ඒ සඳ­ව­තිය කොතැ­නද? තුෂා­රිකා ඇන්තනි | සිළුමිණ

ඒ සඳ­ව­තිය කොතැ­නද? තුෂා­රිකා ඇන්තනි

තුෂාරිකා ඇන්තනි කිවිඳිය තම කුලුඳුල් කාව්‍ය සංග්‍රහය, ‘උතුරා යන්න ගඟ මම කැමැති පොකුණට, (2018) කෘතිය සමඟ සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ කිවිඳි නාමාවලියට එක්වන්නීය. මුද්‍රිත කාව්‍ය සංග්‍රහයක් සමඟ පාඨකයන් අතරට පැමිණීමට පෙර දිගු කාලයක පටන්, ඇගේ නිර්මාණ පුවත්පත් කවි පිටු අතර, බූන්දි වැනි වෙබ් අඩවි තුළ පළ‍ෙවද්දී රස විඳින්නට ඉඩ ලැබුණු බව මතකය. තුෂාරි නිසැක වශයෙන් ම කවිය හඳුනන, කලාත්මක ගුණය රැඳි නිර්මාණකරණයට හපන්නියක බව ඇගේ මේ කව් එකතුවේ ඇතැම් නිර්මාණ සාක්ෂි දරන්නේ යයි සිතමි. එබඳු නිර්මාණ අතර, ඒ සඳවතිය කොතැන ද යන නිර්මාණය ඔස්සේ, තරුණියකගේ ජීවිතයේ විවිධ අවස්ථා කිහිපයක් පෙළ ගස්වමින්, එතුළින් ඈ සොයනා ඇය සොයන්නට ගනු ලබන උත්සාහයක ජීවන සංසිද්ධීන් කවියට විෂය කරගැනීමේ හේතුවෙනි. බාල කාලයේ සිට වියපත් වන ස්ත්‍රී චරිතයක, කිවිඳිය විසින් හඳුන්වා දී ඇති සඳවත දකින්නට ගනු ලබන උත්සාහයක් අපට පෙනේ. සඳවතිය යනු සුන්දර වස්තුවකි. ගැහැනියක සතු සුන්දරත්වය සොඳුරු බව නොවේද ඈ සොයන සඳවතියගෙන් කිවිඳිය අපේක්ෂා කරන්නී?

ගැහැනියකගේ ළමා විය, ඒ ජීවිතයේ ඈ විඳි සැහැල්ලුව කෙමෙන් යෞවනියක වීමේදී පලායාම කුටුම්භ ජීවිතයේ නෙක දුඃඛ දෝමනස්ස, විවාපත් වී දරු මල්ලන් හදා වඩා උන්ගේ ජීවිත දෙස බලා සැනහෙන මවකගේ චරිතය තුළ කිවිඳිය දකිනා සඳවතිය වේ දැයි ප්‍රශ්න කරන්නීය.

ඉවුරු තළා ඇදෙන ලෙස ගඟ

පතුරවා නොනැවතී කිකිණි හඬ

සැහැල්ලුව කෙටි ගවුමකින් හැඩ කළ

සොඳුරු කෙල්ලක සොයමි ඈ දුටුවෙද

සඳවතිය වන් සොඳුරු කෙල්ල පෙරදා විඳි සැනසුම, සැහැල්ලුව, අද සඟවා ඇත්තීය. ඒ සතුට සහනය සොරාගත් සෙර දුටුවා දැයි ඈ ප්‍රශ්න කරන්නීය.

සැනසුමේ මල් කිණිතක්ව පීදුණ

සුවඳින් සිතැඟි සිත් දළුව සරු කළ

දිනක විඳි සහනයන් මිටට ගෙන

තැනක සැංගුව සෙරකි ඈ දුටුවෙද

* * * * * * * * * * * *

හැඳුනුම්පත වයස එන විට

පිට නොවන සිනාව බැඳ තබනට

ලද අණ මායිමක මැද සිරවවුව

මඳ සිනා පෑ ඈ දකිනු ‍කොතැනද

හැඳුනුම්පතට සුදුසුකම් ලබන වයස එළඹෙන කල පෙරදා සිනාසුන ලෙස සිනාවන්නට නොහැකි යයි අණ ලැබේ. එහෙත් ඒ අණ සීමාවේ සිරවී සිටිමින් ම මඳ සිනා පෑ ඈ දකින්නට නොමැත‍. කිවිඳිය ඈ සොයන්නීය. සිත් දළුව සරු කළ, සිනාව බැඳ තබනට, මායිමක මැද සිරව වුව මඳ සිනා පෑ වැනි යෙදුම් කාව්‍යාත්මක ගුණයෙන් යුතු ය. ඈ සතු කවි බසට නිදසුන් ය. යෞවනයේ විඳි සතුටෙහි, ඡායාවක් හෝ දකිනු රිසියෙන් මතක උල්පත පීරනා ඈ කොතැනද? ජීවිතයේ අනේක විධ දුක් කම්කටොලුවලට මුහුණ දෙමින් කුටුම්බය රැකගත් වීර ගීතය ඈ ගයන්නී තේ මංඩි සෝදනා’තරය. එහෙත් ඒ සඳවතිය කිවිඳිය සොයන්නීය.

රැලි සමඟ ගොස් නැවත වෙරළට එන

එකට ගත් පැටිවියේ සිනා පොකුරක

පරඬැලක් හෝ දකින සරතැස

මතක උල්පත පීරනා ඈ කොතැනද‍

* * * * * * * * * * * * * *

නිබ්බුත පද ගයා නිවුණා වෙද

තැළි තැළී යකඩ විලසම

කුරුලු කූඩුව රැකි වීර පබැඳුම

තේ මංඩි සෝදනා’තර ගයන ඈ දුටුවෙද

කවියක සාර්ථකත්වයට මුල්වන හේතු අතර වැදගත් සේ සැලකෙන අනුභූතියෙහි අපූර්වත්වය, ඒ සඳවතිය කොතැනද නිර්මාණයෙහි වේ යයි හඟිමි. කිවිඳියකගේ මේ කවි සිතුවිල්ල අපට මීට පෙර හමුවී නැත. කිසියම් පුද්ගලයෙකු විසින් තමන්ගේම ජීවිතය ගෙවුණු හැටි, නොයෙක් කඩඉම් පසුකළ ආකාරය සොයා ගොස්, එතුළ වූ සුන්දර චරිතය සෙවීම අපූර්ව ගුණයෙන් හෙබිය. පෙරදා හවසක ළා හිරු කිරණ විඳිමින් අත් විඳි සැනසුම ඈ හෙමි හෙමින් මුමුනන්නී ඉදලකට පමණි.

හවසක ළා හිරු කිරණ විඳ විඳ

පෙර දිනෙක රාව නැගි සැනසුම

හෙමි හෙමින් ‍ඉදලකට පමණක් මුමුනන

යළි යළි සොයමි ඈව දුටුවෙද

විඳ සතුට පිළිබඳ පවසන සොඳුරු ස්ත්‍රියයි. කිවිඳිය සොයන්නී. කිවිඳිය විසින් තෝරාගෙන ලැබ ඇති අත්දැකීමෙහි කූට ප්‍රාප්ත අවස්ථාව වන්නේ ගැහැනිය මවක වී විඳිනු ලබන ජීවන අත්දැකීමයි. මවක වීම යනු සතුට සැහැල්ලුව මෙන් දුක ද එකිනෙකට බැඳුණු සංකීර්ණ අවධියකි. එවන් මවක වුව සඳවතියක ලෙස කිවිඳිය දකින්නීය. මේ මව තම දුක සතුට කොඳුරන්නී ළිප මත ඇති වළඳකටය. ඈ ජීවිතයේ සැඳෑ සමයේ දී ද තනිව සිටින්නීය.

මවක විඳි දහනය හා සයනය

ළිප මත දැවෙන වළඳකට කොඳුරන

දීගෙකට ඇමිණූ පුතුගෙ සනහස

පපුව’ත සැඟව සිනාසෙන ඈ කොතැනද

තම පුතු විවාපත් කරදීමෙන් ඈ විඳින සනහස කිසිවෙකුටත් නොපවසා පපුතුරෙහි සඟවාගෙන ඈ සිනා සෙන්නීය. ඒ සොඳුරු සඳවත කොතැනද?

කිවිඳිය විසින් තම නිර්මාණයෙහි ප්‍රස්තුත චරිතය ලෙස සඳවතිය භාවිත කිරීමෙන් ව්‍යංග්‍යාර්ථ රැසක් මතුවේ. ස්ත්‍රිය යනු සුන්දර වස්තුවක් වූවත් ඒ සුන්දර වස්තුව පිළිබඳ වුව ද අසුන්දර අමිහිරි සිදුවීම් බැඳී ඇත. ඒවායින් මිදීමට කෙතරම් සොඳුරු සඳවතියකට වුව ද නොහැකි ය. සඳවතිය යන යෙදුමෙහි මතුපිටින් පෙනෙන වාචාර්ථය යට සැඟවුණු අරුත් මනාව තම නිර්මාණානුභූතියට යා කර ගැනීමට කිවිඳිය සමත් වන්නීය.

අත්දැකීමෙහි අපූර්වත්වය, කාව්‍යොචිත භාෂාව, කිවිඳිය සතු පරිකල්පනයේ ගැඹුර විශද කෙරෙන නිර්මාණයකි ඒ සඳවතිය කොතැනද? තුෂාරිකා ඇන්තනී වැනි කිවිඳියන්ගේ ආගමනයෙන් සිංහල කාව්‍ය ක්ෂේත්‍රය පොහොණි වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

අදහස්