බුදුදහම හා ඥාන ගවේෂණය | සිළුමිණ

බුදුදහම හා ඥාන ගවේෂණය

ක්‍රි. පු. 6 වන සියවසේ දී භාරතීය සමාජයේ පහළ වූ බුදුදහම එදා මෙදා තුර පොදු ජනයා අතර ජනප්‍රිය වී ඇත්තේ මෙලොවට හා පරලොවට යන දෙලොවට ම අදාළ වන, එසේ ම එම අදාළ වීම අර්ථවත් කරගැනීම සඳහා ජීවිතය තුළින් ක්‍රියාත්මක කළ හැකි ධර්මස්කන්ධයක් අන්තර්ගත විශිෂ්ට දහමකි. බුදුදහම වූ කලී හුදු විශ්වාස පද්ධතියක් හෝ ඇදහිලි සමුහයක් හෝ නොව, ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රියාකාරකම් සමුදායකි. සත්වයාගේ මුලික ගැටලුව ලෙස සලකනු ලැබු දුකත්, එය ඇති වීමේ හේතුව, එය නැති කිරීම හා එසේ කිරීමේ මාර්ගය යන මේ සතර කරුණු සමස්ත බෞද්ධ චින්තනයෙහි හරය සේ සැලකිය හැකිය. භක්තික හා ඥානික යනුවෙන් දෙපරිදි කළ හැකි සමස්ත ආගම් පද්ධතිය අතුරෙන් බුදුදහම අයත් වන්නේ ඥානික ආගම් පාර්ශ්වයට ය.

බුදුරදුන් තමන් වහන්සේට පූර්වගාමී වු හා සමකාලීන වූ චින්තකයන් ඥානය ලබාගැනීමට උපයෝගී කරගත් මාර්ග තුන් වැදෑරුම් කොට ගෙන හැර දක්වන ආකාරය මජ්ඣිම නිකායේ සංගාරව සූත්‍රයෙන් පැහැදිලි වේ.

ශ්‍රැතිය අධිකාරියෙහි ලා සැලකූ සම්ප්‍රදායවාදීන් (අනුස්සවිකා)

තාර්කිකයන්, අධිභෞතිකවාදීන් (තක්කී විමංසි)

අනුභූතිවාදීන් (තමන් අවබෝධ කරගත් සත්‍යය හා තමන්ගේ ධර්මය ගැන පෞද්ගලික සත්‍යෙක්‍ෂණයකින් උසස් ඥානයක් ලැබූවෝ)

එම තෙවදෑරුම් ඥාන මාර්ග අතරින් බුදුරදුන් තමන් වහන්සේ තෙවැනි ගණයට අයත් වන බව ප්‍රකාශ කර ඇත. බුදුරදුන් තෝරා ගත් එම ඥාන මාර්ගය අනෙක් ඥාන මාර්ග අතුරින් පැහැදිලිව ම වෙනස් වන අතර ඥානය පිළිබඳ බෞද්ධ නිර්වචනය ද මෙහිදී ඉදිරිපත් වන බව පෙනේ. එබැවින් ඥානෝපායන් ලෙස ඉහත පළමුව දැක්වූ අනුශ්‍රවයට මුල් තැන දුන් පිරිස (අනුස්සවිකා), හා දෙවනුව දැක්වූ තර්කයට හා විමර්ශනයට මුල් තැන දුන් බුද්ධිවාදීන් (තක්කී වීමංසි) පිළිබඳ බෞද්ධ ආකල්පය සතුටුදායක නොවන බව පෙනේ.

ලෝකය හා සත්ත්වයා පිළිබඳ යථාර්ථවාදී ඥානය ලබාගැනීම ඉන්ද්‍රියානුබද්ධ මනසින් සිදු කළ හැකි බව පිළිගත් ඇතැමුන් අනුභූතිවාදය භාවිත කොට තිබුණේ බුද්ධ කාලයටත් පෙරාතුව යි.

ප්‍රත්‍යක්‍ෂය ප්‍රධාන කොටස් දෙකකි. එනම්, ඉන්ද්‍රීය ප්‍රත්‍යක්‍ෂය සහ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයයි.

ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ෂඩ් ඉන්ද්‍රීයයන් මඟින් ලබාගන්නා දැනුම හෙවත් ඥානය ඉන්ද්‍රීය ප්‍රත්‍යක්‍ෂය හෙවත් ඉන්ද්‍රීය ඥානය ලෙස දැක්වේ. මිනිසා හා විශ්වය පිළිබඳ ෂඩ් ඉන්ද්‍රීයන් ඇසුරු කොට තම තමන් දැන දැන ම නිරීක්ෂණය කොට ලබන ඥානය මේ යටතේ විවරණය කෙරේ.යෝගී ප්‍රත්‍යක්‍ෂය හුදෙක් ඉන්ද්‍රීය ප්‍රත්‍යක්‍ෂයයෙන් නොනවතී. එය මානසික වශයෙන් ප්‍රගුණ කිරීමට “භාවනා” යන්න භාවිත කරයි. ප්‍රාග් බෞද්ධයෝ පවා සමථය වඩා රූපාවචර, අරූපාවචර තත්ත්වයන් උපදවා ගත්හ. පෙර විසූ කඳ පිළිවෙළත් (පුබ්බේනිවාසානුස්සතිය)සත්ත්වයන් උපදින මිය යන ස්වභාවයක් (චූතුපපාත ඥානය) දැනගැනීම දක්වා පැමිණි එම යෝගීවරුන්ගෙන් ඉදිරියට පැමිණි බුදුසමය අතීන්ද්‍රීය ප්‍රත්‍යක්‍ෂය භාවිතා කොට පැමිණිය හැකි ඉහළම තලය වන සියලු ආසවක්‍ෂය කිරීමේ ඥානය (ආසවක්ඛය ඥානය) උපදවා ගන්නා ආකාරය පෙන්වා දී ඇත.

බුදුන්වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය පිළිපැදීම කළ යුත්තේ මූලික වශයෙන් ම අවබෝධයකින් අනතුරුව ය. දැනීමකින් තොරව බෞද්ධ ප්‍රතිපදා අනුගමනය කළ නොහැකි බව එහි අදහස වේ. බුදුරදුන් කිසියම් ස්ථානයකට යෑමේ ගමන් මඟ මුලින් ම සොයා ගන්නා ආදි පුරුෂයෙකුට සමාන බවත්, උන්වහන්සේ විසින් දේශනා කරන ධර්මය ආදි-පුරුෂයෙක් තම ගමන් මඟ පිළිබඳ කරන විස්තරයකට හෙවත් තම ගමන් මඟ පිළිබඳව තබන වාර්තාවක් හා සමාන බවත්, ශ්‍රාවකයන් කළ යුත්තේ බුදුරදුන් අනුගත ගමන් මඟ අනුගමන කොට උන්වහන්සේ පැමිණි නිවනට පැමිණීම බවත් උන්වහන්සේ විසින් පෙන්වාදී ඇත. එවැනි නිදසුන්වලින් පැහැදිලි වන්නේ ධර්මය පිළිබඳ ඥානය, එය පිළිපැඳීමේ පුර්ව අවශ්‍යතාවක් වන අයුරුයි.

මෙම කරුණ තව දුරටත් පැහැදිලි වන නිදසුනක් ලෙස බුදුසසුන හෙවත් බුදුරදුන්ගේ අනුශාසනය අංග තුනකින් සමන්විත වන අයුරු දැක්විය හැකිය. එම අංග තුන නම් පරියත්ති සාසනය (පර්යාප්ති : සංස්කෘත), පටිපත්ති (ප්‍රතිපත්ති) සාසනය හා පටිචෙධ (ප්‍රතිවේධ) සාසනය යි.

මෙහි පරියත්ති යනුවෙන් සඳහන් වන්නේ බුද්ධ දේශනාවයි. ද්විතීයික අර්ථයකින් බුද්ධ දේශිත ධර්මය අන්තර්ගත ත්‍රිපිටකය ඉන් ගැනේ. ත්‍රිපිටකයෙහි අන්තර්ගත බුද්ධ දේශිත ධර්ම මාර්ගය ඉගෙනීම, ප්‍රගුණ කිරීම, අර්ථය තේරුම්ගැනීම වැනි අධ්‍යයන කාර්ය සම්පුර්ණ කිරීම පරියත්ති සාසනය වේ. පටිපත්ති යනුවෙන් අදහස් කෙරෙන්නේ එසේ හදාරන ලද ධර්මය පිළිපැදීම හෙවත් අනුගමනය කිරීමයි. පටිවේද සාසනය නම් ධර්මය පිළිපැදීමෙන් මාර්ග, ඵල හා නිවන ප්‍රත්‍යක්ෂ කරගැනීම හෙවත් අවබෝධයෙන් අත්පත් කර ගැනීමයි. ශාසනයෙහි ත්‍රිවිධ අංග පිළිබඳ එම විවරණයෙන් පැහැදිලි වන්නේ ධර්මය අධ්‍යයනය කිරීම බෞද්ධ ආගමික ප්‍රතිපදාවෙහි ආරම්භක පියවර බවයි.

පහත සඳහන් දේශනා පාඨයෙන් එම කරුණ තවදුරටත් පැහැදිලි වේ.

ශ්‍රද්ධාව ඇති වු පුද්ගලයා (බුදුරදුන් වෙත) එළඹේ. එළඹ සමීපයෙහි හිඳියි. සමීපයෙහි හිඳ කන් යොමු කරයි. යොමු කළ කන් ඇත්තේ ධර්මය අසයි. අසා ධර්මය මතක තබාගනී. මතක තබාගත් ධර්මවල අර්ථය පරීක්ෂා කරයි. අර්ථය පරීක්ෂා කරන්නන් හට ධර්ම වැටහේ. ධර්ම වැටහිම ඇත්තන්ට ඡන්දය (ක්‍රියා කිරීමට ඇති කැමැත්ත) ඇති වේ. ඡන්දය ඇති වු කල්හි උත්සාහ කරයි. උත්සාහ කොට තුලනය කරයි. තුලනය කරමින් භාවනානුයෝගී වේ. භාවනානුයෝගී වු විට නාම කායයෙන් පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ කරයි. එය ප්‍රඥාවෙන් පිරිසිඳ දකී. (කීටාගිරි සුත්‍රය, මජ්ඣිම නිකාය II බු.ජ.සං, 248 පිටුව)

මෙහිදී පර්යාප්ති - ප්‍රතිපත්ති - ප්‍රතිවේධ යන අංගත්‍රයෙන් සමන්විත ශාසනික ප්‍රතිපදාව අන්තර්ගත වන බව පෙනේ. එසේම ධර්මය අසා, මතක තබාගෙන, අර්ථ විමසීමේ ක්‍රියාදාමය හෙවත් ධර්ම අධ්‍යාපනය ධර්මාවබෝධයෙන් අවසාන වන අයුරු ද මින් පැහැදිලි වේ.

මෙහි දක්වන ලද ක්‍රියාදාමය බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් තුන් ආකාර වු ප්‍රඥාව පිළිබඳ වර්ගීකරණය හා ද මනා ලෙස ගැළපෙන බව පෙනේ. දීඝනිකායෙහි සංගීති සුත්‍රයෙහි සඳහන් පරිදි සුතමය පඤ්ඤා, චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා යනුවෙන් ප්‍රඥාව තෙවැදරුම් වේ. එහි සුතමය පඤ්ඤා යනු බහුශැතභාවය යි. ඇසීමෙන් හෙවත් වර්තමානයෙහි බහුලව දක්නට ලැබෙන පරිදි කියවීමෙන් හෝ දැකීමෙන් ලැබෙන ඥානයයි. මෙම ඥානය මුලික වශයෙන් ම තොරතුරු මඟින් ලැබෙන්නකි. චිත්තාමය පඤ්ඤා හෙවත් සිතීමෙන් ඇති වන නුවණ ය. ඉහතින් දැක්වූ කීටාගිරි සුත්‍රයෙහි ද සඳහන් වන පරිදි අසන ලද්දෙහි අර්ථය පරීක්ෂා කිරීම, තුලනය කිරීම ආදියෙන් ඇති වන නුවණට සමාන ලෙස සිතිය හැකිය. අවසානයේ දී සඳහන් භාවනාමය ප්‍රඥාව කීටාගිරි සුත්‍ර දේශනාවෙහි සඳහන් භාවනානුයෝගීත්වයෙන් ලැබෙන සත්‍යය පිළිබඳ ප්‍රත්‍යක්ෂය සේ සැලකිය හැකිය. බුදුදහම අගයන ධර්ම ඥානය පිළිබඳ දරන ලද මෙම ප්‍රායෝගිකතාවාදී ආකල්පය දරන්නේ සීමාසහිත පදනමකි. එම අදහස පහත සඳහන් ධම්මපද ගාථාවලින් මනා ලෙස පැහැදිලි වේ.

බහුමිපි චෙ සහිතං භාසමානො - න තක්කරො හොති නරො පමත්තො
ගොපොව ගාවො ගණයං පරෙසං - න භාගවා සාමඤ්ඤස්ස හොති
අප්පම්පි චෙ සහිතං භාසමානො - ධම්මස්ස හොති අනුධම්මචාරී
රාගඤ්ච දොසඤ්ච පහාය මොහං - සම්මපජානො සුවිමුත්ත චිත්තෝ
අනුපාදියානො ඉධවා හුරංවා - ස භාගවා සාමඤ්ඤස්ස හොති

(ධම්මපද 19 - 20)

සාහිත්‍යය (ධර්මය) බොහෝ කොට කියන්නේ නමුදු, ඒ අනුව පිළිනොපදින ප්‍රමාද වූ මිනිසා අනුන්ගේ ගවයන් ගණින්නා වූ ගොපල්ලෙකු මෙන් පැවිද්දෙහි කොටස්කරුවෙකු බවට පත් නොවේ.

සාහිත්‍යය (ධර්මය) ස්වල්පයක් කියන්නේ නමුදු, ධර්මයට අනුව හැසිනේනා වූ රාග, දෝස, මෝහ දුරු කොට මනා වු ප්‍රඥාවෙන් යුතුව, මනාව මිදුණු සිතැතිව, මෙලොව හෝ පරලොව ග්‍රහණය නො කරන්නා වු පුද්ගලයා පැවිද්දෙහි කොටස්කරුවෙක් වේ.

එම ගාථාවලින් පැහැදිලි වන්නේ හැදැරීම අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති පුරණය සඳහා බවත්, ශාසනික සන්දර්භය තුළ වඩාත් වැදගත් වන්නේ හුදෙක් ධර්මය හැදැරිම ම නොව, එමඟින් ධර්මාවබෝධය කිරීම බවත්ය.

ධර්මය හැදැරීම පිළිබඳ දක්නට ලැබෙන එම ආකල්පය අප නිවැරදිව තේරුම්ගැනීම වැදගත්ය. ධර්මය හැදැරීමෙන් ලැබෙන ධර්මඥානය ඉතා වැදගත් වුවත්, එය හුදෙක් මාධ්‍යයක් හෙවත් කිසියම් අරමුණක්, ඉටු කරගැනීමේ ක්‍රමෝපායයක් ලෙස පමණක් වැදගත් වීම අපගේ සැලකිල්ලට ලක් විය යුතුය. ලෝකය දෙස සාමාන්‍යයෙන් බලන විට පෙනෙන කරුණක් නම් ඥානය කෙරෙහි දක්වන දැඩි අවධානයයි.

මෙහි දී ඥානය හුදෙක් මාධ්‍යයක් ලෙස නොව අන්තයක් ලෙස හෙවත් පරම නිෂ්ඨාවක් ලෙස සලකනු ලබන බව පෙනේ. එබඳූ ඥානයකින් යුත් පුද්ගලයා උගතෙකු ලෙස සැලකෙන අතර, ඔහු හෝ ඇය සමාජ සම්භාවනාවට ද පාත්‍ර වේ. එහෙත් බුදුසමය දෙස බලන විට එම කරුණ වඩාත් සංකීර්ණ බව පෙනේ. ධර්ම ඥානය කොතරම් වැදගත් වුවත්, හුදු උගත්කමට වඩා ශිලය හෙවත් ප්‍රතිපත්තිකාමී ජීවිතය බෞද්ධ සම්ප්‍රදාය තුළ අගය කෙරේ. මෙයට අදාළ අගනා කරුණක් මජ්ඣිම නිකායෙහි අලගද්දුපම සුත්‍රයෙහි (22) සඳහන් වේ.

මහණෙනි, මේ ශාසනයේ ඇතැම් හිස් පුරුෂයෝ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන ධර්ම උගනිත්. ඔවුන් ඒ ධර්මය ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය ප්‍රඥාවෙන් පරීක්ෂා නොකරත්. නුවණින් අදහස මෙනෙහි නොකරන්නා වු ඔවුන්ට ඒ ධර්ම මැනැවින් නොවැටහේ. ඔවුන් ධර්මය හදාරන්නේ අනුන්ට දොස් පැවරීමටත්, (අනුන්ට වාද කොට) ඉන් මඟ හැරීමටත්ය. ඔවුහු ධර්මය හැදැරීමේ නිසි ප්‍රයෝජනය නොලබත්. වරදවා ගන්නා ලද එම ධර්ම ඔවුන්ට බොහෝ කාලයක් අනීත හා දුක් පිණිස හේතු වේ. එයට හේතුව කිම? එම ධර්ම වැරදි ආකාරයෙන් ගන්නා ලද බැවිනි.

මෙහි සඳහන් පරිදි ධර්මය හැදැරීම අත්තුක්කංසනය හා පරවම්භනය පිණිස කෙරේ නම් ඉන් වන්නේ අවැඩකි. ධර්මය පිළිබඳ එබඳු දැනීම් හුදෙක් සර්පයකු වලිගයෙන් අල්ලාගැනීම හා සමාන කොට (අලගද්දූ +උපමා) මෙම සුත්‍රයේ දක්වා ඇත. වලිගයෙන් අල්ලාගත් විට සර්පයා ආපසු හැරී අල්ලාගත් පුද්ගලයාට පහර දෙන්නාක් මෙන් වැරැදි ලෙස ගන්නා ලද ධර්මය (ධර්මඥානය) කරණ කොටගෙන එසේ ගන්නා ලද පුද්ගලයා ද විනාශයට පත් වේ.

එබඳු නිදසුන්වලින් පැහැදිලි වන්නේ බෞද්ධ චින්තනය තුළ ඥානය හෙවත් උගත්කම කෙතරම් උසස් ලෙස සලකනු ලැබුව ද, එය එකම අවශ්‍යතාව ලෙස නොසලකන ලද බවයි. “සුනාථ ධාරෙථ චරාථ ධම්මෙ” (රසවාහිණී) යන සුප්‍රකට පාඨයෙන් පෙන්වා දී ඇති පරිදි ධර්මය ඇසීම හා දැරීම (ධාරණය කිරිම හෙවත් මතක තබා ගැනීම) අවශ්‍ය වන්නේ ධර්මය පිළිපැදීම සඳහාය. “ඥානය හුදෙක් ඥානය සඳහාය” යන්න බුදුදහම තුළ නොපිළිගන්නා බව පෙනේ.

දර්ශනය (Philosophy)යන විෂය ක්ෂේත්‍රයේ එන උප විෂයක් වන ඥානවිභාගය (Epistemology/ Theory of knowledge) නම් කොටසෙහිදී සාකච්ඡා වන ප්‍රධාන කරුණක් වන්නේ ඥානයෙහි සීමා (Limits of knowledge) යන්න යි. ඥානයට සීමා පැනවෙන්නේ යම්කිසි බාධාවක් නිසා ය. ප්‍රායෝගික සීමා, නෛසර්ගික සීමා, තාර්කික සීමා යනාදී වශයෙන් ඥානයට සීමා පනවන එබඳු බාධක කිහිපයක් හඳුනා ගත හැකිය.

ඥානයේ සීමා පැනවීම පිළිබඳ භාරතීය සංශයවාදීන් වූ අමරාවික්ඛේපවාදීන් ඉහත කී ත්‍රිවිධ සීමා පමණක් නොව, සදාචාරාත්මක සීමා ද අවධාරණය කොට ඇත. ඥානයේ සීමා පිළිබඳ විග්‍රහය ඉහත කී ආකාරයෙන් බෙදා දැක්වීම පිළිබඳ උගතුන් අතර ඒකමතිකත්වයක් නැත.

කෙසේ නමුත් ඥානයේ සීමා පිළිබඳ ඉහත කී ප්‍රස්තුත සතර තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව පෙනේ. මෙහිදී ප්‍රයෝගික සීමා යටතේ භෞතික ලෝකය නැතහොත් ආනුභවික විෂය ක්ෂේත්‍රය පිළිබඳ දැනගැනීමට ඇති නොහැකියාව අදහස් කෙරේ.

නෛසර්ගික සීමා යටතේ අදහස් කෙරෙන්නේ ඥානය ලබාගැනීම පිළිබඳ මානවයා තුළ පවත්නා සහජ බාධාවන් ය. ඇතැම් විට මානසික සාධක ද එම මානව ඥානය පිළිබඳ ධාරිතාවයට බලපායි. තාර්කික සීමා යටතේ අදහස් කරන්නේ භාෂාවේ පවත්නා බාධාවන් ඥානයේ සීමා සඳහා කොතෙක් දුරට බලපාන්නේද? යන්න ගවේෂණය කිරීම යි.

සදාචාරාත්මක සීමා ලෙස ගැනෙන සුවිශේෂ කරුණ මඟින් භාරතීයයන් ඥානයෙහි සීමා ආධ්‍යාත්මික පාරිශුද්ධිය සඳහා භාවිත කළ අයුරු සාකච්ඡා කිරීමට උපකාරී වන බව පෙනේ. ඥානය සම්බන්ධය පැනෙන මෙම සීමා බෞද්ධ දාර්ශනික පදනමින් සාකච්ඡා කර බලන විට මේ පිළිබඳ පැහැදිලිවූත්, තාර්කිකවූත්, සාධනීයවූත් විග්‍රහයක් බුදුදහම තුළ වන බව මූලික හැදෑරීම්වලින් ම පෙනී යන අතර එහිදී බුදුසමය සැලකිල්ලට ගන්නා මූලික කරුණ නිර්වාණය නම් විමුක්තිමය පදනම බව ද දැක්විය යුතු ය.

අදහස්