සොබා­ද­හමේ කඳු නැගීමේ රජා | සිළුමිණ

සොබා­ද­හමේ කඳු නැගීමේ රජා

විනෝදයට හෝ ක්‍රීඩාවක් ලෙසින් කඳු නැගීම තරුණ පිරිස් අතරේ බෙහෙවින් ජනප්‍රිය ක්‍රියාවක්. අසීරු පර්වත තරනය කිරීමට මනා ශාරීරික යෝග්‍යතාවකින් පසු වීම අත්‍යවශ්‍ය වන්නේ මෙම ක්‍රියාව බොහෝදුරට අන්තරායදායක වන නිසායි. මිනිසුන් හා අනෙකුත් සතුන් ඉතා අසීරුවෙන් ගමන් කරනා ස්ථාන හා කිසිවකුට තරණය කිරීමට නොහැකි ගල් පර්වත පවා ආයාසයකින් තොරව තරණය කළ හැකි සත්ත්වයකු සිටිනවා. ඒ තමයි Mountain goat හෙවත් කඳුකර එළුවා. උතුරු ඇමෙරිකාවේ රොකී කඳුවැටියේ ජීවත් වන මොවුන් ස්වභාවධර්මයේ කඳු නැගීමේ රජුන් ලෙසින් හැඳින්වූවාට වරදක් නැහැ.

එළුවන් ලෙස හැඳින්වූවත් මොවුන් සැබැවින්ම අයත් වන්නේ ඇන්ටිලෝප් පවුලටයි.

ඇමරිකා එක්සත් ජනපදයේ සිට කැනඩාව දක්වා විසිරී පවතින මුළු කඳුකර එළුවන් ප්‍රමාණය ලක්ෂයක් පමණ වනවා. ශීත කාලයට කඳු මුදුන් වලට වී ගත කරන මොවුන් ග්‍රීෂ්ම කාලයට කන්දෙන් බැස පහත් බිම් වෙත පැමිණෙන්නේ ඔවුන්ගේ ලෝම තට්ටුව නිදහස් කරමිනි.

ඔවුන් මෙසේ කඳු මුදුන් වෙත ගමන් කරන්නේ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමටයි. වලසුන්, වෘකයන්, කැලෑ බළලුන් මොවුන්ගේ සතුරන් වන අතර රාජාලියන් කුඩා කඳුකර එළු පැටවුන්ව තම ආහාරයට ගොදුරු කරගන්නවා. මීට අමතරව මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා මිනිසුන්ද මොවුන්ගේ සතුරන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව තිබීමත් විශේෂත්වයක්.

කුඩා පැටවුන් ඉපදී දින කිහිපයක් ගත වූ විට ඔවුනට මවුපියන් සමඟින් කඳු නැගීමට හැකියාව ලැබෙනවා. කිසිදු ආයාසයකින් තොරව දැඩි ප්‍රපාත තරණය කරමින් අඩි දස දහසක් පමණ ඉහළට ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ මොවුන්ගේ කුරවල විශේෂ පිහිටීම හා පාද වල තිබෙනා ශක්තිමත් මාංස පේශීන් නිසායි.

ඇඟිලි මෙන් වෙන්වී තිබෙන ශක්තිමත් කුර වල පාදම රබර් මෙන් නම්‍යශීලී නිසා ඔවුනට සියුම් ස්ථාන හා අංශක 60ක් වැනි ශීඝ්‍ර බෑවුම්වල පවා නොවැටී සිටීමට හැකියාව ලැබී තිබෙනවා. මෙම මතුපිටින් ඉතා ශක්තිමත් නමුත් පහළින් මෘදු කුර පිහිටීම මොවුනටම විශේෂිත වූ පිහිටීමක්.

මීට ඔවුනට ඉදිරි පාද වල ඇඟිලි මෙන් බෙදී තිබෙන කුර එකිනෙකට ළං කිරීමට හා ඈත් කිරීමට හැකියාව ලැබීමද විශේෂත්වයක්. අඩි 12ක් පමණ දුරක් පැනීමට මොවුනට හැකියාව ලැබෙන්නේ ශක්තිමත් පාද තිබෙන නිසායි. මේ නිසාම මොවුනට කන්දක ඉහළට ගමන් කරන විට එක පිම්මකින් ලබාගන්නා ශක්තිය ආධාරයෙන් ක්ෂණිකව ඉහළ උසකට ගමන් කළ හැකියි.

තෘණ හා අනෙකුත් කුඩා පැළෑටි ආහාරයට ගනිමින් ජීවත්වන මෙම සත්ත්ව විශේෂය කිලෝග්‍රෑම් 45 සිට 140ක් අතර පරාසයක ශරීර බරකින් යුතුව වර්ධනය වන අතර වැඩුණු එළුවකු සාමාන්‍යයෙන් පාදවල සිට උරහිස තෙක් මීටරයක් පමණ උසකින් යුක්ත වේ. ඉහළ කඳුකර ප්‍රදේශවල දක්නට ලැබෙන විශාලම ක්ෂීරපායි සත්ත්ව විශේෂය ලෙසින් හඳුන්වනු ලබන මෙම කඳුකර එළුවන් මුහුදු මට්ටමේ සිට අඩි 13000කට වඩා ඉහළ ප්‍රදේශ වලින්ද හමු වේ. 

Comments