ලංකා බැංකුවේ තුරුණු දිරියෙන් දිවි මඟ සරු කරගන්නා තරුණ ව්‍යවසායකයෝ | සිළුමිණ

ලංකා බැංකුවේ තුරුණු දිරියෙන් දිවි මඟ සරු කරගන්නා තරුණ ව්‍යවසායකයෝ

සෑම ව්‍යාපාරිකයකුගේම එකම සිහිනය වන්නේ තම ව්‍යාපාරය සාර්ථකත්වයේ හිණිපෙත්තටම ගෙන යෑමයි. ලංකා බැංකුවේ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය තරුණ ව්‍යවසායකයන්ට ඔවුන්ගේ පෞද්ගලික මෙන්ම ජාතික ආර්ථිකයට සවියක් වීමට මහඟු අවස්ථාවක් ලබාදී තිබේ. බොහොමයක් ව්‍යසායකයන්ට තම ව්‍යාපාරය ශක්තිමත් පදනමක් සහිතව පවත්වාගෙන යෑමට මෙම ණය යෝජනා ක්‍රමය මහෝපකාරී වී ඇති අයුරු පහත තෝරාගත් තුරුණු දිරිය ණයලාභින් කියන කතාවලින් විද්‍යමාන වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි දනන්සූරිය මහත්මිය “Ishora Orchids” නමින් ඕකිඩ් පැළ තවානක් පවත්වා ගෙන යන 33 වන වියේ පසු වන දිරිමත් තරුණ ව්‍යවසායිකාවකි. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු ආයතනයක පුහුණුව ලබා සිටින ඇය තමන් සතු නිසග හැකියාවෙන් උපරිම පරා සයෝජනය ගන්නා දිරිය කාන්තාවකි. දෙදරු මවක වන ඇයගේ සැමියා රාජ්‍ය අංශයේ සේවයේ නිරත වන්නෙකි. අයගම ශ්‍රී රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඇය අ. පො. ස සාමාන්‍ය පෙළ හා අ. පො. ස උසස් පෙළ කඩඉම් පසු කර තම හැකියාව මත පදනම් වු රැකියාවක් කිරීමේ තිර අදිටන සිත්හි දරාගෙන කෘෂි කර්මාන්තය හා බැඳුණු මෙම ක්ෂේත්‍රයට පිවිසේ. ඇය සතු හැකියාව තව තවත් ඇය අරුත් ගන්වන්නේ තම ක්ෂේත්‍රයට අදාළව හැදෑරීම් කිරීමෙනි. ඇය මෙම ක්ෂේත්‍රයට පැමිණ අද වන විට අවුරුදු 5-6 ක් පමණ වන අතර ඉතා සාර්ථකව තම ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබන්නේ ඇය සතු අත්දැකීම් ද සමඟිනි.

ඇය මල් සංගම් සඳහා මල් පැළ සපයනු ලබන අතර මල් ශාලා සඳහාද විවිධ වර්ගයේ මල් වර්ග අලෙවිය සිදු කරනු ලබයි. ඉන්පසුව ඇයට අභියෝගයක්ව පැවතියේ තමන් විසින් වගා කරනු ලබන මල් පැළ විකිණීම සඳහා අලෙවි කුටියක් සාදාගැනීම සහ පැළ තවානට අවැසි විවිධ භාණ්ඩ මිලදීගැනීම වන අතර එම අභියෝගයට අති සාර්ථක පිළියමක් ලබාදෙන්නේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයයි.

තුරුණු දිරිය සම්බන්ධයෙන් ඇයට දැනගන්නට ලැබෙන්නේ තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මගිනි. ඒ අනුව ඇයව එම නිලධාරීන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය වෙත යොමු කරන අතර ඉන් ඇය මෙම ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගනී. ඒ අනුව ඇය රු. 500,000 මුදලක් අයැදුම් කළ අතර ප්‍රථම පියවරෙදීම ඇයට තමන් විසින් අයැදුම් කරනු ලැබු සියලුම මුදල් ප්‍රමාණය ලැබී ඇත. ඇයගේ එකම අදිටන වන්නේ තම ව්‍යාපාරය සාර්ථක කරගනිමින් තම පවුලට ශක්තියක් වීමටය. එමෙන්ම ඇය තමන් යෙදී සිටින ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරීම් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටින අතර පටක රෝපිත විද්‍යාගාරයක් ආරම්භ කර වඩාත් ගුණාත්මක තත්ත්වයේ පැළ තම සේවාදායකයින්ට සැපයීමට ඇය බලාපොරොත්තු සිටී. ඇයට මෙකී කාර්යයන්හී නියැළීමට අවශ්‍ය මුල්‍යමය ශක්තිය ලබාදෙන්නේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයෙනි.

අංකුර ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරය සාර්ථකව සිදු කරගෙන යෑමට අවශ්‍ය මං සලසන තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය සැබැවින්ම තුරුණු දිරියෙන් දිනන හෙටක් නිර්මාණය කරන වැඩසටහනකි.

හම්බන්තොට පදිංචි, විසිතුන් වියැති, ආර්. සුපුන් දුලංජන "සූරිසි බෑග් සෙන්ටර්" නමින් බෑග් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන නැඟී එන තරුණ ව්‍යවසායකයෙකි. තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ රු. ලක්ෂ පහක ණය මුදලක් ලබා ගැනීමට වාසනාවන්ත වූ ඔහුගේ ව්‍යාපාරය මගින් කාන්තා අත් බෑග් , පාසල් බෑග් හා ලැප්ටොප් බෑග් මැසිමේ කටයුතු සිදු කරනු ලබයි. 2005 වසරේදී සිය මව විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරය, 2016 වසරේ සිට වැඩි දියුණු කර පවත්වාගෙන යමින් සිය පවුලේ ආර්ථික අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමට සුපුන්ට හැකි වී තිබේ. හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයෙන් හා උඩමලල මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරු ඔහු පැල්පොත තාක්ෂණ විද්‍යාලයෙන් ඇඳුම් මැසීම පිළිබඳ NVQ 3 මට්ටමේ පුහුණුවක් ලබා ඇත. වර්තමානයේ එක් සේවකයෙකුගේ සහාය ලබාගනිමින් සිය නිවසේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරය, ඉදිරියේදී නව ස්ථානයක කුඩා ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ලෙස ආරම්භ කිරීම සුපුන්ගේ අපේක්ෂාව වේ.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් හරහා තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය පිළිබඳව දැනුවත් වී ඇති ඔහු අඩු පොලී අනුපාතිකයක් යටතේ ණය මුදලක් ලබාගැනීමේ අරමුණින් ඒ සඳහා අයැදුම් කර තිබේ. සියලු සුදුසුකම් අතැතිව, නියමිත ක්‍රියාපටිපාටිය ඔස්සේ ලබාගත් ණය මුදල සිය ව්‍යාපාරයට අවැසි අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා හෙතෙම යොදවා ඇත.

නැඟී එන තරුණ ව්‍යවසායකයන් හඳුනාගනිමින් ඔවුන්ට මූල්‍යමය සවියක් වීමට ලබා දෙන අඩු පොලියක් සහිත "තුරුණු දිරිය" ණය යෝජනා ක්‍රමය ඔහුගේ නොමඳ පැසසුමට ලක් විය.

වඩු වැඩ හා මේසන් වැඩ තම ජීවිකාව කරගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේ බළන්ගොඩ දොරවෙල පදිංවි එෆ්.නිශාන්ත ෆැන්සිස් මහතා 31 හැවිරිදි වියේ පසු වන විවාහක එක් දරු පියෙකි. රත්නපුරය රත්මලවින්න විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරන ඔහු අ. පො.ස සාමාන්යන පෙළ විභාගයට පෙනී සිට ඉන් අනතුරුව තම ජීවිකාව ගොඩ නඟාගැනීමේ අරමුණින් තම නිසග හැකියාව පවතින මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වඩු කාර්මික පාඨමාලාවක් ද හැදෑරිමෙන් අනතුරුවයි. වඩු හා මේසන් වැඩ සම්බන්ධයෙන් නිශාන්ත මහතාට ඇති අත්දැකීම් අවුරුදු 10 කටත් වඩා වැඩිය. ලබාගන්නා අත්දැකීම් මඟින් තම හැකියාව තව තවත් ඔපමට්ටම් කර ගන්නා ඔහු තම හැකියාවෙන් සාර්ථක ව්‍යවසායකයකු බවට පත් වීමේ බලාපොරොත්තුවෙන් තම ව්‍යාපාරය වැඩිදියුණු කරන්නට උත්සාහ දරන මොහොතක ඒ සඳහා දිරියක් වන්නේ තුරුණු දිරියයි.

තුරුණු දිරිය සම්බන්ධයෙන් ඔහුට දැනගන්නට ලැබෙන්නේ සංවර්ධන නිලධාරිනියක වන තම හිතවතකුගේ මාර්ගයෙනි.

ඉන් අනතුරුව මෙම ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් විධිමත් වු දැනුවත්භාවයක් ලබාගන්නේ තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් වන අතර මේ හා සම්බන්ධ වැඩමුළු කිහිපයකටද ඔහු සම්බන්ධ වේ. ඉන් පසු ඔහුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය වෙත යොමු කරන අතර මෙම ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගන්නේ එහිදීය. තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ ඔහු රු.500,000 මුදලක් අයදුම් කරනු ලබන අතර ඔහුගේ අභිප්‍රාය වන්නේ තම ව්‍යාපාරය සඳහා අවැසි අමුද්‍ර ලබාගැනීමත් තමාට ව්‍යාපාරික ස්ථානයක් සකසා ගැනීමත් වේ.

ස්වයං රැකියාවක නිරත වන තමන් වැනි තරුණ ව්‍යාවසායකයන්ට තුරුණු දිරියෙන් ලබා දෙන්නේ මනා දායක්වයක් බව ප්‍රකාශ කළ ඔහු තමාගේ ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් බවට පත්වන්නේ තුරුණු දිරිය නිසා බව වැඩිදුරටත් කීය.

මෙම ණය යෝජනා ව්‍යාපෘතිය දිවයිනේ සියලුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධීකරණය කරමින් රටේ තරුණ ව්‍යාවසායකයන් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැළී සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයන් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.

රට පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

Comments