‘සේනා’ මර්දනයට හොඳම බේත පැඟිරි අළු | සිළුමිණ

‘සේනා’ මර්දනයට හොඳම බේත පැඟිරි අළු

නිහාල් පී. අබේසිංහ

අලුත් තොරතුරු අනුව රටේ කෘෂිකර්මයට දැනට බලපා ඇති විශාලතම අභියෝගය වන ‘සේනා’ දළඹුවා නිසා දැනට රටේ යාපනය, නුවරඑළිය හැරුණුවිට අන් දිස්ත්‍රික්ක සියල්ලේම බඩඉරිඟු, වී, උක් හා තෘණ කුලයේ ශාකවලට බලවත් තර්ජන එල්ල වී තිබේ. මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය පවසන පරිදි දැනට රටේ දිස්ත්‍රික්ක 16ක මේ දළඹු ව්‍යසනය බහුලව පැතිරී ඇත. දැනට බඩඉරිඟු වගා කරන බිම් ප්‍රමාණය වූ හෙක්ටයාර 80000 න් හෙක්ටයාර 50,000 ක් විනාශ වෙමින් පවතින බවද ඇය පවසන්නීය. මේ සඳහා සුදුසුම කෘමිනාශයක් තවම නියම කර නොමැති අතර මේ ව්‍යසනයට පාරම්පරික ක්‍රම අනුව කළ හැකි ප්‍රතිකර්ම පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

අපේ රටේ දැනට දිස්ත්‍රික්ක 16ක බඩඉරිඟු අක්කර 38,000ක් පමණද කුඹුරු අක්කර 20ක් හා උක් වගා බිම්ද ‘සේනා’ දළඹුවා හේතුවෙන් විනාශ වී ඇතැයි ගොවි සංවිධාන පවසයි. මෙයට තිරසර විසඳුම වන්නේ අධික වස-විස ඇති කෘමිනාශක භාවිතය නොව, ජෛව පාලනය හා පාරම්පරික කෘමි මර්දන ක්‍රම භාවිතය බව අපේ පාරම්පරික පරිසරවේදීහුද ගොවි සංවිධාන නායකයෝද පෙන්වා දෙති.

මේ වසරේ මහ කන්නයේ වගාවලින් වසර 3කට පසු අපේ රටේ සියලු ප්‍රදේශවලට හොඳ කාලගුණික තත්ත්ව මත හොඳ භෝග අස්වැන්නක් ලැබෙමින් පැවතිණි. ගංවතුර අධික වැස්ස නැති නිසා මේ මහ කන්නයේ බඩඉරිඟු වී හා අතිරේක භෝග එළවුළු අස්වැන්න සරු වී තිබිණි. එහෙත් කොහේ හෝ සිට පැමිණි ‘සේනා’ නම් මාරක දළඹුවා නිසා අද අපේ රටේ බඩඉරිඟු හා වී වගාවලට බරපතළ තර්ජන එල්ල වී තිබේ.

ඉන්දියාව, මැලේසියාව, අප්‍රිකානු රටවල් මේ සේනා දළඹුවාගේ හානිවලට බහුල ලෙස ලක් වී තිබේ. ඔවුන් ඉන් මිදී ඇත්තේ වස-විස සහිත කෘමිනාශක භාවිතයෙන්ම නොව ජෛව පාලනයෙන් බව ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයේ සභාපති තිලක් කාරියවසම් මහතා පවසයි‍.

“මේ පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තවදුරටත් ජනතාව දැනුම්වත් කළ යුතුයි. මේ දළඹුවා අපේ රටට එන්න ඉඩ තියෙන්නෙ බඩඉරිඟු බීජවලින්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරෝධායන වැඩපිළිවෙළේ අඩුපාඩුවක් නිසා මේ බඩඉරිඟු බීජ සමඟ අපේ රටට පැමිණි බවට සාක්ෂි තිබෙනවා” කාරියවසම් මහතා පෙන්වා දෙයි.

සේනා දළඹුවාගේ ජීවන චක්‍රයේ රූපාන්තරණ අවස්ථා 4කි. බිත්තර, කීටයා, පණුවා හෙවත් දළඹුවා හා සලබයා ඒ අවස්ථා 4ය. ඉන් අපේ බව-බෝගවලට හානි කරන්නේ පණුවා හෙවත් දළඹු අවස්ථාවේදී පමණි. ඒ අනුව මේ දළඹුවා මර්දනයට ශස්‍ය මාරුව මගින්ද ප්‍රයෝජන ගත හැකි බවද තිලක් කාරියවසම් මහතා පෙන්වා දෙයි. ඊට අමතරව මේ දළඹුවාට දිගුකාලීන විසඳුම ජෛව පාලනය බවද පරිසරවේදීහු පෙන්වා දෙති.‍

මේ පිළිබඳ අපට කරුණු දැක්වූ ගොවිනායක කවුඩුල්ලේ ජයතිස්ස මහතා පැවසුවේ මේ දළඹු වසංගතය මර්දනයට සුදුසු බෙහෙත් පිළිබඳව ගොවින් දැනුම්වත් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විධිමත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

“මේකට හරි බේතක් නැහැ; කෘමිනාශක කඩේ මුදලාලි දෙන කෘමිනාශක තමයි ගොවියා පාවිච්චි කරන්නේ. ඒ අය කියන දෙයක් ජනතාව මේකට දමනවා. ඒ නිසාම ජනතාවට වස කන්න සිදු වෙලා. මේක වළක්වන්න තිබෙන්නේ සැර කෘමිනාශක වර්ග 4ක් පමණයි නිර්දේශ කර තිබෙන්නේ. එහෙත් ඒවා දැඩි විස. මේ තත්ත්වය වෙනස් විය යුතුයි‍. නැත් නම් අපි වහ කාලා මැරෙනවා. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැඩි උනන්දුවෙන් කටයුතු කළ යුතුයි.‍ නැත් නම් මේ දළඹුවා ගොයම් ගසට ආවොත් අපට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. මේකට එක් විසඳුමක් ලෙස යූරියා දැමීම අඩු කර ‘කලවැල්’ දැමීම. ශෂ්‍ය මාරුව හා ආයුර්වේද භෝග 10කින් සාදන කෂාය පණුවන්ට දැමීම කළ යුතුයි” ජයතිස්ස මහතා කියයි.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ පරිසරවේදී තිලක් කන්දෙගම මහතා අවධාරණය කරන්නේ මේ ‘සේනා’ මර්දනයට අළු අතිශය සුදුසු බවයි.

“මේ සඳහා සුදුසුම අළු පැඟිරි මාර ගහේ දරවලින් ගන්නා අළුයි. ඊට අමතරව නොරොච්චෝලේ බලාගාරයේ ඉවතට දමන අළු මෙන්ම ලී මෝල්වල ලී කුඩු පුච්චා ගන්නා අළුත් මේ සේනා මර්දනයට සුදුසුයි. අපේ රටේ තිබෙන වී මෝල්වලින් ඉවතට දමන දහයියාවලින් ගන්න අළුත් මේකට ඉතා සුදුසුයි. උදේ 7ට පෙර මේ අළු ඉහළට වීසි කළ යුතුයි. එවිට සේනා දළඹුවා ඒ අළු වැටෙන කොළවල බිත්තර දමන්නේ නැහැ. අළු ස්වාභාවිකව පණුවන්ට සැරයි. මේ නිසා පණුවන් ඒ තැන්වල හැදෙන්නේ නැහැ” තිලක් කන්දෙගම මහතා පවසයි.

“ඊට අමතරව මේ දළඹුවා මර්දනයට සුදුසු සරල ක්‍රමය තමයි පණු මාසවල වගාව ආරම්භ නොකිරීම. වසරේ වෙසක් මාසයත් ඉල් මාසයත් පණුවන් වර්ධනයට සුදුසු මාස ලෙස හඳුන්වනවා. ඒ මාසවල පොළොවේ හා පරිසරයේ තෙත ගතිය වැඩියි; ඉරේ ආලෝකය කොළ පාටට හුරුයි. ඒ නිසා මේ කාලයේ පණු වර්ධනය ඉතා සුදුසු තත්ත්වයකයි තියෙන්නේ. ඒ මාස හැර අනෙක් මාසවල භෝග වගාව ආරම්භ කළොත් මේ දළඹුවා එන්නේ නැහැ” තිලක් මහතා අවධාරණය කරයි.

“මීට අමතරව රෝගවලට ඔ‍රොත්තු දෙන ස්වාභාවික බීජ අප සොයා ගත යුතුයි. බඩඉරිඟුවල බැලුවොත් අපේ ආදිවාසි ජනතාව භාවිත කරන රතුකහට හා ‘නිවිති’ බඩඉරිඟු ප්‍රභේද මේ පණු රෝගවලට ඔරොත්තු දෙනවා. මේ නිවිති ප්‍රභේදයේ බඩඉරිඟු දම් පාටයි. රතුකහට ප්‍රභේදය රතුපාටයි. ඊට අමතරව තදකහ පාට ‘කහට’ නම් බඩඉරිඟු ප්‍රභේදයත් සුදුපාට කරල් ඇති ‘මහ සුදු ඉරු ප්‍රභේදයත් මේ ‘සේනා’ දළඹුවාට ඔරොත්තු දෙන බව අප දැන් අත්දැකීමෙන් දන්නවා.‍ ඒත් ඇමෙරිකන් අලුත් බඩඉරිඟු ප්‍රභේද මේ සේනා දළඹුවා විනාශ කරනවා‍. ‘ෆැසිපික් 984’ බඩඉරිඟු ප්‍රභේදයට මේ ලෙඩේ ටිකක් හැදෙනවා. ෆැසිපික් 999 ප්‍රභේදයට හා ජෙට් ප්‍රභේදයට මේ ලෙඩේ ඇදලා ගන්නවා. ඒ අනුව අපි මේ ප්‍රභේද දෙක වගා නොකළ යුතුයි.‍ අලුත්ම තොරතුරු අනුව මේ ෆැසිපික් 999 හා ජෙට් ප්‍රභේදවල බීජ මගින් මේ ලෙඩේ ලංකාවට ආ බවට මතයක්ද ගොවි මහත්වරුන් අතර තිබෙනවා. එක් ගොවි මහත්මයෙක් ‍ෆැසිපික් 999 බීජ හොඳට සෝදා වගා කළ විට ලෙඩේ හැදුණේ නැති බවටත් තොරතුරු තිබෙනවා.”

මේ අනුව මේ ‘සේනා’ දළඹුවා මර්දනය පාරම්පරික, ජෛව විද්‍යානුකූල හා ජීව විද්‍යාත්මක ක්‍රම අනුව අපටම කළ හැකි කටයුතු රැසක් තිබෙන බවත්, ඒ අනුව කටයුතු කර මෙය මර්දනයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උදවු කළ යුතු බවත් කන්දේගම මහතා අවධාරණය කරයි.

දැනට මේ ‘සේනා’ දළඹුවා මර්දනයට භාවිත කරන කෘමිනාශක 4, ඒ භෝගවලට හා පරිසරයට අවට ජෛව විවිධත්වයට පමණක් නොව, අපේ ශරීරයටද ඉතා අහිතකර බවද පරිසරවේදීහු පවසති.

අදහස්