ජම්පටා වීදියෙන් එළියට ඇවිළුණු කුඩු සෙල්විගේ පාතාල ගින්න | Page 2 | සිළුමිණ

ජම්පටා වීදියෙන් එළියට ඇවිළුණු කුඩු සෙල්විගේ පාතාල ගින්න

  • කුඩු සෙල්විගේ පුත්තු හිරේ ඉඳන් ඝාතන මෙහෙයවලා
  • ඝාතනවලට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සම්බන්ධ කරගෙන
  • බුම්මා අතුරුදන්

දිනෙන් දින ගහ-මරා ගැනීම්වලින් අඩුවක් නොමැතිව ඇදෙන කොළඹ ජම්පටා වීදියේ පාතාල කල්ලි අතර ගැටුම මේ වන විට කොළඹ සීමාවෙන් පිටතටද ගොස් ඇති බවක් පෙනේ.

ඒ බැව් පසක් කරමින් ජම්පටා වීදිය පාතාල ගැටුම නිසාවෙන් දෙදෙනෙක් ඝාතනය වූයේ වත්තල පොලිස් වසමේ හේකිත්ත මාර්ගයේ අයියාන් සබ්රිමලේ කෝවිල අසලදී පසුගිය ඉරිදා (13) සවස 3.30ට පමණ ත්‍රාසජනක චිත්‍රපට දසුන් පෙළක් මවමිනි.

ආමර් වීදියේ පල්ලියට පැමිණ මට්ටක්කුලිය ප්‍රදේශය හරහා හේකිත්ත මාර්ගයේ ගමන් කරමින් තිබූ සුදු පැහැති වැගන්ආර් මෝටර් රථය ඉදිරියට පැමිණි තවත් එවැනිම වැගන්ආර් රථයක් මාර්ගය හරස්කොට නතර කෙරුණේ ක්ෂණිකවමය. ඉන් බැසගත් මුහුණු ආවරණය කරගත් නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සුදු පැහැති වැගන්ආර් රථය දෙසට ටී 56 ගිනිඅවි දෙකකින් වෙඩි වරුසාවක් පතිත කරමින් පැමිණි රථයෙන්ම පලා ගියේ අවට සිටියවුන් බලා සිටියදීම කිසිදු තැතිගැන්මක් නොමැතිවය. දුටුවන්ගේ ඇඟ කිලිපොලා යන එම දසුන අවට සීසීටීවී කැමරා කාචවල මනාව සටහන් වී තිබිණි. මෝටර් රථයෙන් පැමිණි අපරාධකරුවන්ගේ සහායට තවත් යතුරුපැදියක්ද පැමිණ තිබූ අයුරු එම සීසීටීවී කැමරා දසුන්වලින්ම දක්නට ලැබිණි.

මීගමුව කොළඹ මාර්ගය දෙසට නාඳුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බවට සැලවන අතර මේ වන විට ඝාතකයන් කොටුකර ගැනීමට පුළුල් විමර්ශනයක් සිදුකරන බව ඝාතන පිළිබඳ පරීක්ෂණ සිදුකරන කොළඹ උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කීවේය. වත්තල පොලිසියට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම එම පරීක්ෂණවලට එක්ව සිටී.

වෙඩි ප්‍රහාරයට ලක්වූ රථයේ ඉදිරිපස අසුන්වල සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මරණයට පත්වෙද්දී පසුපස අසුන්වල සිටි කාන්තාව සහ කුඩා දරුවා කිසිදු හානියකින් තොරව බේරී තිබුණේ හාස්කමකින් මෙනි. එහෙත් රථයේ පසුපස අසුනේ සිටි කාන්තාව කාගේ කවුද යන්න ඝාතකයන් නිශ්චිතව දැන සිටියානම් අනිවාර්යයෙන්ම ඝාතනය කිරීමට ඉඩ තිබූ බව මේ වන විට සිදුකරන පරීක්ෂණවලින් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

එදින ඝාතනය වූයේ 31 හැවිරිදි ස්ටීවන් රාජේන්ද්‍රන් හෙවත් චාල්ස් සහ 38 හැවිරිදි සුප්පයියා මදිවානන් හෙවත් මදිය. ඔවුහු කොටහේන ජින්තුපිටි වීදිය ලිපිනයන්හි පදිංචිකරුවෝය.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා කලෙක සිටම කොළඹ ජම්පටා වීදිය ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර හටගෙන තිබෙන නොනවතින ඝාතන රැල්ලක ප්‍රතිඵලයක් ලෙස මේ ඝාතන ද්විත්වයද සිදුවී තිබෙන බවට අනාවරණය වේ.

එදින ඝාතනය වූ චාල්ස් වර්තමානයේ ජම්පටා වීදියේ සෙල්විගේ වත්ත ලෙසින් ප්‍රකට 131 වත්තෙ විසූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකව සිටි එඩ්වඩ් මේරි සෙල්වි හෙවත් කුඩු සෙල්විගේ එක් දියණියකගේ ස්වාමියාය. ඊට අමතරව චාල්ස් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන සෙල්විගේ වැඩිමහල් පුත්‍රයා වන ප්‍රබල අපරාධකාරයකු වූ ශිරාන්ගේ බිරියගේ වැඩිමහල් සහෝදරයාය. ඝාතනය වූ මදි, චාල්ස්ගේ අතිජාත මිත්‍රයා මෙන්ම විශ්වාසවන්තම ගෝලයා ලෙසින් ද ප්‍රකටව සිටියේය. වෙඩි ප්‍රහාරය එල්ල වන මොහොතේ රථයේ සිටි රූත් නමැති කාන්තාව සහ කුඩා දරුවා ශිරාන්ගේ බිරිය සහ දරුවාය. එම කාන්තාව ශිරාන්ගේ බිරිය බව ඝාතකයන් දැන සිටියානම් ඇගේ ජීවිතයද අනතුරේ වැටෙන්නට ඉඩ තිබිණි. ඒ, ඇයද මේ කල්ලි දෙකේ ගැටුම්වලට උල්පන්දම් දෙන කාන්තාවක වන නිසාය.

එම ප්‍රහාරය එල්ල කළ බවට දැනට අනාවරණය වනුයේ සෙල්විගේ විරුද්ධ පාර්ශ්වය වන පූකුඩුකන්නා සහ කෙනඩි හෙවත් බුම්මා පාර්ශ්වයයි. එහෙත් කෙනඩි ඊට එක්වී නොමැති බවටද සැලවේ.

මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම හරහා දෙපිරිස අතර වූ ගැටුම් හේතුවෙන් දෙපාර්ශ්වයේම 15කට ආසන්න පිරිසක් මෑත කාලයේදී ඝාතනය වී තිබේ. එසේම රටටම පිළිලයක් වී තිබෙන මේ කල්ලි දෙකට අයත් තවත් බොහෝ දෙනෙක් සිර ගෙවල්වල ලගින්නෙ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කොළඹ අපරාධ නිවාරණයේලා සුවිසල් කාර්යභාරයක් කරන පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන මෙහෙයුම් නිසාවෙනි.

ජම්පටා වීදිය, මෝදර, මට්ටක්කුලිය, කිඹුලාඇළ, කොටහේන, ආමර් වීදිය, වරාය, බන්ධනාගාරය ආදි කොළඹ බොහෝ පෙදෙස්හි මත්ද්‍රව්‍ය ජාවාරමේ ආධිපත්‍ය පතුරුවාගෙන සිටි කුඩු සෙල්වි දරුවන් පස්දෙනෙකුගෙන් යුත් තැනැත්තියකි. ඇය 2015 වසරේ සැප්තැම්බර් 12 වැනිදා ඝාතනය වූයේ බුම්මා අතිනි.

ඊට හේතු රැසක්ම විය. බුම්මාගේ නැඟණියට සෙල්විගේ පුතෙකු කළ අඩන්තේට්ටමක් නිසා හටගත් ගැටුමක් හේතුවෙන් බුම්මාගේ මල්ලීව ඝාතනය කිරීමට සෙල්වි සැලැසුම් කර තිබුණාය. එසේම බුම්මාට උදවු කරන පුකුඩුකන්නාගේ මිත්‍රයා වූ ජම්පටා වීදියේ 148 වත්තෙ විසූ කප්පම් ගනිමින්, මිනීමැරුම් සිදුකරමින් සිටි ජෝන් පීටර් රෙක්ස් රීගන් හෙවත් රීගන් කපාකොටා ඝාතනය කෙරුණේ සෙල්විගේ පුතුන් තිදෙනා වූ ශිරාන්, කෙනිස්ටන් සහ රිමෝෂන් සමඟ සෙල්විගේ සැමියා වූ කරුපයියා මිලනි හෙවත් ගනේෂ් අතිනි. ඒ 2015 මැතිවරණ සමයේ සිය ගණනක් දෙනා බලා සිටියදී ජම්පටා වීදියේදීමය.

රීගන් යනු සෙල්විට සිටි ප්‍රබලම හතුරාය. සෙල්විට සහාය වූ බොහෝ පොලිස් නිලධාරින් ලවා රීගන්ව කීප වරක්ම ඇය පොලිසියට හසුකර දී තිබුණාය. පොට්ට නවුෆර්ගේ සුවච කීකරු ගෝලයෙක් ලෙස කටයුතු කළ රීගන් කප්පම් එකතු කරමින් එම මුදල් සිරගෙදරටම ගොස් නවුෆර්ට දුන් තැනැත්තාය. ඔහුට දේශපාලන ශක්තියද යහමින් තිබුණේය.

රිගන්ගේ හිතවතා වන බාලචන්ද්‍රන් පුෂ්පරාජා හෙවත් පුකුඩුකන්නා මේ වන විට ඉන්දියාවට පැන ගොස් සිටී. එල්ටීටීඊ සංවිධානයේ හිතවාදියෙක් ලෙස කටයුතු කළ පුකුඩුකන්නා බොහෝ එල්ටීටීඊ සාමාජිකයන්ට කොළඹ අපරාධ වෙනුවෙන් නවාතැන් පහසුකම් සැලැසු අයෙකි. සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලාඇළේ ගුණා ලෙසින් ප්‍රකට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙක් වන පුකුඩුකන්නාට රිගන් ඝාතනය තදින් දැනී තිබිණි. එම නිසාවෙන් ඔහුද බුම්මාට කීවේ සෙල්වි ඉවරයක් කරන ලෙසය. සෙල්විගේ ඝාතනය වන විට බන්ධනාගාරයේ පසුවූ පූකුඩුකන්නා, බුම්මාට ඝාතනයට ඇවැසි ගිනිඅවිය සපයා තිබිණි.

1987 ජම්පටා වීදියේදී උපන් ස්ටැන්ලි කෙනඩි ෆර්ඩිනැන්ඩස් හෙවත් බුම්මා එල්ටීටීඊ සංවිධානයේ චාල්ස් ඇන්තනී බළකායේ සිටි අයෙකි. කොළඹ මාළු කඩේ, මාළු වෙළෙඳාමේ නිරතව සිටියදී 2001 සාම සාකච්ඡා සමයේ පිටකොටුවෙන් රැගෙන ගිය මාළු ලොරි සමග වන්නියට ගොස් 2003 දී පමණ ඔහු එල්ටීටීඊයට එක්වී තිබේ. බුම්මා 2009 මැයි 14 දා යුද්ධයේ අවසාන දින කීපයේදී හමුදාවට බාර වී පුනරුත්ථාපනය වී තිබුණේ බුස්ස කඳවුරේදීයි. ඔහු පුනරුත්ථාපනය වී නිවෙසට පැමිණ ටික දිනකින්ම සෙල්වි ඝාතනය කොට නැවතත් සැඟවුණේ බුස්ස කඳවුරේදී හඳුනාගත් දකුණේ පාතාල ප්‍රබලයකු වන කොස්ගොඩ සුජි සෙවණේය. එහිදී සුජී විසින්ද බුම්මා ලවා ඝාතන රැසක්ම සිදු කෙරිණි. 2016 පෙබරවාරි 16 දා කේ. පියරත්න සහ චමින්ද යන සුජීගේ විරුද්ධවාදින් දෙදෙනෙකු බළපිටිය උසාවියට පැමිණ යමින් සිටියදී ඝාතනය කළ බුම්මා එම වසරේ අප්‍රේල් 11 වැනිදාද සුජීගේ කීමට ඌරගස්මංසන්දියේදී තවත් අයෙක් ඝාතනය කළේය. එම ඝාතනයත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී අවිආයුධ කිහිපයක්ද සමඟ බුම්මා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරිණි. පසුව ඇප මත නිදහස ලබා පැමිණ ඔහු දින කීපයක්ම සැඟව සිටියේ ප්‍රතිවිරුද්ධ කල්ලිවලටද වසං වෙමිනි.

චාල්ස් ඇන්තනි බළකායේ සිටි අතිදක්ෂ වෙඩික්කරුවෙක් ලෙස ප්‍රකට බුම්මා දෙඅතින්ම ගිනිඅවි හැසිරවිය හැකි අයෙක්ද වේ. දැනට මෙරට පාතාලයේ සිටින දක්ෂතම වෙඩික්කරුවා ලෙසින් ඔහු සැලැකේ.

එසේ සැඟව සිට බුම්මා එළියට එන්නේ සෙල්විගේ සැමියා වූ ගනේෂ්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමටය. එසේ පසුගිය ජුනි 24 දා රාත්‍රී 9.15ට පමණ ජම්පටා වීදියේදී එල්ල වූ එම වෙඩි ප්‍රහාරයෙන් මරාන්නික තුවාල ලැබුවත් ගනේෂ්ගේ දිවි බේරුණේය.

පසුව ගනේෂ්ගේ පුතුන් තිදෙනා තීන්දු කළේ තම මවටත්, පියාටත් වෙඩි තැබු බුම්මා හෝ ඔහුට සහාය දෙන පුකුඩුකන්නා ඝාතනය කිරීමටය. එහෙත් ඔවුන් දෙදෙනා සැඟව සිටින හෙයින් ඔවුනට සහාය දෙන්නන් ඉවරයක් කිරීමට මොවුහු තීන්දු කළහ. ඒ දිනවල සෙල්විගේ පුතුන් තිදෙනාගෙන් ශිරාන් බන්ධනාගාරගතව සිටියේය. අනෙක් පුතුන් දෙදෙනා වන කෙනිස්ටන් සහ රිමෝෂන් ජම්පටාවීදිය නිවෙස හැරදා වැල්ලම්පිටියේ නිවෙසක සැඟවුණු ජීවිතයක් ගත කළහ.

ශිරාන් බන්ධනාගාරයේ සිටම දුරකථන මාර්ගයෙන් සියලු ඝාතන සැලැසුම් කරමින් එම ඝාතනවලට සහාය ලබාගත්තේ දකුණේ පාතාල කෙරුමා වන මාකඳුරේ මධුෂ් සහ පාකිස්ථානයේ සිට මෙරටට මත්කුඩු බෙදාහරින ප්‍රධානම පුද්ගලයා වන කංචිපාන ඉම්රාන්ගෙනි. ඔවුන්ගේ සහායෙන් වෙඩික්කරුවෙකු සොයාගත් ශිරාන්, සහෝදරයන් දෙදෙනා ලවා තම පියාට වෙඩි තැබීමට සහාය දුන්නේයැයි සලකා ජම්පටා වීදියේ තේ කඩයක් පවත්වාගෙන ගිය ක්ලැරිස් පෙරේරා හෙවත් ගීතා සහ ඇගේ සැමියා වූ සෙල්ලයියා සෙල්වරාජ් නමැත්තාද ඝාතනය කළෝය. ඉන් නොනැවතුණු ශිරාන් ඔවුන් ලවාම පසුගිය අගෝස්තු තුන්වැනිදා මෝදර තැපැල්හල ඉදිරිපිටදී කෝවිලට ගොස් එමින් සිටි පුකුඩුකන්නාගේ පියා වූ 62 හැවිරිදි ගෝපාල්පිල්ලේ බාලචන්ද්‍රන් ඝාතනය කළේ මහ දහවලේ දෙනෝදාහක් බලා සිටියදීය.

එම සියලු ඝාතනවල සැකකරුවන් දින කීපයක් ඇතුළතදීම අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වූයේය. ඒ අනුව මේ වන විට සෙල්විගේ පුතුන් තිදෙනාම මහඋළුගෙදරය. එහෙත් ඔවුන් මහඋළුගෙදර සිට සියලුම අපරාධයන් මෙන්ම ජාවාරම් සිදුකරමින් සිටිති.

සෙල්විගේ ජම්පටා වීදියේ වසා දමා තිබෙන නිවෙසට පසුගිය දිනෙක බීමත්ම ගොස් ප්‍රහාරයක් දියත්කොට තිබුණේ ගීතාගේ මල්ලිය. එම ප්‍රහාරය ගැන සැලවුණු ශිරාන් තීන්දු කළේ ගීතාගේ මල්ලිව ඉවරයක් කිරීමටය. ඒ අනුව පසුගිය ජනවාරි 01 දා ජම්පටා වීදියේදීම වෙඩික්කරුවකු ලවා ගීතාගේ මල්ලිට වෙඩි තැබුවේ මහ දවාලේ සැවොම බලා සිටියදීයි. එහෙත් ඔහුට ජීවත්වීමේ වාසනාව ලැබිණි. ඒ බරපතළ තුවාල ලබමිනි.

මේ සියලු අපරාධයන්ට සහ ජාවාරම්වලට ශිරාන් ඇතුළු සහෝදරයන් තිදෙනා ලබා දෙන නියෝග පසුගිය දිනවල එළියේ සිට ක්‍රියාත්මක කර තිබුණේ චාල්ස්ය. ඊට අමතරව චාල්ස් පුකුඩුකන්නාගේ පියා ඝාතනයටද සහාය දක්වා තිබුණේ ඝාතකයන්ට ඔත්තු සපයමිනි.

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහරින කංචිපාන ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ 'විශාල' වැඩ කොටසක් සිදුකරන්නෙ ශිරාන් බවට හෙළි වේ. ශිරාන්ට ඊට ලොකුම සහායක් එළියේ සිට දක්වා ඇත්තේ චාල්ස්ය.

පසුගිය කාලයේ ජම්පටා වීදිය නිවෙස හැර ගොස් සිටි සෙල්විගේ දරුවෝ වැල්ලම්පිටියේ ආරක්ෂිත නිවස්නයක් ගෙන අපරාධ කරමින් සිටියදී පසුගියදා අත්අඩංගුවට පත් වූහ. අනතුරුව ඉතිරි වූ දියණිවරුන් සහ බෑණාවරුන් එම නිවෙසද හැර වත්තල හුණුපිටිය සහ තවත් නිවෙසක් වත්තල ප්‍රදේශයෙන්ම කුලියට ගෙන තිබුණේය. එම ආරක්ෂිත නිවස්න සියල්ල කුලියට ගෙන දී තිබුණේ ශිරාන් විසිනි. හුණුපිටිය නිවෙසේ අවිආයුධ සඟවා තිබෙන බවට කන වැටුණු පොලිසිය එම නිවෙස වරක් පරීක්ෂා කර තිබිණි.

පසුගිය ඉරිදා ප්‍රහාරය එල්ල වන තෙක්ම සෙල්විගේ දරුවන් දියණිවරුන් ඇතුළු ඥාති පිරිස සිටියේ කොහිද යන්න පොලිසියද දැන සිටියේ නැත. මේ වන විට බුම්මා සහ පුකුඩුකන්නාද අතුරුදන්ය. පුකුඩුකන්නානම් ඉන්දියාවේ සිටින බවට සැල වූවත් බුම්මානම් මෙරට සිටින බවට සැක කෙරේ. බුම්මා පසුගිය ඉරිදා ප්‍රහාරයට පැමිණ නැති බවට සැලවුවත් මෝටර් රථයේ සිටි ශිරාන්ගේ බිරිය කීවේ බුම්මා පැමිනි බවයි.

මේ පාතාල කල්ලි දෙක අතර ගැටුමේදී දෙපිරිසටම ප්‍රබල පාතාලකරුවන්ගේ මෙන්ම හිටපු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ සහාය ලැබෙන බවට සැලවේ. සෙල්විගේ දරුවන්ට මධුෂ්, කංචිපාන ඉම්රාන් ඇතුළු පිරිස සහාය දෙද්දි, පුකුඩුකන්නා සහ බුම්මාට මධුෂ්ගේ ප්‍රතිවාදියා වන කොස්ගොඩ සුජිගේ සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ සහාය යහමින් ලැබෙමින් තිබේ. පසුගිය ඉරිදා ටී 56 අවිවලින් ප්‍රහාර එල්ල කළ ඝාතකයන් ගිනිඅවි හැසිරවීම පිළිබඳව මනා පළපුරුද්දකින් යුත් අය බව පෙනී යන අතර ඒ අනුව එම ඝාතකයන් බොහෝ දුරට හිටපු එල්ටීටීඊ සාමාජිකයන් විය හැකි බවට සැලවේ.

අළු යට ගිනි මෙන් විටෙන් විට එළියට එන ජම්පටා වීදි‍ය පාතාල ගැටුමේ කෙළවර කොතැනද?. මින් තවත් කී දෙනෙක්නම් ඝාතනය වේ ද?. මේ ඝාතන වැලට 'තිත' තැබීමට පිළියමක් යෙදිය නොහැකි ද?. ඒ පිළිබඳ වගකිවයුතු සියලු පාර්ශ්ව කඩිනම් පියවර ගත යුතු බව පසක් කරමු.

 

Comments