බරවැලි | සිළුමිණ

බරවැලි

බරවැලි යනු ඇනතොලි රිබාකොව් (1911 - 1998) නමැති සෝවියට් ලේඛකයා විසින් රුසියන් බසින් රචිත නම් නවකතාවේ හැරල්ඩ් ශූක්මන් විසින් 1979 වසරේ කරන ලද ඉංගිරිසි පරිවර්තනය වන Heavy sand හි සිංහල පරිවර්තනයයි.

මේ කෘතිය අර්ධ අපදාන නවකතාවක් ලෙස විචාරකයෝ හඳුන්වති.

කිසියම් විචාරකයකුට අනුව මෙය එක්ව ගත් තෙවැදැරුම් නවකතාවකි. පළමුවන කොටසේ එන්නේ ස්විස් තරුණයකු හා යුක්‍රේන තරුණියක හා ඇතිවන ප්‍රෙමයයි. දෙවැනි කොටසෙන් විවාහ වූ ඔවුන්ගේ ගේහසිත ජීවිතය විවරණය කෙරේ. තුන්වන කොටසේ විස්තර කෙරෙන්නේ නාසි ආක්‍රමණයත් ඉන් සිදුවන මහා ව්‍යසනයත් ය.

රබකොව් යුදෙව්වෙකි. නාසින්ගේ සෝවියට් ආක්‍රමණ සමයේ ඔහු රුසියානු හමුදාවට බැඳී පෙරමුණේ සටන් කළේ ය. ඒ නිසා ඔහු නාසින්ගේ වධ බන්ධනවලට හසු නොවුනත් ඔහුගේ පවුලේ සියලු සාමාජිකයෝ ඊට ගොදුරු වූහ.

1941- 45 අතර කාල සීමාව තුළ නාසීන්ගේ මහා ජන සංහාරය හැඳින්වීමට ඉංගිරිසි බසින් එයැ ්‍යදකදජ්මිඑ යන පදය යෙදේ. නාසින්ගේ වධ හිංසාවලට ලක් වූ බොහෝ යුදෙව්වන් විසින් එහි අමානුෂික ක්‍රෑරත්වය ගැන විග්‍රහ කරමින් ලියා ඇති විවිධාකාර සාහිත්‍ය කෘති සංඛ්‍යාව නිමක් නැත. එහෙත් සෝවියට් යුදෙව්වන් වෙතින් එවැනි කෘති බිහි නොවී ය. ස්ටැලින් සමයේ ඊට තහංචි පැනවී තිබු බව සඳහන් ය. ඊට හේතුව ලෙස ඇතැම් විචාරකයෙක් පෙන්වා දෙන්නේ සෝවියට් බලධාරීන් වූ රුසියානුවන් තුළ ද සිය දේශයට අයත් ව සිටි යුදෙව් ජනයා ගැන හිට්ලර්ගේ කණ්ඩායම තුළ වැනි ම වු නොපැහැදීමක් පැවැති බවයි.

යුදෙව්වකුගේ අවමගුලක දී පවා ඔවුන් ක්‍රියා කර ඇත්තේ සමාන රුසියානුවකුගේ අවමඟුලක දී දක්වන ගෞරවය ඇති ව නොවන බව සඳහන් ය. දෙවන ලෝක මහා සංග්‍රමයේ දී නාසින්ට එරෙහිව යුද වැදුණු රුසියානුවන් ගැන සඳහන් වන කෘති තිබේ. එහෙත් නාසීන් විසින් ගෙටෝවකට කොටු කරනු ලැබූ යුදෙව්වෝ සහ ඔවුන් අතරින් පෙරමුණේ සටන් කළ වීරයෝ අපට හමු නොවෙති. රිබකොව් අපට ඉදිරිපත් කරන්නේ එයාකාරයේ මිනිසුන් ය.

නාසීන් බොරිස්ගේ නැගනිය වන ඩීනා මරා දමන්නේ කුරුසියේ තබා ඇණ ගසා ය. ඇය කොම්සොමෝලයේ ගායක කණ්ඩායමේ සාමාජිකාවක් නිසා ඇණ ගසන්නට පෙර සින්දුවක් කියන ලෙස ඇයට නියම කොර්. එය ප්‍රතික්‍ෂෙප කළ විට වමතට ඇණ ගසනු ලැබේ. විසඥ වන ඇය අමිහිරි සරින් කිසියම් පද කිහිපයක් කියයි. බොරිස් මෙසේ ලියයි: “ඇය එවේලේ ගායනා කරන්නට තැත් දැරූ ගීතය කුමක් ද යි මම නොදනිමි. සමහරවිට යුදෙව් ගීයක්, යුක්රේනියානු හෝ රුසියානු ගීයක් විය හැකි ය. එසේත් නැත්නම් අපගේ යෞවනයේ අපේක්‍ෂාවේ ගීතය වන ‘ජාත්‍යන්තර ගීතය’ විය හැකි ය.” යුදෙව් වුව ඇයත් කමියුනිස්ට් සාමාජිකාවක බව ඇඟවෙන්නේ එමගිනි.

ඉතින් ‘බර වැලි’ මුල් ම සෝවියට් හොලෝකොස්ට් සාහිත්‍ය කෘතිය ලෙස සැලකුම් ලබන්නේ ඒ පසුබිමේ ය.

කතාව අපට ඉදිරිපත් කරන්නේ හැට හැවිරිදි බොරිස් ය. එහෙත් කතා නායකයා ඔහු නොව ඔහුගේ පියා වන යාකොව් ය. ස්විස් වැසියකු වන යාකොව් සිය පියා සමග යුක්‍රෙනයේ ගමක සිටින සිය නෑදෑයන් වෙත එළැඹෙයි. එහි දීි ඔහු රාඛෙල් නම් රුවැත්තිය දකියි.

දුටුමනතින් ම ඇය හා ආදරයෙන් බැඳෙන ඔහු පසු දවසක පැමිණ ඇය ආවාහ කරගෙන සිය රටට කැන්දා ගෙන යයි. එහෙත් බිරිඳට එහි වසනු නොහැකි ය. ඇය ආපසු සිය ගමට එයි.

ඇය නැතිව එහි දිවි ගෙවනු නොහැකි යාකොව් ද ඇගේ ගමට පැමිණ වෛද්‍ය ශිෂ්‍යයකු වශයෙන් වූ සිය අධ්‍යාපනය හැර පියා එහි පදිංචි වෙයි. ඔහුගේ ඉරණම තීරණය වන්නේ මේ සිද්ධියෙනි.

කිසිදු වෘත්තියක් නොදන්නා නිසා ඔහුට නොයෙකුත් තැන්වල වැඩ කරන්නට සිදුවෙයි. ඔහු සියල්ල සතුටින් විඳ දරා ගනිමින් බිරිඳ සහ දරු පවුල සමග ඒකාකාරී ප්‍රෙමයෙන් වෙලී හිඳියි.

නාසින්ගේ ආක්‍රමණය සිදුවන්නේ ඒ අතරතුර ය. නාසීහු සියලු යුදෙව්වන් ගෙටෝවකට කොටු කරති. සිය ස්විස් සම්භවය නිසා යාකොව්ට ගැලවෙන්නට ඉඩ ප්‍රස්තා තිබුණත් ඔහු සිය බිරිය හා දරුවන්ගෙන් වියෝ වන්නට අදහස් නොකරයි.

ඔහුගේ පුත් බොරිස් අපට කියන්නේ යාකොව් නමැති අවංක, ඍජු ප්‍රතිපත්ති ඇති ආදරණීය මිනිසාගේ කතන්දරයයි.

පෙර සඳහන් කළ පරිදි ම පොතේ අවසන් කොටසේ දී නාසීන්ගේ කෲරත්වය පැහැදිලි ව චිත්‍රණය වන පරිදි බොරිස් අපට කතාව කියයි, ඔහු මේ ඉදිරිපත් කරන්නේ සියැසින් දුට දේ නොවන බව පාඨකයා දනියි. එහෙත් අපගේ විශ්වාසය තහවුරු වන පරිද්දෙන් ඒවා නිරවුල් ව කියයි. බොරිස්ගේ ස්වරයේ අභිමානය මෙන් ම කෝපය ද, සත්‍යතාව මෙන් ම හැඟීම්බරබව ද, කණගාටුව ද නාසි කෲරත්වය සමග මුසු වී ඒකාත්මික වී ගලා හැලෙන අයුරු මෙහි අපට අත්විඳිය හැකි ය.

නාසීන් අතින් පරම්පරා හතරක මිනිසුන් ඝාතනය වන ආකාරය අපට බොරිස් කියයි. රාඛෙලෙන්කෝ නමැති ඔහුගේ සීයාත්, යාකොව් නමැති ඔහුගේ පියාත්, සාශා සහ ඩීනා යන සුරතල් නම්වලින් හැඳින්වුණු ඔහුගේ බාල සොහොයුරාත් සොහොයුරියත්, ඉගෝර් නමැති ඔහුගේ සොහොයුරාගේ පුතාත්, ඊට උදාහරණ ය. යහපත් ලෙස සිතන වැඩිහිටියන් මෙන් ම තරුණ තරුණියෝ ද දරුවෝ ද මෙහි අපට මුණ ගැසෙති.

මේ කෘතිය භාෂා පණහකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇති අතර පිටපත් මිලියන පහක් පමණ අලෙවි වන්නට ඇතැයි ගණන් බලා තිබේ.

චූලානන්ද සමරනායකගේ කෘතියක් වන‘බර වැලි’ සුභාවි ප්‍රකාශකයන් විසින් 2008 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලදී .

අදහස්