? සමාජ දේශපාලන අංශවල පමණක් නොව අපේ මහනාහිමිවරුන් ප්‍රමුඛ සංඝයා වහන්සේලාත්, සාමාන්‍ය ජනතාවත් පෙළ ගැසෙමින් ප්‍රතිචාර දක්වන මේ අර්බුදයේ සුළ මුළ සොයා බැලීම වැදගත් ය.

පසුගියදා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාදයක සභාවේ මෙහෙයුම් මණ්ඩල විශේෂඥ කමිටු වාර්තාව ඇතුළු වාර්තා කීපයක් මේ අලුත් සංවාදයට නිමිති වී තිබේ. ආණ්ඩුව ඉඳුරාම ප්‍රකාශ කරන්නේ මෙහි හුදු වාර්තාවක් විනා එය මොනම ආකාරයක හෝ ව්‍යවස්ථා කෙටුම්පතක් නොවන බව ය. එහෙත් විපක්ෂය ඇතුළු වෙනත් කණ්ඩායම් වල අදහස වී ඇත්තේ එය රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක ආරම්භය බවත් ය. එමතු නොව එමඟින් මෙතෙක් බුද්ධාගමට හිමිව තිබූ ප්‍රමුඛතාව ද අහෝසි විය හැකි බව ය. බැලු බැල්මට මෙබඳු මතවාදයක් ජනතාව අතරට යෑම යහපත් දෙයක් නොවේ. එය ඕනෑම වර්ගයක විනාශකාරී ගින්නක් ඇවිලවීමට හොඳට ම ප්‍රමාණවත් ය.

මේ ෆෙඩරල් ව්‍යවස්ථා බිල්ලා ගැන රටේ ජනතාවට ද හොඳ අවබෝධයක් තිබේ. උතුර දකුණ විරසකයට හේතුව වී ඇත්තේ ද මේ ප්‍රශ්නයයි. එහෙත් කලක් තිස්සේ අපට මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගත නොහැකි වී තිබේ. ප්‍රශ්නය විසඳන්නට එන අය හෝ ඒ සඳහා බලය ලබා ගන්නා හෝ එම ප්‍රශ්නය බරපතල ලෙස ගණන් ගන්නා බවක්ද නොපෙනේ. අද මෙරටේ තිබෙන විධායක ආණ්ඩුක්‍රමය වෙනස් විය යුතුය යන අදහස හැම දේශපාලන පක්ෂයක් ම පිළිගනී. විධායක ක්‍රමය මෙරටට ශාපයක් වූ බවත් එමඟින් සමාජ, දේශාපාලන, සංස්කෘතික සියලු ක්ෂේත්‍ර බරපතල පරිහානියකට ලක් වූ බවත් සියල්ලෝ ම පිළිගනිති. එහෙත් 1978 න් ඇරඹුණු ඒ විධායක විකෘතිය නිවැරදි කර රටට උචිත ව්‍යවස්ථාවක් සකසා ගැනීමට වසර හතළිහකටත් වැඩි කලක් අපට නොහැකි වී තිබේ. ඒ වෙනුවෙන් උතුරේ පමණක් නොව දකුණේත් ජීවිත දහස් ගණනින් ද, දේපොළ ජාතික සම්පත් අප්‍රමාණව විනාශ වී ගොස් ඇත. වසර තිහක් ඉක්ම වූ ත්‍රස්තවාදයක භීෂණයට මුළු රට ම යටත් වූයේ ද මේ අර්බුදයේ ඵලයක් ලෙස ය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ඒ ත්‍රස්තවාදය විනාශ කළ හැකි විය. එහෙත් ඉන්පසු ඒ ත්‍රස්තවාදයට තුඩු දුන් සමාජ, දේශපාලන හේතු සොයා බලා අවශ්‍ය විසඳුමක් ලබා දීමට නොහැකි විය. ඊට පෙර බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කළේත්, පෙනී සිටියේත් රටට අවශ්‍ය ව්‍යවස්ථාවක් වෙනුවෙනි. 1978 ව්‍යවස්ථාව බහුබූත ව්‍යවස්ථාවක් ලෙස හැඳින්වු ඇයට ද විධායක ක්‍රමය අහෝසි කිරීමට නොහැකි විය. චන්ද්‍රිකා පාලන යුගය තුළ ඒ වෙනුවෙන් යෝජනාවලියක් ද ඉදිරිපත් වු අතර එකල පාර්ලිමේන්තුවේදී එය ගිනි තැබූ බවක් ද අපට මතක ය. රාජපක්ෂ යුගයට ඒ සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ද විය. එහෙත් ත්‍රස්තවාදය පැරද වූ මහින්ද එම ව්‍යවස්ථාවට 18 වැනි සංශෝධනයක් ඉදිරිපත් කර සම්මත කරගෙන විධායක ජනාධිපති ලෙස තුන්වන ඉනිම ආරම්භ කිරීමටද සූදානම් විය.

2015 දී ඒ විධායක ක්‍රමය අහෝසි කිරීමේ වගකීම ජනතාව විසින් පවරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන නම් වූ පොදු අපේක්ෂකයාට ය. මෛත්‍රී ජනාධිපති වීමෙන් පසු ඒ විධායකය මෙන්ම රටට පිළිලයක් වූ මනාප ඡන්ද ක්‍රමයද අහෝසි කිරීමට කැප වූ බව රට ම දනී. එහෙත් ඒ කාර්ය සපුරා ජයගත හැකි වූයේ නැත. 2015 රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රී පත් වුවද පාර්ලිමේන්තුවේ බලය හිමි වූ එ.ජා.පෙරමුණ ඒ ක්‍රියාදාමය සමග ඉදිරියට ගියේ මන්දගාමීව ය. මෛත්‍රී ජනාධිපතිරවයා මැදිහත්ව යන්තම් විධායකයේ බලතල කප්පාදු කළත්, එය ජනතාව අපේක්ෂා කළ ව්‍යවස්ථාව හෝ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් හෝ නොවීය. අගමැති රනිල් ප්‍රමුඛ පිරිසකට ව්‍යවස්ථා සම්පාදක කටයුතු භාර වුවද එයට කළ හැකි වූයේ සීමිත සංශෝධන ක්‍රියාවලියක් පමණි. සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සමග විධායක බලයට යම් යම් සීමා පැනවීමක් එහිදී සිදු විය.

එදා සම්මත කරගත් 19 වැනි සංශෝධනය ගැන අද තිබෙන විවේචන සුළුපටු නැත. එමඟින් සිදුව ඇත්තේ රටේ පාලනය අවුල් වීමක් බව අනතුරුව සිදු වූ දේශපාලන ක්‍රියාවලිය දෙස බලන කවරකුට වුවද පෙනී යා යුතුය. 19 වැනි සංශෝධනයේ යටි අරමුණ විධායක බලය දුබල කර ඒවා අගමැතිවරයාට පවරාදීමක් බවට විවේචනයක් ද වේ. කුමක් වුවත් 19 වැනි සංශෝධනය සමඟ මතු වූ ව්‍යවස්ථාදායක, විධායක ගැටුම අතිශය ප්‍රබල එකක් විය. ඒ පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කිරීමට අවකාශයක් ද නැත. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය පාර්ලිමේන්තු අවුල සමනය වූයේ යළිත් රනිල්ට අගමැතිධුරය හිමිකර දෙමින් ය. 19 වැනි සංශෝධනයේ ඇද කුද මෙන්ම එය පසු පස සැඟවුණු අරමුණු හා අභිලාෂයන් පිළිබඳ අද බොහෝ කරුණු අනාවරණය වී තිබේ. කුමක් වුවත් මේ වන විට රටේ පාලනය හිමිව තිබෙන කණ්ඩායම තුළ මෛත්‍රී ජනාධිපතිවරයාගේ දේශපාලන කණ්ඩායම නැති බව ද අපි දනිමු.

කෙසේ හෝ අද අර්බුදයට තුඩු දී තිබෙන වාර්තාව ප්‍රකාශයට පත් වන්නේ වසර තුනක ඇවෑමෙන් බව ද කිව යුතුය. ජ.වි.පෙ. ප්‍රකාශ කරන ආකාරයට වසර තුනක් තිස්සේ ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ගැනීමට අසමත් වූ කණ්ඩායමක් මෙලෙස හදිසියේ වාර්තාවක් ඉදිරිපත් කිරීම ද ජනතාවගේ සැකයට තුඩු දෙන්නකි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධානය සෘජු ව ම මේ වාර්තාව ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ගේ විවේචන සමඟ අපට ප්‍රශ්න තිබුණත් මෙම ක්‍රියාදාමය පාර්ලිමේන්තුව තුළ ඉදිරියට නොයන එකක් බව අපට පැහැදිලිය. එපමණක් නොව මෙම වාර්තාවට දැන් මහනායක හිමිවරුන්ගේ අප්‍රසාදය ද පළ වී තිබේ. බුද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩලය රට බෙදන ව්‍යවස්ථාව එපා යන සටන් පාඨය අතට ගෙන සිටින බවද පෙනේ. “නව ව්‍යවස්ථා කෙටුම්පතකින් ‍ෆෙඩරල් ව්‍යුහයේ රාජ්‍යයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇතැයිද තමන්ට එකඟවිය නොහැකි කරුණු රැසක් එහි ඇති නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා” එම මණ්ඩලයේ නිල ලිපියක්ද නිකුත් කර තිබේ.

මේ වාතාවරණය තුළ ආණ්ඩුවට මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑම දුෂ්කර බව ඉතා පහැදිලිය. විශේෂයෙන් මේ ආණ්ඩුව එක රැයකින් වෙනස් කිරීමට තමන්ට හැකි යැයි කියන දෙමළ සන්ධානයේ දේශපාලන හැසිරීම් ද ජනතාවගේ මනසේ හොල්මන් කරමින් තිබේ. ආණ්ඩුව දෙමළ සන්ධානයේ රූකඩයක් බවට පත්ව ඇතැයි චෝදනා කරන විපක්ෂයත් උතුරේ ජාතිවාදී දේශපාලන ක්‍රියාකාරකම් සිදු කරන ඇතැම් දෙමළ නායකයනුත් නිසා ආණ්ඩුවද අසීරුතාවක හිර වී සිටින බවක් ද පෙනේ. කුමක් වුවත් මේ ව්‍යවස්ථා අර්බුදය මේ පාර්ලිමේන්තුව තුළ නම් විසඳා ගත නොහැකි බව ඕනෑම කෙනකුට පෙනී යන්නකි.

පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබෙන අයකුට වුවද කිසියම් පනතක් සම්මත වන ආකාරය පිළිබඳ අවබෝධයක් තිබේ. විශේෂයෙන් මෙබදු පනතක් සඳහා අවශ්‍ය වන තුනෙන් දෙකක බහුතරයවත් මේ පාර්ලිමේන්තුවට නැත. එසේ නම් එය ඉබේම නිෂ්ක්‍රීය වන වාර්තාවක් වනු ඇත. එහෙත් අපට තිබෙන ප්‍රශ්නය කෙටුම්පතක් නොවන වාර්තාවකට මේසා විරෝධයක් නැඟෙන්නේ ඇයි ද යන්න ය. මේ කාරණාව ආණ්ඩුව ද සිතා බැලිය යුත්තකි. ආණ්ඩුව කරන හැම දෙයකට ම විරුද්ධ වන අය ද සිටිති. ඒ අය ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් විවේචන වල හරය ලෙස දැක්වෙන ‘ඒකීය’ යන්න වෙනුවට ‘ඔරුමිත්තනාඩු’ යන විවාදාත්මක යෙදුම යොදා තිබෙන්නේ කුමටද? එය කාගේ අවශ්‍යතාවක්ද? අගමැති රනිල් පසුගියදා මහනාහිමිවරුන් හමු වී පැහැදිලි ව ම සඳහන් කළේ “ඒකීය” හා “බුද්ධාගමට ප්‍රමුඛතාව” යන වචන වලට කිසිදු වෙනසක් නොකරන බවය. එ.ජා.ප.යේ ඇමතිවරුද එය තහවුරු කරති. එහෙත් එබදු පසුබිමක් තුළ වුවද එය වෙනස් කිරීමට කාට හෝ වුවමනාවක් තිබේද යන්න පිළිබඳ සාධාරණ සැකයක් අද මතුව තිබේ. ව්‍යවස්ථාවකට යොදන වචන මෙන්ම ඒවාට දෙන නිර්වචන නැතහොත් අර්ථ කථන ගැන කෙනෙකු තුළ සැකයක් ඇතිවන්නේ නම් එය සුළුපටු කරුණක් නොවේ. එසේම මෙම ව්‍යවස්ථාදායක ක්‍රියාදාමය තුළ රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයුම් ඇතැයි විවෘත චෝදනාවක් තිබේ. දේශපාලන විවේචනවල ඇතැම් නම් ද ප්‍රකාශ වේ.

අද මේ රට මුහුණ දී සිටින ප්‍රබල ප්‍රශ්නයක් වන්නේ ද බොහෝ කටයුතු අවුල් කිරීමටත්, ජනතාවගේ සැකයට භාජනය වීමටත් හේතු වන්නේ ද රාජ්‍ය නොවන සංවිධාන වල භූමිකාව ය. ඇන්ජීඕ කාරයන් ලෙස චෝදනා කරන මේ පිරිස් වලට අවශ්‍ය වෙනම න්‍යාය පත්‍ර තිබෙන බව විපක්ෂය ද කියයි. විශේෂයෙන් දෙමළ ඩයස් පෝරාව හා ඇතැම් බටහිර බලවේග වල අරමුණ වී ඇත්තේද මුදලට ගත් ජාතිභ්‍රෂ්ටයන් ලවා රට අවුල් කරවීම ය. රාජ්‍ය නොවන සංවිධාන වල සියල්ලන්ට ම එබඳු විවේචනයක් කිරීමට අපට කරුණු නැත. එහෙත් යම් යම් කාරණාවලදී ඔවුන් පෙනී සිටි විලාසය අපට ද ප්‍රශ්නයකි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, කාන්තා නිදහස ආදී කරුණු වලදී ඉදිරියෙන්ම සිටින බොහෝ පිරිස් වල එක් කෙළවරක මේ ඇන්ජීඕ නඩ මෙන්ම බටහිර බලවේග ද ක්‍රියාත්මක වන බව දැන් කලක සිට කෙරෙන චෝදනාවකි. පසුගිය දිනවල කළු පාටින් සැරසී කළු මුකවාඩම් බැඳ ගෙන මාධ්‍ය ඉදිරිපිටම සිදු වූ විරෝධතා ගැන ඇසෙන විවේචන වලින් ද එබඳු ප්‍රතිචාර ගැන මතුවන සැක සංකා නැතුවා නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමකම් ඇතුළු බොහෝ දේවල් අද සමහරුන්ට යැපීම් මාර්ග පමණි. ඇත්තට ම උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලැබීම යනු සමහර දේශපාලන පක්ෂවල පැවත්මට බාධාවකි. යුද්ධය නිසා සාමය ගැන කතා කළ යුතුය. සාමය යැපීම් මාර්ගයක් වූ විට යුද්ධය පවත්වා ගැනීමටද අවශ්‍ය වේ. ඇත්තට ම මේ සමාජ, දේශපාලන ක්‍රියාවලිය තුළ වැඩිපුරම ඇත්තේ හෘදය සාක්ෂියක් නැති මිනිසුන් දැයි විටෙක සිතේ. මේ බොහෝ දෙනෙකුට ජාතිවාදය, ආගම්වාදය අවශ්‍ය ය. ඒවා තිබෙන තාක් ඔවුන්ගේ කරල පැහේ. එය ලොව බොහෝ තැන් වල අවුල් ඇති කිරීමට හේතු වී ඇත.

උතුරේ විග්නේශ්වරන් වැනි දේශපාලන චරිත අපට පසක් කර දී ඇත්තේ කුමක්ද? මේ විරසකය නැති කර ගැනීමට ඔවුන්ට අවශ්‍යතාවක් තිබේද? සිංහල දෙමළ සමගිය සඳහා ජනතාව තුළ තිබෙන අවංක අභිලාෂය බොහෝ දේශපාලනඥයන්ට නැති බවද අපි දනිමු. අවස්ථාවාදය හා බලලෝභිත්වයෙන් ගිලන් වූ දේශපාලන චරිත තිබෙන තාක් මෙරටට යහපතක් නොවන බව අප නිතරම කරන අවධාරණයකි. කුමක් වුවත් 19 වැනි සංශෝධනය කඩිමුඩියේ සම්මත කර ගත් ආකාරයට නම් අලුත් ව්‍යවස්ථාවක් සම්මත කිරීම සුදුසු නොවන බවට අපට දේශපාලන පාඩමක් ද උගන්වා තිබේ. මහනාහිමිවරුන් ප්‍රකාශ කරන ආකාරයට ද මේ අවස්ථාවේ ආණ්ඩුවේ ප්‍රමුඛතාව හිමි විය යුතු කාර්ය මෙම ව්‍යවස්ථා සම්පාදනය නොවන බව පිළිගත හැකි තර්කයකි. ශ්‍රී ල.නි.පය ප්‍රමුඛ සන්ධානයත්, පොදු ජන පෙරමුණත් අද විධායක ක්‍රමය සංශෝධන සහිතව පවත්වා ගෙන යා යුතු බව ද කියති. මහින්ද කියන්නේ මැතිවරණයකට ගොස් ව්‍යවස්ථා යෝජනා සියල්ලට ජනතා අනුමැතියක් ගත යුතු බව ය. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටවත් එකඟවිය නොහැකි කරුණු මත හදන ව්‍යවස්ථාව කුමක් ද?

ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, ව්‍යස්ථා සංශෝධන යන බොහෝ දේවල් විවරණය කරන විග්‍රහ කරන අය වටිනා කරුණු ඉදිරිපත් කරති. එහෙත් ඒවා යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔවුන් විසින් දෙන ලද දායකත්වය කුමක් ද? ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශ හෝ දේශපාලනඥයන් දක්වන කළු සුදු මාධ්‍ය ගැන හෝ අපට ද විවේචන තිබේ. මාධ්‍ය හිමිකාරත්වයට මෙන්ම මාධ්‍යකරුවන්ට ද දේශපාලනයක් තිබේ. එය සැඟවිය නොහැකිය. මාධ්‍ය භාවිතය පිළිබඳ වැදි බණ ද අපට අවශ්‍ය නැත. අප දකින ආකාරයට ඒ හැම දෙයක් ම සාපේක්ෂක දේවල් ය. වචන වලට, සංකල්ප වලට, පමණක් රටක් සංවර්ධනය කළ හැකි නම් මේ වන විට ලංකාව තිබිය යුත්තේ ස්වර්ගයටත් වඩා ඉහළ තැනක ය. අපට පෙනෙන යථාර්ථය නම් අප හැම දෙයක්ම දකින්නේ අපට ලබා දී තිබෙන දෘෂ්ටිවාද ජාලා වලින් බව ය. හැම දෙයක් ම ඒ ඒ අයට අබිමත පරිදි වර්ණ ගන්වා තිබේ. සත්‍යය තිබෙන්නේ ඒ වර්ණ වලට යටින් ය. වරක් ප්‍රකට පුවත්පත් කලාවේදියකු මෙන්ම, දේශපාලන ප්‍රාමාණිකයකු ද වූ ඇත්ත පත්‍රයේ කතුවරයා වී සිටි බී.ඒ. සිරිවර්ධන මහතා අගනා කතුවැකියක් ලීවේය. එයට යොදා තිබුණේ “ඔක්කොම වචන පමණි” යන සිරස් තලයයි.

“ප්‍රජාතන්ත්‍රවාදය, ධනවාදය, සමාජවාදය, ත්‍රස්තවාදය, ඒ වාදය, මේ වාදය, අනෙක් වාදය!

ජනතා ජයග්‍රහණය, ප්‍රගතිශීලි ඉදිරිගමන, පරිත්‍යාගය, පිරිමැස්ම, ඒක. මේක. ශේක්ස්පියර්ගේ හැම්ලට් කීවාක් මෙන් වචන...වචන... වචන... තවත් වචන !

මිනිසකුට වුවමනා කරන්නේ මොනවාද? කන්නට දෙයක්, අදින්නට දෙයක්, ඉන්නට තැනක් ඒ හැම මිනිහකුගේම මූලික අවශ්‍යතා තුනයි. මේ මූලික අවශ්‍යතා ඉටුවුනායින් පසුව, ඊට අමතරව, සිය බුද්ධිය දියුණු කොට ගැනීමටද සාහිත්‍ය කලාවේ රසවිදින්නට එවැනි අනෙක් මාර්ග වලින් පූර්ණ මිනිසකු බවට පත් වන්නටද ඔහු කැමැත්තේය. කොයි සමාජ ක්‍රමයක් හෝ ආණ්ඩු ක්‍රමයක් යටතේ වුවද කවුරුත් බලාපොරොත්තු වන්නේ මෙයයි.”

බී.ඒ. සිරිවර්ධනයන්ගේ මේ සරල විග්‍රහය අපේ රටේ එදා මෙන්ම අද තිබෙන දේශපාලනයට වුවද හරියටම ගැළපෙන අදාළ විග්‍රහයක් ලෙස හැඳින්විය හැකිය. මහජන සේවයට කැප වන බව කියන දේශපාලනඥයන්ගෙන් කී දෙනෙක් මේ යථාර්ථය පිළිබඳ දැනුවත් වී සිටිත් ද?

ඉන්දියාවේ විශිෂ්ට අගැමතිවරයකු වූ ජවහල්ලාල් නේරු වරක් ප්‍රකාශ කළ පරිදිම යුද්ධය මෙන්ම සාමය ද පළමුව උපදින්නේ පුද්ගලයාගේ මනසේ ය. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් ගිලන් වූ සමාජයකට මොන ආකාරයකින්වත් නැඟී සිටිය නොහැකිය. පාලකයන් අතර සම්මුතියක් අවශ්‍ය වන්නේ එබඳු විෂබීජ මැඩලීමටත්, ඒ සඳහා සාධනීය ප්‍රතිපත්ති සම්පාදනයටත් ය. උගුරට හොරා බේත් කන්නාක් මෙන් ඇඟට පතට නොදැනී පටු දේශපාලන න්‍යාය පත්‍ර බල ගැන්වීමට පාලකයන් දක්වන කැමැත්ත අද රටට ම ප්‍රශ්නයක් වී නැද්ද? 2015 ජනවාරි 08 වැනිදා රටට දුන් විධායකය අහෝසි කිරීමේ සටන් පාඨය අතට ගත් අය තවමත් අලුත් ව්‍යවස්ථා පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැනද නොයෙක් අර්ථකථන කරමින් සිටිති. එහෙත් ඒ වෙනුවෙන් කැපවූ දේශපාලන ක්‍රියාදාමයට හරස් වූ බලවේග හා යහපාලනය බිඳ වැටීමට තුඩු දුන් හේතු ගැන නිවැරදි වැටහීමක් ඒ බොහෝ දෙනෙකුට නැති බවද පෙනේ.

අද තිබෙන එ.ජා.පෙරමුණු ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළත් ඔවුන් එහි මූලික ලක්ෂණයක් වන ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගෙන ඇතැයි බරපතල විවේචනයක් තිබේ. අද බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයක් ගැන කතා කරති. එහෙත් වසරකටත් අධිකව අහෝසිකර තිබෙන පළාත් සභා ඡන්ද ගැන හ්ම් හඬක් නොනගති. පසුගිය දිනක ශ්‍රී ල.නි.ප. සංවිධායකයන් කැඳවු මෛත්‍රී ජනාධිපති අවධාරණය කළේ මේ පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම බරපතල වරදක් බව ය. අද රටට අවශ්‍ය ජනාධිපතිවරණයකැයි කියන අයගේ පදනම කුමක්දැයි අපට නොහැඟේ. එහෙත් තව දුරටත් පළාත් සභා ඡන්ද නොපැවත්වීම නම් කිසිසේත් අනුමත කළ නොහැකි බව පෙන්වා දිය යුතුය.

මේ වසරේ අප්‍රේල් මාසය පමණ වන විට පළාත් සභා මැතිවරණ පැවැත්විය හැකි බව පසුගිය දිනක මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඒ ඡන්දය පැවැත්වීමට හරස්ව තිබෙන නීතිමය බාධක ඉවත්කර ජනතාවට ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දීමට පියවර ගත යුත්තේ ආණ්ඩුව ය. අද පළාත් සභා ක්‍රියාත්මක නොවුවද ඒ කටයුතු සඳහා ආණ්ඩුකාරවරු පත්ව සිටිති. එහෙත් ජනතා නියෝජිතයන් නැති නිලධාරි ක්‍රමයක් පමණක් ක්‍රියාත්මක වීම සුදුසු ද? මෛත්‍රී ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව ම ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා ඡන්දය නොපැවත්වීම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපේක්ෂා කළ අරමුණු වලටද පටහැනි බව ය. පළාත් සභා පැවැත්වීම සඳහා පැරණි මනාප ක්‍රමය යොදා ගැනීමට දේශපාලන පක්ෂ එකඟ බව ද ප්‍රකාශ වී තිබේ. එසේ නම් ඒ සඳහා යෝජනාවක් ගෙන ඒමට බාධාවක් නැත. සීමා නිර්ණය කමිටු වාර්තාව ප්‍රමාද වී තිබෙන නිසා මැතිවරණය පැවැත්විය නොහැකිය යන කරුණ මහජන මතයට බියෙන් කරන ව්‍යාජ ප්‍රකාශයක් බවෙ සමහරු කියති. කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකින බවට මොර දෙන කිසිදු සංවිධානයක් මේ පළාත් සභා ඡන්දය ඉල්ලා දැක්වු විරෝධයක් හෝ ප්‍රතිචාරයක් ගැන හෝ මෙතෙක් වාර්තා වී නැති බවද සඳහන් කළ යුතුය. පසුගිය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල දෙස බලන විට පළාත් සභා ඡන්දයට මුහුණ දීම අභියෝගයක් බව ඇතැම් දේශපාලන පක්ෂ වලට දැනෙනු ඇත. එහෙත් පළාත් සභා ඡන්ද අයිතියට බාධා කිරීමට සදාචාරත්මක අයිතියක් නැති බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.

මේ අතර දේශපාලන පක්ෂ මෙන්ම ජනමාධ්‍යකරුවෝ ද ජනාධිපතිරවණයක් ගැන නොයෙක් අදහස් දක්වති. නායකයන්ගෙන් විමසීම් ද කරති. එහෙත් දැන් ජනාධිපතිවරණයකට වඩා රටට අවශ්‍ය මහමැතිවරණයක් බව කියන අයද සිටිති. කුමක් වුවත් මේ මොහොතේ ජනතාව අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරණයක් නම් නොවන බවද පැහැදිලි ය.

පාර්ලිමේන්තුවේ සංයුතිය මෙන්ම ආණ්ඩුවේ පැවැත්ම ද ස්ථාවර නැති බවට කෙරෙන විවේචන ප්‍රතික්ෂේප කළත් ජනාධිපතිවරණයකින් රට ස්ථාවර කළ හැකිය යන්න නම් කිසිසේත්ම පිළිගත නොහැකිය.

දෙමළ සන්ධානයේ සේනාධිරාජලා උතුරට ගොසින් පුරසාරම් දොඩන්නේ ද ආණ්ඩුව පණ ගසා සිටින්නේ තම පක්ෂයේ උදව් උපකාර නිසා බව හොඳාකාරව ම දන්නා නිසා ය. අගමැති රනිල් ද පාර්ලිමේන්තුවේ තමන්ට තිබෙන ශක්තිය ගැන හොඳින් දනියි. ආණ්ඩුව ශක්තිමත් කරන්නට යැයි ව්‍යාජ කතා කියමින් එක්වී සිටින දේශපාලන කරණම්කාරයන්ගේ සැබෑ අරමුණ කුමක්ද යන්නත් දේශපාලන පරිණත බවකින් යුත් අගමැතිට නොතේරෙනවා නොවේ. පසු පෙළ සිටින අලුත් මන්ත්‍රීවරුන්ටද විශ්‍රාම වැටුප් ප්‍රශ්නය මෙන්ම යළි මහජන ප්‍රසාදය දිනා ගැනීමේ ප්‍රශ්නයද තිබිය හැකිය. ඒවා දේශපාලනඥයන්ගේ හා ඔවුන්ගේ පක්ෂ වල ප්‍රශ්න මිස ජනතාවගේ ප්‍රශ්නෙ නොවේ. එසේනම් ආණ්ඩුව කල්පනා කළ යුත්තේ කුමක්ද? ආණ්ඩුවට අනුබල දෙන අය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි හිමිකම් සුරැකීම සඳහා කැප වූ අයද කළ යුත්තේ මේ මොහොතේ ජන මනස තුළ රැව් දෙන අපේක්ෂාව කුමක් ද යන්න නිවැරදිව වටහා ගැනීම ය. එක්කෝ ඒ මහ මැතිවරණයකි. එසේත් නැත්නම් පළාත් සභා මැතිවරණයකි. ඒ විනා කිසිසේත්ම ජනාධිපතිවරණයක් නොවන බවද අපගේ අදහස ය. එසේම පළාත් සභා ප්‍රතිඵලය කුමක් වුවත් එය මඟහැර වෙනත් දේශපාලන තර්ක ඇද බෑම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරූපයට හානිදායක බවද පෙන්වා දිය යුතුය.

Comments