ඇඟ හදාගෙන වඳ වෙන පිරිමි | Page 2 | සිළුමිණ

ඇඟ හදාගෙන වඳ වෙන පිරිමි

සිසිල් විජේරත්න

කාය වර්ධන අභ්‍යාසවල නිතිපතා නිරත වන බ්‍රැඩ්ලි ගෝල්ඩ්මන් සිය වැඩිහිටි දිවිය පුරාවට ම ඇන්දේ අති විශාල ප්‍රමාණයේ ටී ෂර්ට් ය. සිරුරේ මස් පිඬු වර්ධනය වන්නට ශාරීරික අභ්‍යාස මෙන්ම ප්‍රෝටීන් අධික ආහාර සහ ස්ටෙරොයිඩ ගැනීමට අවශ්‍ය වන බව හෙතෙම මැනැවින් දත්තේය. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි කාය වර්ධන හා ශරීර සුවතා විශේෂඥයකු වශයෙන් සේවය කරන ගෝල්ඩ්මන් පසුගිය මාස හයේදී සිය සිරුර ක්‍රමයෙන් හැකිළී වැහැරී යන ලකුණු දුටුවේ ය.

දැනට 30 වැනි වියේ පසුවන ගෝල්ඩ්මන් වයස 18 සිට ම ස්ටෙරොයිඩ ලබාගත් තැනැත්තෙකි. ස්ටෙරොයිඩ අධිකව ගැනිමෙන් සරු බවට හානි විය හැකි යැයි අසා තිබුණත් ගෝල්ඩ්මන්ට අවශ්‍යවූයේ ආර්නෝල්ඩ් ශ්වසෙනෙගර් වැනි දැවැන්ත සිරුරක් ගොඩනඟා ගැනීම පමණි.කෙසේ වෙතත් කාලය කෙමෙන් ගෙවී යද්දී බ්‍රිට්නි ආවාහ කර ගත් ගෝල්ඩ්මන්ට දරු සුරතල් බැලීමේ ආශාවක් ද ඇති විය. එනිසා ඔහු දෙවසරක්ම ස්ටෙරොයිඩ් ගැනීමෙන් වැළකී සිටි නමුදු බ්‍රිට්නි ගැබ් නොගැනීම ඔහුට වද දෙන්නට විය. අවසානයේදී ගෝල්ඩ්මන් සිය ශුක්‍රාණු පරීක්ෂාවකට ලක් කළේය. ඒ වනවිට විය යුතු සියල්ල සිදුවී තිබිණ. ඔහුගේ ශුක්‍රාණුවල සරු බව බින්දුවට ම බැස තිබිණ.

පෙරදිග මෙන්ම බටහිර සමාජයේ ද මඳ සරුබව හා වඳ බව කාන්තාවට උරුම දුර්වලතාවක් ය යන මිථ්‍යාව පවතී. පිරිමි, පිරිමි වඳ බව ගැන කතා නොකරති. එසේම විවාහක යුවලකට දරුවන් නොමැති නම් නිතැතින්ම ඇඟිල්ල දිගු වන්නේ ගැහැනිය දෙසට ය. එනමුත් මඳ සරුබව පිරිමින්ටත් තදින් බලපාන තත්ත්වයකි. පිරිමි කම කියන්නේ ඇඟපත ලොකුවට මහතට තිබීම හෝ නායකත්වය, වීරත්වය උරුම කරගෙන සිටීම විතරක් නොවේ. වර්ගයා බෝ කිරීම යන මිනිසත් බවේ මූලික කාර්යබාරය ඉටු කිරීමේ හැකියාව ද ඊට ඇතුළත් ය.

ගෝල්ඩ්මන් මාස තුනක් තිස්සේ සරු බව වඩවන ඖෂධ ගත්තේ ය. එහෙත් ඉන් පලක් නොවීය. ස්ටෙරොයිඩ අධිකව ගැනිම නිසා ඔහුගේ සිරුරේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ස්වභාවික ව නිපදවීම ඇණ හිට තිබිණි. එනිසා ඔහු කෘත්‍රිම ව ටෙස්ටොස්ටෙරොන් එන්නත් කර ගනිමින් සිටියේ ය. එහෙත් ශුක්‍රාණු වර්ධන ඔසුවල ගුණ වැඩි වන්නට හෝර්මෝන එන්නත් කිරිම නවත්වන ලෙස ඔහුට වෛද්‍ය උපදෙස් ලැබිණ. ඔහුගේ ශුක්‍රාණු සංඛ්‍යාව දැන් වැඩිවෙමින් පවතින නමුත් ලිංගික ආශාව අඩු වෙයි. එමෙන්ම ශරිරය ද ක්‍රමයෙන් කෘෂ වෙයි .

දැරු ඵල නොලැබීමේදී අවධානය යොමුවන්නේ ගැහැනිය දෙසට ය. එසේම දරු ඵල සම්බන්ධයෙන් ප්‍රතිකාර කරනු ලබන්නේ ද ඇයට ම ය. පිරිමියාට ප්‍රතිකාර කෙරෙන්නේ සුළු වශයෙනි. කෘත්‍රිම සංසේචනයේදී පරීක්ෂණ හා ප්‍රතිකාර වැඩිපුර සිදුවන්නේ ද ගැහැනියට වන අතර පිරිමියාට තිබෙන්නේ ශුක්‍රාණු සාම්පලයක් දායාද කරන්නට පමණි. ඒ කෙසේ වෙතත් දරුවන් නොමැති ජෝඩුවලින් අඩකම වරද පිරිමියාගේ මඳ සරු කමයි.

පිරිමි මඳ සරුකමට බලපාන හේතු විවිධ ය; ගුප්ත ය. වඩාත් පොදු කාරණයක් වන්නේ වෙරිකොසීල් හෙවත් වෘෂණයේ රුධිර නාළ විශාලවී පැටලීම නිසා අධික තාපයක් හට ගැනීමයි. එවිට ශුක්‍රාණු මිය යා හැකිය. තරබාරුව, ස්ටෙරොයිඩ හා කෙස් ඉවත් කිරීමට ගන්නා ඔසු ඊට බලපෑ හැකිය. එහෙත් බෙහෝ අවස්ථාවල හේතුව අබිරහසක් බව වෛද්‍යවරු පවසති.

නිව්යොර්ක් නගරයේ වේල් කෝර්නල් රෝහලේ වෛද්‍ය ජේම්ස් කැෂ්නියන් පවසන අන්දමට මෑතක සිට මඳ සරු බව සම්බන්ධයෙන් පිරිමින්ගේ ආකල්ප වෙනස් වෙමින් පවතී. පෙරදී මඳ සරු බවක් දැනගත් සැණින් අඹු සැමි දෙදෙනාම කෘත්‍රිම දරු උපතක් කෙරෙහි යොමුවෙනවා විනා පිරිමියාගේ සරු බව ප්‍රශ්න කළේ නැත. එහෙත් අලුත් ප්‍රවණතාව නම් පිරිමියාත් සැණෙකින් සරු බව පරික්ෂා කරගන්නට ඉදිරිපත් වීමයි.

මේ වනවිට බටහිර ලෝකයේ පිරිමින්ගෙන් බාගයක් ම වඳ පුරුෂයන් යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. එහෙත් සමීක්ෂණ දත්ත ඊට ආසන්න අවධානමක් පෙන්වයි. නවතම සමික්ෂණ වාර්තාවක් පෙන්වා දෙන්නේ අමෙරිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා යුරෝපය ඇතුළු බටහිර රටවල පිරිමින්ගේ ජීව ශුක්‍රණු ප්‍රමාණය ගතවු දශක කිහිපය තුළ සීග්‍රයෙන් පහත වැටී ඇති බවයි. හියුමන් රීප්‍රොඩක්ෂන් ජර්නල් වාර ප්‍රකාශනයට අනුව ගතවු අවුරුදු 40 ක කාලය ඇතුළත බටහිර රටවල පිරිමි ජීව ශුක්‍රාණු සංඛ්‍යාව සමස්ත වශයෙන් 50%කින් අඩුවී තිබේ. එපමණක් නොව මේ සංඛ්‍යාව තවදුරටත් අඩුවන බව ද සමීක්ෂකයෝ පෙන්වා දෙති.

ජෙරුසලමේ හීබෲ සරසවියට අනුබද්ධිත හදාසා බ්‍රවුන් මහජන සෞඛ්‍ය හා ප්‍රජා වෛද්‍ය පාසලේ ආචාර්ය හැගායි ලෙවීන් විසින් ඉදිරිපත් කරන ලද සමික්ෂණ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙය තැති ගන්නා සුළු අවධානම පෙර නිමිත්තක් බවයි. පිරිමින්ගේ ශුක්‍රාණු මට්ටම සම්බන්ධයෙන් පර්යේෂණ දත්ත රාශියක් පුණරීක්ෂණය කළ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ දැවැන්ත පුනරීක්ෂණය සඳහා අධ්‍යයන 7500ක පමණ වාර්තා යොදාගෙන තිබේ.

නූතන පාරිසරික වෙනස්කම් හා ජීවන රටා වෙනස්කම් ජනගහන වර්ධනය කෙරෙහි අනිටු අයුරින් බලපාන බව ආචාර්ය ලෙවීන් පවසයි.

මේ අධ්‍යයනය මඟින් මෑතකාලීනව පිරිමි මඳ සරුබව වැඩිවන්නට හෙවත් ශුක්‍රාණු මට්ටම පහත වැටෙන්නට සෘජු හේතුවක් පෙන්වා නොදෙන නමුත් අතීතයේදි මඳ සරුබව සඳහා බලපෑවේ පාරිසරික වෙනස්කම් හා ළරුවියේදී හෝ මව් කුස සිටියදී ඇති වූ විෂ රසායනික බලපෑම් ය. ඊට අමතරව දුම්බීම, ස්ථුලතාව හා මානසික ආතතිය ඉහළ යෑම ද ඊට දායක විය.

’මෙවැනි තත්වයක් හට ගැනීම සම්බන්ධයෙන් දිය හැකි එක් පැහැදිලි කිරීමක් වන්නේ පසුගිය දශක කිහිපයේදී බටහිර රටවල මිනිසුන් අධික වශයෙන් කෘත්‍රිම රාසායනිකවලට නිරාවරණය වීමයි. විශේෂයෙන් මේ රසායනික ද්‍රව්‍ය ප්‍රජනන සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බවට සාක්ෂි වැඩියි. එසේ සිදුවන්නේ මන්දැයි අපට කිව නොහැකි නමුත් විද්‍යාත්මක පර්යේෂකයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කළ යුතු බව කිව යුතුයි.’ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ ළමා සෞඛ්‍ය හා මානව සංවර්ධනය පිළිබඳ ජාතික ආයතනයේ වසංගත රෝග අංශයේ ප්‍රධානී එන්රික් ෂීස්ටර්මන් පවසයි. එමෙන්ම පාරිසරික වෙනස්කම් ද දායක වන බවට සැක කරන ෂීස්ටර්මන් මෙවැනි වේගවත් වැටීමක් (ශුක්‍රාණු මට්ටම) හුදෙක් ජාන විද්‍යාවෙන් පැහැදිළි කළ නොහැකි අතර එය පාරිසරික සාධක මත සිදුවන්නක් බවට විද්‍යාත්මක ප්‍රජාව තුළ පොදු එකඟතාවක් පවතින බව ද කියයි.

මේ තත්ත්වය පිරිමින්ට පමණක් නොව ඇතැම්විට වෛද්‍යවරුනට ද අදාළ ය. මඳ සරු යුවළක් පැමිණි සැණින් කන්තාව ඉලක්ක කර ප්‍රතිකාර කිරිමේ නැඹුරුවක් ලංකාවේ ඇතැම් වෛද්‍යවරුන් කෙරෙන් ද දක්නට ලැබේ. ඇතැම්විට පිරිමියාගේ නිසරු බව පරීක්ෂා නොකර කාන්තාවට ප්‍රතිකාර පරික්ෂා බාරහාර සියල්ලම කරන්නට සිදු වෙයි. ඊට ම යමක් එකතු කරන්නේ නම් පිරිමියකුගේ ශුක්‍රාණු සාම්පලයක් පරීක්ෂා කර බලා එහි සරු (ජීව) ශුක්‍රාණු මට්ටම බින්දුවයි කියා වාර්තාවක් දෙන විද්‍යාගාරයක් ලක්දිවෙන් සොයා ගැනීම කළුනික සෙවීමකි. පරීක්ෂාවෙන් අනතුරුව පිරිමියාගේ සිත නොරිදනු පිණිස කාන්තාවගේ සරුබව මඳ යැයි වාර්තාව ලැබෙනු ඇත. එයින් උද්දාමය පත්වන පුරුෂයා භාර්යාවට සියලු දස වධ දෙනු ඇත; පරීක්ෂණ සඳහා යොමු කරනු ඇත; බාරා හාර පුද පූජා කරනු ඇත.

පිරිමියාගේ මඳ සරුබව ගැන එළිපිට අදහස් හුවමාරු කරගන්නට උන්දුවක් දක්වන ඇතැම් සමාජ ජාල කව දැන් දැන් කරළියට එමින් පවතී. ඒ අමෙරිකානු සමාජයේ ය. ශ්‍රී ලංකාවේ තවමත් පිරිමි තමන්ගේ මඳ සරුබව රහසක් වශයෙන් තබාගෙන ගැහැනිය පිට වරද පටවති. එය කූට වෛද්‍යවරුනට කදිම ඉල්ලමකි. ගැහැනිය වඳ නොමැති බව පෙනි පෙනී දිගින් දිගටම ගැහැනියට ප්‍රතිකාර කරන්නට ඔවුහු පෙලඹෙති.

විවාහක යුවලක් අතර දරුවන් සම්බන්ධයෙන් සාධාරණ සාකච්ඡාවක් සිදුවිය යුතුය. ගැහැනිය මෙන්ම පිරිමියාද පරීක්ෂාවකට ලක්විය යුතුය. පරීක්ෂණයක් නොකර තමන් සරු යැයි සිතීම වරදකි.

ඉහත සමීක්ෂණයේ දී ආසියාවේ පිරිමි සරුබව අවධානයට ගෙන නොමැති බවද කිව යුතුය. මහජන චීනය හා ඉන්දියාව ඇතුළු ව ලෝක ජනගහනයෙන් විශාල කොටසක් වාසය කරන එසේම ජනගහන වර්ධනය ද ඉහළ මට්ටමක තිබෙන අපේ රටවලට මෙය අදාළ වන්නේ කෙසේද යන්න ගැන ඇතැම් විට ඔබට ප්‍රශ්නයක් වනු ඇත. අනෙක් අතට බටහිර රටවල චර්යා රටා වෙනස් ය. දරුවන් හැදීම සම්බන්ධයෙන් ඔවුන් දරන ආකල්පය ද වෙනස් ය. සරුබව ඇතත් දරුවන් නොහදන සමාජ රටාවක් ද පවතී ඇතැම්විට තමාගේ ලෙයින් උපන් දරුවකු වෙනුවට දරුවකු කුලවද්දා ගැනීම කෙරෙහි යොමුවන පිරිසක ද බටහිර සමාජයේ සිටිති.

කෙසේවෙතත් ඉහත සමීක්ෂණ ප්‍රතිඵල ඇසුරෙන් ශ්‍රී ලංකාවාසී අපට ලබාගත හැකි ප්‍රයෝජනය දැන් බලමු. වත්මන් තරුණ පිරිස අතර ඇඟපත පුම්බා ගැනීමට උනන්දුවක් දක්වන පිරිසක් ක්‍රමයෙන බව වර්ධනය වන බව අපි දනිමු. මේ තරුණ පරපුර පියවරුන් වීමේ ආශාවෙන් පෙළෙන සමයකදී ඔවුන්ට ඉහත ගෝල්ඩ්මන්ගේ අත්දැකීම වැදගත් වනු ඇත. එසේම මේ රටේ භාවිත වන කෘමිනාශක, වල්නාශක තොගයත් අප ආහාරයට ගන්නා බොහෝ දෑ නිෂ්පාදනයේදී මෙන්ම අලෙවිකරණයේදී හා කල්තබා ගැනීමේදී ඊට එකතුවන රසායනික ද්‍රව්‍ය කන්දරාවත් අනුව අපේ අනාගත පරපුරේ ද ශුක්‍රාණු හිඟයක් ඇතිවීමේ අවධානමක් උපකල්පනය කළ හැකිය. රටේ අනාගතය බාරගන්නට ශක්තිමත් නිරෝගී පරපුරක් අවශ්‍ය ය. එසේම අනාගත පරපුර දෙස ජාතිවාදී දෘෂ්ඨියෙන් බලන බොහෝ දෙනාට ජාතිය රැක ගැනිම සඳහා කඩු පොලු රැගෙන සටන් වදිනවාට වඩා තමාගේ ශුක්‍රාණු මට්ටම ප්‍රශස්තව තබා ගන්නැයි අපි ආරාධනා කරමු.

ජාතියක් නැතිවුවහොත් ආපසු බෝ කර ගන්නට ක්‍රමයක් නැත. ජාතිය නැතිවීමේ කාරණය ගැන අප වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඒ නිසා ය. ආගම් සම්බන්ධයෙන්ද කියන්නට ඇත්තේ මේ ටිකම ය.

(ටයිම් සඟරාව ඇසුරිනි)

Comments