මහනුවර දරුවන් මත් කළ අලවතුගොඩ තූල් හදන්නා | සිළුමිණ

මහනුවර දරුවන් මත් කළ අලවතුගොඩ තූල් හදන්නා

  • සමහර සිසුන් දිවා කාලයේ නිදා වැටෙනවා
  • සමහර සිසුන් අධි ක්‍රියාකාරීයි
  • ජාවාරම පවත්වාගෙන ගිහින් තියෙන්නේ පරෙවි කූඩුවක මුවාවෙන්

රට පුරා පාසැල් පද්ධතියත් ළමා පරපුරත් මත් රකුසා වේගයෙන් ආක්‍රමණය කෙරෙමින් පවතිද්දී මහනුවර පැසැල් එහි ප්‍රධාන ගොදුරක බවට පත්ව ඇත. මහනුවර මෙරට දෙවන අග නගරය ලෙසින් කියැවෙන නිසාත් එ් නගරයේ බොහෝ පාසැල් ජනප්‍රිය මට්ටමේ පැසැල් නිසාත් මත් ජාවාරම්කරුවන්ගේ මෙන්ම තැරැව්කරුවන්, අළෙවිකරුවන් ඇතුළු එයට සම්බන්ධ බොහෝ දෙනාගේ ප්‍රධාන ඉලක්කයක් බවට මේ වන විට මහනුවර පත්ව තිබේ. බාලක පාසැල් මෙන්ම ඇතැම් බාලිකා පාසැල් ද මෙම පිරිස්හි ඉලක්කයක් බවට මේ වන විට පත්ව තිබේ. ඇතැම් මිශ්‍ර පාසැල් මෙන්ම ජාත්‍යන්තර පාසැල් අතරට ද අණක් ගුණක් නොමැති අයුරින් රිංගා ඇති මත් වසංගතය මේ වන විට මහනුවර පාසැල් පද්ධතියට විශාල පිළලයක් වී තිබේ.

ඇතැම් පාසැල් අවට සැරිසරන මේ මත් ජාවාරම්කරුවන් බොහෝවිට තැරැව්කරුවන් මඟින් පාසැල් සිසුන් අතට මත් ද්‍රව්‍ය පත් කරනු ලැබූ අතර, මේ සඳහා බොහෝ විට ත්‍රිරෝද රථ රියදුරන් යොදා ගැනෙන බැව් පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වෙමින් පවතී. එමෙන්ම ඇතැම් සංචාරක වෙළඳුන් ද මේ සඳහා යොදා ගැනෙන අවස්ථා දක්නට ලැබේ. මහනුවර නගරයේ ක්‍රියාත්මක සිය ගණනක් වන උපකාරක පන්ති හරහා මේ වන විට මේ ජාවාරම ඔඩුදුවමින් පවතින අතර ඒ අනුව ටියුෂන් පන්ති කරා බියක් සැකක් නොමැතිව විවිධාකාරයෙන් මත් ද්‍රව්‍ය ගෙන ඒමට දරුවන් පෙලඹී සිටී. මෑතකදී එක්තරා උපකාරක පන්තියක සිසුන් කිහිප දෙනකු අත තිබූ "මාකර් පෙන්" කිහිපයක් පරීක්ෂා කිරීමේදී එහි දමා තිබූ මත් ද්‍රව්‍යක් සොයා ගැනීමට එහි ටියුෂන් ගුරුවරයාට හැකිවී තිබේ. මේ ටියුෂන් ගුරුවරයා නගරයේ පාසැලක විදුහල්පතිවරයකු ලෙස හඳුනාගෙන තිබේ.

නගරයේ ප්‍රධාන පාසැල් කිහිපයක ගුරුවරු පෙන්වා දෙන ආකාරයට මේ වසංගතය මේ වන විට පාසැල් පද්ධතිය විශාල ලෙස බිලි ගෙන තිබේ. ඇතැම් පාසැල්හි දරුවන් දිවා විවේකයෙන් පසු නිදා වැටෙන තත්ත්වයේ සිටිනු බොහෝ විට දක්නට ලැබෙන බැව් ඔවුහු කියති. එමෙන්ම සමහර සිසුන්ගේ හැසිරීමේ විශාල වෙනසක් ද මෙහි දක්නට ලැබේ. බොහෝ විට මෙම සිසුහු එම කාලයේ අධික්‍රියාකාරිත්වයෙන් කටයුතු කරන බැව් ගුරුවරු පෙන්වා දෙයි. තැන් තැන්හි කෙළ ගැසීම, විවිධ ශබ්ද නැඟීම, තනිවම කතා කිරීම, මෙන්ම මෙහි බොහෝ සිසුන්ගේ ඇස් රතුවී තිබීම දක්නට ලැබේ.

අද වන විට මෙම ජාවාරම පාසැල් පද්ධතියේ අස්සක් මුල්ලක් නෑර දිව යමින් පවතින අතර සමහර පාසැල්හි සිසුන් ඒවායේ මුදලාලිලා බවට පත්වීමට තරම් මෙය දුර දිග ගොස් තිබීම විශාල ඛේදවාචකයෙකි. පිටස්තර ජාවාරම්කරුවන්ගේ පාසැල් නියෝජිතයන් එ් අහිංසක සිසුන් ඔවුන් විසින් ගොදුර කැර ගෙන ඇත්තේ මේ අහිංසක මල් කැකුළු වලට ජංගම දුරකථන, මුදල් ආදිය යහමට ලබා දෙමිනි. එම සිසුන් තමන් මෙහෙය වන ජාවාරම්කරුවන් බොහෝ විට දැක නැත. දුරකථන මාර්ගයෙන් හඳුනාගෙන ඇති ජාවාරම් අතර සම්බන්ධීකරණය බොහෝ විට කරනුයේ අතර මැදි පුද්ගලයකු විසිනි. එම පුද්ගලයා ආසන්න කාලයෙක විද්‍යාලයෙන් ඉවත් වූ සිසුවෙකි. ඔහු බොහෝ විට ප්‍රධාන ජාවාරම්කරුගේ පණිවිඩකරු ලෙසින් ද ඔහු ක්‍රියා කර ඇත.

මෙම මත් ජාවාරමේ තවත් අතුරු පැති කිහිපයෙකි. ඒ සඳහාම වෙන් වූ කුඩා චණ්ඩි කණ්ඩායම් මේ වෙනුවෙන් බිහිව ඇත. බාල ළමුන්ගේ මුදල් සොරා ගැනීම, පැහැර ගැනීම මෙන්ම කප්පම් ගැනීම දක්වා එය දුර දිග ගොස් ඇත. අමතර පන්ති සඳහා ළමුන් ගෙන එන මුදල්, පහසුකම් ගාස්තු, මෙන්ම විවිධ අවශ්‍යතා සදහා පාසැල් වෙත ගෙන එන මුදල් එලෙස සොරා ගැනීම, කොල්ලකෑම හෝ කප්පම් ගැනීමක් ලෙස සිදු කෙරේ.

පාසැල් තුළට ඇතුඵ වන විවිධ මත් ද්‍රව්‍ය සදහා අන්වර්ථ නාම ඔවුන් විසින්ම යොදා ඇත. එම සිසුන් අතර පමණක් කතා කෙරෙන නම් වන ඒවා සඳහා බොහෝ විට යොදා ඇත්තේ අකුරු දෙක තුනක කෙටි නම් ය. මේ මත් ද්‍රව්‍ය පාසැල් තුළ සඟවා තැබීමට ස්ථාන ද සිසුන් විසින් ම සකසා ඇති අතර, එම ස්ථාන සඳහා ද යොදනු ලැබ ඇත්තේ සිසුන් අතර පමණක් කතා කෙරෙන නම් ය. විවිධ පණිවිඩ ක්‍රම ඔස්සේ එ් ස්ථාන තම මිතුරනට පෙන්වා දෙන මේ පිරිස් සෑම විට ම ඒ පිළිබඳ ව අවධානයෙන් ද සිටී.

සිත්පිත් නැති මත් රකුසා මේ වන විට විවිධාකාර වේශයන්ගෙන් රට පුරාවට සැහැල්ලුවෙන් පියඹනුයේ ළමා ලෝක මෙන්ම ඔවුන්ගේ පාසැල් ජීවිත ධාරාව ම අඳුරු අගාධයකට ගෙන යමින් ය. මෙලෙස මහනුවර හා ඒ අවට පාසැල් දරුවන් අදුරු අගාධයේ කලක සිට ගිල්වමින් තිබූ මත් රකුසකු කොටු කැර ගැනිමට අලවතුගොඩ පොලිසියට පසුගියදා හැකිවිණි.

මේ වන විට පාසැල් ළමුන් අතර ඉතා ජනප්‍රිය මත් ද්‍රව්‍ය විශේෂයක් වන තූල් නැමැති විෂ දුම් කුඩු කිලෝ එකසිය දහයකට අධික ප්‍රමාණයක් මෙහිදී පොලිස් අත් අඩංගුවට ගැණිනි. අකුරණ නගරයේ ප්‍රකට ව්‍යපාරිකයකු ලෙසින් පෙනී සිටි පුද්ගලයකුගේ අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවස වැටලීමේදී මේ මත් ද්‍රව්‍ය තොගය සොයා ගැණුුනු අතර එය මේ මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන රහසිගත ජාවාරම් මධ්‍යස්ථානය බවට හෙළි විණි. අදාළ ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ පරවි කූඩුවක මුවාවෙන් මෙම ජාවාරම් මධ්‍යස්ථානය කලක සිට මෙහි පවත්වාගෙන ගොස් අති බවට මේ වන විට තොරතුරු හෙළි වෙමින් තිබේ.

අකුරණ, අලවතුගොඩ ප්‍රදේශ වල පාසැල් සිසුන් ඉලක්ක කැර සිදු කෙරෙන තූල් ජාවාරම පිළිබඳ ව දිගින් දිගට ම අවධානයෙන් සිටි අලවතුගොඩ පොලිසිය විසින් විටින් විට ඒ සම්බන්ධ කිහිප දෙනෙකු ම අත්අඩංගුවට ගැණිනි.

එක් දිනක තූල් පැකට්ටු කිහිපයක් සමඟ සැකකරුවකු අකුරණ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගැණුනු අතර, එහිදී පොලීසිය ඔහුගෙන් දිගින් දිගට ම ප්‍රශ්න කිරීමට පෙලඹුණේ ඔහුගෙන් මේ මහා පරිමාණ ජාවාරම පිළිබඳ ව කුමන හෝ නිශ්චිත තොරතුරක් දැන ගැනිමේ උවමනාවෙනි. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවෙහි සැකකරු තොරතුරු රැසක් ඒ පිළිබඳ ව හෙළි කළ ද ප්‍රධාන ජාවාරම්කරු අදාළ ජාවාරම් මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ කොතනදැයි ඔහුටත් නිශ්චිතව කිව නොහැකි වූයේ ඒ වන විට මෙම ජාවාරම් මධ්‍යස්ථානය පිළිබඳ ව ප්‍රධාන ජාවාරම්කරුගේ ගැණුම්කරුවන්, ගෝල බාලයන් කිසි දිනක අදාළ ස්ථානය වෙත ඔහු ගෙන ගොස් නොසිටි බැවිනි.

අත්අඩංගුවට ගැණුන සැකකරු අනූව කියවුණේ අකුරණ නගරයේ එළවළු තොග ව්‍යපාරිකයකු පිළිබඳ තොරතුරු ය. එ් තොරතුරු අනූව ව්‍යපාරිකයා අකුරණ ගව ඝාතකාගාරය සදහා ගවයන් සපයන්නකු බවද හෙළිවිණි. අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.අයි.එස්.ඊ.ඉලංගසිහ මහතාගේ මෙහෙයවීමෙන් වහා ක්‍රියාත්මක වූ එහි අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මේ මහා පරිමාණ රකුසා කොටු කැර ගැනීමේ මෙහෙයුමක් සැළැසුම් කළහ.මෙහෙයුම කොතනකින් හෝ කාන්දු නොවීමට අවශ්‍ය සැළැසුම් ඔවුන් සැකසුවේ එසේ කාන්දු වූයේ නම් යළි පොලීසියට එවනි මෙහෙයුමක් කලක් ගතවනතුරු පහසුවෙන් කළ නොහැකි නිසාවෙනි.

සැලසුම අනූව පොලිස් කොස්තාපල්වරයකුට ව්‍යාපාරික වෙස් ගැනීමට සිදු විය. පොලිස් උපාය ධූතයකු ලෙස යෙදවූ ඔහු අකුරණ තෙළඹුගහවත්ත නිවසට කරා ගමන් කරනුයේ පැකට් නොකළ තූල් මහා පරිමාණයෙන් මිළදී ගැනීමට ය. එහෙත් හරියාකාරයෙන් නොහඳුනන මෙම උපාය ධූතයා හට එතරම් තූල් තොගයක් ලබා නොදෙන ජාවාරම්කරු ඒ සඳහා ඔහුට පැකට්ටු තිහක් පමණක් ලබා දේ. ඒ අතරතුර නිවසෙහි වටපිටාව පිළිබඳ ව තොරතුරු නිරීක්ෂණය කිරීමට පොලිස් නිළධාරී උපාය ධූතයා පෙල‍ෙඹන ද ඔහුට එතරම් තොරතුරු සොයා ගැනීමට ලෙහෙසි පහසු නොවීය.මෙම ගනදෙනුව සිදු වන විටත් අදාළ නිවස වටා නිල ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් රැකවල් ගෙන සිටි අතර උපාය ධූතයා හා ජාවාරම්කරු නිවසෙහි සිටියදී ඒ මොහොතේ එක්වරම කඩා වැටුණු මෙම පොලිස් නිලධාරීන් නිවසෙහි බොහෝ ස්ථාන පරීක්ෂා කළ ද අමතර කිසිදු මත් ද්‍රව්‍යක් ඔවුනට සොයා ගැනීමට නොහැකි විය. එහෙත් ඒ මොහොතේ එක් වරම ඔවුනගේ නෙත ගැටුණේ නිවසෙහි තෙවන මහල සඳහා යොදා තිබූ කොන්ක්‍රීට් ආවරණය මත ඉදිකර තිබූ අඩි පහළොවක විස්සක පමණ දිගින් යුත් අඩි හයක පමණ පළලැති උසැති පරවි කූඩුවක් දෙසට ය. ඒත් සමඟම එම ස්ථානය වහා පරීක්ෂා කළ පොලිස් නිළධාරීන්ට දැඩි පරිශ්‍රමයක් යොදා කලක සිට සිදු කළ පරීක්ෂණයේ ප්‍රතිඵල සාර්ථක වී ඇති බව පෙනිණි. යන්ත්‍ර සූත්‍ර කිහිපයක් හා අඩි කිහිපයක් උසැති බකට්ටු කිහිපයක් මොවුන්ට එහිදී හමුවිණි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.එම්.සිසිර කුමාර, සහකාර පොලිස් අධිකාරි, ලලිත් අබේගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.අයි.එස්.ඊ. ඉලංගසිහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් බන්දුල (13652)

කොස්තාපල්වරුන් වන ප්‍රියන්ත (65033), ඉමාෂ (92005) යන නිලධාරීහු ඇතුඵ පිරිසක් මෙහි පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර ඔවුන් මේ වන විට අනාවරණය කැර ගනු ලැබූ තොරතුරු අනූව මෙම නීති විරෝධී නිෂ්පාදනාගාරය මඟින් මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථාන කරා තූල් මත් ද්‍රව්‍ය බෙදා හැර ඇත. ජාවාරම්කරුගෙන් ගෙනෙන ග්රෑම් තිහක මේ එක් පැකට්ටුවක් රුපියල් හාරසියය, හාරසිය පණහ අතර මුදලකට ගැනුම්කරුවන් විසින් අළෙවි කිරීමට පෙලඹී ඇත. මේ අළෙවිකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය පාසැල් දරුවන් ය. පාසැල් අසල සැරිසරමින් මෙන්ම තැරැව්කරුවන් මඟින් සිසුන් අතට පත් කෙරෙන මේවා පාසැල් සිසුන් අතර ජනප්‍රිය කැරවීමට ද ඔවුන් විවිධ උපායන් යොදා ගෙන තිබේ. මෙයට අමතරව අකුරණ අලවතුගොඩ ප්‍රධාන ප්‍රදේශවල කාන්තාවන් ද මෙම ජාවාරමේ ප්‍රධාන ඉලක්කයක් විණි.

මේ වනවිට මේ මහා පරිමාණ ජවාරම්කරු හට දඩ නියම වී ඉන් දඩ ගෙවා ඔහු එයින් නිදහස් වී තිබේ. එහෙත් ඔහු ජාවාරම සඳහා යොදා ගත් යන්ත්‍ර උපකරණ අධිකරණ භාරයට පත්ව ඇත. මේ එක් ජාවාරම්කරුවකු පමණි. තවත් ජාවාරම්කරුවන් රැසක් මේ වන විටත් නිදහසේ ජාවාරමේ යෙදෙනවා විය හැකිය. ඔවුන් මේ සිදු කෙරෙනුයේ ජාතියේ සමස්ත අනාගතය ම අගාධයට ඇද දැමීම ය. මහනුවර නගරය‍ේ මෙන්ම නගරයෙන් පිට පාසැල් වලට ද ඔවුන්ගේ අවධානය යොමුව ඇත. ජනප්‍රියත්වයත්, අවධානයත් නිසාම මහනුවර පාසැල් පද්ධතිය විවිධ ජාවාරම්කරුවන්ගේ ගිජු දෑස් එල්ල වීමට බලපා ඇතැයි පෙනේ. එ් ගිජු දෑස් මාන බලනුයේ ලද සැණින් දරුවන් ඉන් ඩැහැ ගනීමට ය. මේ වන විට මේ පාසැල් පද්ධතිය මුඵමනින් ම මත් රකුසාගේ ග්‍රහණයට දැඩිව හසු වී ඇතැයි බොහෝ සමීක්ෂණ පෙන්වා දෙයි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන් සිසිර කුමාර මහතා පෙන්වා දෙන ආකාරයට මේ මත් උවදුර මැඩළීමට වැඩපිළිවෙළ රැසක් මේ වන විට ගෙන ඇත. පාසැල් සිසුන් විවිධ ක්‍රම ඔස්සේ දැනුවත් කරන අතර ප්‍රධාන ජාවාරම්කරුවන්, අතරමැදියන්, මෙන්ම නිෂ්පාදකයන් සොයා පුළුල් පරීක්ෂණ ආරම්භ කැර තිබේ. පොලීසියට ලැබෙන තොරතුරු අතර මේ ජාවාරම සඳහා වැඩි වශයෙන් යොමුව ඇත්තේ උසස් පෙළ සිසුන් ය. ඉන් බොහෝ සිසුන්ගේ දෙමාපියන් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ උසස් රැකියාවල නිරත අයවළුන් ය.

Comments