දෝස පහ කිරීම | සිළුමිණ

දෝස පහ කිරීම

 

සෑම සමාජයකම දෝස, වැරදි, අඩුපාඩු සිදු වෙයි. එම වැරදි නිවැරදි කර ගැනීම ද, සමාජයම සතු වගකීමකි. දෝස ඇති වන්නේ ක්‍රියා තුළින් ය. ක්‍රියා කීප ආකාරයකට සිදු වෙයි. ප්‍රධාන ලෙස (කරන) ක්‍රියා යම් පුද්ගලයකු, සත්ත්වයකු, නැතහොත් කරවන්නකු විසිණි. අනෙක ස්වාභාවිකව (සිදුවන) ක්‍රියා වශයෙනි. මේ ගැඹුරු සිද්ධාන්තය එදා සිදු වී අද සිදුවෙමින් හෙට දිනයේදී ද නොකඩවා සිදුවනු ඇත. මේ සියලු දොස් පහ කිරීමේ, අවම කිරීමේ, ක්‍රමවේදයන් ද මේ සමඟම පහළ වී ඇත.

අපේ ගම් දනව්වලද දෝස කොටස් කරගෙන සිටියි. ප්‍රධාන කොට ශරීර පංචස් කන්ධයට ඇතිවන දෝස ලෙඩ දුක් ලෙස දක්වයි. ලෙඩ දුක් හැදෙන්නේ තුන්දොස් (වා, පිත්, සෙම්) කිපීමෙන් ය. අනෙක් පුද්ගල දෝස සිත මුල් කොටගෙන ම උදාවෙයි. මේ දෙපාර්ශ්වයටම පුරාණයේ සිට පැවත එන පිළියම් තිබේ. තුන්දොස් කිපී ලෙඩ දුක් ඉහවහා යනවිට වෛද්‍ය ශාස්ත්‍රයේ වෙද හෙදකම් යොදා සමනය කරයි.

සිත් දූෂ්‍ය වි ඇති වන දෝස වෙදකම් සමඟ ශාන්තිකර්ම, සප්පායම්, බලි තොවිල්, යාග හෝම, යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මඟින් පසිදා ගත්තේය.

අපේ ඇත්තන්ට ඇදහිලි හා විශ්වාස, කටයුතුවලදී අඩුපාඩු සිදුවීමෙන් දෝස ඇතිවන බවටද මත තිබේ. මේවා සරල ලෙස ඔවුන් දැක්වූවේ දෙවියන්ට පිටුපෑමෙන් ඔවුන් කිපී ඇතිවන “දෙව් දෝස” වශයෙනි. ඒ දොස් දෙවියන්ටම බාර හාරවී, යාතිකා යාප්පු වී පුද පූජා පවත්වා සමනය කරගත්හ.

ලොව පවතින තාරුකා වළල්ලේ සොබාද ග්‍රහ වලල්ල රාශිවලට බෙදාගෙන ඒ ආකර්ෂණයෙන් ලෝක සොබාවයට බලපාන බවද වැඩි පිරිසක් විශ්වාස කරති. රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු යන ග්‍රහයින් හෝ වස්තූන් මනුෂ්‍යයා ඇතුළු සත්ව ලෝකයටත් සොබා දහම් ක්‍රියාකාරකම් වලටත් බලපා දෝස ඇති වන නිසා ඒවා පහ කර ගැනීමට “නවග්‍රහ” ශාන්ති කර්ම කළේය; අදත් කරති.

දෙවි දෝස දෙවියන් ඉදිරියේ බොරු මුසා කීමෙන් ඵල‍ දෙන බව කියයි. ඒවා දේව සමාව ඉල්ලා යාච්ඤා කිරීමෙන් මිස වෙනත් අයුරකින් පහ කරගත නොහැකිය. පොදු වස්තු වංචා සිතින් පරිහරණය කිරීම ද, පෙර වංචා කිරීම ද මවුපියවරුන් අපරාධ කිරීම් ද දේව සාපයට හේතු වෙයි. දේව සහනය පතන වස් කවි හා සෙත් කවි ද “කටවහ” බලය පෙන්වන වටිනා අවස්ථාවකි.

දරුවන් තාරුණ්‍යට පත්වෙත්ම හෝමෝන් ක්‍රියාවලිය නිසා ඔවුන්ගේ හැසිරීම් මේ “මනදෝස” පහල වෙයි. එවිටම “මදන කුලප්පුව” ඇති වීමට පෙර සුදුස පෙලවහක් කරදෙයි. වැරදී දෝසේ පල දීම කවියකට නැඟී ඇත්තේ මෙසේය.

“කෙල්ලී හොඳයි වැඩපළටම සරිවෙච්චී

හොල්ලා යනෙන ගමනට වහ වැටෙච්චී

බල්ලා මුර කරත් අපෙ ඇස් වැහෙච්චී

කොල්ලා කලදෝසෙ නෑකම් බිදෙච්චී”

තරුණ නාම්බන්සේම පවුල් වූ අය පවා මේ දෝසය නිසා හානි පත් වෙයි. පවුල්වාද වෛර බවට මේ දෝසයන් දිග් ගැස්සුණ අවස්ථාද හමු වේ.

ගම්වල මේ දෝස සියල්ලටම වඩා බිය පත්වූ “තුන්දොසක්” ඇත. ඒ නපුර ආවේ “ඇස්වහ”, “කටවහ” සහ “හෝවහ” වශයෙනි. මේ දෝසයන්ගේ බලවත්කම හා නපුර දෝසය කරන්නා තමන් හා එක්ව දැවටී සිටීමයි. අනෙක කරන දෝසය කිසිම අයුරකින් නොපෙනීමයි. කරණ විනයක්ද අසු නොවෙයි. ඒ නිසා මේ තුන්දෝසයෙන් ගැලවීමට පිළියම් කල් ඇතිවම යොදා ගනී.

මේ තුන්දෝසයේම “වහ” වදන ඇත. එහි තේරුම විෂ, වැහීම, නරක, නොහොඳ ලෙස අරුත් ගැ‍න්වෙයි. ව්‍යවහාරයේදී අද තරුණ පරපුරද අකමැත්ත, ප්‍රකාශ කිරීමට ද “වහ” වදන යොදයි. “එයා නම් මට “වහ” කීවේ එම අරුතෙන් ම ය. හිතේ ඇති නපුරු චේතනා, ද්වේෂය, ඉරිසියාව වැනි දේ ගිනි සැරක් සේ ඇසෙන් පිට කිරීම ඇස් වහයි. ඒ අදහස සිත තුළ තියාගෙන විනාශය සිත්හි දරාගෙන යහපත් දේ කථාවෙන් පෙන්නීම “කටවහයි” පිරිපුන් පලදරන ගසක් දෙස බලා “ලස්සනේ බෑ සෝක් අඹ ටික” කිවහොත් අඹ ගෙඩි හැළෙයි. මේ නිසාම මේවාට කල් පුරා ප්‍රතිකර්ම කරයි. සමහරු හදන නිවසේ ඉදිරියේ “කැතයි”, කියා දැන්වීම දක්වයි.

සමහරු “බුදුන්, දහම්” සරණයි දක්වයි. සමහරු පුහුල් ගෙඩියක් එල්ලයි. ගොවිපලේ, හරක්ඔලු, පඹයින්, තබයි. සිනහ රූප තබයි. මින්නපුරු ඇස මඟ හැරි දොස් පහවෙයි. “දොස් පිච්චීම” මිරිස් පිච්චීමයි. මිරිස් දෙහි වැල්වාහ ඉදිරියේ එල්ලා තබන්නේ ද “ඇස්වහ” ඊට පළමුව වැදීමටයි. පෙති පිළිම නෙළීමේ හා චිත්‍ර ඇඳිමේදී ද ඇස්වහ වැදීම වැළැකීමට පොඩි අඩුවක් තබන බව එම ශිල්පීන් කථාබහේදී පවසා ඇත. මවුවරුන් බිලිඳු දරුවන්ගේ නලලේ කළු මොට්ටු තබන්නේ ද මේ සඳහා ය. හින්දුවරු ලොකු කුඩා කවුරුත් පොට්ටු තබති.

කුඩා කල දරුවන් පිටස්තර අයට වඩා ගැනීමට දීමෙන් වළකින්නේ ද ඇස්වහ, කටවහ දොස් වැදීම නතර කිරීමටයි. දරුවන්ට මේ දොස් ඇති වන විට කුඩා බිබිළි හැදී විෂවීම් සිදුවෙයි. පිරිත් කිරීමද මීට අදාළව කරනු ලබයි.

හීල්ලීම, හූල්ලා වැටීම, අන්සතුට, සැප දැක සමහරු අතින් සිදුවන්නෙකි. මෙසේම ඒ ගැන කථා කරමින් සුසුම්ලෑම ද සිදු කරයි. මේ “හෝවහේ” ස්වරූපයයි. මේ සියල්ල කිසිවෙකුට අතපත ගා පෙන්වීමට, අවබෝධ කරවීමට නොහැකි කාරණාය. ඒ බව හොඳින් දැනගත් ගමේ ඇත්තන් ඒ අය මුලිංචි වීමට, මුණ නොගැසී සිටීමට වග බලා ගත්තෝය. කුඩා දරුවන්ට පංචා යුධ පැලඳවීමට ද ඒ ඇත්තන්ට එන ග්‍රහ, ඇස්වහ, කටවහ, හින්, දොස් පහ කිරීමට කළ ක්‍රියාවකි. ගොවිකම කරද්දී මල්, පලදාවන්ට “අතු ඉති බැඳීම” සිරිත කළේය. කෙසෙල්කැන් පඬරැල්ලෙන් වැසීය. දෙළුම්, දොඩම්, පේර රෙදිවලින් වසා දැමීය.

හේන්වල පුහුල් වට්ටක්කා කැකිරි එම වැල්වලින්ම වැසුවේය. වර්තමානයේ කෘෂි උපදේශකයින් කෘමි හානි වැළැක්වීමට මේ උපායන් යෝජනා කරති.

පුරාණයේ ඇත්තන් එබඳු කෙනෙකුගේ බැල්ම වැටුණාම, කතාවක් ඇසුණාම, එම ‍දෝස වළකා ගැනීමට “තුඃ” කියා තුන්වර කෙළ ගැසීමේ චාරිත්‍රයක් ද “කෙමක්” ලෙස භාවිතා කළහ. පංචායුධයේද ලකුණු කර ඇති කඩු, මුගුරු, අඩයටි, පත්කොහොල පාරාවළලු වලින් කෙරුනේ ද උවදුරු නැසීමේ කෙමකි.

ඒවා දැක නොපෙනෙන බලවේග (යක්ෂ භූත ප්‍රේත පිසාචයින්) දරුවන්ගෙන් ඈත්වන බව කියයි. අපේ අම්මලා කුඩා දරුවකු පිටස්තර අයකු අතපත ගා වඩාගෙන සිටියහොත් ඔහු හෝ ඇය ගිය පසුද කෙම් පිළිවෙතක් කළේය.

දරුවාගේ ඉස සිට දෙපතුලට අතදෙකෙන් පිසදා සියලු දොස් පහකර අරියි. ඇතැම්විට තුනසරණින් ජය සිරිමා සමිඳු බෙලෙන් දොස් පත වේවා යයි කටින් ද කීවේය. “දුක්කානේ පිස දැමීම” ඇඟ ඉහ පිහදෑම” ලෙස ද මීට පැවසීය.

දිවි හම්, ඇත්දත් සුර, පස්ලෝ වළලු, රන්, රිදි, මුතු හාවටිනා මැණික් ගල්, ඇල්ලූ, මූදු, වළලු, හවඩි පැළඳීම අලංකරණය සේම දොස්පහ කිරීමේ ඉලක්කය ඇතිවද සිදුව ඇත. හීල්ලීම හූල්ලා වැටීමේ “හින්දෝස” ය ගැන පුරාණ ශාස්තරයේ විස්තරද තිබේ. එය නක්ෂත්‍රයට අයත්වේ. අටකොන් අතුරෙන් ප්‍රධාන කොන් හතරට මැදි වූ ඊශාණ, ගිනිකොන, නිරිත, වයඹ, දිසවලින් හින්දෝසය සිදුවන බව පවසා ඇත.

බොහෝ දොස් මනුෂ්‍ය සොබාවන්ගේ ගැටීමෙන් සිදුවන බව පැහැදිලිය. මේවා පසිදා ගැනීමට අපේ ඇත්තන් විවිධ උපක්‍රම භාවිත කර ඇත්තේ මෙම ගැටීම් උග්‍රවී සමස්තයම අගතියට පත්වීම වළකා ගැනීම පිණිස ය. භයානක විනාශ වැළකීමටය.

 

(දෝස පහ කිරීම සඳහා රන්දුනු පර‍ේවිණ කැපුමෙන්ය) 

අදහස්