තුන් කල් දැක්මෙන් ක්‍රියා කළ සත්කෝ­රළේ වීරයා | සිළුමිණ

තුන් කල් දැක්මෙන් ක්‍රියා කළ සත්කෝ­රළේ වීරයා

 

“බොරු බේගල් ඇද මා ලබන ජයග්‍රහණයට වඩා ඇත්ත කියා මා ලබන පරාජය මට සැපය. මම කරන කථාවලින්, ප්‍රකාශවලින් දේශපාලන වශයෙන් මට අවාසි බව මම දන්නවා. අද ඇත්ත කියන දේශපාලඥයන් හිඟ වුවත්, කවුරු හරි ඇත්ත කියන්නත් එපායැ. මට අවාසි වුණත් මම ඇත්ත කියනවා. නැත්නම් මට රාත්‍රියට නින්දක් ලබන්නත් අපහසුයි.”

මෙහෙම ප්‍රකාශයක් කරන්නට ඇත්තේ අප රටේ දේශපාලනඥයකු නම් නො‍වේ යයි ඔබ සිතනවා නොඅනුමානය. එහෙත් එය ‍එසේ නොවේ. ශ්‍රී ලංකාවේ සත්කෝරළයේ උපන් පුද්ගලයෙක් තමන් දේශපාලන පිටියට බැස්සදා සිට එසේ ප්‍රකාශ කළා පමණක් නොව ක්‍රියාවෙන් ද නොමඳ ව ඔප්පු කර පෙන්වීය. එහෙනම් කවුරුද ඒ දේශපාලනඥයා? එතුමා නම් අන්කිසිවකු නොව 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ දී දියුණු සටනක් දී ඩී.එස්. සේනානායක මැතිදුන්ගේ එ.ජා.ප. අපේක්ෂකයා පරදවා දණ්ඩගමුව ආසනය ජයගත් ඉමියා මුදියන්සේලාගේ රැපියල් අභයවංශ ඊරියගොල්ල ශූරීන්ය. 1965-70 ඩඩ්ලි සේනානායක රජයේ අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාය. එදා පටන් 1973 ජනවාරි මස 07 වැනි දා අප අතරින් වියෝවන තෙක්ම, ඇත්ත කියන්නට මෙන්ම අලුත් දෙයක් කරන්නටත්, වැරදි තැන්වලට පහර දෙන්නටත් ඊරියගොල්ල මහතා පසුබට නොවීය.

තම ගමය, බිමය, රටය, තමන්ගේ ජනතාවය යන හැඟීම් වලින් විරල දේශපාලනයේ නියුක්ත වුවත් අති බහුල මෙවැනි යුගයක, ඊරියගොල්ල නාමය සිහිපත් කිරීම කාලෝචිත ය. කුලියාපිටිය නගරයේ සිට පන්නල පාරේ කි.මී. 8ක් පමණ ගිය තැන ඊරියගොල්ල ගම හමුවෙයි. 1907 ජනවාරි මස 03 දින එගමෙහි උපන් එතුමාගේ පියා ඉමියා මුදියන්සේලාගේ සිංඤ්ඤප්පු බණ්ඩාර නිලමෙතුමා හෙවත් ගම්මුලෑදෑනි තුමා ය. මව වූයේ දූනගහපත්තුවේ පල්ලියපිටියේ සුබසිංහ මංචනායක මැතිනියයි. ඊරියගොල්ල සිසුවා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කංකාණියමුල්ල රජයේ පිරිමි පාසලෙනි. දැනට මෙම පාසල අයි.ඇම්. ආර්.ඒ. ඊරියගොල්ල මහා විද්‍යාලය නමින් පන්නල - කුලියාපිටිය මාර්ගයට මුහුණ දා පිහිටා ඇත. ඉන්පසු ගම්පහ. උඩුගම්පළ ද්විභාෂා පාසලෙන් (දැනට මහාචාර්ය සෙනරත් පරණවිතාන ජාතික පාසල) ඉගෙනුම ලබද්දී එහි ගුරුවරයෙකු වූ සුප්‍රකට පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගෙන්ද ඔහු අකුරු කර ඇත. පසුව කොළඹ ආනන්ද සහ නාලන්ද යන විදුහල් දෙකෙන්ම අධ්‍යාපනය ලැබීමට එතුමා භාග්‍යවන්ත විය.

විදුහල් අධ්‍යාපනය හමාර කරමින් කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව කලක් ඉගෙනුම ලබා ඇති එතුමා පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකයකු වශයෙන්ද සේවය කර ඇත. එහෙත් ඔහු සාහිත්‍යය වෙනුවෙන් උපන් පුද්ගලයකු බව ශපථ කළේ තමා මහත් සංයමයකින් ද, ශක්තිමත් බාහුවකින් ද හැසිර වූ පෑනේ මහිමයෙනි. “සිළුමිණ” පත්‍රයේ කර්තෘ මණ්ඩලයේද කලක් කටයුතු කර ඇති එතුමා “ඉම්රායි” යන අන්වර්ත නාමයෙන් පුවත්පත් තීරු ලිපියක්ද ඉදිරිපත් කර ඇති අතර එය එකල ඉතාමත් ඉහළ මට්ටමේ ඇගයීමකට ද ලක් විය. පත්තර කලාවේදියෙකු වශයෙන් දේශපාලකයන් හමුවේ දෙදණ නොනැමූ පරිද්දෙන්ම එතුමා පසු කලක දේශපාලකයකු වශයෙන් පත්‍ර කලාවේදීන් සහ පුවත්පත් හිමියන් අභියස රූකඩයක් ද නොවීය.

“සිංහල බෞද්ධයා” සහ “ලක්වැසියා” යන පුවත්පත්වල කර්තෘ ධූරයන්ද හොබවා ඇති එතුමා එම වකවානුවේ දී ශ්‍රීමත් බාරොන් ජයතිලක, එෆ්.ආර්. සේනානායක, ඩී.එස්.සේනානායක වැනි නායකයන් සමඟ පමණක් නොව අනගාරික ධර්මපාල තුමාගේ සමීප ගෝලයෙකු වශයෙන්ද සම්බන්ධතා පවත්වාගෙන ඇත. මේ සමයේ දී ජාතික ඇඳුමට හුරු වූ එතුමා මෙම සම්බන්ධතාවලින් උපයා සපයාගත් පන්නරය මුළු මහත් ජීවිත කාලයටම පවත්වා ගනිමින් රටට ජනතාවට අමිල සේවයක් ඉටු කිරීමට උපයෝගී කරගත් බව පෙනීයයි.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු වශයෙන්ද කටයුතු කර ඇති එතුමා, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රාජකාරී කරමින් දෙවන ලෝක යුද්ධය සමයේ දී ගුවන් විදුලියෙන් “යුද්ධ ප්‍රවෘත්ති” ජනතාවට ලබා දී ඇත. තවද “‍සොල්බරි කොමිෂන් සභා වාර්තාව” සිංහලට පරිවර්තනය කිරීමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් වී ඇත.

සිංහල භාෂාවේ උන්නතියට අමරණීය සේවයක් ඉටුකළ එතුමා “අනංගයාගේ දුන්න”, “දේවවරය”, “කතාපහ”, “පූර්ණ විප්ලවය”, “සුදර්ශනය” වැනි සාහිත්‍ය කෘතියන්ට අමතරව සිංහල සාහිත්‍යයට එක්කළ පරිවර්තන කෘතීන් වන “මනුතාපය” සහ “දේවතාපයට” වෙනුවූයේ සුවිශේෂී ඉඩ කඩකි.එම කෘතීන් එදවස පාඨණශාලාවල නිර්දිෂ්ට ග්‍රන්ථයන් වශයෙන් විභාගවලට අනුමත වී තිබුණ. මෙම ග්‍රන්ථ පාඨක ලෝකයා අතරේද බෙහෙවින් ප්‍රචලිත වූ අතර ඔහුටම ආවේණික වූ ලේඛණ කුසලතාවය සහ රචනා ශෛලිය මෙම කෘතීන්ගෙන් මනාව පිළිබිඹු වේ. මෙම කෘති දෙක අතරිනුත් ඊරියගොල්ලයන්ගේ වචනයෙන්ම කියතොත් “දේවතාපය” පිදුරුතලාවක් නම් “මනුතාපය” හිමගිරකි. තවත් විශේෂත්වයක් නම් ඔහුගේ කෘතීන් වල සිංහල සමාජයේ බැවහැර වන සුමිහිරි මටසිලුටු වචන ව්‍යවහාරයේ තවදරටත් තබා ගැන්මේ අපේක්ෂා පූර්වත්වයෙන්ම අඩංගු කර ඇති බවය. පරිවර්තන කාර්යයේදී එතුමාට තිබුණේ සුවිශේෂී කෞශ්‍යලයකි. “ටෙරරිසම්” යන ඉංග්‍රීසි වචනයට “ත්‍රස්තවාදය” යන සිංහල වචනය දුන්නේ ද එතුමා බව මා අසා ඇත.

1956 මහ මැතිවරණයේ දී බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන සහ දහනායක යන මන්ත්‍රීවරුන් සමඟ මහජන එක්සත් පෙරමුණ බිහිකිරීමට පුරෝගාමී වූ එතුමා, එම ජයග්‍රහණය උදෙසා සුවිශේෂ මෙහෙයක්ද ඉටු කළ නමුදු. ඔහුට හිමිවුයේ උප ඇමති ධූරයක් පමණි. ජයග්‍රහණයෙහි ඵල නෙළාගැනීමටත්, තනතුරු හිමිකර ගැනීමටත් වෙනත් පිරිස් ඉදිරිපත් වී සිටියහ. කෙසේ නමුත් එතුමා ටික කලකදී එම පක්ෂයෙන් ඉවත් වූ අතර සමාජවාදී මහජන පෙරමුණ නමින් අභිනව පක්ෂයක් පිහිටුවාගෙන 1960 මාර්තු මැතිවරණයේදී අපේක්ෂකයින් 40 ක් පමණ ඉදිරිපත් කරමින් තමා කුලියාපිටිය ආසනය ජයග්‍රහණය කළේය.

චතුර කථිකයකු වූ එතුමා පාර්ලිමේන්තුවේ සිංහලෙන් කථා කිරීම තහනම් වූ යුගයක 1948 ජුනි මස 28 දින ප්‍රථම වරට සිංහලෙන් කථා කිරීමේ අයිතිය ලබා ගැනීමේ ගෞරවය හිමිකරගත් නමුත් එම අවස්ථාවෙන් ප්‍රයෝජනගත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රථමයෙන් සිංහලෙන් පාර්ලි‍මේන්තුව ඇමතූ පුද්ගලයා බවට පත් විය.

ඩඩ්ලි සේනානායක මහතාගේ කුලුපග මිතුරෙකු වූ එතුමා එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී රට වටා යමින් මෙම ප්‍රවාහයට තරුණ තරුණියන් ද ඒකරාශී කරගනිමින් 1965 මහ මැතිවරණ ජයග්‍රහණයට මහඟු දායකත්වයක් සැපයූ අතර එම වසරේ බිහි වූ ජාතික රජයේ අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය තනතුරට පත්විය. එය එතුමාගේ දේශපාලන ජීවිතයේ වැදගත්ම කාලපරිච්ඡේදය වූවාට සැකයක් නැත. තම නායකයා සමඟ එක්ව කලින් වැරදි මගක ගිය එ.ජා.ප.ය හරි මඟට ගැනීමට අනුපමේය සේවයක යෙදුණේ ජාතියේ හිතසුව පිණිසය. අප රටේ මෙතෙක් අධ්‍යාපන අමාත්‍ය ධූරයක් හෙබවූ අය අතරින් සිංහල සහ ඉංග්‍රීසි ද්වී භාෂාවන් එක හා සමාන උසස් දැනුමක් තිබූ තැනැන්තා එතුමා බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. එයට අමතරව එතුමාට පාලි සහ සංස්කෘත ගැන ද හසළ දැනුමක් තිබිණ.

සංගීතයට බෙහෙවින් ප්‍රියකළ එතුමා මිනිසුන්ගේ අධ්‍යාත්මය උත්තරීතර පිවිතුරු සමාධියකට ගෙන එන භාවනාවක්සේ සකස් විය යුතු බව තරයේම විශ්වාස කළේය. එමෙන්ම නිවැරදි සිංහල භාවිතය පිළිබඳව පුදුමාකාර උනන්දුවක් දැක්වූ එතුමා සිංහල ලේඛක සංගමය ඇරඹීමටත් පුරෝගාමී විය.

නව අධ්‍යාපන පනතක් සම්මත කර ගනිමින් ඊරියගොල්ල මහතා මෙතෙක් නොවූ විරූ ප්‍රතිසංස්කරණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කළේය. විශේෂඥ සහායද ලබාගෙන රටට, යුගයට ගැළපෙන අධ්‍යාපන විෂය මාලා සකස්කිරීමට “පාඨමාලා සංවර්ධන මධ්‍යස්ථානයක්” ද ඇති කළේය. “සම්මත සිංහලය” නමින් අප භාෂවෙහි ව්‍යාකරණ රීතිය හා ව්‍යවහාරය පදනමක තැබීමට, උගත් පිරිසක්ද සම්බන්ධ කර ගනිමින් ඔහු ගත් අවංක උත්සාහයෙහි නියම ප්‍රතිඵල ලබා ගැනීමට තරම් අප ජාතිය අභ්‍යාග්‍යසම්පන්න විය. එයට හේතුපාදක වූයේ ද දේශයේ පවතින අසම්මත, ජරා ජීර්ණ දේශපාලනයම මිස අන් කවරේද?

පාසැල් විනය, සංචරය සහ නීති ගරුත්වය ගැන අවංක චේතනාවෙන් එතුමා තරම් කටයුතු කළ ඇමතිකෙනෙක් තවම බිහිවී නැත. පාසල් සිසුන් මෙරටෙහි ආහාර නිෂ්පාදනයට හුරු පුරුදු කිරීම සඳහා වැඩ පිළිවෙළක්ද ඇරඹීය. පාසල් සිසුන් එම කටයුතු සඳහා දිරිමත් කිරීමට වැඩ හුරුවීමේ ගීතය වන “ ලොකෙන් උතුම් රට ලංකාවයි....” යන ගීතය ද, ප්‍රගති ගීතය වන “සැම දන මන දිනු සුජාත ධරණී සෞභාග්‍ය නිධානය ලංකා ...” යන ගීත දෙක ප්‍රබන්ධ කොට සිසුන් ලවා නිතිපතා ගායනා කිරීමටද පියවර ගත්තේය. එකල එම ගීත දෙක ලක්වැසි ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබිණ. එතුමා විසින් ඇරඹූ අනෙකුත් වැඩ පිළිවෙළ අතර ගායන සහ වාදන බෑන්ඩ් කණ්ඩායම් ඇති කිරීම, පාසැල් පුස්තකාල සේවයක් ඇති කිරීම, ඉංග්‍රීසි ගුරු පුහුණුවට නව පණක් දීම ප්‍රමඛස්ථානය ගනී.

එතුමා 1966 අංක 20 දරන උසස් අධ්‍යාපන පනත අනුමත කරවාගෙන දිවයිනේ ස්ථාන කිහිපයකම කනිෂ්ඨ විශ්ව විද්‍යාල හයක් පිහිටුවා සීමිත ඉඩකඩක් ඇති විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අපොහොසත් වූ සිසුන්හට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ ප්‍රශ්තා සලසා දෙන ලදී. යුගයේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තාක්ෂණය, පුස්තකාල විද්‍යාව, පුවත්පත් කලාව වැනි විෂයයන් ඒවායේ අරඹා තාක්ෂණ අධ්‍යාපන ක්‍රමයේ පුරෝගාමීයෙක්ද වූයේය.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් නොලබා දුක්වන දෙමාපියන් ගේ දරුවන් උදෙසා නව විදුහලක් ඇරඹීමට එතුමා කාලයක් අපමණ වෙහෙසක් දැරීය. ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිතුමාගේ එම ප්‍රයත්නයට ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ නොමද සහය නොලැබෙන්නට අද දින කොළඹ ප්‍රමුඛ පෙළේ විදුහලක් වන ඩී.එස්. සේනානායක විදුහල බිහි නොවන්නට ඉඩ තිබූ බව දන්නේ ටික දෙනෙකු වීම බෙහෙවින් කණගාටුවට මෙන්ම විමතියටද කරුණකි.

බලයට පත් වූ හැම ඇමතිවරයෙක්ම විශ්ව විද්‍යාල පනතට අත ගැසීමට බියවිය. එහෙත් කළ යුතු දෑ කිරීමට එතුමා පසුබට නොවෙමින් එම පනත සංශෝධනය කළේය. එහෙත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට මුහුණ පාන්නට වූ ගැහැට අපමණය. අතෝර අපමණය.එහෙත් ඒ සියල්ල උපේක්ෂා සහගතව විඳදරා ගනිමින් කළයුත්ත කිරීමට නිර්භයව ඉදිරිපත් විය.

සංස්කෘතිය යනු කුමක්දැයි නොදන්නා සංස්කෘතික අමාත්‍යවරුන් බිහිවන මෙම රටේ ඊරියගොල්ල මහතා වැනි සංස්කෘතිය පිළිබඳ හසල දැනුමක් ඇති මෙන්ම පරිණත බුද්ධියක් ඇත්තෙකු පත්වීමේ ප්‍රතිඵල වශයෙන් පිරිවෙන් අධ්‍යාපන පනත, අනුරාධපුර පිහිටි බුද්ධශ්‍රාවක ධර්ම පීඨය පුරාවස්තු සංරක්ෂණ වැඩපිළිවෙළ යනාදිය රටට දායාද වූ බව සඳහන් කළ හැකිය. සීගිරි බිතුසිතුවම් විනාශ කරන්නට කඩාකප්පල්කාරීන් පිරිසක් යත්න දැරූ අවස්ථාවේදී ඒවා සංරක්ෂණය පිළිබඳ ලෝක ප්‍රකට ඉතාලි ජාතික විද්‍යාඥයෙකු වූ ආචාර්ය ලුසියානෝ මාරන්සි ගෙන්වා බිතුසිතුවම් යථා තත්ත්වයට පත් කර ගැනීමට එතුමා දැක්වූ කඩිනම් සාර්ථක ව්‍යායාමය එකල කාගේත් පැසසුමට ලක් විය. “ මැරෙන අපි නොමැරෙන ජාතියට හැකි අන්දමින් සේවයක් කර මිය යා යුතුයි” යනුවෙන් ඔහු නිතරම ප්‍රකාශ කළේය.

බෞද්ධයෙකු වූ එතුමා බුද්ධ ධර්මයෙහි නිර්මල අර්ථය ජීවිතාන්තය දක්වාම සෙව්වේය. විග්‍රහ ‍කළේය. එමෙන්ම කෘෂ්ණමූර්ති දර්ශනයෙන්ද මනාව සන්නද්ධ වී සිටීය. පරම විඥනාර්ථ බෞද්ධ සමාගමේ එතුමා නිලතල දරන අවධියේදී අධ්‍යක්ෂ පාලිත පාසල් රජයට ගැනීමට එවකට සිට රජය (1960-65) පිවර ගත් විට “බෞද්ධ පාඨශාලා” නමින් පාසලක් දෙකක්වත් තබා ගත යුතු යයි පවසමින් කොළඹ ආනන්ද විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල රජයට පවරා ගැනීමට විරුද්ධව සටනක් දියත් කළ ද එය සාර්ථක නොවීය.

ඊරියගොල්ල මැතිතුමා සත්කෝරළයට දැක්වුයේ අකලංක ආදරයකි. සත්කෝරළයේ ජනතාවද බොරු නොකියන, බොරු නොකරන තම නායකයාට දැක්වූයේ අසීමිත ආදරයකි. ගෞරවයකි. සියලුම ජනතාවන් එතුමා ඉදිරියේ නෑ - සියන් විය. එතුමා අමාත්‍යධූර දරන සමයේදී කොතරම් කොළඹ වැඩ රාජකාරී තිබුණද සෑම සති අන්තයකම කුලියාපිටිය නගරයේ පිහිටි තම කාර්යාලයට ඒමට අතපසු කළේ නැත. පෙ.ව. 8.00 පමණ වන විට කළු පැහැ 4 ශ්‍රී 7825 දරන “හම්බර්හෝක්” නිල රථයෙන් කාර්යාලයට ළඟා වෙනවා දැනටත් මැවී පෙනෙන්නාසේය. එතුමාගේ පෞද්ගලික ලේකම් බර්ටි ගුණසේකර මහතාත් සම්බන්ධීකරණ ලේකම් මා මිත්‍ර එල්මෝ මහතාත් ජනතාව වෙත කාරුණික මෙන්ම කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහාත් නිතරම සැදි පැහැදි සිටියහ. මමද එම අවධියේ බොහෝ විට එම අවස්ථාවලට සහභාගීවීම පුරුද්දක් ‍කරගෙන සිටියෙමි. ඒ අන් කිසිවක් නිසා නොව එතුමාගේ කටින් පිටවන රසවත් මෙන්ම අර්ථවත් කියුම් අසා සිටීමටය. එතුමාගෙන් උගත හැකි දෑ බොහෝ විය.

ප්‍රදේශවාසී බොහෝ දෙනෙක් පවා නොදන්නා කරුණක් මෙහිදී සටහන් කිරීමද උචිත යයි සිතමි. නිදහස් අධ්‍යාපනයේ පියා වන කන්නන්ගර මැතිතුමාගේ මධ්‍යම විද්‍යාල පිහිටුවීමේ ව්‍යාපෘතියේ 40ක් පමණ වූ මුල් ලැයිස්තුවට කුලියාපිටිය නොතිබිණ. ඊරියගොල්ල මැතිතුමාගේ සහ අපවත් වී වදාළ සත් කෝරළයේ ප්‍රධාන සංඝනායක හෙන්ඩියගල සීලරතන නාහිමියන්ගේ බලවත් උස්සාහය සහ කැපවීම නොතිබෙන්නට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය බිහිනොවන්නට ද අවකාශ තිබුණි.

ඊරියගොල්ල මහතාගෙන් රටට, ජාතියට වූ සේවාව ගැන සම්පුර්ණ විස්තරයක් මෙවැනි ලිපියකින් ඉදිරිපත් කිරීම අතිශය දුෂ්කර කාර්යයකි. කෙටියෙන් පවසනවා නම් ඊරියගොල්ල සූරීන් වැන්නෝ ජාතියේ පිනට පහළ වූ සුජාත ලංකා පුත්‍රයෝ්ය.

එතුමාගේ උත්තුංග දේහය දෙස කෙනෙකුට දෙවරක් බැලීමට සිතෙන තරම් ප්‍රතාපවත් බවක් එහි විය. එතුමාට නිවන් සැප ලැබේවායි අප විසින් අමුතුවෙන් ප්‍රාර්ථනා කළ යුතු නැත. මන්ද යත් එතුමා විසින් රටට, දැයට, සමයට කරන ලද උදාරතර මෙහෙයත්, ගත කරන ලද අවංක ප්‍රතිපත්ති ගරුක දැහැමි ජීවිතයත් දෙස බලන කල එතුමාට අජරාමර නිවන් සම්පත් නිතැතින්ම අත්වන බව ඒකාන්තය. එහෙත් මාගේ එක පැතුමක් ඇත. ඊරිගොල්ලයන් වැනි චරිත තව තවත් ලක්බිමෙහි ජනිත වේවායි! යන්න එම ප්‍රාර්ථනයයි. එය යුගයේ අවශ්‍යතාවකි.

 

අදහස්