එකම පාසලේ එකට ඉගෙනගන්න හොඳම යෙහෙ­ළි­යන් දෙදෙනා ‘ටවුමේ ඉස්කෝලෙ’ එකට රඟපෑ හැටි | සිළුමිණ

එකම පාසලේ එකට ඉගෙනගන්න හොඳම යෙහෙ­ළි­යන් දෙදෙනා ‘ටවුමේ ඉස්කෝලෙ’ එකට රඟපෑ හැටි

මෙලීෂා යෙනුලි

ටවුමේ ඉස්කෝලෙ‘ කියන්නේ බොහෝ දෙනකු කතාකරන, බොහෝ පිරිසක් යන්න බලාපොරොත්තුවෙන් සිටින පාසලක්. ඉතින් මේ කවුරුත් ආදරය කරන ටවුමේ ඉස්කෝලෙ මේ දිනවල බෙහෙවින් ජනප්‍රියයි. එයට හේතුව මේ දිනවල තිරගතවන චිත්‍රපටයක් නිසයි. ගමෙන් නගරයේ පාසලකට පැමිණි ගැහැනු දරුවකු වටා ගෙතුණු සංවේදී කතාවක් වන ‘ටවුමේ ඉස්කෝලේ‘ ප්‍රේක්ෂක ආකරෂණය දිනා ගනිමින් ඊ ඒ පී සිනමාහල්වල මේ දිනවල තිරගතවනවා. ධම්මික අතපත්තු නිෂ්පාදනයක් ලෙසින් සුනිල් පේමරත්න කුලුඳුල් අධ්‍යක්ෂණය ලෙස නිර්මාණය කළ මෙම ළමා චිත්‍රපටයෙහි ප්‍රධාන රංගන භූමිකාවෙන් අප වෙත එන්නේ ප්‍රභාෂී පල්ලියගේ (ෂනලි) මෙලීෂා යෙනුලි (කවීෂා) දියණියන් දෙදෙනායි. එකම පාසලක එකම වසරේ ඉගෙනුම ලබන ප්‍රභාෂි සහ මෙලීෂා හොඳම යෙහෙළියන්. මේ දෙදෙනාගේ අනාගත බලාපොරොත්තු සහ නිර්මාණ ගැන අප සමග කතා බහ කෙළේ මෙලෙසයි.

ප්‍රභාෂි, යෙනුලි හොඳම යහළුවන්....

ඔව්, ඔව්, අපි දෙන්නා හොඳම යහළුවන්. (දෙදෙනාම පිළිතුරු දෙයි)

යාළුකම පටන්ගත්තෙ ‘ටවුමේ ඉස්කෝලෙන්ද?

නැහැ. අපේ ඉස්කෝලෙන්

එහෙනම් කියමු බලන්න ඉස්කෝලෙ ගැන විස්තර ටිකක්...

අපි දෙන්නම ඉගෙන ගන්නෙ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ. (ප්‍රභාෂි පිළිතුරු දෙයි)

ප්‍රභාෂි කොහොමද ‘ටවුමෙ ස්කෝලෙට‘ සම්බන්ධ වෙන්නෙ..

අපේ පාසලේ නාට්‍ය හා රංග කලා විෂයය උගන්වන ගයත්‍රි නයන කුමාරි මිස් තමයි සුනිල් ප්‍රේමරත්න සර්ට මාව හඳුන්වලා දුන්නේ මේ චිත්‍රපටයට. එහි තිර පරීක්ෂණයෙන් සමත් වුවාට පසුව ඒ අයට ඕනෑ වුණා මම වගේම තවත් රංගන ශිල්පිනියක්. ඒ අවස්ථාවේ මට එකපාරටම මතක් වුණේ මෙලීෂාව. එයා මගේ හොඳම යාළුවා වගේම අපි දෙන්නම එක වගෙයි. අපි දෙන්නටම එකවගේ දක්ෂතා තිබෙනවා. ඒ නිසා මම මෙලීෂගේ නම කිව්වා. පසුව එයාවත් මාව වගේම තිර පරීක්ෂණයට තියල තමයි මේ චිත්‍රපටයට තෝරා ගත්තේ. ඒ නිසා අපි දෙන්නටම එකටම රඟපාන්න පුළුවන් වුණා.

මෙලීෂාට චිත්‍රපටයට ආරාධනා කළාම මොකද හිතුණේ?

මුලින්ම අම්මා, තාත්තගෙන් අවසර ගත්තා. ඉන් පසු පාසලේ විදුහල්පතිතුමියගෙන් අවසර ගත්තා. සියලු දෙනාම අවසර දුන්නාට පසුව තමයි චිත්‍රපටයට සම්බන්ධ වුණේ. රඟපෑම ගැන නම් ගැටලුවක් තිබුණේ නෑ. පුංචි කාලෙ පටන්ම කැමරාව ඉදිරිපිට රඟපාලා තිබෙන නිසා. එහෙත් චිත්‍රපටයක් රඟපෑවේ පළමු වතාවට. දැන් මග තොටේදි ලැබෙන ප්‍රතිචාර, පාසලේදි ලැබෙන ප්‍රතිචාර දැක්කම සතුටුයි.

දෙන්නම පාසලේ කැපී පෙනෙන සිසුවියන් කියන්නේ ඇත්තක්ද?

අපි දෙන්නම පාසල් වැඩවලට වගේම බාහිර වැඩවලටත් දක්ෂයි. ඒ නිසා වෙන්න ඇති එහෙම කියන්නේ.

ප්‍රභාෂී මොනවද පාසලේදි කරන විෂය බාහිර වැඩ...

මම ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. පාසලේ විවාද සංගමයේ ඉන්නවා. ළමා නිවේදිකාවක් ලෙස වැඩ කරනවා. බෑන්ඩ් එකේ ඉන්නවා. ඔය වගේ පාසලේ විෂයන්ට අමතරව බාහිර වැඩ ගොඩක නියැළෙනවා.

බාහිර වැඩ ගොඩක් බදා ගත්තම අධ්‍යාපන වැඩවලට බාධාවක් වෙන්නේ නැද්ද?

මේ වනතුරු නම් අධ්‍යාපන වැඩවලට බාහිර වැඩ බාධාවක් වෙලා නැහැ. ඉදිරියටත් එහෙම වෙන එකක් නෑ.

මෙලීෂාත් යාළුව වගේම පාසලේ බාහිර වැඩ කරනවද?

මම ඉගෙන ගන්නේ සිංහල මාධ්‍යයෙන්. අපි දෙන්නම පාසලේ විවාද කණ්ඩායමේ ඉන්නවා. ඒ වගේම අපි දෙන්නම පාසලේ මාධ්‍ය සංසදයේත් ඉන්නවා. මම ඩාන්සින් කරනවා. පාසල් තූර්ය වාදක කණ්ඩායමේත් ඉන්නවා.

මෙලීෂා පුංචිකාලෙ සිටම රඟපෑවා කියන්නෙ ඇත්තක්ද?

මට වයස මාස හයෙන් තමයි රඟපාන්න අරන් තියෙන්නෙ. ඒ එක්තරා සබන් දැන්වීමකට. ඉන් පසුව මැගී නූඩ්ල්ස්, ඇස්ට්‍රා මාගරින්, හැපී කව් චීස්, ඩයලොග්, සර්ප් එක්සෙල්, කාර්ගිල්ස් මැජික්, සමහන්, ලයිෆ්බෝයි බජට් පැක්, මන්චි වගේ වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයකට පෙනී සිටියා.

 


කැරපොත්තන්ට බය නිසා හයියෙන් කෑගැහුවා

 ප්‍රභාෂී පල්ලියගේ

 මෙලීෂාගේ ලොකු අම්මා රංගන ශිල්පිනියක්...

ඔව්. ඇය මනීෂා නාමල්ගම. සරත් නාමල්ගම ලොකු අප්පච්චි. ලොකු අම්මා තමයි මාව කුඩා කාලයේ ඇය රඟපාන දැන්වීම්වලට අරගෙන තියෙන්නේ.

ප්‍රබාෂී නිවේදිකාවක ලෙස වැඩ කරන්නේ කුඩා කාලයේ ඉඳලමයි කියන්නේ ඇත්තද?

ඔව්. කුඩා කාලයේදීමයි ළමා නිවේදිකාවක ලෙස ක්ෂේත්‍රයට ආවේ. ස්වර්ණ වාහිනියෙ සහ ස්වාධීන රූපවාහිනියේ ළමා නිවේදිකාවක ලෙසින් වැඩ කරනවා.

‘ටවුමෙ ස්කෝලෙ‘ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාසලේදි නංගිල පොත් අරගෙන ඇවිත් අත්සන ගහන්න කියනවා. (ප්‍රබාෂි පිළිතුරු දෙයි)

මටත් එහෙම තමයි පාරේ යන්න බැහැ නංගිලා මල්ලිලා ඇවිත් ඔයා නේද‘ ටවුමෙ ස්කෝලෙ‘ ඉන්නෙ කියල අහනවා. පන්තියෙ ටීචර්ලත් අපිව අනික් ළමයින්ට ආදර්ශයට ගන්න කියනවා. ඉගෙනුම් වැඩත් එක්ක මෙවැනි දේවල් හොඳට කරන නිසා.

දෙන්නට චිත්‍රපටය රඟපාද්දී අමතක නොවන සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවුණේ නැද්ද?

සිදුවීම් නම් ගොඩක් තියෙනවා. මුලින්ම මම කියන්නම්කෝ. ප්‍රබාෂි පිළිතුරු දෙන්නට සැරසෙයි. මම කැරපොත්තන්ට හරිම බයයි. එක දර්ශනයක් තිබුණා කැරපොත්තන් දුවන. මට ඒක කරන්න බැහැ කිව්වම ඇස්දෙක පියාගන්න අපි කොළ කෑලි ටිකක් දාන්නෙ කියල කට්ටිය කීවා. මම ඇස් දෙක පියා ගත්තා. ඇස් ඇර බලනකොට මම ඉන්න තැන කැරපොත්තන් ගොඩක් ඉන්නවා. මම බයවෙලා කෑ ගැහුවා. ඒ දර්ශනේ හොඳටම කෙරුණා කියලා කට්ටියට හරි සතුටුයි. ඒත් මට නම් තාමත් ඒක මතක් වෙනවා.

මටත් සිදුවීම් ගාණක් තියෙනවා අමතක නොවන. එක දර්ශනයකට තාප්පයක් උඩ නගින්න කීවා. මම උඩ නගින්න හරිම බයයි. ඒත් මම තාප්පය උඩට නැගලා එම දර්ශනය හොඳටම කළා. තවත් අවස්ථාවක ප්‍රභාෂිව වොෂ් රූම් එකට දාල ලොක් කරන්න තිබුණා. ඒකත් අපි දෙන්නම හොඳට කළා.

ප්‍රභාෂිගෙ පවුලේ විස්තර ටිකක් කියමුද?

මගේ ගම කිරුළපන. මගේ පියා ප්‍රභාත් ප්‍රශන්ත පල්ලියගේ. ඔහු රාජ්‍ය බැංකුවක සේවය කරනවා. අම්මා ශිවන්ති වීරසිංහ. රූපලාවණ්‍ය ශිල්පිනියක්. මල්ලී පංකල් පංසිළු. කොළඹ රාජකීය විදුහලේ මේ වසරේ පළමු වසරට ඇතුළත්වුණේ.

මෙලීෂාගේ පවුලේ තොරතුරු...

මගේ ගම පානදුරේ. තාත්තා කපිල සිසිර කුමාර . වෙළෙඳ නාවිකයෙක් ලෙස විදෙස්ගත වෙලා සේවය කරනවා. අම්මා චමිලා කුමාරි. ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්. තාත්තා කොහේ හිටියත් දවස ගානෙම කතා කරල මගෙන් විස්තර අහනවා. තාත්තාට කියල තමයි මම හැම දෙයක්ම කරන්නෙ.

චිත්‍රපටය රඟපාද්දි ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහාය කෙබඳුඳ?

ගොඩක්ම බිමල් මාමා, තාරුකා අක්කා උදවු කළා. හැමෝම වගේ අපිව ගොඩක් ආදරයෙන් බලා ගත්තා. කියන්න ඕනෑ තේ හදන අංකල් පවා අපිට උදවු කළා. අපි දෙන්නාගෙම පළමු චිත්‍රපටය තමයි ‘ටවුමේ ඉස්කෝලෙ‘ කියන්නේ. මෙහි රඟපාන සියලුම දෙනාට ස්තූති වන්ත වෙනවා.

දෙන්නාගෙම අනාගත බලාපොරොත්තු..

විවිධ භාෂා හදාරා මාධ්‍ය වේදිනියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනටත් නිවේදන කටයුතු කරනවානේ ( ප්‍රබාෂි පිළිතුරු දෙයි) මගේ බලාපොරොත්තුව නීතිඥවරියක වීම. ඒ ගමන්ම වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටීමටත් හඬ කැවීමේ ශිල්පිනියක් වීමටත් බලාපොරොත්තුවක් තියෙනවා.

Comments