ඉවසීමක් නැති නම් කොටස් ගනුදෙනු කරන්න එපා | සිළුමිණ

ඉවසීමක් නැති නම් කොටස් ගනුදෙනු කරන්න එපා

ආයෝජන පිළිබඳ යම් හෝ සුළු හැදෑරීමක් පවා කර ඇති කෙනකු වෙත් නම් ඔවුන් වොරන් බුෆේ පිළිබඳ අංශු මාත්‍රයක් හෝ දැනුවත් ව නොසිටින්නේ යැයි කිව නොහැකිය. ඒ මන්ද යත් මෑත කාලයේ ආයෝජන ගුරු ලෙස තකන්නේ වොරන් බෆට් වන නිසාය. ලෝකයේ මුල් බිලියනපතියන් අතර වසර ගණනාවක් තිස්සේ රැඳී සිටින මේ පළපුරුදු කීර්තිමත් ආයෝජකයා තම ජීවිතය පිළිබඳ වරින් වර තැබූ සටහන් ඒකරාශී කොට මේ ලිපිය සකස් වෙයි.

එඩ්වඩ් වොරන් බෆට් උපත ලබන්නේ 1930 දී ඇමෙරිකාවේ ඔමාහා හි නෙබ්‍රාස්කා නැමැති ප්‍රදේශයේය. ඔහුගේ ජානවලද ව්‍යාපාර ආයෝජන අඩංගුව උපත ලබන්නට ඇතැයි සිතිය හැක්කේ වොරන්ගේ පියාද කොටස් වෙළෙඳපොළ ආයෝජන උපදේශකයකු වන නිසාය. ඔහු එකලද තම පියාගේ කාර්යාලයේ එල්ලා තිබූ පුවරුවේ සමාගම් කොටස් මිල සලකුණු කළේ වෙනත් ළමයින් තුළ නොදකින අමුතු ආකාරයේ උද්‍යෝගයකිනි. වොරන් තම ළමා විය පිළිබඳ අතීතාවර්ජනය එක් සම්මුඛ සාකච්ඡාවකදී ආවර්ජනය කරන්නේ මෙසේය.

“මට මතකයි මට කුඩා කාලයේ දී මම මගේ මිතුරෙක් එක්ක කීවා මගේ සිහිනය තමයි වයස අවුරුදු 35 වෙද්දි කෝටිපතියෙක් වෙන එක. එහෙම නොවුණොත් මම මේ නගරයේ තිබෙන ලොකුම බිල්ඩිමෙන් පනිනවා ”

ඔහුගේ අධිෂ්ඨානය වෙනුවෙන් ඔහු ඔට්ටු තැබුවේ ඔහුගේ ජීවිතයයි. ඒ අනුව ඔහු තම පාසල් වියේදීම ව්‍යවසාය කෙරෙහි උනන්දු වූයේය. ඔහු මුලින්ම නිව්යොර්ක් කොටස් වෙළෙඳපොළට පිවිසෙන්නේ වයස අවුරුදු 11දීය. එවකට පාසල් වියේ දරුවන්ටද කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීමේ අවස්ථාව තිබූ අතර ඔහු එක්තරා සමාගමක කොටස් කිහිපයක් මිලදී ගත් අතර තවත් කොටස් තුනක් තම සොයුරිය වෙනුවෙන් ලබා ගත්තේය. එය ඔහුගේ පළමු ආයෝජනය විය. ඊට පසුව ඇමෙරිකාවට හමා ආ ආර්ථිික කුණාටුව හමුවේ මේ පුංචි ආයෝජකයාට ආයෝජන සම්බන්ධයෙන් කකුල තරමක් පස්සට ගන්නට සිදුවිය.

“ලොකු ගනුදෙනුවක් නොවුණාට මෙයින් මා ලොකු පාඩම් කිහිපයක්ම ඉගෙන ගත්තා. මම කොටස් මිල දී ගත්තේ ඩොලර් 36කට විතර. ඒත් කොටසක අගය ඊට ටික දිනකට පසුව පහළ ගියා. මම කොටස් ටික රඳවාගෙන හිටියා. එක පාරටම රුපියල් 40 ඉක්මවා මෙම කොටස් අලෙවි වුණා.

මා සුළු ලාබයක් රඳවාගෙන එම කොටස් ටික විකුණා දැම්මා. දැන් ඔන්න යම් සහනයක්. ඒත් යළිත් මගේ කනස්සල්ල අවුස්සන සිදු වීමක් වුණා. මම 40ට විකිණූ එම සමාගම් කොටසක අගය ඊළඟ වාරයේදී ඩොලර් 400ක් දක්වා ඉහළ ගොස් තිබුණා. එයින් මා කොටස් ගනුදෙනුවලදී ඉවසිලි සහගත බව පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා.

ඒ කාලයේදීම ඔහුට අධ්‍යාපන කටයුතු සඳහා නිව්යොර්ක් නගරයට යන්නට සිදුවිය. දරුණු ආර්ථික අර්බුදය හමුවේ මුදල් වල වටිනාකම ඔහුට හොඳින්ම වැටහිණි. නිව්යොර්ක් ගොස් නතර වුණු වොරන් ඉගෙන ගන්නා ගමන් කීයක් හෝ උපයාගැනීම ගැන කල්පනා කළේය. ඔහුට එකවරම ලැබුණු අවස්ථාව වන්නේ පුවත් පත් බෙදා හැරීමය. ඔහු උදේ සහ සවස පුවත් පත් බෙදීමේ කාර්යයට එක් විය. ඔහු ඉතා කැපවීමෙන් මෙම කටයුත්ත සිදු කළ අතර ඔහුට වයස අවුරුදු 14 වන විට ඔහු ඉලක්ක කර තිබූ ඔහු ගේ පළමු ඉලක්කය වූ ඇමෙරිකානු ඩොලර් 1000ක් සොයාගැනීමේ ඉලක්කය සපුරාගන්නට සමත් වූයේය.

උසස් අධ්‍යාපනය සඳහා ඔහු පිවිසෙන්නේ වොෂින්ටනයේ පිහිටි වුඩ්රෝ විල්සන් ව්‍යාපාර පාසලටය. එහිදීද ඔහු තමන්ට අවශ්‍ය අධ්‍යාපන අරමුදල් සපයාගන්නේ පුවත් පත් විකිණීමෙනි. ඔහු පුවත්පත්වලට අමතරව තවත් ව්‍යාපාර කිහිපයක් සුළුවට ආරම්භ කළේය. මුද්දර විකිණීම, කෝලා බීම විකිණීම, සඟරා සහ ගොල්ෆ් බෝල විකිණීම ඔහු ව්‍යාපාරයක් බවට පත් කරගෙන තිබිණි. මේ සියල්ලෙන් ඔහු සැලකිය යුතු මුදල් ඉපැයීමට සමත් වූ අතර වයස අවුරුදු 15 වෙද්දී ඔහු නෙබ්‍රස්කා හි අක්කර 40ක ගොවිපළක් මිලදී ගන්නට සමත් වන්නේය. එතැනින් පසුව ඔහුගේ සියලුම් අධ්‍යාපන වියදම් සපුරාලන්නේ එම ගොවිපළයි.

“මට ඉතා සූක්ෂම ලෙස ගොවිපළ කළමනාකරණය කරන්නට සිදු වුණා. ඒ අනුව මම එයින් සැලකිය යුතු ආදායමක් උපයා ගත්තා. මේ ආදායම මට පාසලේ ඉගෙන ගන්න ප්‍රමාණවත් වුණා. මගේ බලාපොරොත්තුව වුණේ කොහොම හරි හාවඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමයි. එහෙත් අවාසනාවකට මට හාවඩ් සිහිනය සැබෑ කර ගන්නට බැරි වුණා. මගේ වයස ප්‍රමාණවත් නෑ කියල මාව හාවඩ් සරසවියට බදවා ගත්තේ නෑ.

ඒත් එයින් මම අධෛර්යයට පත් වුණේ නෑ. ඒ වෙනුවට මා කළේ කොලොම්බියා ව්‍යාපාර පාසලේ අධ්‍යාපන හැදෑරීමයි. මෙහිදී මට ඒ දවස්වල ඇමෙරිකාවේ සිටි ආයෝජන උපදේශකයකු වන බෙන්ජමින් ග්‍රැහැම්ගෙන් උපදෙස් ලබා ගන්න හැකියාවක් ලැබුණා. උපතින්ම ආයෝජන පිළිබඳව හුරුවක් ගෙන ආපු මට බෙන්ජමින් මහත්මයාගේ දේශන උපදෙස්වලින් අමුතු ජීවයක් ලබුණා කියල කියන්න පුළුවන්. එයින් මට වුණේ ආයෝජනය සඳහා පිවිසීමේ නොඉවසිලිවන්ත බවක් දිගින් දිගටම නිර්මාණය වීමයි.”

මේ නොඉවසිලිමත් බව සිත් දරාගත් ඔහු සරසවියෙන් උපාධිය රැගෙන නැවත ඔහු උපන් ඔමාහා වෙත ගියේය. එහි ගොස් ඔහු මහජනතාව ඉදිරියේ කතා කිරීම සහ ඉදිරිපත් කිරීම් ගැන ද හැදෑරීය. විවාහයක් ද කරගත් ඔහු නිව්යොර්ක් වෙත යන්නේ ඔහුගේ අසාහය ගුරු වූ බෙන්ජමින් යටතේ සේවය කිරීමටය.

“කවුරු යටතේ සේවය කළත් මම කරන ආයෝජන නැවැත්වූයේ නෑ. මම නිතිපතා කොටස් වෙළෙඳපොළ ආයෝජනවලට සම්බන්ධ වුණා. ඒ අනුව මට ඉතා කෙටි කලක් තුළ සැලකිය යුතු මුදලක් උපයා ගන්න පුළුවන් වුණා. මම ආපසු මගේ ගම වන නෙබ්‍රස්කාවලට පවුල පිටින්ම පැමිණියා. හොඳ ගෙයක් මිල දී ගත්තා. වයස අවුරුදු විසි ගණන්වල සිටි මා මේ නිවස ගැනීම ගැන එදා අපේ ගමේ හැමෝම කතා වුණා. මට අවුරුදු විසි හය වන විට නිවසක් සහ කොටස් ආයෝජනයෙන් උපයාගත්

ඇමෙරිකානු ඩොලර් 1,74,000ක් තිබුණා.

ඒ කාලයේ හැටියට එය ඉතා ලොකු මුදලක්. ඒ වෙන කොට නිවසක්ද මිල දී ගෙන සිටි මට මේ උපයාගත් මුදල මගේ ඉදිරිය ගෙන යන්න, තවත් තවත් මුදල් උපයාගන්න හොඳටම ප්‍රමාණවත්. මේ නිසා මම වයස අවුරුදු 26 දී කිව්වේ මට දැන් විශ්‍රාම ගොස් සුවසේ ජීවත් වෙන්න වුණත් පුළුවන් කියලයි. ඒත් මගේ සිහිනයක් තිබුණානේ අඩුම ගානේ වයස අවුරුදු 35 වන විට කෝටිපතියෙක් වෙනවා කියල. මේ සිහිනය පසුපස මට යන්න සිදුවුණා. මට වඩාත් ක්‍රියාකාරී ව වැඩ කරන්න සිදු වුණා. මේ අතර මගේ අරමුණ කෙසේ හෝ හැකි ඉක්මනින් ජයගන්නවා කියන සිතිවිල්ල පසු පස මා දිව ගියා. අවුරුදු 34 වෙද්දී බර්ක්ෂයර් හතවේ සමාගමේ බහුතර කොටස් ලබාගන්න හැති වුණා. වොරන් බෆට් කවුද කියල ලෝකය දැන ගන්නේත් එයින් පසුවයි”

කුඩා කල තැබූ සිහිනය පසුපස දිව ගිය ඔහු එය සැබෑ කරගත් අයුරු අපූරුය.

“මා මගේ පදනම් ආයෝජන සමාගම ලෙසින් සැලකුවේ බර්ක්ෂයර් හතවේ සමාගමයි. ඒ සමාගම ඔස්සේ මම ආයෝජන රැසක් කළා. විශේෂයෙන් මා ආයෝජන කළ සෑම සමාගමක් පිළිබඳ ම හොඳින් අධ්‍යයනය කළා. මේ සමාගම් ඉදිරියේදී ක්‍රියාකාරී වනු ඇද්දැයි හොඳින් විශ්ලේෂණය කළා. ඒ අනුවයි මා ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගත්තේ. මේ තීරණ හරිගිය අවස්ථා වගේම වැරදුණු අවස්ථාද තිබෙනවා.

චාලි මුන්ගර් වොරන්ගේ දීර්ඝ කාලීන ව්‍යාපාරික සගයා වෙයි. නීතීඥයකු ලෙසින් ආයෝජන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ චාලි ද වොරන් සේම ආයෝජන සම්බන්ධ තීරණ ගැනීමේ දක්ෂයෙක් විය. බොහෝ විට වොරන් බෆට් විසින් සිදු කරනු ලබන ආයෝජන ලාබ ලබන ව්‍යාපාර බවට පත් කරවන්නේ මුන්ගර්ය.

“සමහරු හිතනවා ඇති ව්‍යාපාර පිළිබඳ උපාධියක් වත් නැති නීතිඥයෙක් මා ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නේ ඇයි කියල. නමුත් ඔහුට සහජයෙන්ම ඉතා සූර ව්‍යාපාර දැක්මක් පවතිනවා. අපේ ඇසුර වසර 48ක් තරම් ඈත කාලයක් පුරා විහිද යන්නේ ඔහුගේ ඒ අසාමාන්‍ය ශක්තිය නිසයි.

ආයෝජන විශ්ලේෂකයන් වොරන් බෆට්ගේ ආයෝජන ශෛලීය දකින්නේ වටිනාකම් මත ආයෝජනය කිරීම... ලෙසිනි. වටිනාකම් මත ආයෝජන කිරීම යනු යම් සමාගමක පවතින ව්‍යාපාර පදනම එම ව්‍යාපාරයේ අනාගතය සහ එයට අනාගතයේදී හිමි වනු ඇති වටිනාකම මත ආයෝජන කිරීමය. ඒ ගැන වොරන් බෆට් තම අදහස් දක්වන්නේ මෙලෙසිනි.

“මම සාමාන්‍යයෙන් යම් සමාගමක් කෙරෙහි ආයෝජනය කිරීමේදී සලකා බලන මූලික කරුණු කිහිපයක් තිබෙනවා. මම සාමාන්‍යයෙන් යම් සමාගමක කොටසක් මිල දී ගන්නේ මේ කොටස සදාකාලිකවම මගේ ළඟ තබාගන්නට හැකි වේවි යන පදනම මතයි. ඒ කියන්නේ ඒ ආකාරයට හැමදාම වටිනාකමක් එකතු වන එහෙම නැති නම් වටිනාකම අඩු වන හෝ නැති වන බවට අවදානමක් ඇති කොටස් ගැන මා සිතන්නේ නෑ. ඒ වගේම මා බොහෝ විට සමාගම් දෙස බැලුවේ එය ගිය අවුරුද්දේ ලබපු ලාභය සහ මේ වසරේ පවතින කොටස් මිල දෙස බලා නොවෙයි. මා බොහෝ විට එම ව්‍යාපාරයට ව්‍යාපාරික වශයෙන් පවතින විභවය ගැන කල්පනා කළා. එය ව්‍යාපාර ලෝකය තුළ කොතෙක් දුරට යා හැකිද යන්න සොයා බැලුවා.

ඒ අනුවයි අප ආයෝජන ගැන තීරණ ගත්තේ. මේ පුරුද්ද මට තරුණ වයසේදීත් තිබුණා. විශේෂයෙන් බර්ක්ෂයර් හතවේ සමාගම ට ආයෝජනය කරද්දී සමාගම කොටස් වෙළෙඳ පොළ තුළ ශක්තිමත් ක්‍රියාකාරි සමාගමක් වී තිබුණේ නෑ. නමුත් එහි ව්‍යාපාරික විභවය දෙස බැලීමේදී එය වඩාත් හොඳ ලාබ ලබන සමාගමක් බවට පත් කිරීමේ හැකියාවක් තිබුණා.

මේ ආකාරයට එහි අගය පදනම් ව බොහෝ අය කොටස් මිලදී ගන්නට බලන්නේ නෑ. ඔවුන් බලන්නේ යම් සමාගමක් පසුගිය අවුරුද්දේ කීයක් ලාබ ලැබුවද අද කොටසක මිල කීයද වගේ සුළු කාරණා පමණයි. 2008 වසරේ ආර්ථික අර්බුදය වෙලාවේ බොහෝ ආයෝජකයන් ආයෝජන කෙරෙහි උනන්දු වුණේ නෑ. කොටස් හිමියන් තිබුණු කොටසුත් බොහෝ ම අඩු ගණන්වලට මේ කාලයේ ම කොටස් විකුණා දැම්මා. නමුත් මේ සමාගම් අතරින් ඉදිරියක් පවතින බවට කරුණු කාරණා සහිත ව විශ්වාස කළ හැකි සමාගම්වල කොටස් මා මිලදී ගත්තා. අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයකම කොටස් මේ අතර වුණා. විශේෂයෙන් ඇමෙරිකන් එක්ස්ප්‍රස්, බලශක්ති සමාගම් කිහිපයක කොටස් වල ක්‍රාෆ්ට් චීස් සහ හෙයින්ස් සෝස් සමාගම් මේ අතරින් කිහිපයක්. මේ සමාගම් 2008 පසුව යළිත් හොඳ වර්ධනයක් පවතින අතර මේ ඇතැම් සමාගම්වල කොටස් මා මිල දී ගත්තාට වඩා කිහිප ගුණයකින් ඉහළ නැග්ගා.

ආයෝජන සම්බන්ධයෙන් මට පවතින අත්දැකීම් ඇසුරින් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් මා අනුගමනය කරන යම් ප්‍රතිපත්තීන් කිහිපයක් ගැන සඳහන් කරන්නම්.

එහිදී මා අනුගමය කරන ස්වයං නිති දෙකක් තිබෙනවා. පළමු නීතිය කිසිම වේලාවක අපි උපයන හෝ ආයෝජන කරන මුදල් නැති කර ගන්න එපා. දෙවැනි නීතිය පළමු නීතිය කිසිදු විටෙක අමතක නොකිරීම. අපට මුදල් උපයාගැනීම පහසුයි. ඒත් මේ මහන්සියෙන් අසීරුවෙන් උපයන මුදල් නැති කරගන්න එක හරිම ලේසියි. ඒ වසර 20ක් අප උපයන දේ විනාඩි දෙකක් තුළ නැති කර ගන්න පුළුවන්. මේ ගැන සෑම කෙනකුම කල්පනාකාරී විය යුතුයි.

අපි කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කරද්දී කොටසක මිලත් කොටසක වටිනාකමත් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. සෑම විටෙකම කොටසකට අප ගෙවන මුදල ඒ කොටසේ වටිනාකම වන්නේ නෑ. අප කොටසකට ගෙවන මුදල මනින්නේ ඩොලර්වලින් එසේ නැති නම් රුපියල් සතවලින් එය කොටසක වටිනාකමයි. ඒත් එයට අගය එකතු වනවා. ව්‍යාපාරය වැඩි දියුණු වෙද්දි කොටසක අගය වැඩිවෙනවා. ව්‍යාපාරය බිඳ වැටුණොත් කොටසක අගය අඩු වනවා. මේ සියල්ල අවබෝධයෙන් යුතුව අප හැම විටම මිලක් ගෙවිය යුත්තේ අද අප ඒ සඳහා ගෙවන මුදලේ අගය වැඩි කරවන කොටසක් වෙනුවෙනුයි. හැම විටෙකම කොටසක් මිලදී ගනිද්දී පැළයක් රෝපණය කරනවා කියල හිතන්න. මේ පැළය ලොකු වුණොත් අපට එයින් ලොකු සෙවණක් ලබන්න පුළුවන්.

මම එහෙම කීවාට 2008 වසරේ ආර්ථික අර්බුදය අවස්ථාවේදී මගේ ව්‍යාපාර ආයෝජනවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 27ක් පමණ මට නැති වුණා. එය සුවිශාල අගයක්. එහෙම වුණත් මා මේ කියන එකින් අදහස් කරන්නේ අප හැම විටෙකම තාර්කික පදනමකින් යුතුව කොටස් වෙළෙඳපොළ තුළ කටයුතු කළ යුතුයි කියන එකයි. ඒ මන්ද යත් අප කොටස් මිල දී ගනිද්දී වඩාත් කල්පනාකාරීව කළ යුතුයි. එම ආයෝජන කරන්නට කලියෙන් එම කොටස් පිළිබඳ හැදෑරීම් කළ යුතුයි. ගෙදර වැඩ ගොඩක් කළ යුතුයි.

මම කොටස් මිල දී ගන්නා විට කිසිම දවසක ඒවා කොටස් වෙළෙඳපොළේ පසු දින විකුණා ලාබ ලබාගන්න බලාගෙන ගන්නේ නෑ. මම හිතන්නේ මේ කොටස් ගත්ත දාට පසු දා සිට තවත් වසර පහකට කොටස් වෙළෙඳපොළ වහල දමාවි කියල හිතාගෙනයි. ඒත් තවත් අවුරුදු පහකින් ඒ කොටස්වල අගය වැඩි වී තිබෙනවා දකින්න පුළුවන්.

අප දකිනවා ඇතැම් කාලවලදී ඇතැම් ආයෝජකයන් ඇතැම් කොටස් පසුපස කෑදරයෙන් ලුහුබඳිනවා. මේ කාලයට කොටස් මිල දී ගන්නට මට නම් ලොකු බියක් තිබෙනවා. නමුත් අනෙක් සියලු දෙනා කොටස් මිල දී ගන්නට බිය වන කාලයට මම මගේ කොටස් මිලදී ගැනීම සිදු කරන්නේ කෑදර ස්වභාවයකින්.

අපි බෝට්ටුවක ගමන් කරමින් සිටින අවස්ථාවක එහි පතුල සිඳී කාන්දුවක් ආවා කියල හිතන්න. ඒ වෙලාවේ අප වැඩි ශක්තියක් දැමිය යුත්තේ වෙනත් බෝට්ටුවක් අල්ලාගෙන එයට මාරුවීම මිස තිබෙන බෝට්ටුවට අසීරුවෙන් පැච් දැමීමට හෝ පිරියම් කිරීමට නොවෙයි. ආයෝජනයේදීත් මේ මූලධර්මයට මා අනුගමනය කරන බව ඔබට කිව යුතුයි. යම් ආයෝජනයකින් බැහැර වෙද්දි ඔබ කෙසේ තීරණ ගත යුතුයි කියලද හිතන්නේ?

අප වාහනයක් පදවාගෙන ඉදිරියට යන විට ඉදිරිය නොපෙනෙන අයුරින් මීදුමෙන් වෙළි ඇති නම් අපට වාහනය ඉදිරියට ගෙන යන්ට බැරිවෙනවා. ඒ මොහොතේ එක්කෝ හෙමින් ධාවනය කරනවා. නැති නම් නවත්වනවා. ඒ එක්කම අපි පසුපස බලන කන්නාඩියෙන් ආපසු පැමිණි මාර්ගය බලනවා. වාහනය රිවස් කරනවාද එසේ කරනවා නම් කෙසේ රිවස් කරනවාද කියල සැලකිලිමත් වෙනවා. ආයෝජනවලින් ඉවත් වීමේදීත් මෙම ධර්මතාව පොදුයි. අප ට ඉදිරියක් නොපෙනේ නම් ආපසු බලද්දී පැමිණි මාර්ගය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙනවා නම් එහි තිබූ වල ගොඩැලි අභියෝග ගැන අවබෝධයක් තිබේ නම් එම ආයෝජනවලින් ඉවත් වුණාට කමක් නැහැ.

අපිට ආයෝජන නොවුණත් අපට අපේ ජීවිතය සාර්ථක කරගන්නට නිවැරැදි පියවර කිහිපයක් අනුගමනය කළාම ඇති. ඒ වෙනුවට අපි වැරැදි දේ ගොඩක් කරනවා නම් අපට ඉදිරියට යන්න කවර ක්ෂේත්‍රයකින්වත් හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම අප අවබෝධ කරගත යුතු තවත් කරුණක් වන්නේ අප හැම වේලාවකම අපට වඩා උසස් පුද්ගලයන් ඇසුරු කළ යුතුයි. එවිට අපට ඔවුන්ගෙන් අපේ ජීවිතවලට යම් යම් ආදර්ශයන් ලබා ගත හැකියි.”

 

Comments