රටවල් 15කට ගෑවුණු උදයංග පවුලේ ‘අමුතු ගිණුම්’ | සිළුමිණ

රටවල් 15කට ගෑවුණු උදයංග පවුලේ ‘අමුතු ගිණුම්’

  • aආපු සල්ලි නැවත උදයංගගේ ගිණුමකට
  • පවුලේ ඥාතීන් සිවු දෙනෙකුටත් සල්ලි ඇවිත්
  • ගිණුම් 16ක ඩොලර් ලක්ෂ 17ක්

උදයංග වීරතුංග යනු, මේ රටේ ජනතාවගේ ‘ආදරණීය නායකයකු’ ලෙස හැඳින්වෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මවු පාර්ශ්වයෙන් මස්සිනා කෙනෙකි. රුසියාව සමඟ සම්බන්ධකම් තිබුණු ඔහු රුසියාවේ සහ යුක්රේනයේ තානාපතිවරයා ලෙස පත් කෙරෙන්නේ 2005දී මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා බවට පත් වූ පසුවය. ඥාතිත්වය මත තානාපතිකම ගත් උදයංගගේ නම කුප්‍රකට වන්නේ රුසියාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිල දී ගැනුණු මිග් යානා පිළිබඳ ගනුදෙනුවෙනි.

මිග් යානා පිළිබඳ අප්‍රසන්න අත්දැකීමක් තිබියදී, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා 2006 ජනවාරියේදී වාර්තාවක් ඉදිරිපත් කරමින්, ගුවන් හමුදාව තවදුරටත් මිග් යානා මිලදී ගැනීම අත්හැර දැමිය යුතු බවත්, ලංකාවේ ගුවන් හමුදාවට අයත් යානා සංචිතය නවීකරණය සඳහා වෙනත් රටවලින් විකල්ප සොයා බැලිය යුතු බවත් පෙන්වා දී තිබියදී, ඊළඟ මාසයේදීම, ගුවන් හමුදාපතිවරයාගේ මේ තීන්දුව කණපිට හැරිණි.

ඊට හේතුව නම්, උදයංග වීරතුංග සහ ඔහුගේ ව්‍යාපාරික සගයකු වන යුක්රේන ජාතික ඩිමිට්‍රෝ පෙරෙගුඩෝව් එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මිග් 27 යානා කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විකිණීම සඳහා ගෙන ආ යෝජනාවෙනි.

මේ සඳහා, යුක්රේන ජාතික පෙරෙගුඩෝව් නමැත්තා ඉදිරිපත් කළ ගනුදෙනුව සහ යෝජනාව හඳුන්වා දී තිබුණේ, කෙළින්ම යුක්රේන රජයට අයත් ‘යුක්රින්මෑෂ්’ නමැති ආයතනයෙන් ඉදිරිපත් වන යෝජනාවක් වශයෙනි. ඒ ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සියලු ගෙවීම් කර තිබුණේ අබිරහස් තුන්වැනි පාර්ශ්වයකටය. එය, ‘බෙලිමිස්ස හෝල්ඩිංස් සමාගම’ නම් විය.

අවසානයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව ඊට අවුරුදු හයකට කලින් මේ වර්ගයේම යානා මිල දී ගන්නට ගෙවා තිබූ මුදල මෙන් දෙගුණයක් ගෙවා - එනම්: එක් යානයක් ඩොලර් මිලියන 2.4ක් ගෙවා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ විවදාපන්න සමාගමෙන් මිග් යානා මිලට ගත්තේය. ඒ සඳහා ගෙවිය යුතු වූ මුළු මුදල ඩොලර් මිලියන 15කට ආසන්න විය.

මේ පිළිබඳව පළමුවරට 2006 දෙසැම්බරයේදී ලසන්ත වික්‍රමතුංග විසින් ‘ද සන්ඩේ ලීඩර්’ පුවත්පතින් හෙළිදරව්වක් කරනු ලැබිණි. එහෙත් ඊට කලකට පසු සිදු වූ ලසන්ත ඝාතනයත් සමඟ මේ ගැන කතා-බහ බොහෝ දුරට යටපත් විණි.

2015 වස‍රේ නව රජය පත් වීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ නඩුව යළි විභාග කිරීමට පටන් ගත් පසු, ‍යළිත් උදයංගගේ නම කරළියට පැමිණි‍යේය. එහිදී සොයාගත් කරුණු රාශියකි. එහිදී සිදු වූ ගනුදෙනු‍ හා ඊට සම්බන්ධ වූ ආයතන පිළිබඳ විවිධ තොරතුරු අධිකරණයට වාර්තා වූ අතර, මෙහි ප්‍රධාන සැකකාර හිටපු තානාපති උදයංග වීරතුංග දැනට සිටින රටින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාතික පොලිසිය රතු නිවේදනද නිකුත් කර ඇත.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් පැමිණි අලුත්ම තොරතුරු රැසක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පසුගිය බදාදා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙතෙක් සිදුව ඇති විමර්ශනවලට අනුව ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් 16ක ඇති ඩොලර් ලක්ෂ 17ක් ගැන විශේෂ විමර්ශනයක් සිදු කරන බවයි.

එමෙන්ම ඔහුගේ ඥාතීන් 5 දෙනකුගේ බැංකු ගිණුම් 50කට ආසන්න ප්‍රමාණයක ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට වාර්තාවක් මඟින් වැඩිදුරටත් දැනුම් දුන්නේ පසුගිය ජනවාරි 16 දාය.

මේ තොරතුරු අනුව උදයංග, ඔහුගේ බිරිය, නැන්දම්මා සහ මස්සිනා ඇතුළු පරම්පරාවටම ඩොලර් මිලියන ගණන් ගලා විත් ඇති අතර, ඒ මුදල්වලින් රුපියල් මිලියන 72කට අධික මුදලක් මේ වන විටත් උදයංග පදිංචිව සිටින ඩුබායි රටට ප්‍රේෂණය වී තිබේ. මූලික විමර්ශනවලදී හෙළිව ඇති කරුණක් වන්නේ මේ ගිණුම්වලට මුදල් පැමිණ ඇත්තේ මිග් ගනුදෙනුවට සම්බන්ධව නම් ගෑවුණු සමාගම්වලින් බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග් යානා මිල දී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත් වී, මේ රටේ මුදල් මිලියන ගණනක් පිල්ලි ගසාගෙන ඇති ඔහුගේ නමින්, ගම්පහ පෞද්ගලික බැංකුවක අරඹා තිබූ ගිණුමට විශාල මුදල් ප්‍රමාණයක් බැර වී ඇතත්, ඒ බැංකුවේ කළමනාකරුද ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත. මේ බව, රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා පසුගියදා අධිකරණයට දැනුම් දී තිබේ. එමෙන්ම, ගම්පහ බැංකුවේ සිටි එම කළමනාකරු, පුත්තලම ප්‍රදේශයේ පිහිටි ශාඛාවකට මාරුවක් ලැබ ගොස් ඇති අතර, ඒ හා සමඟම උදයංග වීරතුංගගේ බැංකු ගිණුමද එම ශාඛාවට මාරු කරගෙන ඇතැයි රජයේ අධිනීතිඥවරයා තවදුරටත් දැනුම් දුන්නේය.

මේ සම්බන්ධව අවශ්‍යව සිටින උදයංගගේ බිරිය, නැන්දම්මා වන ලතා ඉන්ද්‍රානි මාන්නප්පෙරුම සහ බිරියගේ සොහොයුරා වන ලලිත් නෙළුම් මාන්නප්පෙරුම මේ වන විටත් මෙරටින් පිටව ගොස් ඇත.

මේ අතර යුක්රෙන රජය අනාවරණය කරගෙන ඇති පරිදි, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ යුක්රේන ආණ්ඩුව ඍජුව, කිසිදු මිග් යානා ගනුදෙනුවකට හෝ ගිවිසුමකට එළැඹ නැත.

එහෙත්, 2007දී මෙරටට ගෙනා මිග් යානා, යුක්රේන ආණ්ඩුව විකුණා ඇත්තේ, ඩී.එස්. එලායන්ස් සමාගමටයි. බෙලිමිස්ස හෝල්ඩිංස් යනු බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් නමැති දූපත් සමූහයේ පිහිටා ඇති කුප්‍රකට සමාගමක් බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සොයාගෙන තිබේ. අඛණ්ඩව එහි හිමිකාරිත්වය තිබී ඇත්තේ ටී.එස්. ලී නමැත්තාට සහ ඩී.එස්. එලයන්ස් නමැති කල්ලියටය. මොවුන්ගේ බැංකු ගිණුමක් සිංගප්පූරුවේ ඇති බවත්, ඩී.එස්. එලයන්ස් සමාගමේ ගිණුමකුත් ඒ බැංකුවේම ඇති බවත් අපරාධ මූල්‍ය කොට්ඨාසය මේ වන විට සොයාගෙන තිබේ.

හෙළිදරව් වී ඇති පරිදී ඒ, එක් යානාවක් ඩොලර් මිලියන එකකටත් අඩු මිලකටය. ඒ මිල, දෙගුණයකටත් වඩා වැඩි කොට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විකුණා ඇත්තේ අතරමැදියන් පිරිසකි. ඔවුන් එයින් අයථා ලෙස මෙරටින් ගසාකෑ මෙරට දුප්පතුන්ගේ මුදල් ප්‍රමාණය, එක ගුවන් යානයකට පමණක්, ඩොලර් මිලියන 1.4කි. උදයංගලා හැර මේ හොර මගඩියට මැදිහත් වූ වෙනත් කෙනකු නැති බව සනාථ කරමින්, ඔවුන් නොවන්නට, මෙවැනි ගනුදෙනුවක් මොන විදියකින් වත් සිදු නොවන බව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කරන ලද ගුවන් හමුදා නිලධාරීන් කිහිපදෙනකුම ‍පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, තේ කොළ වෙළෙන්දකු සේ රුසියාවට ගිය උදයංග වීරතුංග අද වන විට මෙරටින් මහා ධනස්කන්ධයක් උපයාගත් ධනවතකු බවට පත්ව තිබේ.

අදහස්