සියලුම ධීවර යාත්‍රාවලට ජී.පී.එස්. තාක්ෂණය | Page 3 | සිළුමිණ

සියලුම ධීවර යාත්‍රාවලට ජී.පී.එස්. තාක්ෂණය

ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය ආනයනය, නීති විරෝධී ගනුදෙනු හා නීති විරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා ජී.පී.එස්.තාක්ෂණය හඳුන්වා දී නිරීක්ෂණය කිරීමටත් ධීවරයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගීගනගේ මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාට පැවැසීය.

අමාත්‍යවරයා ධීවර දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ දී මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර අමාත්‍යවරයා ද මෙම කටයුත්ත අගය කළේය.

ඉදිරියේ දී ධීවර වරායෙන් පිටව යන ධීවරයන් ඇඟිලි සලකුණු යන්ත්‍රයන්හි සිය අනන්‍යතාව තහවුරු කර දියඹට යා යුතුව ඇති බවත් හදිසි දැනුම්දීම්, කාළගුණික විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම් සඳහා ඔවුනට කෙටි පණිවුඩ ක්‍රමයක් ඉදිරි මාස දෙක තුළ ඇති කරන බව නිලධාරීන් අමාත්‍යවරයාට පැවසීය. මෙය 2019 අයවැය යෝජනාවට ද ඉදිරිපත් කර ඇති බව ඔවුන් කීය.

ග්‍රාමීය ධීවරයන් ශක්තිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ධීවරයන්ට නිවාස ඉදිකිරීමේ දී ලබාදෙන ණය ආධාර සීමාව ඉහළ දැමීමට ද ධීවර යාත්‍රා උපකරණ සහනදායී ක්‍රමයකට ලබාදීමට ද තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා, ධීවර අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගීගනගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

Comments