වර්ණ රේඛා­වෙන් නෙක සිතු­වම් මවන සිත්තරා චාල්ස් රණ­තුංග | සිළුමිණ

වර්ණ රේඛා­වෙන් නෙක සිතු­වම් මවන සිත්තරා චාල්ස් රණ­තුංග

වර්ෂ 1945ක් වූ ජනවාරි මස 20 වන දින දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදී මෙලොව එළියදුටු ගලතුරගේ චාර්ල්ස් රණතුංග අත්තිඩිය බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පසුව දෙහිවල ක්‍රයිස්ට්චර්ච් විද්‍යාලයෙන් හා මරදාන ශ්‍රී ලංකා යන පාසල්වලින් වැඩි දුරඅධ්‍යාපනය ලැබූ හෙතෙම උසස් අධ්‍යාපනය සඳහා රජයේ හේවුඩ් කලායතනයට (සෞන්දර්ය විශ්වවිද්‍යාලය) ඇතුළත් වන්නේය.

පාසල් අවධියේ සිට ම චිත්‍ර, නැටුම්, සංගීතය වැනි සෞදර්ය විෂයයන් කෙරෙහි ඇල්මක් දැක් වූ හෙතෙම චිත්‍ර, මූර්ති හා කැටයම් කලාව පාරම්පරික උරුමයෙන් ලැබූවෙකි. අඛණ්ඩව දශක තුනක් තිස්සේ වෙසක් තොරන් සිතුවම් කරන රණතුංගයෝ මෙරට තොරන් ඉතිහාසයේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළ අයෙකි. එමෙන්ම චිත්‍ර කතා පත්තර හා සඟරාවලට ලිපි සපයමින් කලාවේ උන්නතිය වෙනුවෙන් වෙහෙසුණෙකි. මේ වන විට චාල්ස් රණතුංග, ඩී.ඒ.සී රූපසිංහ (බිරිය) හා ශ්‍යාමා ඉන්දුමතී රණතුංග (දියණිය) තුන් ඈඳුතු සිතුවම් දැක්මක් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ හෙට පැවැත්වේ. මේ ඒ පිළිබඳව ඔහු සමඟ කළ කතාබහකි.

 

ඔබ චිත්‍රකලාවට අවතීර්ණ වෙන්නේ කොහොමද?

චිත්‍ර ඇඳීමට දක්ෂ මගේ ඥාති මාමා කෙනෙක් හිටියා. මම කුඩා කාලයේ පටන් පුරුද්දක් විදියට නිතර එහේ ගියා. ඔහු චිත්‍ර අඳින හැටි මම බලන් හිටියා. මට ආශාවක් ආව මම මේ විදියට අඳින්න ඕන කියලා. ඊට පස්සේ මම දිගටම චිත්‍ර ඇන්දා. එහෙම කාලයක් යද්දී අත්තිඩියේ තොරණ අඳින්න අවස්ථාව උදා වුණා. ඒ අතර මම සංගීතයටත් අසීමිතව ඇලුම් කළා. ඔය අතරේ අපේ මාමගෙ ගෙදරට නිතර යන එන කලාකරුවන් එක්ක මගේ සම්බන්ධතාව ගොඩනැඟුණා.

ඒ අය අතර චිත්‍ර ශිල්පීන්, රංගන ශිලිපීන් වගේම සංගීත ශිල්පීනුත් හිටියා. ඒ අය මට උපදෙස් දුන්නා ඔයා මේ දේ කරන්න මේ දේ කරන්න කියලා. ඒ විදියට එක ගුරුවරියකගේ උදව් ඇතිව මම හේවුඩ් එකට ඇතුළත් වුණා. එතන ඉඳල මෙතෙක් කල් ලබපු අවිදිමත් අධ්‍යාපනය විදිමත් වෙන්න පටන් ගත්තා. බටහිර චිත්‍රකලාව වගේම සාම්ප්‍රදායික සිතුවම් කලාව පිළිබඳව එහිදී වඩා ක්‍රමවත් අධ්‍යාපනයක් මට ලැබුණා. ඒ විදියට තමයි මම චිත්‍ර කලාවට ආවේ.

 

ඔබ ඒකාලේ චිත්‍රකලාව ප්‍රගුණ කළේ මොන ගුරුවරුන් යටතෙද?

ස්ටැන්ලි අබේසිංහ, එස්.බී. චාර්ල්, ඩේවිඩ් පෙන්ටර්, පී.වනිගතුංග යන ආචාර්යවරුන් යටතේ මම අධ්‍යන කටයුතු කළා. අදටත් බොහෝ පැරණි චිත්‍ර සංරක්ෂණය වෙලා තියෙන්නේ මේ අය ලබා දීපු දායකත්වය නිසා. දඹුල්ල, දෙගල්දොරුව වගේ තැන්වල චිත්‍ර හරිම සුවිශේෂීයි. දෙගල්දොරුව ගත්තොත් එහි අඟල් හයක පමණ තීරුවක විදුලි ආලෝකය නැතිව ඒ තරම් සියුම්ව රේඛාව යොදාගත්තේ කොහොමද කියල පුදුම හිතෙනවා.

මං හිතන්නේ ඒවගේ දක්ෂතාවක් ප්‍රකට කරපු තැනක් ලෝකෙ කොහේවත් නැතුව ඇති. අද අපේ රටේ මේ විෂය ඉගෙන ගන්න බොහෝ දෙනා බටහිර චිත්‍රශිලිපීන් හා ඔවුන්ගේ චිත්‍ර ශෛලීන් හදාරනවා. ඒක ඉතාම හොඳයි නමුත් අවාසනාව කියන්නේ ඔවුන්ට දේශීය චිත්‍රවල තියෙන වටිනාකම මඟහැරිලා. ඒ නිසා කොතරම් දක්ෂ තරුණ සිත්තරුන් අද මේ රටේ හිටියත් මේ ස්ථානවල චිත්‍ර සංරක්ෂණය කරන්න ඔවුන් දායක වෙනවද කියන ප්‍රශ්නය මතුවෙනවා.

නමුත් ලෝකයේ අනෙක් රටවල්වල මේ විදියේ පැරණි සිතුවම් ආරක්ෂා කරන්න වැඩ පිළිවෙළක් තියෙනවා. අපෙත් එහෙම තිබුණු කාලයක් තිබුණා. නමුත් දැන් ඒවා අභාවයට ගිහින්. ඒත් අදත් ලෝකයේ නන්දෙසින් එන සංචාරකයින් බලන්න යන්නේ ඒ චිත්‍ර.

අපේ තරුණ සිතුවම් ශිල්පීන්ගේ චිත්‍ර ඔවුන් විශාල මුදලක් දීල අරන් යන්නේ ඒ අය අඳින චිත්‍රවල තියෙන වටිනාකමටත් වඩා මේවගේ සම්ප්‍රදායක් තියෙන රටක චිත්‍ර ශිල්පියකුගෙ සිතුවමක් තමන් සතු කර ගත්තා කියන අදහසින්. ඒත් මේ තත්ත්වය අද රටේ ඉන්න තරුණ සිතුවම් ශිල්පීන් අවබෝධ කරගෙන ඉන්නවද කියන්න මම දන්නේ නැහැ.

මේ මෑතක මම ගංගාරාමෙට ගියා. හාමුදුරුවෝ හරියට කණගාටු වුණා, අපිට උදව්වක් කරන්න කෙනෙක් නැහැයි කියලා. මොකද අද ගොඩක් දෙනා මේ දේවල්වලට යොමුවෙන්නේ මුදල් පරමාර්ථයෙන් පමණයි. ඒ විදයට පැරණි සිත්තරුන් හිතුව නම් අපිට අද මේතරම් සිතුවම් ප්‍රමාණයක් ඉතිරි නොවෙන්න තිබුණා. අද මේ වටිනා සිතුවම් ආරක්ෂා කර ගන්න තියෙන එකම දේ වෙලා තියෙන්නේ සී.සී.ටී.වී කැමරා.

 

ඔබට සෝමබන්දු විද්‍යාපති ගුරුන්නාන්සේ හම්බවෙන්නේ කොයි කාලෙද?

මම සාමාන්‍ය පෙළ හදාරන අවධියේ තමයි මට එතුමා මුණ ගැසෙන්නේ. දස්කොන් චිත්‍රපටියේ පසුතල හා ඇඳුම් ආයිත්තම් නිර්මාණය කළ නිර්මාණ ශිල්පියා වුණේ එතුමා. මගේ මාමගෙ පසුබිමත් එක්ක මට ඒ සඳහා දායක වෙන්න ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. එහිදී එතුමගෙ ගුරුහරුකම් යටතේ කටයුතු කරන්න අවස්ථාව උදා වුණා. ඒ විදියට මගේ ජීවිතයේ අමතක නොවන ගුරුවරයෙක් බවට එතුමා පත් වුණා.

 

සාම්ප්‍රදායික නැඹුරුව හා ගුරුහරුකම් නිසා වෙන්න ඕන ඔබේ සිතුවම් ශෛලිය බවට රේඛාව පත් වී තිබෙන්නේ. මට කියන්න ඔබ චිත්‍රය අර්ථ දක්වන්නේ කොහොමද?

ඔව්, ඔබ කියන දේ නිවැරදියි මම ගොඩක් ඇලුම් කළේ සම්ප්‍රදායට. ඒවගේම මට ගුරුවරුන් වුණේ සම්ප්‍රදාය කෙලපැමිණි ගුරුවරු. මේකෙන් කියන්න බැහැ මම සම්ප්‍රදායටම කොටු වූවෙකු කියා.

මම බටහිර සමප්‍රදාය ගුරුකොට ගනිමින් සිතුවම් ඇඳ තිබෙනවා. පැරැන්නන්ගේ මතය අනුව යමින් චිත්‍රය කියන්නේ කතා කරන භාෂාවක් ලෙසයි මා දකින්නේ. මානව සම්භවයට ගියොත් ඔවුන්ගේ මුල්ම භාෂාව වුණේ චිත්‍ර ඊ ළඟට සංගීතය ඊට පස්සේ නැටුම මේ සියලු දේම විශ්ව භාෂා. මේ සෞන්දර්ය ලකාවෙන් උත්පාදනය වුණු දේවල්තමයි අවසානයේ ලේඛන කලාව දක්වා පැමිණ තිබෙන්නේ. ඉතින් මේ විශ්ව භාෂාව උපයෝගී කරගෙ අපට අවශ්‍ය දේ පැවසිය හැකියි. ඒ සඳහා රේඛාව, වර්ණ, හැඩතල පමණක් නෙමෙයි විවිධ ද්‍රව්‍යය පවා මේ සදහා යොදාගන්න පුළුවන්. මේ මොනදේ යොදාගෙන කළත් අපි කරන්නේ මේ හරහා කිසියම් සන්නිවේදනයක් සිදු කිරීමයි. චිත්‍රය භාෂාවක් වෙන්නේ ඒ නිසයි. 

අදහස්