පුහුදුන් මිනිසුන්ට ධර්මාවබෝධය ලබා දෙනු රිසිව පින්සල අතට ගත් සිත්තර යතිවරයා | සිළුමිණ

පුහුදුන් මිනිසුන්ට ධර්මාවබෝධය ලබා දෙනු රිසිව පින්සල අතට ගත් සිත්තර යතිවරයා

කේ. උදේනි අරුණසිරි - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රත්නපුර

මහනුවර සම්ප්‍රදායේ සිතුවම් කලාව ව්‍යාප්ත කළ සිත්තර පරම්පරා ගණනාවක් හඳුනාගත හැකිය. ඒ අතරින් නීලවල, නිලගම, උල්ලඳුපිටිය, කඩොල්ගල්ල හා දේවේන්ද්‍ර මූලාචාරීන් ප්‍රමුඛ පරපුර කැපී පෙනේ. මෙම යුගයේ දී විහාර බිතේ තෙලිකූරෙන් දස්කම් පෑවේ ගිහියන් පමණක්ම නොවන අතර උඩරටින් ඇරැඹි ආගමික ප්‍රබෝධයත්, පහතරටින් ඇරඹි ආගමික පරිහානියත් හමුවේ යුගයේ අවශ්‍යතාවය මනාව වටහාගත් භික්ෂූහු ද ධර්ම දේශනාවෙන් පමණක් නොව, තමන්ගේ නිර්මාණශීලී හැකියාවෙන් ද පෘථග්ජනයාට දහම සමීප කරවීමට උත්සුක වූහ. එසේ තෙලිකූරෙන් ධර්මය ප්‍රචාරය කළ පැවිදි සිත්තරු ගණනාවක් වෙති.

මහනුවර රාජධානි සමයේ බෞද්ධ සිතුවම් ඇදී සුප්‍රසිද්ධ සිත්තරෙකු ලෙස දෙවරගම්පල සිල්වත් තැන හැදින්විය හැකිය. උපසම්පදාව නොලත් බෞද්ධ භික්ෂූවක් වූ එම හිමියෝ අග්‍රගණ්‍ය සිත්තරෙක් ලෙස ජනාදරයට පාත්‍ර වූහ. එතුමෝ කෑගලු දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි දෙවරගම්පල නම් ගමේ උපන්හ. හෙතෙම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී බොහෝ ගරුබුහුමන් ලැබූ සිත්තරෙක් ලෙස හඳුන්වාදීම වටී. ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කරන්නේ කුලය පිළිබඳ ගැටලුවක් මත දෙවරගම්පල සිල්වත් තැන හිමියන්ට උපසම්පදාව නොලැබුණු බවය. එකල පැවති එකම නිකාය වූ සියම් නිකායෙහි මහණ කරන ලද්දේ ගොවිකුලයට අයත් වූවන් පමණි. මෙම හිමියන් සමග එකට එකතු වී හෝ සමකාලීනයන් ලෙසට වැඩකළ අනෙක් සිත්තරුන් ලෙස හිරියාලේ නයිදේ, දේවේන්ද්‍ර මූලාචාරීන්, කොස්වත්තතේ හිත්තර නයිදේ, නිලගම පටබැන්දා, වෑත්තෑවේ හිමි හා කටුවන හිමියන් දැක්විය හැකිය. ආයිත්තා ලියද්දේ මුහන්දිරම් ලියූ “සංඝරාජ සාධු චර්යාව”ට අනුව වැලිවිට සරණංකර හිමියන් දෙවරගම්පල සිල්වත් තැන හිමියන් ලවා දඹුල්ලේ බුදුපිළිම බන්ඳවා ඇත.

දෙගල්දොරුවේ බිතුසිතුවම් දෙවරගම්පල සිල්වත්තැන හිමියන්ගේ කෘතීන් ලෙස හඳුනාගෙන ඇත. උන්වහන්සේ හොඳින් දැන උගත් භික්ෂුවක් ලෙස සමාජයේ කැපී පෙනී තිබේ. “ගණින්නාන්සේ” කෙනෙකු වශයෙන් ජීවත්වූ හෙතෙම උගතෙක් වූහ. උගත්හු ඇසුරු කළහ. මෙම හිමියන් ජීවත් වූයේ අගනුවර අසලම විය හැකිය. මේ නිසා දකුණු ඉන්දියාවේ නායක්කාර්වරුන් සමග මෙහි ආ ශිල්පීන් හා වෙනත් ප්‍රදේශයන් ගෙන් පැමිණි ශිල්පීන් සමග ඇසුරටත්, ඔවුන් සමග දැනුම හුවමාරු කර ගැනීමටත් අවස්ථාව ලැබෙන්නට ඇති බව විශ්වාස කල හැක. එම හිමියන්ගේ සිතුවම්හි පෙනෙන චමත්කාරයට හේතුව චිත්‍ර ශිල්පය පිළිබඳව තිබුණු පටුත්වය බව උගතුහු පෙන්වා දෙති. දෙගල්දොරුව විහාරයේ සිතුවම් සිත්තර කණ්ඩායමක සිතුවම් බව එම්. සෝමතිලක පෙන්වා දෙයි.

එහි ප්‍රධානියා වී ඇත්තේ නිලගම පටබැන්දා බව එම මතයෙන් ප්‍රකාශ වේ. නමුත් එස්.ඒ. වික්‍රමසිංහ සදහන් කරන්නේ මෙම විහාරයේ සියලු බිතුසිතුවම් දෙවරගම්පල හිමියන්ගේ බවය. හෙළ කලා ඉතිහාසයේ ආරම්භයත් අවසානයත් බෞද්ධ භික්ෂුන් වහන්සේගෙන්ම සිදුවී තිබෙන බවට මෙය කදිම සාක්ෂියක් බව එතුමෝ සඳහන් කරති. එහෙත් මෙම කෘති දෙවරගම්පල සිල්වත්තැන හිමියන්ගේ බවට කිසිදු ප්‍රාථමික මූලාශ්‍රයකින් තහවරු නොවේ. එකම ශෛලිය අවධීන් දෙකක සිටින ශිල්පීන් දෙදෙනෙකු විසින් වුව ද ප්‍රගුණ කිරීමට හොඳින් ඉඩකඩ ඇති බව මෙහිදී විශේෂයෙන් අවධානයට ලක්විය යුතුව ඇත. නමුත් වර්තමානයේ බෙහෝ උගතුන් පිළිගත් මතය වන්නේ මෙම බිතුසිතුවම්හි නිර්මාණ අයිතිය දෙවරගම්පල සිල්වත්තැන හිමියන්ට හිමිවන බවය.

කුරුණෑගල රිදී විහාරයේ සිතුවම් ද මෙ හිමියන්ගේ කෘති ලෙස සැලකේ. රිදී විහාරයේ ඉහළ විහාර මන්දිරයේ ඇතුළත දකුණු බිත්තියේ ඇඳ තිබෙන සොළොස්මස්ථාන දැක්වෙන සිත්තම විශිෂ්ට නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය. ස්තූපයේ ඒ ඒ කොටස්වල පරිමාව ඉතා නිවැරදිව දක්වා තිබේ. ඒ අනුව මෙය නිපුණ ශිල්පියෙකුගේ කාර්යයක් බව හඳුනාගත හැක. එසේම ප්‍රධාන විහාර මන්දිරයේ පිට දකුණු බිත්තියේ ඇති ගනේෂ රූපය නුපුහුණු සිත්තරෙකුගේ නිර්මාණයක් බවට මත ඇත. එම විහාර මන්දිරයේ ඇතුළත වියනේ ඇඳ ඇති පද්ම චක්‍ර පැරැණි සිතුවම් සම්ප්‍රදායට පසුකාලීන ඒවාය. තද නිල් හා රන්වන් හිරියල් භාවිතය 18 වන සියවස තුළ සුලභ නොවීය. ඒ අනුව මෙම විහාරයේ සිතුවම් දෙවරගම්පල සිල්වත් තැන හිමියන්ගේ කෘති ලෙස පමණක් හැඳින්විය නොහැකි බව පෙනේ.

ජනප්‍රවාදයේ පවතින පුවතකට අනුව දෙවරගම්පල සිල්වත් තැන හිමියන් රිදී විහාරයෙහි වැඩකරන අවධියෙහි රජතුමා උපසම්පදාව අවශ්‍ය ද නැතහොත් ගම අවශ්‍ය ද ඇසූ විට හෙතෙම ගම හොඳයි ලෙස පවසා ඇත. මෙම නිසා ගමක් ලැබුණු බවත් උපසම්පදාව නොලැබුණු බවත් එම මතයේ අන්තර්ගත වේ. මෑතක් වනතුරුම ජීවත්ව සිටි ඇත්දත් කැටයම්කරුවන් අතර “රාජගුරු ඔටුනු පණ්ඩිත ශාක්‍ය සෙනෙවිරත්න මූලාචාරිගේ අප්පු ස්වර්ණතිලක” මහතා චිත්‍ර කර්මාන්තයෙහි ද පාරම්පරික දක්ෂකම් දැක්වූ මාවනැල්ලේ විසූ දුර්ලභගණයේ ශිල්පියෙක් වූ අතර ඔහුගේ පරම්පරාව දෙවරගම්පල සිල්වත්තැන හිමියන් හා සම්බන්ධ වී තිබේ.

එස්.පී. චාර්ල්ස් මහතා පවසන්නේ අහුගොඩ දුම්බර යන පළාත්වල වෙසෙන බොහෝ සිත්තරුන් මේ හිමියන්ගේ පරපුරෙන් පැවත එන බවය. එසේම මාවනැල්ල ප්‍රදේශය අවට චිත්‍ර කර්මාන්තයෙහි නියැලුණු වයෝවෘද්ධ ශිල්පීන් කිහිප දෙනෙකු පදිංචිව සිටින බව සෝමතිලක මහතා පෙන්වා දෙයි. මොවුන් දෙවරගම්පල සිල්වත්තැන හිමියන්ගේ පරපුරට ඥාති සබඳකම් තිබේද යන්න අනාවරණය කොටගෙන නොමැති අතර පැරණි අවධියෙහි විහාර චිත්‍රකරණය හා සම්බන්ධ වී සිටි බව සිතීමට තුඩුදෙන පෙළපත් නාම සහිත කාර්මික පවුල් බව හඳුනාගෙන ඇත. මාවනැල්ල යනු දෙවරගම්පල සිල්වත්තැන හිමියන්ගේ උපන්ගම් ප්‍රදේශය වන නිසා එම ප්‍රදේශයේ චිත්‍ර කර්මය ව්‍යාප්ත වීමට එහිමිගේ බලපෑමක් හෝ සම්බන්ධයක් තිබූ බව පැවසීම සාධාරණ අනුමාන කිරීමක් විය හැක. එසේම මෙම ප්‍රදේශය අවට දොඩන්තලේ, දනගිරිගල හා දෙවනගල වැනි මහනුවර සමයට අයත් වන චිත්‍ර සහිත විහාර ගණනාවක් ද ශේෂවී පවතී. දනගිරිගල විහාරයේ සිතුවම් පිළිබඳව “ශ්‍රී ලංකා බිතුසිතුවම් ” සඟරාවේ දනගිරිගල කලාපයේ දැක්වෙන්නේ මෙම සිතුවම් දෙගල්දොරුව, රිදී විහාරයේ සහ දඹුලු විහාරයේ සිත්තර ගුරුකුල මගින් කෙරුණු බවය. එම විහාර ත්‍රිත්වයේ සිතුවම් කටයුතු නිලගම පරපුර මෙන්ම දෙවරගම්පල සිල්වත් තැන හිමියන් විසින් කරන ලද බවට හඳුනා ගනී.

මෙම හිමියන්ගේ සිත්තර පරපුරට අයත් බව සැලකෙන “කුලුගම්මන සිරිමත් ඩයස්” මහතා බුදුපිළිම හා විහාර සිතුවම් කලාවේ යෙදී සිටි මෙරට ප්‍රසිද්ධ සිත්තරෙකි. එම මහතා මෑතකදී අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ ගෝලයෝ කිහිපදෙනෙක් දැනට ජීවත්ව සිටිති. ඔවුන් චිත්‍ර හා මූර්ති යන අංශ දෙකේම දස්කම් දක්වන බවට තොරතුරු ලැබේ. දෙවරගම්පල සිල්වත්තැන හිමියන්ගෙන් විහිදී ගිය සිත්තර පරපුරක් පහතරට විහාරාරාමයන්හි සිත්තර කටයුතු කළ බව හඳුනා ගත හැක.

දෙවරගම්පල මිහියන්
කටුවන හිමි
වෑත්තෑවේ හිමි
අන්දිරිස්
හිමප්පු
ලිවේරිස්

මේ අනුව පහතරට සිත්තර පරම්පරාව උඩරටින් පෝෂණය වු සිත්තර පරම්පරාවක් ලෙස හඳුනා ගැනේ. මෙහිදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස මහනුවර විසු විශිෂ්ඨ චිත්‍ර ශිල්පියා වු දෙවරගම්පල සිල්වත් තැන හිමියන්ගේ ගුරුහරුකම් මැද මෙම සිත්තර පරපුර ඇරඹි බව සනාථ වේ. පහතරටින් ගිය වෑත්තෑවේ හිමියන් සහ කටුවන හිමියන් දෙවරගම්පල සිල්වත්තැන හිමියන්ගෙන් චිත්‍ර ශිල්පය හදාරා ඇත. පසුව සිය ගම් ප්‍රදේශයට පැමිණි කටුවන හිමියන් පහතරට චිත්‍ර ශිල්පීන් බිහිකිරීමේ පරමාර්ථයෙන් නානා කුලිකයන්ට චිත්‍ර ශිල්පය උගන්වා ඇත.

මේ අනුව සමස්ථයක් ලෙස බැලූ කල පෙනී යන කරුණ වන්ණේ උඩරටින් ඇරැඹි ආගමික ප්‍රබෝධයත්, පහතරටින් ඇරඹි ආගමික පරිහානියත් හමුවේ යුගයේ අවශ්‍යතාවය මනාව වටහාගත් දෙවරගම්පල සිල්වත්තැන හිමියන් ධර්ම දේශනාවෙන් පමණක් නොව, තමන්ගේ නිර්මාණශීලී හැකියාවෙන් ද පෘථග්ජන ජනයාට දහම සමීප කරවීමට උත්සුක වු බවයි.

අදහස්