පොතක් කියන්නේ ජයගත යුතු සංග්‍රාමයක් | සිළුමිණ

පොතක් කියන්නේ ජයගත යුතු සංග්‍රාමයක්

 1962 වසරේ නිව්යෝක් නගරයේ උපත ලැබූ වොලස් පසු කලෙක ලක්ෂ ගණනින් පොත් අලෙවි කළ ලේඛකයන් අතරට වැටුණු අයෙක් නොවේ. නවකතාකරුවකු, කවියකු, පුවත්පත් කලාවේදියකු, සාහිත්‍ය කථිකාචාර්යවරයකු වූ ඔහුගේ දිවිය බෙහෙවින් පීඩාකාරී එකක් විය. කුඩා කාලයේ පටන්ම මානසික අවනතියෙන් (Depression) පිඩා ලැබූ වොලස් තම උසස් අධ්‍යාපන කටයුතු පවා නිම කළේ මේ වේදනාකාරී තත්ත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලබනා ගමන් ය. කෙසේ හෝ වේවා ඖෂධ වලින් මකා දැමිය නොහැකි වේදනාව ඉවසා ගත නොහැකිව වයස අවුරුදු 46 දී ඔහු සිය දිවි නසාගත්තේය.

 

මේ කතාව බොහෝ අයගේ මුවින් පිටවන වදන් පෙළකි. එක දිගට කියවාගෙන යන්නට හැකි පොත් එසේත් නැතිනම් PAGE TURNER, හොද පොත් වර්ගයට ඇතුළත් වෙනවාදැයි මම නොදනිමි. අද ලෝකයේ මිලියන ගණනක් පොත් අලෙවි කල ඇමරිකානු ජාතික JOHN GRISHAM ගේ පොත් කිසිදු අපහසුතාවයකින් තොරව එක හුස්මට කියවාගෙන යන්නට හැකි පොත් ය. ඒවා නරක පොත් නොවේ. බොහෝ අවස්ථාවලදී නිතිය, අධිකරණය පාදක කර ගනිමින්

ලේඛකයකු වන්නට පෙර ඔහු නීතිඥයෙකි. පොත් ලියන ඔහුගේ අවසන් වරට මා කියවූ CAMINO ISLAND වනාහි පොත් පත් වෙ‍ෙළඳාමේ දක්නට ලැබෙන ප්‍රකට නැසී ගිය ලේඛකයන්ගේ අත් පිටපත් මංකොල්ලය ගැන ලියවුණු අපුරු පොතකි. එහෙත් GRESHAM විසින්ම සදහන් කරන අන්දමට ඔහුගේ කෘති මහා සාහිත්‍යට ඇතුළත් නොවේ. ඒවා හුදෙක්ම රසවින්දනය සදහා ලියවුණු ඒවා ය.

මනා සාහිත්‍ය රස විදීමට නම් වෙහෙසක් දැරිය යුතුය. Stephanie Meyer ගේ Twilight කතා මාලාව කියවා ගෙන යෑම පහසුය. එහෙත් එය සාහිත්‍යය නොවේ. තුර්කි ජාතික Orphan Pamuk ගේ The Museum of Innocence කියවන්නට අති අපහසු කෘතියකි. එහෙත් අහිමි ආදරය ගැන එවැනි මනරම් පොතක් කිසි දිනක ම කියවා නැත. සාහිත්‍ය විවිධ වූ ඉලක්ක, කාර්යයන් සදහා යොදා ගන්නට හැකිය. එහෙත් මගේ අදහස නම් සාහිත්‍ය යනු කතා කීමේ කලාවක් බවයි. මා නිරන්තරයෙන් සහභාගී වන මගේ පැරිස් පොත් සමාජයට (WICE -Bilingual Book Club) එකතු වන්නට ඉල්ලුම් කළ වෙලේ මා සමග සුහද කතා බහක් යෙදුණු ඇමරිකානුවා ප්‍රශ්න 04 ක මගෙන් ඇසුවේය; ඒවා මෙසේය.

01 අාසාවෙන්ම කියවා නිම කළ පොත් ද 02 මොනවාද...?

02. අකමැත්තෙන් කියවා නිම කළ පොත් 02 මොනවාද...?

03. කීප වාරයක් කියවීම අත හරින්නට සිතුණු මුත්

ආයාසයෙන් කියවා නිම කළ පොත් 02 මොනවාද ..?

04. කියවීම අපහසු නිසා අතහැර දැමු පොත් 02

මොනවාද...?

මේ ප්‍රශ්න හතරෙන් යම් අයකුගේ සාහිත්‍ය රුචිකත්වය මැන ගත හැකි නොවේදැයි මට පසුව සිතිණි. මේ ප්‍රශ්න හතර අපි සියල්ලෝ අප වෙතින්ම අසා බැලිය යුතු වන්නේ අපේ පොත් ඇල්ම මැන ගැනීමට එයින් අවස්ථාවක් ලැබෙනා හෙයිනි. මුල් ප්‍රශ්න තුනම අතහැර දමුවොතින් මගේ ජිවිතයේ කියවන්නට ඇති අපහසුව, අලසකම, විෂය ග්‍රහණය කර ගන්නට ඇති නොහැකියාව නිසා අතරමග කියවීම නතර කර දමා ඇත්තේ පොත් දෙකක් පමණි. ඉන් පළමු වන්න Doris Lessing ගේ The Cleft නම් පොතයි. දෙවැන්න මා මිතුරු මංජුල වෙඩිවර්ධනගේ "මගේ ආදරණිය යක්ෂණි" පොතයි. මේ පොත් දෙකම ආන්දෝලනයට ලක් වුණු මනා විචාරක පැසසුම් ලැබූ නිර්මාණ ය. එහෙත් මගේ සීමාසහිත බුද්ධියේ ඒවා සඳහා ඉඩක් නොවිණ.

එක් පුද්ගලයකුව මරා දමන්නා මිනිමරුවෙක් බවත් දහස් ගණනක් ජිවිත විනාශ කරන්නා මහා අධිරාජයකු වන බවටත් කියමනක් තිබේ. එක පොතක් කියවන්නා සාමාන්‍ය පොත් කියවන්නෙකි. පොත් සියයක්, දහසක් කියවන්නා මහා බුද්ධි වන්තයෙකි. ලෝකය හැදෑරු, විනිවිද දුටු අයෙකි. මෙසේ ලෝකය සොයා යන ගමනේදී කියවන්නට අතට ගන්නා පොතක් නොකියවා අත හැර දැමීම දවස කාලකන්නි කිරීමට සමත් වෙයි. පොතක් යනු නියත ලෙසම ජයගත යුතු සංග්‍රාමයකි. පොතක් නිම නොකර නවතා දැමීම හරියට තමා පොතක් ඉදිරියේ පරාජය වූවාක් වැනිය.

එවැනි සංකීර්ණ අපහසු අවස්ථාවකට මේ මොහොතේ මම මුහුණ දී සිටිමි. මේ මොහොතේ මගේ සංග්‍රාමය ඇත්තේ පොතක සමගයි.

දැන් මාසයක කාලයක සිට මම පොතක් සමග සටන් කරමින් සිටිමි. එය කියවන්නට නොහැකි තරම් සංකීර්ණ පොතකි. පිටු 1070කින් යුත් මේ පොතේ පිටු 400 කියවා දැමුවද කුමනාකාරයක රසයක්වත් ලබා ගන්නට මට නොහැකි විය. අනේක වාරයකදී කියවීම නවතා දමන්නට සිතුණි . එහෙත් වෙඩිවර්ධන ඉදිරියේ සිදුවුණු පරාජය යළි ලැබිය නොහැකිය. අනෙක් අතට මේ පොත ගෙවුණු තිස් වසර ඇතුළත ඇමරිකානු සාහිත්‍යයේ බිහි වුණු වඩා වැදගත්ම නිර්මාණ 10 අතරට ඇතුල් වෙයි. එහි ලේඛකයා මෑත කාලින ලෝක සාහිත්‍යයේ වඩාත් කැපී පෙනෙන ප ස් දෙනා අතරට ඇතුළුව සිටියි.

මේ පොත නම් නැසී ගිය ඇමරිකානු ලේඛක David Foster Wallace ගේ Infinite Jest නම් පොතයි. පොත ගැන කියන්නට කලින් ලේඛකයා කවුරුන්දැයි විමසා බලමු.

1962 වසරේ නිව්යෝක් නගරයේ උපත ලැබූ වොලස් පසු කලෙක ලක්ෂ ගණනින් පොත් අලෙවි කල ලේඛකයන් අතරට වැටුණු අයෙක් නොවේ. නවකතාකරුවකු, කවියකු, පුවත්පත් කලාවේදියකු, සාහිත්‍ය කථිකාචාර්යවරයකු වූ ඔහුගේ දිවිය බෙහෙවින් පීඩාකාරී එකක් විය. කුඩා කාලයේ පටන්ම මානසික අවනතියෙන් (Depression) පිඩා ලැබූ වොලස් තම උසස් අධ්‍යාපන කටයුතු පවා නිම කළේ මේ වේදනාකාරී තත්වත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලබනා ගමන් ය. කෙසේ හෝ වේවා ඖෂධවලින් මකා දැමිය නොහැකි වේදනාව ඉවසා ගත නොහැකිව වයස අවුරුදු 46 දී ඔහු සිය දිවි නසා ගත්තේය.

තමන්ගේ දෙවන නවකතාව වශයෙන් Infinite Jest 1982 වසරේදී ලියන්නට පටන් ගන්නා ඔහු එය නිම කරන්නේ 1996 වසරේදීය. මේ පොත ප්‍රකාශයට පත් වී ඉහළ විචාරක ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගන්නා අවධියේ ලේඛකයන් කියවන්නට අපහසු පොත් ලියන්නේ ඇයිදැයි යන ගැටලුව කතා බහට ලක්විණ. කියවන්නට අතිශය අසීරු යැයි සැලකෙන පොත් ගණනාව අතර Virginia Woolf ගේ to the Lighthouse, Gertude Stein ගේ The Making of Americans, Jonathan Swift ගේ A Tale of a tub මුලින් කැපී පෙනෙයි. පාඨයන්ට ග්‍රහණය කර ගන්නට අපහසු පොත් සාහිත්‍ය ලෝකයේ Encyclopedic Novel නමින් හදුන්වනු ලබයි. මහා කවියෙකු දාර්ශනිකයකු වූ Dante ගේ Divine Comedy එසේත් නැතිනම් ටොල්ස්ටෝයි ගේ War and Peace මේ ගණයට වැටෙනා නිර්මාණ වෙති. වොලස් ගේ Infinite Jest පොත කනිෂ්ඨ ටෙනිස් ක්‍රීඩා සමාජයක් සහ මත් ද්‍රව්‍යට ඇබ්බැහි වුවන් නිවාරණ මධ්‍යස්ථානයක් පාදක වී ගෙතී ඇත. එහෙත් එහි කතා බහට ලක් කර ගන්නා විෂයන් ගණනාවකි. තමා කියනා දේ, ලියනා දේ, විස්තර කරන්නට උත්සාහ කරනා දේ පාඨකයාට නොවටහෙනා බව වොලස් තේරුම් ගන්නට ඇත. මේ නිසාම පොතේ අවසානයේදී තමා ලියු සංකීරණ කරුණු පහදා දෙන්නට පිටු 100 ක් පුරා ඔහු පසු සටහන් (end notes) ලියා තිබේ. ගැටලුව වන්නේ ඒ පසු සටහන් කියවා තේරුම් ගැනීමට විශ්වකෝෂ කීපයක් ම හැදෑරිය යුතු වීමයි.

පොත පුරාම දෙබසක් දකින්නට ඇත්තේ කලාතුරකිනි. පිටු 400 ක අපහසුවෙන් කියවා නිමා කර ඇති මම මේ පොත නිසා දැන් වෙහෙසට පත්ව සිටිමි. වොලස් මෙන්ම මානසික අවතතියට මා ගොදුරු වේ දැයි සැක ය. ලේඛකයෝ මෙවැනි පොත් ලියන්නේ මොන කරුණක් ඉටු කර ගැනීමටදැයි සිතා ගන්නට නොහැකිය.

ප්‍රංසයේ ප්‍රකට ප්‍රකාශන ආයතනයක් වන L 'olivier මේ පොතේ පරිවර්තන අයිතිය යුරෝ 86000 ක් ගෙවා 2005 දී ලබා ගත්තද, දින නියමයක් නොමැතිව කාර්යය කල් දැමුහ. ඒ සදහා සුදුසු පරිවර්තකයකු සොයා ගැනීම අපහසු ය. ප්‍රංසයේ පරිවර්තකයෝ ලංකාවේ මෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ කරනම් ගසන්නෝ නොවෙති. පොත් පරිවර්තනය වනාහි කලාවක් නොව රැකියාවකි.

වොලස් ගේ මේ පොත පරිවර්තනය කිරීමේ රැකියාව සදහා කිසිවෙකුත් සොයා ගන්නට නොහැකි විය. ඔබලා මේ පොත් පරිවර්තනය කළාද...? ඔවුහු අසල්වැසි රටවල ප්‍රකාශන සමාගම් වෙතින් ඇසුහ. ඒ වන විටත් ඉතාලි ජාතික පරිවර්තකයන් තිදෙනකු කාර්යය අතහැර තිබිණි. ස්පාඤ්ඤයේ හය දෙනෙක් අත්හැර තිබුණි. ජර්මනියේ පර්වර්තකයා වසර පහක් කාලයක් ගත කර තිබුණත් කාර්යය නිම කර තිබුණේ නැත.

අන්තිමේදී ප්‍රමාණයෙන් විශාල සංකීර්ණ විෂයන් වස්තු කර ගත් පොත් කීපයක් ම ඉංග්‍රීසියෙන් ප්‍රංස බසට පෙරළු Francis Kerlin මේ බරපතල කාර්යය බාර ගත්තේය.

පරිවර්තනයේ කටයුතු සදහා ඔහුට ගතවූ කාලය වසර දෙක හමාරකි. අන්තිමේදී පොත එළි දකිනා විට ප්‍රථම වතාවට පරිවර්තනයක් වෙනුවෙන් පුවත්පත් සාකච්ඡාවක් පවත්වන්නට ප්‍රකාශන ආයතනයේ බලධාරීහු තීරණය කළහ . පුවත් පත් හමුවේදී Francis Kerlin කි දේ Books නමැති සගරාවේ පළ වුණු නිසා එය මෙසේ උපුටා ගනිමි.

"වොලස් මිය ගොස් සිටි නිසා මගේ කාර්යය තවත් අපහසු වුණා. පරිවර්තනයේදී මම බොහෝවිට ලේඛකයා සමග අදහස් හුවමාරු කර ගන්නවා. මෙය සාහිත්‍ය ඉතිහාසයේ වැදගත් පොතක් නිසා හැම වාක්‍යක්ම සටනක් වුණා. තමන් ලියන දේ නිසා පාඨකයා පත් වන අපහසුව ගැන කිසිම තැකීමක් කරපු අයෙක් නොවෙයි වොලස්. සාමාන්‍යයෙන් පොතක පිටු 50 ක පමණ පරිවර්තනය කරනා විට ලේඛකයාගේ ශෛලිය හදුනා ගන්නට හැකි වෙනවා. එහෙත් වොලස් මේ පොත ලියා තිබෙන්නේ ආකෘති හා ශෛලියන් කිපයකම අනුගමනය කරමින්. පොතේ සිද්ධි මාලාව සිදු වන්නේ අනාගතයේ. වොලස් කුඩා සිද්ධියක් විස්තර කරන්නට පිටු ගණනාවක් වැය කරනවා. (එක් මොහොතක ටෙනිස් තරගයක් විස්තර කරන්නට ඔහු නීරස පිටු 40 ක වැය කරයි.) පිටු 650ක පරිවර්තනය කළාට පසුව හමුවෙනවා 200 වෙනි පිටුවේ කියවන්නට ලැබුණු චරිතයක්. ඒ වගේම ලේඛකයා යොදා ගන්නවා අදහා ගත නොහැකි වචන තමන්ගේ චරිත සඳහා. කතා නායකයාගේ පියාගේ ආරූඩ නම තමයි Himself . මෙය ප්‍රංස බසට පෙරළන්න අමාරුයි. මෙවැනි අවස්ථාවන් වලදී මට හිතුණා පර්වර්තනය අතහැර දමන්නට. එහෙත් මා බාර ගත්තේ අභියෝගයක්....."

දවස ආරම්භ කරන විට අසීරු පොතක් කියවනන්ට තිබෙනවා නොවේද යන සිතුවිල්ල පැමිණි විට දැනෙන්නේ අලස කමකි. කියවන්නට අපහසු පොතක් ලියූ Melville (Moby Dick), Philip Roth (Sabbath's Theater), Thomas Pynchon (Gravity's Rainbow) සයිමන් නවගත්තේගම (සංසාර ආරණ්‍ය ) යන මේ කිසිවකු මට හමු වී නැත. හමුවී ඇත්තේ "මගේ ආදරණිය යක්ෂණි" ලියූ මංජුල වෙඩිවර්ධන පමණි. සංකීර්ණ කතා ලීවාට ඔහු බොහොම සුන්දර මිනිසෙකි. මගේ "යක්ෂණි.." පොතේ සමරු සටහනක් ලියන්නැයි ඉල්ලා සිටි වෙලේ මංජුල මෙසේ ලීවේය.

මගේ පළමු කියවන්නා "මම" ය

ඔබේ පළමු කියවන්නා "ඔබ " ය

සාහිත්‍ය බිහි වන්නේ එහෙමය.

මගේ ප්‍රශ්නයට පිළිතුරක් මේ කෙටි සටහනේ

ඇතැයි අද මට සිතේ.

 

අදහස්