පාර්ලිමේන්තු සෝපානය සහ වේයන්ගොඩ සිදුවීම | සිළුමිණ

පාර්ලිමේන්තු සෝපානය සහ වේයන්ගොඩ සිදුවීම

පසුගිය නිදහස් දිනය දා නිදහසේ විනෝද වන්නට තම බිරිය සහ දරුවාද සමඟ වේයන්ගොඩ නයිවල විනෝද උයනකට ගිය මේ රටේ පුරවැසියකුට සිදු වූයේ අවසානයේ තම සතුට විනෝදය සදාකාලයටම නැති කරගන්නටය. නයිවල මාරාපොළ ප්‍රදේශයේ පිහිටි නව්‍ය විනෝද වීමේ උපාංගයන්ගෙන් සමන්විත විනෝද උයනක සිදු වූ අනතුරකින් මවක සහ වයස අවුරුදු 13ක දැරියක අවසන් හුස්ම හෙළීම රටේ කාගේත් නෙතග කඳුළක් රැඳවූවාට සැකයක් නැත. මෙය අනතුරකි. මෙවනි අනතුරු වසරකට එකක් දෙකක් හෝ ලෝකයේ කොතැනක හෝ සිදු වනු දැකිය හැකිය. එහෙත් එසේ වූ පමණින් මේ සිදුවීම සාධාරණීකරණය කළ නොහැකි හේතු රැසක් තිබේ.

එකක් වන්නේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් පවතින ලෝක ප්‍රවණතාවයි. කලකට පෙර මෙවැනි විනෝද වීම් සඳහා විවිධ ප්‍රදේශවල සීමිත කාල වකවානුවල විනෝද සැණකෙළි උත්සව ආදිය පැවැත්වුණද දැන් දියුණු වන රටවල පවතින විනෝදාස්වාද උද්‍යාන සංකල්පය මෙරටෙහිද ස්ථාපනය වෙමින් පවතී. ලෝකයේම මේ විනෝද උද්‍යාන සංකල්පය පරිණාමය වී ඇත්තේ එලෙසිනි. යුරෝපයේ ක්‍රිව 1100 වැනි කාලයේදී තැනින් තැන කලින් කලට හෝ වෙළෙඳ සැණකෙළි පොළ සමඟ බද්ධ වී තිබූ මේ විනෝදාස්වාද උද්‍යාන එක් එක් තැන්වල ස්ථාපනය වන්නට පටන් ගත්තේ ඒ කෙරෙහි ජනතාවගේ තිබූ ආකර්ෂණයත් සමඟය.

ශ්‍රී ලංකාවේ මෙවැනි අංග සම්පූර්ණ විනෝදාස්වාද උද්‍යාන ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. මේවාද පවත්වාගෙන යන්නේ පෞද්ගලික අංශයයි. ඊට අමතරව විවිධ උත්සව අලළා පැවැත්වෙන සැණකෙළිවලද මෙවැනි විනෝද අංගෝපාංග සවි කරනු දැකිය හැකිය. කෙසේ වුවද එදාට වඩා අද මෙවැනි විනෝදාස්වාද උද්‍යාන වෙත පමණක් නොව, නගර සභා ප්‍රාදේශීය සභා වැනි පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යනු ලබන ළමා උද්‍යානවලට පවා අතිවිශාල ජනතාවක් දින පතා එක්රොක් වන්නේ වර්තමානයේ එය දැනෙන සමාජ අවශ්‍යතාවක් තරමටම ව්‍යාප්ත වී ඇති නිසා විය යුතුය. ඒ සඳහා බලපාන සමාජාර්ථික හේතුද නැතුවා නොව්. විශේෂයෙන් වර්තමානයේ ළමා පරපුරට කෙළිදෙළෙන් ගත කළ හැකි කාලය මෙන්ම ඔවුන්ට නිසි ලෙස දුව-පැන විනෝද වීමට ඇති ඉඩකඩ සීමා වීම නිසාද මෙවැනි විනෝද උද්‍යාන වෙත වැඩි-වැඩියෙන් දරුවන් ආකර්ෂණය වීම වැළැක්විය නොහැකිය. මෙවැනි ස්ථානවලට තමන්ට ඇති-හැකි ආකාරයෙන් යෑම සාමාන්‍ය ස්වභාවයයි.

අපේ සමහර මවුපියෝ තමන්ගේ දරුවන් ඩිස්නිලන්තයට, සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනටද කැටුව යති. ඒ තමන්ගේ ඇති-හැකියාව අනුවය. තවත් පිරිසක් රටේ පිහිටුවා ඇති පෞද්ගලික විනෝදාස්වාද උද්‍යාන වෙත පවුල් පිටින් යති. එසේ කළ නොහැකි අය අඩුම තරමේ නාගරිකව පවතින ළමා උද්‍යනයකට හෝ කලින් කලට ඇටවෙන විවිධ සැණකෙළිවලට හෝ ගොස් තම දරුවන්ට විනෝදය දෙති. මෙය අද එක්තරා සමාජ අවශ්‍යතාවක් බවට පත්ව ඇති බව පෙනෙන්නේ පසුගියදා මිය ගිය දියණියගේ පියා දැඩි ආර්ථික අපහසුතා මැද පවා තම දරු පවුල සමඟ එම ස්ථානයට යෑමට පෙලඹීමෙනි.

මුදලක් අය කර විනෝදාස්වාද සේවාව සලසන ආයතනය කවරක් වුවද, ඔවුන් සිතට ගත යුතු පළමු, දෙවන සහ තෙවන කාරණාව වන්නේ ආරක්ෂාවය. එය ලෝකයේම මෙවැනි උද්‍යාන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අනුගමනය කෙරෙන මූලිකම ප්‍රතිපත්තියයි. එසේ වුවද මේ ප්‍රතිපත්තිය නීතියක් ලෙස රටක ස්ථාපනය නොවන්නේ නම් ඔවුන් මුදල් ඉපැයීමට වඩා දෙයක් ගැන උනන්දු නොවන වග මේ ඛේදනීය අනතුරින් පෙනී යයි. මීට පෙරද මේ විනෝද උයනේදීම පිහිනුම් තටාකයක දරුවකු ගිලී මරණයට පත් වීමේ අනතුරක් පිළිබඳ ඉතිහාසයක් පවතිද්දී පවා එහි කළමනාකාරිත්වය මෙවැනි අනතුරු වළක්වාගැනීමේ පූර්ව ආරක්ෂක විධි අනුගමනය නොකළ බව පෙනී යයි.

සාමාන්‍යයෙන් ලෝකයේම මෙවැනි විනෝද උද්‍යානවල යම් ත්‍රාසයක් සමඟ විනෝදයක් ගෙන දෙන අංගෝපාංග තිබේ. ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ නිසි ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතවය. එමෙන්ම මේ කටයුතු හසුරුවන සේවකයන්ට ඒ යන්ත්‍ර-සූත්‍ර ක්‍රියා කරවීමේ දැනුමට අමතරව අනුගමනය කළ යුතු ආරක්ෂණ විධි, සොයා බැලිය යුතු කරුණු සහ හදිසියක අවස්ථාවකදී ගත යුතු පියවර පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. එවැනි පුද්ගලයන්ගෙන් අදාළ විනෝදාස්වාද ආයතන සපිරී තිබුණාටද වැඩක් නැත. ඔවුන්ගේ කටයුතු පිළිබඳ මනා සුපරීක්ෂණයක් සහිත කළමනාකාරිත්වයක්ද සිටිය යුතුය. මක් නිසාද යත්: මේ යන්ත්‍ර-සූත්‍ර මෙහෙයවන්නන් තමන්ගේ ජංගම දූරකථනයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් හෝ කවුරුන් හෝ සමඟ කතා-බහ කරමින් හෝ අවධානය බිඳගෙන සිටීමේ ඉඩ ප්‍රස්තා පවතින බැවිනි. ඔවුන් මත්වතුර හෝ මත්ද්‍රව්‍ය හෝ භාවිත කරමින් සිටින අවස්ථාද තිබිය හැකිය. ලෝකයේ මෙවැනි නොසැලකිලිමත්කම් නිසා මෙවැනි ස්ථානවල අනතුරු සිදුව තිබෙන ඉතිහාසයක්ද ඇත. මෙවැනි දේට අමතරව නිසි ක්‍රමවේද පිළිබඳ නියාමනයක් සහ ඒ පිළිබඳ පසු-විපරම් ක්‍රියාවලියක්ද තිබිය යුතුය. මක් නිසාද යත්: බොහෝ මවුපියන් ලොකු මුදලක් ගෙවා මේ ස්ථානවලට යන්නේ නිසි ආරක්ෂාවක් ඇති බවට පූර්ව නිගමනයකින් යුතුව වන බැවිනි. එහෙත් සැබෑව මේ ආවශ්‍යකතාවට වඩා වෙනස්ය. ඒ බව වේයන්ගොඩ සිදුවීමෙන් අපට කියා දෙන පාඩමයි.

එහෙත් මේ සිදුවීම එවන් තවත් එක් සිද්ධියක් ලෙස ඉතිහාසයට එක් වන්නට ඇති ඉඩ බොහෝ වැඩි බව පෙනෙන්නේ මේ පිළිබඳව ඇති වූ කතාබහේ තරම බලන විටය. එය බොහෝ විට අපරාධකරුවකු වූ මධුෂ්ගේ අත්අඩංගුවට ගැනීමෙන් අවධානය බිඳුණා විය හැකිය.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට නියමිත මඟී සංඛ්‍යාව ඉක්මවා විදුලි සෝපානයකින් ගමන් කරමින් සිටියදී එය ක්‍රියා විරහිතව විනාඩි කිහිපයක් සෝපානය තුළ තපින්නට සිදු වීම ගැන පාර්ලිමේන්තු සභා ගැබ තුළද කතාබහක් ඇති විය. රටේම විදුලි සෝපාන ගැන පාර්ලිමේන්තු සිද්ධියේදී ඇස් ඇරුණු බව පෙනෙන්ට තිබිණි. එහෙත් මේ නීති සම්පාදකයන්ගෙන් කිසිවකුත් වේයන්ගොඩ සිද්ධිය ගැන එවැනි අවදි කිරීමක් කළ බවක් වාර්තා වුණේ නැත.

මෙවැනි විනෝද ආයතන තවදුරටත් රට තුළ බිහි වන ප්‍රවණතාව වැඩිය. ඒ කෙරෙහි යොමු වන පිරිසද ඉදිරියේදී වැඩි වනු නිසැකය. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි නියාමනයක අවශ්‍යතාව එක් අතකින් මතු වෙද්දී, මවුපියන් ඇතුළු විනෝදය පතා මේ උද්‍යානවලට යන්නන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විමසිලිමත් වීමද අතිශයින් වැදගත්ය.

අදහස්