ජීවත් වන ඉඩම පන්සලට පූජා කළ මාණික්කම්මඩුවේ නාගරාජා | සිළුමිණ

ජීවත් වන ඉඩම පන්සලට පූජා කළ මාණික්කම්මඩුවේ නාගරාජා

දීඝවාපී පුදබිම බුදුන්ගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධ වූ පුණ්‍ය භූමියක් සේ බොදුනුවෝ අදහති. දීඝවාපී සෑ රදුන් වටා පරිවාර දාගැබ් වහන්සේ වූහ. විටින් විට මේ පෞරාණික දාගැබ් වහන්සේ ව්‍යසනයට ලක් වූ අයුරු වාර්තා විය. මේ වන විට පෝදිවල චන්දානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් වන්දනීය පුදබිමක් බවට පරිවර්තනය වී ඇති පෞරාණික දාගැබ එවැනි ශේෂ වූ පුරා ස්මාරකයකි. එම දාගැබ පිහිටා ඇත්තේ එරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාණික්කමඩු ප්‍රදේශයේය. වරිපතන්චේන මංසන්ධිය පසු කර දීඝවාපිය පුදබිමට යන මාර්ගයේ කිලෝ මීටරයක් පමණ ගිය කල්හි වම් පස මනරම් ගල්තලාවක් මත එම ඉපැරණි පුදබිම පිහිටා ඇත. එම පර්වතය පාමුල පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සඳහන් දැන්වීම් පුවරුවකි.

මේ පුරාණ පුදබිම යළි ගොඩනංවන්නට අම්පාර විද්‍යානන්ද පරිවේණාධිපති, අරන්තලාව අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිදිවැල සෝමරතන නාහිමියන් ඉදිරිපත් වන්නේ මේ අතරය. සෝමරතන හිමියන්ගේ මඟ පෙන්වීම මත අඹගහපිටියේ සීලරතන හිමියෝ කටයුත්තේ පෙරමුණ ගත්හ. එහෙත් එම පුදබිමේ සංවර්ධන කටයුතු ආරම්භ වෙද්දීම නිමක් නැති කරදර නිර්මාණය විය. අන්තවාදී ලෙස හැසිරුණු උම්මත්තකයන්ට රාජ්‍ය නිලධාරීහු ද යට වූහ. වසර ගානක් ගියත් තවමත් මම ඉපැරැණි භූමිය සංවර්ධනය කරන්නට නොහැකි විය. ඒ සඳහා අවශ්‍ය සියලු නෛතික අවසර ගැනීම් සිදුව අවසන් වුණත් වැඩකටයුතු ආරම්භ කරන්නට ඉඩ ලැබී නැත.

වේලකුට්ටි නාගරාජා අපට හමු වන්නේ ඒ අතරය. පන්සලක් හදන්නට අන්තවාදීන් එරෙහි වෙද්දී පන්සල වෙනුවෙන් තමන් ජීවත් වන ඉඩම පූජා කරන්නට සැරසෙන පොහොසත් අාධ්‍යාත්මික මිනිසා ඔහුය. මේ ඓතිහාසික පුදබිම ගොඩනඟන්නට ආණ්ඩුවේ පුරාවිද්‍යා ඉඩම වෙන් නොකර දේශපාලකයන් ගෝත්‍රික ලෙස හැසිරෙද්දී තමන් ජීවත් වන ඉඩම ඒ වෙනුවෙන් පූජා කරන්නට සූදානම් මේ හින්දු බැතිමතා දකිනු රිසිව අපි මාණික්කම්මඩුවට ගියෙමු.

පිරුණු සිනාවකින් මුව සරසාගෙන බුලත් කසට බැඳුණු දසන් දක්වමින් අව්‍යාජ ලෙස සිනාසෙන මේ තෘප්තිමත් මිනිසා සිය කුඩා නිවසේ එළිපත්තෙන් බැස අපව පිළිගත්තේය.

නාගරාජාගේ බිරිය මහාලවෙනි පවානිය. ඔවුන්ට දරුවන් 06 කි. වසර 25ක් තිස්සේ ඔහු දිඝවාපි පුදබිම ආසන්නයේ පදිංචි වී සිටී. මහා වත්කම් නැති ඔහු ගොවියෙකි. ඔහු කටහඬ මෙසේ අවදි කළේය.

“මහත්තයෝ මෙතැන පැරැණි පන්සලක්. ඒක කොහොම හරි හදන්න. අපිටත් වඳින්න පුළුවන්. මමයි පවුලේ අයයි හරි කැමතියි ඒකට. මෙතැන මුස්ලිම්, දෙමළ ගම්මාන දෙකකට මැදිවෙලා තියන නිසා පන්සල හදනවාට ගමේ අය නම් කැමති නෑ තමයි.

ඉතින් මම හාමුදුරුවන්ට කීවා මෙතැන පන්සලක් හදන්න ඉඩ දෙන්නේ නැති නිසා මගේ ඉඩමේ පන්සල හදන්න කියලා. මගේ මුළු ඉඩමම ගන්න කියලා මම කිවා. පස්සෙ හාමුදුරුවෝ කීවා නැහැ මට මුළු ඉඩමම එපා. පන්සල හදන්න ඉඩමෙන් කොටසක් විතරක් තිබ්බ නම් අපිට ඇති කියලා. ඒ හින්දා ඉඩමෙන් කැමති කොටසක පොඩි ආවාසයක් හදාගෙන පන්සල ආරම්භ කරන්න ආරාධනා කළා.

“ පන්සලට ඉඩම දුන්නාම මාමා කොහෙද ඉන්නෙ.” මම විමසීමි.

“මුළු ඉඩමම පන්සලට ගත්තත් කමක් නෑ. මෙතැන නැති වුණත් දෙවියො මට ඉන්න වෙන තැනක් දෙනවා. ඒක මට විශ්වාසයි. මට පසුගිය කාලේ දිගින් දිගටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් කියනවා ඔතැනින් අයින් වෙන්න වෙන ඉඩමක් දෙන්නම් කියලා. මම ඒත් ගියේ නැහැ. ඒ අය කිවාට මට එතැනින් ඉවත් වෙන්න කියලා මම අවුරුදු 25ක් හිටිය තැන දාලා මම යන්නේ නැහැ. හැබැයි පන්සලක් හදන්න ඉඩම දීලා මම වෙන තැනකට යන්න මං ලෑස්තියි.” ඔහු මෑත දාගැබ් ගොඩැල්ල දෙස බලයි. මේ මිනිසා මෙතැන නොසිටියා නම් මෙවැනි පෞරාණික ස්මාරකයක් අද වන විට මෙතැන නොතිබෙන්නට ඉඩ තිබුණ බව හැඟේ.

“මේ පැත්ත අය ඔක්කොම වගේ මම පන්සලක් හදන්න සිංහලයන්ට උදව් කරනවා කියල මාත් එක්ක තරහයි. මෙතැන පන්සලක් හැදුවාම මොකද වෙන්නෙ කියලා මට තේරෙන්නෙ නෑ. ලොකුහාමුදුරුවො කිව්වා මෙතැන අපි කෝවිලකුත් හදමු කියලා. ඉතින් වෙන මොනවද කියන්නෙ?. ඒක නේද මහත්තයො අපිට වෙන්න ඕනි...”

වෙල්ලකුට්ටි නාගරාජාගෙන් මේ රටේ ජාතිවාදී ගෝත්‍රිකයන් ඉගෙන ගත යුතු දේ බොහෝය. පුරාවිද්‍යා භූමියක ශාස්ත්‍රීය සංරක්ෂණ කටයුත්තක් සඳහා ගිය නිලධාරී කණ්ඩායමක් පහර දී පන්නාගත් නොදියුණු මිනිසුන් අතර මෙවැනි මිනිස්සු ද වෙති. විටෙක නාගරාජා මේ පුදබිම සංවර්ධනය වනවාට එරෙහි මිනිසුන්ගෙන් ගුටි කෑවේය. ඔහු බේරාගන්නට පැමිණි ඔහුගේ දියණියත් ඒ මුග්ධ ප්‍රහාරයට ලක් විය. “අපිට ඕන සිංහලයා දෙමළා කියලා නැතිව පන්සලකට කෝවිලකට ගිහින් වඳින්න පුළුවන් රටක්...” නාගරාජා කියනු අසාගෙන සිටියෙමි. එහෙත් ඔහු ප්‍රාර්ථනා කරන රට ඒ අපට තව බොහෝ දුර ය. ගෝත්‍රික ජාතිවාදී දේශපාලන යාචකයන් ඒ අප්‍රමාණ ප්‍රාර්ථනාව අපෙන් වෙන් කර තබා ඇත.

අදහස්