සාංඝික දේපළ අවභාවිතයේ විපාක | සිළුමිණ

සාංඝික දේපළ අවභාවිතයේ විපාක

මහාචාර්ය ටී.ජී.කුලතුංග

මෙරට පුරාණ සෙල්ලිපිවලත් සන්නස්වලත් සාංඝික දේපළක් ගිහි පැවිදි කිසිවෙකු හෝ අවභාවිතයට ලක් කළ හොත් ඉන් අනිටු ඵලවිපාක ලැබෙන බව හෝ එවැනි විපාකයක් ලැබේවායි ශාප කිරීමක් දක්නට ඇත. සමහරුන් ඒ ගැන වැඩිදුර සොයා නොබලා රාජ්‍ය දේපළ අවභාවිත කළ අය බලුකපුටන් වන්නේ යැයි ප්‍රකාශ කළ අවස්ථා ද මෑතක දී අපට අසන්නට ලැබී ඇත. සාංඝික දේපළ අවභාවිතය සම්බන්ධව සෙල්ලිපිවලත් සන්නස්වලත් එසේ ශාප කර ඇත්තේ බලු කපුටු විමට පමණක් නොවේ. බෞද්ධයන්ගේ අවසාන අපේක්ෂාව වන මෛත්‍රී බුදුන් දැක නිවන් ලැබීමට අවකාශයක් නොලැබෙන ලෙස ශාප කළ තැන් ද සෙල්ලිපිවල ඇත.

ක‍්‍රි. ව. 9 වැනි සියවසට අයත් කළුදියපොකුණ ශිලා ලිපියේ මෛත්‍රී බුදුන් වහන්සේ දොර ළඟින් වැඩියත් උන්වහන්සේට වැඳීමට අත් එසවීමට නොහැකි වේවායි ශාප කර ඇත. එප්පාවල ශිලා ලිපියක මෛත‍්‍රී බුදුන් සමයේ නූපදීවායි ශාප කර ඇත. කොට්ටන්ගේ ලිපියේ සාංඝික දේපළ අවභාවිත කළවුන් අටමහ නරකයේ උපදීවායි ශාප කර ඇත.

එවැනි ශාප කිරීම් බොහොමයක් තිබේ. උදාහරණ වශයෙන් 4 වන කසුප් රජුගේ මොරගොඩ ලිපියේ බලු කවුඩු වෙත්වා ද නාරංබැද්ද ලිපියේ කපුටන්ට බත් දැමූ භාජනයේ බත් කෑවොයැ යනුවෙන්ද ගැරඬිගල ලිපියේ ආහාරය සඳහා බත් නොලැබේවා යනුවෙන්ද අනුරාධපුර කපාරාරාම ලිපියේ දෙව්දත් වන් නිරයට යේවා ලෙසද ඔරුවල සන්නස හා සැලව ශිලා ලිපියේ ෙප්‍ර්තයන් වී ඉපදීමටත් වහරක්ගොඩ ලිපියේ දුප්පත්ව ඉපදීමටත් කතරගම පුවරු ලිපියේ මහාතිත්ථයේ එළුවන් මැරූ පාපය අයත් වීමටත් අනුරාධපුර ඇතුළුනුවර ලිපියේ සියලු රටවාසීන් කළ පව් අයත් වීමටත් මයිලගස්තොට ලිපියේ තිරිසනුන් වී ඉපදීමටත් සිඟුලේ විහාර දාන පත‍්‍රයේ ශ්‍රී මහ බෝධිය පලා ගිනි තැප්පාට වන පාපය අයත් වීමද නාරංබැද්ද ලිපියේ රොඩියන් චණ්ඩාලයන් වී ඉපදීමටත් ශාප කර ඇත.

එහි ඇති අනෙකුත් සාප කිරීම් පහසුවෙන් අවබෝධ කරගත හැකි වුවත් මහාතිත්ථයේ එළුවන් මැරූ පාපය යන්න සාමාන්‍යයෙන් විස්තර වී නැත. මහාතිත්ථය අනුරාධපුර යුගයේ විදේහ වෙළඳාම ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වූ වැයයි. විශේෂයෙන් මුහුදු මාර්ගයෙන් වෙළඳ කටයුතු සඳහා පැමිණි හින්දු භක්තික වෙළඳුන් තමන්ට මුහුදේදී ආරක්ෂාව දීම වෙනුවෙන් මහාතිථයේ දෙවොලකදී එළුවන් මරා පූජා පවත්වන්නට ඇතැයි සැලකිය හැකි ය. මෑතකදී ආචාර්ය නිමල් පෙරේරා විසින් මන්නාරමේ කළ කැණීමක දී හමු වූ එළුවන්ගේ අස්ථි කොටස් අනුව ඔවුන් මස් පිණිස මරා නැති බවත් හිස ගසා දැමිමක් පමණක් කර ඇති බවත් පවසා ඇත. එයින් ඉහත කී අදහස සනාථ වේ.

තවද කොළඹ කටුගෙයි ඇති සෙල් ලිපියක මාන්තෛ පිහිටි අවලෝකිතේෂ්වර බෝසත් පිළිමයක් ගැන සඳහන් වේ. අවලෝකිතේශ්වර මුහුදු ගමන්වලදී ආරක්ෂාව සලසන බෝසත්වරයෙකු බවට වාර්තා ඇත. සාංඝික දේපළ අවභාවිත කළ අය පේ‍්‍රතයන් පිසාචයන් වීම ගැන ද සෙල්ලිපි සාධක තිබේ.මෙරට දෙමළ ශිලා ලිපිවල ද ආගහික ස්ථානවලට දුන් දෙය අවභාවිත කිරීමට ශාප කර ඇත. මිහින්තලේ ලිපියක කසළ ගොඩක පණුවෙකු වී ඉපදීමට හා මානාභරණගේ කටගමුව ශිලාලිපියේ නිලමැස්සෙකු වී ඉපදීමටත් ශාප කර ඇත. කසළ ගොඩක පණුවෙකු වී ඉපදීමට ශාප කිරීම ඉන්දියා සෙල්ලිපියක ද ඇත. තව ද කිත්සිරිමෙවන් කැලණි ලිපියේ සතර කරාවේ මසුන් මැරූ පාපය අත්වේවායි ශාප කර තිබේ.

ලංකාවේ සමහර දෙමළ ශිලාලිපිවල ද හින්දු දේවාලවලට දුන් දීමනාවන්ට හානි කළ අයට ශාප කළ තැන් ඇත. උදාහරණ වශයෙන් අම්පාර කිරින්දගම ලිපියේ නාගයන් විසින් දෂ්ට කිරීමටත් ගොඩබිමක උත්පත්තිය නොලැබිමටත් මුන්නේශ්වරම් දේවාල ලිපියේ පංචමහා පාපකර්මය කළ අකුසළ අයත් වීම මෙන්ම කතරගමට ගිනි තැබීමේ පාපය අයත් වන ලෙස ශාප කර තිබේ.

මෙම ශාප කිරීම් මඟින් ආගමික දේපළ ආරක්ෂා කරගැනීමට ප්‍රයත්නයක් දරා ඇත්තේ එම ආගමික විශ්වාස පිළිබඳ විශ්වාසය පැවැති සමාජයක ය. එසේ නැති සමාජයක එවැනි ශාප කිරීම් ප්‍රකාශවලින් පලක් නොවනු ඇත. පවට බිය වීම පොදුවේ අප සමාජය තුළ මෑතක් වන තුරු පැවතිණි. අපාය පුනර්භවය පාපක්‍ර්‍රියාවලට විපාක ලැබෙන බවට වූ විශ්වාස ක්‍රමයෙන් සමාජයෙන් ඈත් වීමත් සමඟ පාපයට බිය තුරන් වි සමාජ විරෝධී කටයුතු කිරීමට සමාජයේ සමහර පිරිස් පෙලඹීම දක්නට ඇත.

අප කුඩා කාලයේ මැතිවරණ සමයේදී සමහර අපේක්ෂකයන් රාත්‍රී කාලයේ නිවෙස්වලට පැමිණ සැදැහැවත් දුප්පත් ගැමියන්ට ඉතා සුළු මුදලක් දී ඡන්දය ලබාදෙන බවට පිරිත් පොතක අත තබා දිවුරුවා ගැනීමක් අසා ඇත්තෙමු. මේ ආගමික විශ්වාසය හා තදින් බැඳුණ සමාජයක ය. ඉහත කී ශාප කිරීම් ද වලංගු වන්නේ එවැනි සමාජයක් සඳහා ය.

එසේ සාප කිරීම් මෙරට මුල්කාලීන සෙල්ලිපිවල දක්නට නැත. එසේ දක්නට ඇත්තේ ක‍්‍රිව 7 වන සියවසෙන් පසු කාලයක පටන් ය. එසේ ශාප කිරීමේ මුල්ම සටහන දක්නට ඇත්තේ ගැරඬිගල ලිපියේ ය. එහි, මෙ ලෙනත් බහාලූ කුඹුරත් අවුල් කළ කෙනෙක් බුදෙනා බත් නොලැබෙත් පර ජන්මයෙ බලු කවුඩු වෙත්වයි කැප කළ සෙනසුන බැවිනි යුනවෙන් සඳහන් වේ. ඊට පෙර අපේ සම්ප‍්‍රදාය වී තිබුණේ ආගමික ආයතනයකට යමක් දීමෙන් පසු ඉන් අත් වන කුසලය සියලු සත්ත්වයන්ට අනුමෝදන් කිරීම වුවත් මෙම ශාප කිරීමේ සම්ප්‍රදාය ආරම්භ වී ඇත්තේ විශේෂ අවස්ථාවක් මත ඉන්දියාවේ පැවැති සම්ප්‍රදායක් අනුගමනය කිරීමෙනි. ආරම්භක සෙල්ලිපිවල ඇත්තේ, මේ පල සව සතනට යනුවෙන් මෙහි පින් සියලු සත්ත්වයන්ට අයත් වේවායි පැතීම ය.

ඉන්දියාවේද මුල් කාලයේ මේ අදහස ම පල කළ සෙල්ලිපි ඇත. නිදසුන් වශයෙන් නාසික් ශිලාලිපියක සර්ව සත්වහිත සුඛාර්තම් යනුවෙන් ඇති සඳහන දැක්විය හැකි ය. සාංඝික හෝ වේවා අනෙකුත් දේපළක් හෝ වේවා ආරක්ෂා කිරීමට රටේ නීතියක් පැවතිය ද එම නීතිය ආරක්ෂා කළ යුතු අය ම විසින් නීතිය කඩන්නේ නම් එවිට සිදු වන්නේ ඔවුනොවුන්ගේ ආගමික විශ්වාසය අනුව පරලොව දී විපාක පල දීමට ශාප කිරීමයි. පාලකයන් විසින් ම නීතිය කඩන සමහර අවස්ථාවල සමහර කණ්ඩායම් දේවාලවලට ගොස් පොල් ගැසීම වැනි මෑත කාලීන ක්‍රියාවන්ගෙන් පෙන්නුම් කරන්නේද මෙයම ය.

ක්‍රි.ව. 614 සිට 684 දක්වා වසර 70ක් පමණ කාලය තුළ මෙරට බලය අපේක්ෂාවෙන් පාලකයන් අතර සිවිල් යුද්ධ පැවතීම මෙරට ඉතිහාසයේ දක්නට ඇත. දෙවන අග්බෝ රජු සමයෙන් ඇරඹුණ මෙම යුද්ධ පිළිබඳ මහා වංසය දක්වන්නේ මෙසේ ය.

දාඨෝපතිස්ස රජ තෙමේ පූර්ව රජුන් සතු සියල්ල නැසීය. තුන් නිකායෙහි දා ගෙවල්හි සියලු වස්තු ගති. රන් පිළිම බිඳ වස්තු ගත්තේය. සටන් කිරීම සඳහා ථූපාරාමය බිඳ වස්තු ගත්තේය. රුවන්මැලි සෑයෙහි ඡත්‍රය බිඳ එහි වස්තු ගත්තේය.මහාපාලි දානශාලාවේ බත්ඔරු තමාට හිතවත් වූ දෙමළුන්ට දුන්නේය. දෙමළු ධාතුගෙය විනාශ කළහ. අග්බෝ රජුගේ මල් කසුප් යුවරජු තමාගේ හමුදා නඩත්තුව සඳහා ථූපාරාමය බිඳ පූර්ව රජුන් විසින් පුදන ලද වස්තුව පැහැර ගති. අන්ක් දාගැබ්ද බිඳලීය. ( මහාවංසය)

එවැනි වාතාවරණයන් යටතේ මෙතැන් පටන් ඉන්දියාවේ පැවැති ඉහත කී ශප කිරීමේ සම්ප්‍රදාය මෙරට ද ආරම්භ වන්නට ඇත. දකුණු ඉන්දියාවේ ආරක්ෂාව ලබා සිටීමෙන් පසු මෙරට පැමිණ රාජ්‍ය බලය ලබාගත් මානවම්ම රජුගෙන් පසු දකුණු ඉන්දීය විවිධ බලපෑම්වල වර්ධනයක් ඉතිහාසය තුළ දක්නට ලැබේ. ඉන්දියවේ සමහර සෙල්ලිපිවල මේ ශාපකිරීම් සඳහා උදාහරණ වශයෙන් එසේ හින්දු ආගමික දීමනාවකට හානියක් කළ කෙනෙකු දිය රහිත වින්, වනයේ වියළි රුක් බෙනයක කා සර්පයෙකු වේවායි ශාප කර ඇත.

( බහුහිර්වසුධා දත්වා බහුශ් චානුපා ලිතා යස්‍ය – යදාහ් භූමස්තස්‍ය තදා ඵලම් ෂෂ්ටි සහස‍්‍රානි ස්වර්ගෙ මෝදති භූමි දෙ අච්ඡෙත්තා චාත‍්‍රමන්තා එ තදන්‍යෙව නරකේ වසත් වින්ධ්‍යාට විශ්වතො යාසු ශෂ්ක තෝටරට වාසීනහ් කෘෂ්ණාහයො ජායන්තේ බ්‍රහ්මදේයා ප්‍රහාරකහ් )

අදහස්