විශ්‍රා­මික සිංහයා | සිළුමිණ

විශ්‍රා­මික සිංහයා

 

චාන්දනී තරුණයින් රැළකට මැදිව සිංහයාට මුවා වුණ රූපය දෙස මුණසිංහ රාළහාමි ඇහි පිල්ලමක් නොගහා වික්ෂිප්තව බලාගෙන හිටියා. කවදාවත් දැකල නැති චාන්දනීගෙ මෙම වික්‍රමය පිළිබඳව, මුණසිංහ රාළහාමි තම හිතේ ඇති සන්තාපය දරාගත්තෙ රූපවාහිනි තිරේ ආලෝකයත් එක්ක බොහෝම අසීරුව. ඒ එක්කම අතීතයට හිත අරන් ගිය ඔහු කාකි නිල ඇඳුමත් එක්ක ගෙවපු ජීවිතේ නොයෙක් අහුමුලු හොයන්න පටන් ගත්තා. මිනිස්සුත් එක්ක හැකිතාක් සාමදානව ගත කළ රාජකාරි අතීතය ළග ඔහුගේ හිත මඳකට නැවතුණා. ඔහු වමතින් දකුණු බාහුව අතගෑවෙ පරණ පුරුද්ද තවමත් අමතක කරන්න බැරිවුණ නිසයි. “ධම්මොහවේ රක්ඛතී ධම්ම චාරී” තාමත් ඇඟේ එල්ලගෙන ඉන්නව වාගෙයි ඔහුට හිතුණෙ. “අද එහෙම කරල ප්‍රශ්න විසඳන්න බැහැ අන්කල්..... ඔය පුරුද්දට අලෝගෙන ඉන්නව මිසක්” පැන්ෂන් යන දවස්වල පොලීසියට අලුතින් බැඳුණු තරුණ සංජීවව ඔහුට මතක් වුණා.

ට්‍රක් රථය ඉහළින් ඇදී එන ජල ප්‍රහාරයට නෑවෙමින්, චතුරස්‍රයේ බොරු සිංහ රැළ එදෙස බලා සිටින්නෙ චාන්දනී සහ මිතුරන්ට තව තවත් හව්හරණය සපයමින්. ඒ රුදු නොවෙනස්වන බැල්මට ඔහු ඇලුම් කළා. ඊළගට සම්ප්‍රාප්ත වන්නේ කඳුළු ගෑස් ප්‍රහාරයක් සමඟින් රබර් බෝල උණ්ඩ බව, චාන්දනීලටත් ලෙින් ඔය බොරු සිංහයෝ දන්න බව මුණසිංහ රාළහාමි දන්නෙ වසර තිස් පහක පමණ තම රාජකාරි අතීතයෙ, බොහෝ දේවල් සිහිගන්වමින්. “උපාධිධාරීන්ට රැකියා දියව්” කියල ලියපු බෝඞ් කිහිපයක්ම, ඇඹරිලා වතුරට පෙඟිල, කඳුළු ගෑස්වලට වැහිලා සිංහයො ළගම මළගම් ගියේ දෙන්න රැකියා නැති බව ව්‍යංගයෙන් කියාපාමින්. වතුරවලට පෙඟිල, සුදු ගෑස් දුමාරයට පිටි ගුලියක් මෙන් ඇනෙන, තරුණ ජීවිතවලට රබර් උණ්ඩ වැදුණෙ තවත් පදමට ඇනෙන්න වගේ. වෙ‍ෙළඳ සැල ඇතුළෙ එල්ලිල ගනුදෙනු කරුවන්ගෙ ඇස් රවට්ටන යෝධ රූපවාහිනිය දිහා බලාගෙන හිටියත්, එහි කඳුළු ගෑස්වල සැර මුණසිංහ රාළහාමිගෙ ඇස්වලටත් තදින්ම දැනුණා.

උපාධිධාරින්ට රැකියා ඉල්ලල ආණ්ඩුවට බලකිරිමේ උද්ඝෝෂණය පටන්ගත්තෙ නිදහස් චතුරස්‍රය අසලින්. එහෙත් එයට වැඩි දුරක් යෑමට නොලැබුනේ ගල් ගෙඩි මෙන් නිහඬව සිටින, චතුරස්‍රයේ ආරක්ෂක සිංහ රැළ බලාන ඉන්දිමයි. උණ්ඩවලට බයේ දුවන තරුණ තරුණයින්ගෙ රූප දිහා මුණසිංහ රාළහාමිගෙ උපැස් යුවළ කැරකෙන්න පටන්ගත්තෙ, මහපාර අයිනෙ තියෙන මාර වෘක්ෂයකට කැමරාකාරයගෙ කැමරාව මුවාවෙලා රූප රාමු ගහට වැහිල නොපෙනි ගිය නිසයි. ඔහු තම ඇස්වලින් නැවතත් සෙව්වෙ චාන්දනීව. අන්තිමේදි දුවන කෙල්ලො කොල්ලෙන්ගෙ රූප බොඳවෙලා ගිහිල්ල කැමරාව නැවතුනේ උන්ගෙ කකුල්වලින් ගිලිහිලා ගිය සෙරෙප්පු කුට්ටම් අතර විතරයි. පටි ගැලවුණ, වතුරට පෙඟුණු සෙරෙප්පු කුට්ටමක් ළග කැමරාව විශාලනය වෙලා ඊළග ප්‍රවෘත්තියට මාරුවෙන කොට, මුණසිංහ රාළහාමි බිම බලාගෙන අතේ ඇති ලේන්සුවෙන් දෑස් පිහදැම්මා.

“කලා උපාධියක් නේද?”

“ඔව් සර් ගෞරව”

“ඒත් කලා නෙ..... මීට කලින් කොහෙ හරි වැඩ කරල තියෙනවද?”

“නැහැ සර්”

“ඒ කියන්නෙ වර්ක් එක්ස්පීරියන්ස් නැහැ?”

“තියෙනව සර්”

“මොන වගේ ඒවද?”

“කැත්තෙ උදැල්ලෙ වැඩ... ගමේ සමිති සමාගංවල සමාජ සේවා වගේ වැඩ... පළපුරුද්දක් ගන්නත් කොහෙ හරි වැඩ කරන්න ඕනනෙ... දැනට මට එක්ස්පීරියන්ස් කියල තියෙන්නෙ ඔච්චරයි සර්.......... ඇයි සර් හිනාවෙන්නෙ..........?

“නැහැ නිකං...... තාත්තගෙ රැකියාව?”

“පොලිසියෙ..... සාජන් වෙනකං ඉහළට ගිහිල්ල තියනව..... දැන් පැන්ෂන්”

“ඔය අනං මනං බහුබූත කියවන්න යන්න එපා.... ආණ්ඩුවෙ වැඩ කළා කියපං... ඒ ඇති.. අලගිය මුලගිය තැන් උන්ට මොකටද?”

“ආණ්ඩුවෙ කොහෙද?”

“කොහෙ වැඩ කළත් ආණ්ඩුවෙනේ......ඔය මොකක් හරි දෙපාර්තමේන්තුවක නමක් කියපං”

ඒ හැමදෙයක් ගැනම මැද්දට පැනල උපදෙස් දුන්නෙ සිරියා.

“සම්මුඛ පරීක්ෂණවලදි තාත්ත ගැනත් අහනවද?.... තාත්තයැ වැඩ කරන්නෙ මමනෙ”

“සමහර කොම්පැනිවල ලොක්කො, තාත්තල විතරක් නෙමෙයි මුත්තල කිරිකිත්තල ගැනත් අහනව”

ඒ කිසිදේකට දෙන්න උත්තරයක් ඔහු ළග තිබ්බෙ නැහැ. බිරිඳ සිරියගෙ අඳෝනාවත් එක්ක කිසිම උත්තරයකට පැවත්මක් නැති බවත් ඔහු හොඳින් දන්නවා.

චාන්දනී හා පුරා කියල යන්න ලක ලැහැස්ති වුණ මුල්ම සම්මුඛ පරීක්ෂණයේ අකුරක් නෑර සිද්ද වෙච්ච දේවල්වල රූප රාමු ඔහුගේ මතකයට ආවා. ඒ සියල්ල අසාර්ථක වූ කල චාන්දනීටත් වැඩිය පශ්චත්තාප වුණේ මුණසිංහ රාළහාමි.

ගමේ පරණ මිනිස්සු සමහරුනම් කවුරුත් නැති තැන චාන්දනීට කිව්වෙ, “රාළහාමියගෙ විශ්ව විඡ්ඡාල කෙල්ල”, නැත්තම් “පොලිස්කාරයගෙ දුව” කියල. චාන්දනී නොදන්නව වුණාට මුණසිංහ රාළහාමිට එහෙම ඇහිල තියෙනව. ඒකි ඒක දැනගත්තොත් “ඔව් ඇයි? මං පොලිස්කාරයගෙ දුව තමයි... උඹලද අපට කන්න අඳින්න දෙන්නෙ?” කියල අහන බවත් ඔහු හොඳාකාරවම දන්නවා.

“සිරියො දුව උදෙන්ම කොහෙද ගියේ?” මුණසිංහ රාළහාමි උපැස් යුවළ යටින් බිරිය දිහා බැලුවා.

“ඔය මොකක්ද මන්ද උද්ඝෝෂණයක් කියල කිව්වෙ... කහට උගුරක්වත් නොබී ගියේ.. අනේ මන්ද?”

“කාට විරුද්ධවද?”

“කොහෙ ඉන්න විරුද්ධකාරයොද?... ආණ්ඩුවෙන් ජොබ් ඉල්ලලනෙ ඔය... උපාධියකුත් තියාගෙනනෙ දෙයියනේ මෙච්චර නැහෙන්නෙ.....”

ගේ ඉදිරිපස සමන් පිච්ච ගහ උඩ එක පොදියට රණ්ඩුවෙන දෙමලිච්චො රෑන දිහා මුණසිංහ රාළහාමි දෑස් දල්වාගෙන බලාන හිටියෙ, උපැස් යුවළ අතට ගෙන එහි වීදුරු පිහදාන ගමන්. උන් ටික රණ්ඩුවෙන්නෙ අහම්බෙන් ලැබුණ පාන් කැබල්ලක් බෙදාගන්නට බව ඔහුට පෙනුණෙ අපැහැදිලි චිත්‍රයක් ලෙසින්.

“දැන් උදේ නවයටත් කිට්ටුයි මයෙ හිතේ... පැන්ෂන් පඩිය ගන්නෙ යන්නෙ නැද්ද?” සිරියා කෑගැහැව්වෙ තේ කෝප්පය හදන ගමන්. ළගකදි ඉඳන් කනස්සල්ලෙන් හා නොරිස්සුමෙන් හැසිරෙන බිරිඳ ගැන ඔහුට තියෙන්නෙ බියක්. “ඔහොම ගිහිල්ල සිරියත් ලෙඩ වෙයිද මන්ද?” ඔහුට එහෙම හිතුණා.

“ඕක කොයිවෙලේ ගත්තත් මොකද?... බැංකු පොතකට ඉතිරියට දාන්නයැ... ණය ඉලව් බේරනව මිසක්.”

“ගෑස් සිලින්ඩරෙත් ඉවරයි. දවල්ට බත් හැළියවත් උයාගන්න ගෑස් ඇතිවෙයිද මන්ද?” වෙනදා වගේම සිරියගෙ අඬෝවැඩියාව අද තරමක් වැඩියෙන් ඔහුට ඇහෙන්න පටන් ගත්තා. කහට කොප්පයේ අන්තිම බින්දු කිහිපය මිදුලේ වැල්ලට විසිකළ මුණසිංහ රාළහාමි, මුහුණ, කට හෝදාගෙන එළියට බැස්සෙ, උළුවස්සට හේත්තුවෙලා තමන් දිහා බලන් ඉන්න බිරිඳ දෙස නැවත වරක් හැරී බලමින්.

“කාලෙකින් ලොකු එකීගෙ මුහුණ දැක්කෙ නැහැ.... එදා දරුවත් එක්ක ආපු දවසෙ තමුන් ඒකිගෙ ඇඟට කඩන් පැන්නායින් පස්සෙ ගියා ගියාමයි... උන්නද මළාද දන්නෑ?”

“මතක් කරන්න එපා ඕකිව... අපේ මූණෙ දැලිගාල... දැන් එනව මෙතැන අම්මෙ කියාගෙන”

“දැන් අපේ පැත්තෙ හැම ගේකම වගේ තියෙන්නෙ ගෑස් සිලින්ඩර්නෙ සිරියො. දැලි ගෑවෙන්න තරං මූණත්තහඩු කොහෙද මිනිස්සු ළඟ... දැන් ඒව පිච්චිල ගෑස් සැරට කඳුළු ගලනව මිසක්කා... ඒකි එහෙමවත් ගියේ නැත්තං අපිට දෑවැදි දීල මිනිස්සු හොයල දෙන්න තරං වත්කමක් තිබ්බද?”

“තමුන්ගෙ ලීලෙ තමයි ඔය හැම හෙනේටම හිටියෙ... කොච්චර නැතිබැරිකං තිබ්බත් ජීවත්වෙන්න බැරි අපතයොත් එක්ක පැනල ගිහිල්ල හරියනවද?.....”

ඔහු උගුරෙ රැල් බුරුල් හැරල මිදුුලට බැස්සෙ, උපැස් යුවළ ලේන්සුවෙන් නැවතත් පිරිමදින ගමන්මයි. පුරුද්දක් වශයෙන් ඔහු තැපැල් කන්තෝරුව වෙත ගමන් කරන්නේ පයින්මයි. පැයකට ආසන්න කාලයක් ගතවෙන ඒ ගමනට ඔහුගෙ හිත තුළ ලොකු කැමත්තක් තිබ්බා. අතරමඟදී හමුවෙන හිතවතුන් සමග වචනයක් දෙකක් කතා කිරීමත් ඔහුට සැනසිල්ලක්. “රාළහාමිලගෙ කාලෙ වගේ නෙමෙයි දැන්... බලන්ඩකො ටෙලිවිෂන් එකෙන්, පත්තරේ අතට ගත්තම මිනිමැරුම්, හොර මංකොල්ලකෑම් පිරිලනෙ” ඔහු එහි මුල් වචන පෙළට විතරක් කවදත් ප්‍රිය කළා.

නානා මාදිලියේ අදහස් උදහස්වලින් හෙබි, විශ්‍රාමිකයන් පිරී සිටින තැපැල් කන්තෝරුවෙදි මුණගැසෙන විශ්‍රාමික ගුරුවරියක් වූ, මැණික්හින්න මහත්මිය මුණගැසීම ඔහුට එක්තරා ආකාරයක වදයක් වුණා. මේ වගේ තැනක ප්‍රියයන් වගේම, අප්‍රියයන් හා එක්වද දොඩමලු වීම සාමන්‍ය දෙයක් නිසා ඔහු ඇගේ වචන දරාගත්තෙ බොහෝම ඉවසීමෙන්.

“මොකද අදත් මේ දාඩිය පෙරාගෙන.... අදත් පයින්මද ආවෙ?... හොඳයි හොඳයි.... ඇඟට ව්‍යායාමෙටත් එක්ක... ගාණකුත් ඉතුරුයිනෙ... මං නං හස්බන්ඞ් එක්ක හැමදාම හවසට වැව පැත්තෙ වෝක් එකක් යනව... ඒක නෙමෙයි දුවට තවම ජොබ් එකක් හරිගියෙ නැද්ද?”

එම ප්‍රශ්නයට නම් ඔහුගේ හිත කවදත් රිදෙනවා. එවෙලෙට ඔහු බිම බලාගෙන කේන්තිය නිවාගන්නෙ බොහෝම පරිස්සමෙන්.

“ඔය කිසිම කමකට නැති කලා උපාධියකින් ඇති වැඩක් තියෙනවද මුණසිංහ රාළහාමි...? මොකද ආණ්ඩුවට කියල ජොබ් අතින් හදන්ඩයැ.. දැන් බලන්න මගේ කෙල්ල... යන්තං වැඩ තුනක් පාස් උනා... ඉංග්‍රීසි ටිකක් අල්ලගත්තා.. රට ඇරියා.. ඩිග්රියක් අරන් මෙහෙ ආවම අඬ ගහල ජොබ් දෙන්නෙ.... දුවනං එන එකක් නැහැ... එයා කැමතියිලු ඒ රටේ නැවතිල ජීවත් වෙන්න... අපිත් හෙට අනිද්දා දුව බලන්න යන්න කියල”

එවෙලෙහිනම් ඔහු හිස ඔසවා ඇගේ මුහුණ දිහා බලා හිටියා.

“ඔය පිකටින් උද්ඝෝෂණ කරල වැඩක් තියෙනවද?.... වෙන්නෙ ගුටිකන්න නැත්තං මැරෙන්න. මට වැඩිය මුණසිංහ රාළහාමි ඒක හොඳට දන්නවනෙ”

අත්සනක් ගසා විශ්‍රාම වැටුප ලබාගත් ඔහු මැණික්හින්න නෝනව මග හරිමින් පිටවෙලා කෙලින්ම ගියේ ගෑස් කඬේට.

“සුනන්ද පුතේ මෙන්න මේ ගෑස් සිලින්ඩරේ අපේ ගෙදෙට්ට ගිහින් දාහං කොල්ලො... හිස් සිලින්ඩරේ එන ගමන් මුදලාලිට ගෙනත් දියං... මං කියල තියෙන්නෙ.. මෙන්න උඹේ ගාස්තුව” ඔහු හන්දියේ ත්‍රීවිලර් රථගාලේ දන්න හඳුනන තරුණයාට මුදල් ගෙවලා කෙලින්ම ගියේ එම හන්දියෙම ඇති කඩපොළට. එළවළු, කරවල, තුනපහ, කළමනා ටිකක් මිලට ගත් ඔහු ඉතිරි මුදල සාක්කුවෙ දාගත්තෙ ගෙදර ළග කඬේ ණය ටිකක් බේරන්න කියල හිතාගෙන. වෙළඳසලේ මුදලාලිගෙ කවුන්ටරේට පිටුපසින් සවිකරල තියෙන යෝධ රූපවාහිනී තිරයට ඔහුගෙ ඇහැ ගියේ කනට හුරු පුරුදු ප්‍රවෘත්ති විකාශනයේ ආරම්භක වාදනය ඇහුණු නිසා. සෙරෙප්පු කුට්ටම් ටික ලොකු කරල පෙන්නල සැණෙකින් වෙළඳ දැන්වීමකට තිරය මාරුවෙච්ච එක ගැන මුණසිංහ රාළහාමිගෙ හිතේ කෝපයකටත් වඩා ඇතිවුණේ කළකිරීමක්. ඒ සෙරෙප්පු කුට්ටම් අතරෙ පටි ගැලවිලා ඇඹරිල ගිය සෙරප්පු කුටටම් දෙක තුනක් ඔහුගේ හිත ඇතුළෙ අමුතු අමුතු රූප පෙළක් මැව්වා. විරාමයක් ලබාගෙන දැන්වීමකට ගිය රූපවාහීනී තිරයෙ, උත්සව කාලෙට පළඳින නොයෙක් මාදිලියෙ පාවහන් දැන්වීමෙ ලස්සන රූප පෙළ ළග ඔහුගේ ඇස් නැවතුණා. ගීත කෝකිලාවියක් වගේ තෙපලන සුන්දර ලලනාවියගේ හඬත් එක්ක දිලිහෙන, ඇත්දළ පැහැ පා යුගළෙ චමත්කාරයත් එක්ක, ඔහු හිටියෙ රැවටිල්ලකට අහුවුණ ඇස්දෙක, එයින් ගලවගන්න කොහොමද කියන සිතුවිල්ලෙන්. ඔහු ඉවත බලාගෙන ඒ වෑයම සාර්ථක කරගන්න උත්සහා ගත්තා.

“තාත්තෙ”

ඔහු පිටුපස හැරිල උපැස් යුවළ යටින් එම හඬ ආ දෙස හැරිලා බැලුවා.

එක්වරම පොඩි දරුවෙක් ඇවිත් ඔහුගෙ අතේ එල්ලුනේ සීයෙ කියමින්. ලොකුදුව චිත්‍රානි තමන් ඉදිරියේ පෙනී හිටින්නෙ බයාදු සිනහවක් මුවඟට නගාගෙන. ඔහු වෙ‍ෙළඳසලේ දොරපිලෙන් මඳක් ඈතට ගියේ චිත්‍රානියි දරුවයි එක්කමයි.

“උඹල කොහෙ යන ගමන්ද?”

චිත්‍රානිගෙ බයාදු අසරණ සිනහව කඳුළකට පෙරළෙන්න මොහොතක් ගතවුණා. මුණසිංහ රාළහාමි ඇගෙන් පිළිතුරක් ලැබෙනකම් පොඩි එකාගෙ හිස අතගෑවා.

“තිස්සව ලොරියෙන් වැටිල තාත්තෙ... කකුල කැඩිලා”

ඔහු තුෂ්ණිම්භූතව ලොකු දුව දිහා එක එල්ලේ බලාගෙන හිටියා.

“කුලියට වැඩකරන ලොරියෙන් බඩු වගයක් බාන ගමන් තමයි ඔය වින්නැහිය වෙලා තියෙන්නෙ... අපි මේ උදේ ඉස්පිරිතාලෙට ගිහිල්ල එන ගමන්”

ඒ වනවිටත් දරුවගෙ හිස පිරිමැදිල්ල නතරවුණු මුණසිංහ රාළහාමිගෙ අතේ දෑඟිලි එකිනෙකට අතුල්ලන්න වුණා. අනෙක් අතින් බිම තැබූ බඩුමල්ල දෙස නැවතත් ඔහුගේ නෙත් ගියා. කලමනා මල්ල මතින් මතුවෙලා පෙනෙන්නෙ චිත්‍රානිගෙ රූපය.... එකල තමන් රාජකාරිය නිමවී ගෙදර එද්දි දුවගෙන ඇවිල්ල ඇඟේ එල්ලෙන, ඇගේත් චාන්දනීගෙත් හුරුබුහුටි රූපයන් ඒ මතකයට කඳුළක් එක් කළා. දෙදෙනාම කාකි ඇඳුමට හිරවෙලා ඔහුගෙන් බලාපොරොත්තු වූ සෙනෙහසේ මිහිරියාවෙ මතකය එක්ක, ඔහු පොඩි දරුවගේ මුහුණ දිහා බැලූ බැල්මෙන් හිටියා.

“මගේ ළග ඩාදිය ගඳයි දරුවනේ..... තාම මූණ කටවත් හෝදගන්න බැරුව ගියා”

“ඒකට කමක් නැහැ... තාත්තගෙ දාඩිය ගඳ අපිට සුවඳයි තාත්තෙ” දෙදෙනාගේම කටහඬවල් එක සද්දෙට ඔහුට ඇහෙන්නට පටන් ගත්තා. අතීතයෙ මතක රූප හා බැඳී ඔහු මොහොතක් කල්පනා කරමින් හිටියා. ඉනික්බිතිව ඔහු සාක්කුවට අතදාල ගත්ත මුදල් කොළ කිහිපය දුවට දික්කළා.

“තාත්තට තියෙනවද තාත්තෙ?”

“ඒකට කමක් නැහැ... උඹ මේක ගනින්කො.. මේ කළමනා මල්ලත් අරන් ගෙදර ගිහිල්ල උයාගෙන කාල, හවසට තිස්සටත් කෑම ටිකක් අරන් පලයන්” ඔහු නැවත කඩයකට රිංගා චොක්ලට් එකක් මිලදීගෙන පොඩි දරුවගෙ අතේ තැබුවා.

“සීයා අපිව බලන්න එනවද සීයේ?”

“ඔව් පුතේ... මං දවසක පුතාව බලන්න එන්නංකො”

ඔහු නැවතත් පයින්ම ගෙදරට ගෑටුවෙ, ඉදිරියට මුණ ගැහෙන ගේ ළග කඬේ මුදලාලිව මග හරිමින්.

“මිනිහගෙ ණය ටිකත් කොහෙන් කොහොම හරි ගෙවල දාන්න ඕනෙ” ඔහු ඔහුටම මුමුණගත්තා.

ඔහු නිවසට විත් ඉදිරිපස ඉස්තොප්පුවෙ පුටුවට බරවෙලා ඈත අහස දිහා බලාගෙන හිටියා. කිසිම දෙයක් නොදොඩා ඔහේ බලාගත් අත බලාගෙන ගේ ඇතුළට වෙලා කල්පනා කරන, සිරියගෙ නෝක්කාඩු මුහුණ ඒ වැහි බර අහස පුරාම පැතිරිලා තිබ්බෙ, වලාකුළු අතර වරින් වර හැංගෙමින්. බෑගයත් කරේ එල්ලාගෙන ගේ ඇතුලට පය ඔසවන චාන්දනීගෙ රුව ඇහැ ගැටුණු විගස, ඔහු අහසෙන් ඇස් දෙක ඉවතට ගත්තෙ සැණෙකින්. ඔහුගේ දෑස් ගියේ ඇගේ නිරුවත් පා යුගල දෙසට. ඇගේ ඇඳුම තවමත් තෙත්ව ඇති බව ඔහුට වැටහුණා. ඔහු ඉස්තෝප්පුව ඉදිරිපිට ගලවපු තමන්ගෙ ගෙවිලා ගිය රබර් සෙරෙප්පු කුට්ටම දිහා තරමක් වෙලා බලාගෙන හිටියා. ගේ ඇතුළට රිංගපු දුවට ඔහු “චාන්දනී පොඩ්ඩක් මෙහෙට ආවනං” කිව්වෙ බොහොම සානුකම්පිතව.

“මෙන්න මේ සල්ලිවලින් සෙරෙප්පු දෙකක් ගනින්”

“තාත්තට තියෙනවද?” චාන්දනි තමාගෙ අත දික්කරන ගමන්ම ඇහුවා.

“මොනවද?”

“සල්ලි”

ඔහු එයට පිළිතුරක් නොදී සාක්කුවට හොරෙන් ඇහැ යවල, පපුව අතගෑවෙ තවත් සොච්චමක් හෝ සාක්කුවෙ ඉතිරි වී ඇත්දැයි දැනගැනීමට. ඉතිරි සොච්චමෙන් දවස් දෙකක්වත් ගොඩ යාගන්න පුළුවන් වෙයි කියල ඔහු හිත හදාගත්තා. උස්මහත් වූ තම දරුවන් පිළිබඳවත්, ආයසයෙන් තවමත් දරුපවුල රකින, අතට ගත් විගස දියවී යන, පැන්ෂන් පඩිපත කෙරෙහි ඇති ළෙන්ගතුකමත් එකට එකතුකොට, ඔහු ඔහුගේ හිත සනසගන්න සියුම් උත්සහායක් ගත්තා.

අදහස්