කම්මුල් පාරක වටිනාකම | සිළුමිණ

කම්මුල් පාරක වටිනාකම

 

 

කොණ්ඩවල්ල කපල කියල තාත්ත දැනගත්තෙ පහුවදා උදේ. ඒක විශ්වාස කරන්ඩත් තාත්තට අමාරු වුණා. මුළු ශුද්ධවන්තකම, මුළු ආගම ම තිබිල තියෙන්නෙ ඒකෙ. තාත්තගේ මුළු ආධ්‍යාත්මය ම විනාශ කරල දාල!

මොකක්දෝ මහ අමුතු දෙයක් වෙලා තියනව කියල අසල්වැසියො දැන ගත්තා. මොකද වෙලා තියෙන්නෙ කියල දැනගන්ඩ ඒ ගොල්ලො ඉස්සරලම දුවගෙන එන්නෙ මා ගාවට. කිව්වත් වගේ කෙනෙක් දුවගෙන ආව. එයා උදේ ම එයි කියල හිතාගෙන මාත් එළියට වෙලා බලාගෙනයි හිටියෙ. එයා මං දිහෑ බැලුව.

‘මොනවද බලන්නෙ?’ එයා මගෙන් ඇහුවා.

‘ඔයා මොනවද බලන්නෙ?’ මාත් ඇහුවා.

‘මං අහන දේමනෙ ඔයත් අහන්නෙ?’

‘ඔයානෙ එහෙම කියන්නෙ?’

‘ඔයත් එක්ක මගෙ කතාවක් නෑ. කෝ ඔයාලගෙ තාත්ත?’

එයා ගේ ඇතුළට ගිහිං තාත්තවත් ඇදගෙන එළියට ඇවිත් ‘ඔයා මෙයාට මොනව හරි කෙරුවද?’ කියල මගෙන් ඇහුවා.

‘මෙයාට නං මං මොකුත් කෙරුවෙ නෑ. ඒත් මං මෙයාට කොහෙත් ම අයිති නැති කෙහෙවල්ල නං කපල දැම්මා. මං ඒක කපද්දි මෙයා මොකුත් නොකිය නිකා හිටියෙ ඇයි? කපන එක වළක්වගන්ඩ තිබුණනෙ’ මං කිව්වා.

‘මං බුදියගෙන හිටියෙ’ තාත්ත කිව්ව.

ඔයා බුදියගෙන ඉන්දැද්දි මං ඔයාගෙ ඇඟිල්ලක් කැපුව නං ඔයා ඒක කපන්ඩ ඇරල ඔහෙ බුද්ියගෙන ඉන්නවද?’

’ඇඟිල්ලක් කපනකොට මං කොහොමද බුදියං ඉන්නෙ?’

’ඒකෙන්ම පේනවනෙ ඉසකෙය කියන්නෙ මැරිච්ච දෙයක් කියලා. ඒව කපද්දි රිදෙන්නෙ නෑ. ලේ එන්නෙත් නෑ. ඉතිං මොකද මේ කලබලේ? පණ නැති දෙයක් එල්ල්ිලා තියනවා. මං හිතුව වැඩකට නැති දෙයක් ඔයා මුළු ජීවිත කාලෙම ඔයාගෙ තලප්පාව ඇතුළෙ තියාගෙන ඉන්නව කියලා. ඇයි ඉතිං ඒකෙන් නිදහස් වෙන්නෙ නැත්තෙ? ආං ඒක මගෙ කාමරේ’

ඊට පස්සෙ මං කෙහෙවල්ල අරං ඇවිත් එයාට දික් කෙරුවා.

‘ඔයා ඔච්චරම ආස නං මේක ආපහු තියාගන්ඩ පුළුවන්. ඔයාගෙ බ්‍රාහ්මණකම රැකෙන්නෙ ඒකෙන් නං ඔයාට පුළුවන් ඒක ගැටගහල තලප්පාව ඇතුළෙ තියාගන්ඩ. එතකොට මගෙ තෑග්ග?’ මං ඇහුවා.

‘ඒක තමයි ප්‍රශ්නෙ! ඊයෙ අපි දෙන්න පොරොන්දුවකට බැස්සා. එයා ඇත්ත කියන හැම වෙලාවකම මං තෑග්ගක් දෙන්ඩ ඕනැ කියලා. මෙදා සැරේ එයා ඇත්ත කතා කෙරුවෙ නිදර්ශනේකුත් පෙන්නලයි’ එහෙම කියපු තාත්ත මට තෑග්ගක් හැටියට රුපියල් පහක් දුන්නා. ඒ කාලෙ හැටියට ඒක ලොකු ගාණක්.

තාත්ත කරපු දේට අසල්වැසියට කේන්ති ගියා.

‘ඔහේ මේ ළමයව නරක් කරනවා. තෑගි දෙන්ඩ නෙමේ ගහන්ඩයි තිබුණෙ. දැන් ඉතිං එයාට පුළුවන්නෙ අනිත් මිනිස්සුන්ගෙ කෙහෙවලුත් කපන්ඩ. එක කෙහෙවල්ලකට රුපියල් පහක් හම්බ වෙනව නං ටවුමෙ ඉන්න බ්‍රාහ්මණයො කපෝතියි! මොකද රෑට හැමෝම බුදියන්නෙ මහ පාරෙනෙ. අනික කෙහෙවල්ල අතේ තියාගෙන බුදියන්ඩත් බෑනෙ. මොකක්ද මේ කෙරුවෙ? මේක නරක පරුද්දකට යයිනෙ!’ අසල්වැසිය කෑගැහුවා.

‘ඒත් මේක තමයි මගෙ පොරොන්දුව. ගහන නොගහන එක ඔයාගෙ වැඩක්. මං එයාට තෑග්ග දුන්නෙ දඟ වැඩකට නෙමෙයි. ඇත්ත පෙන්නල දුන්නට. ඇත්ත පෙන්නල දෙනකොට මුඵ ජීවිත කාලෙදිම උණත් මං තෑගි දෙනව’ තාත්ත පැහැදිලි කෙරුවා.

අපේ තාත්ත මට දඬුවම් කරල තියෙන්නෙ ජීවිතේටම එකම එක වතාවයි. ඒ තමයි මං අපේ ටවුමට හැතැප්ම කීපයක් දුරින් තිබිච්ච සැණකෙළියක් බලන්ඩ ගිය වෙලාව. ඒක අවුරුදු පතා පැවැත්වුණු එකක්. සැණකෙළිය තිබිච්ච තැනට එහායින් නර්මදා කියන ශුද්ධ ගංගාව ගලා ගෙන ගියා. ඒ ගං ඉවුරෙ මේ සැණකෙළිය මාසයක් පුරා පැවැත්වුණා. මං ඒක බලන්ඩ තාත්තට නොකිය හෙමීට ලිස්සල ගියා.

සැණකෙළියෙ මහ ගොඩක් දේවල් තිබුණ. මං ගියේ එක දවසකටනෙ. රෑ වෙලා ආපහු ගෙදර යන්නම් කියල තමයි හිතාගෙන හිටියෙ. ඒත් හුඟක් දේවල් බලන්ඩ තිබුණ. මැජික්කාරයො! සර්කස්කාරයො! බෙරකාරයො! එක දවසකින් ආපහු යන්ඩ බැරි විදිහටයි වැඩ සැලසුණේ. මේව බලන්ඩ දවස් තුනක්ම ගියා. මං කොහෙ ගිහිං ද කියල මු`ඵ ගෙදරම බය වෙලයි ඉඳල තියෙන්නෙ.

‘ඊට කලින් ඒ විදිහෙ දෙයක් වෙලා තිබුණෙ නෑ. කොහෙ හරි ගියොත් අඩු තරමෙ මං මහ රෑ හරි ආපහු ගෙදර ගියා. ගමන ගැන වගේ වගක් නොකිය එක දිගට දවස් තුනක් ගෙයින් පිට ගත කෙරුවෙ මේ වෙලාවෙ විතරයි. ඒ ගොල්ලො මාව දන්න කියන හැම ගෙදරකින් ම හොයල බලල තිබුණ. මං ගැන කිසිම ආරංචියක් ලැබිල තිබුණෙ නෑ. හතරවැනි දවසෙ මං ගෙදර එනකොට තාත්තට හොඳටම කේන්ති ගිහිල්ලයි තිබුණෙ. කිසි දෙයක් අහන්ඩ කලින් තාත්ත කෙරුවෙ මගෙ කම්මුල හරහ පාරක් දීපු එකයි. ‘තවත් ගහන්ඩ ඕනැද? ගහන්ඩ! මොකද මං දවස් තුනක් තිස්සෙ ඇති තරම් සතුටු උණා. මං සතුටු වෙච්ච තරමට හරියන්ඩ ඔයාට ගහන්ඩ බෑ. තව දෙක තුනක් ගහනකොට ඔයාගෙ කේන්තිය බැහැල යයි. එතකොට වැඬේ බැලන්ස් වෙයි. මං හිතූ හැටියට විනෝද වුණා’ මං කිව්වා.

‘උඹ නං හදන්ඩ බැරි එකෙක්. ගහන එක තේරුමක් නැති වැඩක්. උඹට රිදෙන්නෙ නෑ. තවත් ගහන්ඩ කියන්නෙ ඒකයි. දඬුවමයි තෑග්ගයි අතරෙ වෙනස උඹට අඳුණ ගන්ඩ බැරිද?’ තාත්ත ඇහුව.

‘නෑ. මට හැම දෙයක්ම එක්තරා විදිහක තෑග්ගක්. එක එක ජාතිවල තෑගි තියනව. නමුත් ඒ හැම එකක් ම එක්තරා විදිහක තෑග්ගක්’

‘දවස් තුනක් තිස්සෙ උඹ කොහෙද ගියේ?’

‘මගෙ කම්මුලට ගහන්ඩ කලින්නෙ එහෙම අහන්ඩ තිබුණා. දැන් ඔයාට එහෙම අහන්ඩ අයිතියක් නෑ. අහන්නැතුවම කම්මුල් පාර දුන්නා. උත්තර දීම එතනින් ඉවරයි. දැනගන්ඩ ඕන්නං ඔයාට අහන්ඩ තිබුණෙ ගහන්ඩ කලින්. ඒත් ඔයාට ඒ ඉවසිල්ල තිබුණෙ නෑ. මිනිත්තුවෙන් ඔක්කොම ඉවරයි. මං කොහෙද ගියේ කියල ඔයාට විඳවන්ඩ තියන්ඩ මට ඕනැ නෑ. මං ගියේ සැණකෙළිය බලන්ඩ’

‘ඇයි මගෙන් අහල නොගියෙ?’

‘මට යන්ඩ ඕනැ උණ හින්ද. අවංකව හිතන්ඩ. මං යන්ඩද කියල ඇහුව නං ඔයා ඉඩ දෙනවද? අවංකව හිතන්ඩ’

‘නෑ’

ලබන සතියට 

අදහස්