විගොඩ සණසේ කෝටි 75 පිල්ලි ගිහින්ද? | සිළුමිණ

විගොඩ සණසේ කෝටි 75 පිල්ලි ගිහින්ද?

  • කෝටි 75කට වෙච්චි දෙයක් නෑ කියලා විගණනයෙන් කියනවා
  • කරපු ආයෝජන සැක සහිතයිලු
  • සභාපති දේශපාලන පක්ෂයක් සල්ලිවලට අරන්
  • සභාපතිකම භාරගන්නකොට සමිතියෙ තිබුණේ ලක්ෂ 3 යි
  • මේ මට්ටමට ගෙනාවේ නොවිඳිනා දුක් විඳලා..
  • කුමන්ත්‍රණයට අහුවෙලා ආයතනය විනාශ කරන්න එපා

ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසය වේයන්ගොඩ නගර සීමාවට මායිම් වන නයිවල පුංචි නගරයයි. එතැන මිනිස්සු දෙසීයක් පමණ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක යෙදී සිටිති. උද්ඝෝෂණයට නිමිත්ත වී ඇත්තේ දීප ව්‍යාප්ත සණස බැංකු ජාලයේ දීප්තිමත් ශාඛාවක් වූ විගොඩ සණස බැංකුවේ තැන්පත්කළ මුදල් ආපසු ලබා නොදීමයි. ඒ අසාධාරණයට එරෙහිව සටන් වදින්නට ගනුදෙනු කරුවන් මහ මඟට පැමිණ තිබේ. මේ වන විට “විගොඩ සණස තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධාන” සංවිධානයක් ද ආරම්භ කර ඇත.

ඔවුන්ගේ කතාව දුක්බරය, සිදුව ඇති අසාධාරණයට පිහිටවන්නට කිසිදු පුද්ගලයෙකු හෝ ආයතනයක් ද නැත. අහිමි වීමද දරාගත නොහැක. අන්ත අසරණ වී සිටින අවස්ථාවේ තෝරාගන්නට ඉතිරිව ඇත්තේ මහ පාර පමණි. පාරට වැටුණු මිනිසුන්ගේ අඳෝනා අසා සිටිය යුතුය. අසා සිටිය යුතු ඒ ව්‍යසනය යළි පුනරුච්ඡාරණය නොවිය යුතුය.

සණස බැංකු ජාලය ක්‍රියාත්මක වන්නේ සමුපකාර දෙපාර්තමේන්තුවට යටත්වය. සමුපකාරය කියූ පමණින් ජනතා සිත්වලට දැනෙන්නේ විශ්වාසයක් මිස අවිශ්වාසයක් නම් නොවේ. රජය මගින් ක්‍රියාත්මක වන විෂයභාර අමාත්‍යවරයෙකු සිටින රට පුරා විහිදී තිබෙන “සමුපකාර ණය ගනුදෙනු සමිතිය” පිළිබඳ විශ්වාසය තබන්නට බැරි නම් වෙනත් විශ්වාස කළ හැකි ආයතන මෙරට තිබේදැයි සැක සහිතය. එහෙත් එය එසේ සිදු වී නොමැත. විගොඩ සණස බැංකුවේ මුදල් තැන්පත් කරුවන්ගේ විශ්වාසය දැන් කඩ වී ඇත. ඔවුන් පවසන ආකාරයට තැන්පත් කළ මුදල් නොව ඒ සඳහා ගෙවිය යුතු පොලී මුදල් ගෙවන්නටවත් බැංකුව අපොහොසත්ය. සණස තැම්පත් කරුවන් සුරැකීමේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කරන්නේ කේ.ආර්. උදය සම්පත් ය. ඔහු රුපියල් ලක්ෂ හතළිහක් (40) ස්ථිර තැන්පතුවක් ලෙස බැංකුවේ තැන්පත් කළ අයෙකි. එම මුදල වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්නට ඔහු මහ පාරට බැස සිටී.

“මම තැන්පත් කරපු මුදලට මාසෙක තිස්දාහක පොලියක් ලැබුණා. සැප්තැම්බර් මාසෙ ඉඳල පොලී ගෙවීම නතර වුණා. එහෙම වුණේ ඇයි කියල බලන්න ගිය වෙලාවෙ තමයි දැනගත්තෙ මට විතරක් නෙමෙයි කාටවත් දෙන්න සණසෙ සල්ලි නෑ කියලා. මේ සල්ලිවලින් රුපියල් කෝටි හතළිහක්ම අරගෙන තියෙන්නෙ සභාපතියි. එයාගෙ නෝනයි. සභාපතිගෙ නෝනා තමයි සණස බැංකුවේ කළමනාකරු. මේ සණස බැංකුවෙ නෙවෙයි නාවාන - බෝගමුව - වත්තෙගෙදර - ගොතටුව - කොලොන්නාව - කඳාන වැනි තැන්වල සමිතිවලත් කෝටි ගණන් අවභාවිත වෙලා. යන යන හැම තැනකම අහස උසට බිල්ඩිං ගහලා. කඩ විකුණනවා. කාමර කුලියට දෙනවා. මේ ගනුදෙනු සිද්ධ වුණේ කොහොමද. මේවාට යට කරපු මුදල කීයද? කොන්ත්‍රාත් ක්‍රමයට හදපු බිල්ඩින්වල කොන්ත්‍රාත් මුදල කීයද? වහාම මේවා ගැන පරීක්ෂණයක් කරන්න ඕනෑ. මුළු රටේම ඉන්න අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරල මැස්සොවත් ඇහිරෙන්නැති තැන්වල සාප්පු සංකීර්ණ හදලා. මේ හැම බිල්ඩින් එකකම තක්සේරු වාර්තා විගණනය කරන්න ඕනෑ. සණසෙ හදල තියෙන එක බිල්ඩිමක් විකුණල අපේ සල්ලි ගෙවන්න පුළුවන්. මේක දීප ව්‍යාප්ත ආයතනයක්. සභාපතිවරයා පිට වරද පටවලා නිදහස් වෙන්න හදන්නෙ නැතිව විධිමත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන්න.

මේ වංචා එක රැයින් සිදු වුණේ නෑ. අප එය වටහා ගත යුතුයි...

කවුරුහරි එක්කෙනෙක් දෙන්නෙක් උසාවි ගෙනිහිං මාස දෙක තුනක් හිරේට දාල වැඩේ අමතක කරයි. ඒකෙන් අපේ ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. මම ජනාධිපති අගමැති ඇතුළු රජයෙන් ඉල්ලීමක් කරනව කරුණා කරල අපේ ප්‍රශ්නෙට ඉක්මන් විසඳුමක් දෙන්න කියලයි. උදය සම්පත් පවසයි.

තැන්පත්කරුවන් සුරැකීමේ සංගමයේ සභාපති තනතුර දරන්නෙ ලක්ෂණ අභයගුණවර්ධන ය. ඔහු මීට මාස කිහිපයකට පෙර ලක්ෂ පහක මුදලක් ස්ථීර තැන්පත් වශයෙන් බැංකුවේ තැන්පත් කළ අයෙකි.

“අද මේ මහ පා‍රට ඇවිත් අ‍ඳෝනා තියන අය අතරෙ අහිංසකම අහිංසක මනුස්සයො ගොඩක් ඉන්නවා. සමහර කාන්තාවෝ පොල් අතු වියල කොහු ලණු අඹරල එකතුකර ගත්ත සල්ලි සමිතියට දාල තියෙනව. බටු ගෙඩිය, මිරිස් කරල විකුණලා රුපියල දෙක එකතු කරල ඉතුරු කරපු අය, පිං පඩියෙන් කොටස කොටස බැංකුවට දාල ඉතුරු කරන අය ඒ අතර ඉන්නවා. අපි කතා කරන්නෙ ඒ මිනිස්සු වෙනුවෙන්... මෙම සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන එම්. ටිරෝන් ශාන්ත ඩයස් තමන්ට සිදුව ඇති අසාධාරණය ගැන පවසන්නේ මෙවැනි කතාවකි.

මුල්ම දවසෙ මම විගොඩ සණසට ගියෙ අතේ සල්ලි අරගෙන නෙවෙයි. මම යනකොට වෙලාව හවස හතරට විතර ඇති. ජා-ඇළ බැංකුවක තමයි මගෙ සල්ලි තැන්පත් කරල තිබුණේ. සමිතියෙන් මට කාර් එකක් දුන්න දැන්මම සල්ලි අරගෙන එන්න කියලා. ජා-ඇළ බැංකුව ඒ වෙලාවෙ වහල නිසා කිරිබත්ගොඩ සිටි බෑන්ක් එකෙන් මම සල්ලි අරගත්තා. මගෙ එකවුන්ට්එක සණසෙ ඕපන් කරනකොට වෙලාව රෑ අටත් පහුවෙලා. එහෙම ගත්ත ලක්ෂ විසි තුනක් සණසෙ තියෙනවා. දැන් ගිහිං ඉල්ලනකොට හෙට දෙන්නං, අනිද්ද දෙන්නං කියනවා. මට විතරක් නෙවෙයි. මේ කිසිම කෙනෙකුට තැන්පත් කරපු සල්ලි තියා පොලියවත් ගෙවන්න සල්ලි සතපහක්වත් නෑ, ඔඩිට් කරන්ඩ ආපු අය කියනව කෝටි හැත්තැපහකට වෙච්ච දෙයක් නැතිලු. සල්ලි ඉල්ලලා බැරිම තැන අපි ගියා සණස කොමසාරිස් ළඟට. එයා කියනව ‍ගමේ අයට විතරලු සණස බැංකුවල සල්ලි තැම්පත් කරන්න පුළුවන්. පිට පළාත්වල අයට සමිතියට බන්දවන්න එපා කියල ව්‍යවස්ථාවෙ තියෙනවලු. එයාලට කරන්ඩ දෙයක් නැතිලු. නඩු දාන්ඩලු. විගොඩ සණසෙ ඉන්නව කුරුණෑගල, ගාල්ල, අම්පාර වගෙ මේ දිස්ත්‍රික්කෙවත් පදිංචි නැති සාමාජිකයො. මේ වගේ ප්‍රශ්නයක් වෙනකං ඔය කියන පරිපාලනය කරපු මහත්තුරු මේව දැක්කෙ නැද්ද?. මාසෙකට සැරයක් ඔඩිට් කරනවලු. මේ තරම් මුදලක් විනාශ වෙනකම් කරපු ඔඩ්ට් එක මොකක්ද ?. ඒ අය දැන් අත පිහිද ගන්නවා.

මේ එක බැංකුවක්වත් මහ බැංකුව ය‍ටතේ ලියාපදිංචි වෙලා නෑ. ලියාපදිංචි වෙලා තියෙන්නේ සණස සංගමයෙ විතරයි. තැම්පත්කරුවන්ගෙ සල්ලිවලට මහ බැංකුව වග කියන්නෙත් නැ. සණස වග කියන්නෙත් නෑ. සමූපකාර දෙපාර්තමේන්තුව වග කියන්නෙත් නෑ.

සණස බැංකුවල තැම්පත් කරන සල්ලිවලට බදු මුදලක් අය කරන්නෙ නෑ. මමත් මගෙ සල්ලි සණසට දැම්මේ බදු ගහන්නෙ නැති හින්දා. බලාගෙන යනකොට මේ රටේ හොරකම් කරන අය බද්දෙනුත් නිදහස් කරලා.“

නම සදහන් කරනවාට ඔහු අකමැතිය. විගොඩ සණස ආයතනයේ ඔහු තැන්පත් කර ඇති මුදල රුපියල් ලක්ෂ 18කි. මහ ප‍ාරේ උද්ඝෝෂණ කරන්නට ඔහු සහභාගී නොවේ. අවසන් වරට ඒ හඬ ද සටහන් කළ යුතුමය.

“මට මගෙ සල්ලිටික වටිනවා. මගෙ සල්ලි මට ඕනෑ ඒත්. මම විගොඩ සණසට විරුද්ධව පාරට යන්නෙ නෑ. අන්තිම අසරණ අඩියක ජීවත්වෙන කාලෙ මට ණය මුදලක් දුන්නෙ විගොඩ සණස. මට මගේම කියල ගෙයක් දොරක් තිබුණේ නෑ. රස්සාවක් තිබුණේ නෑ. අද මට හොඳ ව්‍යාපාරයක් තියෙනවා. ගෙයක් දොරක් හදාගත්තා. ලක්ෂ 18ක් සණසෙ ඉතුරු කරල තියෙනවා. මම අමාරුවෙන් හම්බකර ගත්තු සල්ලිටික ඕනෑ වුණාට මුල අමතක කරන්න බෑ. ණය ගන්න බැංකු ‍ගානෙ රස්තියාදු වෙලා අන්තිමට තමයි සණසට ගියෙ. සිදුවෙලා තියෙන හැම දෙයක්ම මම දන්නවා. ඒත්.... සණස වගේ පහසුවෙන් ගනුදෙනුවක් කරගන්න තියෙන ආයතනයක් නැති වෙලා යන්න හොඳ නෑ. මීට වැඩිය කල්පනාවෙන් වැඩ කරන හොඳ පරිපාලනයක් ඇති වැඩදායක මූල්‍ය ආයතනයක් ගමකට අවශ්‍යයි.“

තැන්පත්කුරුවෝ තමන්ට අසාධාරණයක් සිදු වූයේ යැයි කියමින් චෝදනා නගති. ඇතැමෙක් ජීවිතයම කඩා වැටුණු සේ කම්පා වේ. තැන්පත්කරුවෝ අදාළ බලධාරීන්ට ඇඟිල්ල දිගු කරන විට බලධාරීන් ඇඟිල්ල දිගු කරන්නේ තැන්පත්කරුවන් වෙතය.

ඇත්තටම සිදු වූයේ කුමක්ද?. දහඩිය මහන්සියෙන් හම්බ කළ පනම් හතර පිල්ලි ගැසුවේ කවුරුදැයි දැන් සෙවිය යුතුය. මෙහි ඇත්ත කතාව කුමක්දැයි සොයා කාට කාටත් සාධාරණය ඉටු කළ යුතුය. අදාළ බලධරයනි, ඔබේ අවධානය මෙදෙසට ද යොමු කරන්න.


සමීර සේනානායක

ණස තැන්පත්කරුවෝ දැන් අසරණය. ඔවුන් තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳ ව හඬක් නඟන විට මෙයට සම්බන්ධ යැයි කියන වීගොඩ සණස සභාපතිවරයාටද අප කතා කළෙමු. ඔහු සමීර සේනානායකය. සමීර සේනානායක වසර 15 ක් තිස්සේ විගොඩ සණස සමිතියේ සභාපතිවරයාය.

මේ ගැන මුල ඉදලම කතා කරනව නම් වීගොඩ සණස සමිතියෙ සභාපතිකම මම භාර ගත්තෙ 2002 අවුරුද්දෙ. ඒ වෙලාවේ අපේ සමිතියේ වත්කම් විදිහට තිබුණේ රුපියල් ලක්ෂ තුනක් විතරයි. 2017 අවුරුද්ද වෙද්දි කෝටි අසුවකට ආසන්න වත්කම් ප්‍රමාණයක් උපයාගන්න අපට හැකියාව ලැබුණා. ඒ සඳහා මම ඇතුළු අපේ කාර්ය මණ්ඩලය කළ කැපවීම අති විශාලයි. ආයතනය ඉහළට යනව බලාගෙන සතුටු වෙන්න බැරි පිරිසකුත් ඒ අතර හිටියා. ආයතනයෙන් ණය අරගෙන වාරික නොගෙව ණය පැහැර හැරපු පිරිසකට තමයි ‍මේ තත්වය දරාගන්න බැරි වුණේ. ඔවුන්ට අවශ්‍ය වූණා සණස වට්ටන්න. විනාශ කරන්න. ඒ ගොල්ලො බොහොම සක්‍රීය ආකාරයට අපට මඩ ගහන්න පටන් ගත්තා. විවිධ චෝදනා එල්ල කළා. මේ ඇතිවෙලා තියෙන තත්වය නිර්මාණය වෙන්නෙ ඒ අය හරහා අපි මේ හැමෝටම ණය දුන්නෙ ඔවුන් ජීවිතය ගොඩ නගා ගනීවි කියන අරමුණෙන්. ඒ අය නැගිට්ටෙත් නෑ. අපි නැගිටල ඉන්නවට කැමතිත් නෑ. මේ කඩාකප්පල්කාරී ක්‍රියා අද ඊයේ ඇති වුණු දෙයක් නෙවෙයි. දීර්ඝ කාලෙක ඉදල විවිධ කුමන්ත්‍රණ දියත් කළා. ආයතනය විදිහට අපි ඒ හැම දේටම ශක්තිමත්ව මුහුණ දුන්නා. නමුත් මේ මොහොතෙ ඒ අයගෙ සැලසුම් යම් ප්‍රමාණයකට සාර්ථක වුණා. සමාජය තුළ සහ සාමාජිකයින් අතර මතය ගොඩ නැගුව සණස වැටිල තියෙන්නෙ කියල. අපේ සාමාජිකයින් පිරිසක් කිසිම සොයා බැලීමක් නැතිව කුමන්ත්‍රණ කාරයින්ගෙ මතය පිළිගත්තා. ඒ අය එක දිගට ඇවිත් තැන්පත් මුදල් ආපසු ලබාගත්තා. ඒ අවස්ථාවත් අපව වට්ටන්න ප්‍රයෝජනයට ගත්තා. අන්න හැමෝම සල්ලි ආපසු අරගෙන යනව කියල තව ප්‍රචාරයක් යැව්වා.මේ ආරංචිය වටේ පැතිරිලා සියලුම තැම්පත් කරුවන් සල්ලි ආපසු ගන්න පෝලිමේ එන්න පටන් ගත්තා. මෙන්න මේ අසත්‍ය ප්‍රචාරය ප්‍රදේශය පුරාම පැතිරුණා. ඒකයි සිද්ධ වුණේ. නැතුව ඔය කියන කිසි දෙයක් සිද්ධ වෙලා නෑ.

මම මෙහිදී පැහැදිලිවම කියන්නේ සාමාජිකයින්ට අයිති මුදල් ගෙවන්න වත්කම් අපි සතුව තියෙනවා. ආයතනය මඟින් දියත් කරල තියෙන විවිධ ආයෝජන හරහා අපට මුදල් ලැබෙනවා. නිශ්චල දේපළ විශාල ප්‍රමාණයක් අප සතුයි. එක තප්පරයකදී මේ දේවල් මුදල් බවට පත් කරන්න බෑ. අපි දීල තියෙන ණය ප්‍රමාණය විශාලයි. ඒ ණය එක දවසකින් මාසයකින් ආපසු ලබාගන්නත් බෑ. මේ හැම දෙයක්ම කාලය සමඟ කරන ගනුදෙනු. ආයතනය මගින් සිදු කරල තියෙන ආයෝජනවල ප්‍රතිඵල ලැබෙන්න කාලයක් ගතවෙනවා. මේ ආයෝජන සිදු කරල තියෙන්නෙ ආයතනය සතුව තිබුණු මුදල් සංචිත උපයෝගී කරගෙන. අවුරුදු පහට දහයට ආපසු ගන්න පොරොන්දු වෙලා තැන්පත් කරපු මුදල් එක සතියක් ඇතුළත ආපසු ගෙවනව කියන්නෙ ඉතාම බැරෑරුම් කටයුත්තක්. ඒත් අපි පසුගිය මාස හතරට කෝටි දහයක් මුදල් වලින් පමණක් ගෙවල තියෙනවා.

 

අදහස්