අපේ ක්‍රීඩා සමාජය රග්බි පාසලක් වගෙයි ලසන්ත විජේසූරිය - සභාපති | සිළුමිණ

අපේ ක්‍රීඩා සමාජය රග්බි පාසලක් වගෙයි ලසන්ත විජේසූරිය - සභාපති

මොන ක්‍රීඩාව අතින් ගත්තත් මහනුවරට තියෙන ලොකුම සහ එකම ක්‍රීඩා සමාජය මහනුවර රග්බි ක්‍රීඩා සමාජය කිව්වොත් හරි. 1992 දී මලික් සමරවික්‍රම අපට එකතුවීමත් එක්ක තමයි අපි නැගිටීමේ පියවර තිබ්බේ කිව්වොත් ඒක වැරැදි නෑ කියලා හිතනවා.

මහනුවර ක්‍රීඩා සමාජය රග්බි පාසලක් වගෙයි. ශ්‍රී ලංකා ජාතික සංචිතය හෝ කණ්ඩායම ගත්තත් වැඩිම ක්‍රීඩකයෝ ප්‍රමාණය නියෝජනය කරන්නේ අපෙන්. පසුගිය අවුරුදු විස්ස ගත්තොත් අපි දිගටම වගේ ‍ශූරයන් වෙලා තියෙනවා.

1997 දී තමයි අපේ රග්බි ක්‍රීඩාවේ ලොකුම දියුණුව සටහන් වුණ අවුරුද්ද විදියට සලකන්නේ. අපි එතැන ඉඳලා දිගින් දිගටම ඉදිරියට ආවා‍. සාමාන්‍යයෙන් පාසලකවත් නැති විනයක් අපි පවත්වාගෙන යනවා. ඒක තමයි අපේ දියුණුවේ මූලික ම දේ විදියට දකින්නේ. අපි ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න විතරක් නොවෙයි. ඒ අයගේ ගෙවල්වල ප්‍රශ්න පවා හොයලා බලනවා. මේ දේ කාටවත් කරන්න පුළුවන් දේවල් නොවෙයි. ඒ නිසා ක්‍රීඩකයන්ට තියෙන්නේ ඔළුව නිදහස් කර ගෙන ක්‍රීඩා කරන්න විතරයි. අදට සාපේක්ෂව ඒ කාලවලට හරියන විදියට මහනුවර රග්බි කණ්ඩායමට පහසුකම් තිබ්බා. ඒ නිසා තමයි අපට දිගින් දිගටම ඉදිරියට එන්න පුළුවන් වුණේ.


මෙසේ පියවරෙන් පියවර ඉදිරියට පැමිණි මහනුවර ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් පිළිමළුන් පිටු දැකීමේ ශූරතාවක් මුලින් ම ජයගෙන ඇත්තේ 1992 දී ය. එය මහනුවර ක්‍රීඩා සමාජයේ මෑත ඉතිහාසයේ අත්පත් කර ගත් පළමු විජයග්‍රහණය ලෙස ද සැලකෙයි.

ලීග් සහ පිළිමළුන් පිටු දැකීමේ ශූරතා ජය ගනිමින් පැමිණි ගමන් මගෙහි මහනුවර රග්බි නාමය ඉහළින් ම සටහන්ව ඇත්තේ 1997 දී ය. වත්මන් සභාපති ලසන්ත විජේසූරියගේ නායකත්වය යටතේ පළමු වරට අපරාජිතව ත්‍රිත්ව ශූරයන් වීමට සමත්ව තිබේ. ඒ අන්තර් සමාජ ලිග්, පිළිමළුන් පිටු දැකීමේ ක්ලිෆර්ඩ් ශූරතාව සහ සත් සාමාජික රග්බි ශූරතාවය දිනා ගනිමින් ය. එකී කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කර ඇත්තේ පසු කලෙක මෙරට පොලිස් ‍විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා වූ නිමල් ලෙව්කේයි. මේ අතර 1991 දී අන්තර්ජාතික රග්බි පිටියේ ප්‍රබලයන් දෙදෙනකු ව‍ූ ෆීජි ජාතික කීට් සහ බැටීගේ සේවය ද මහනුවර ක්‍රීඩා සමාජයට හිමිව තිබේ. මහනුවර රග්බි ඉතිහාසයේ තවත් නොමැකෙන නාමයක් ලෙස සටහන් වශයෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුවයි. මහනුවර ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළ ඩෙන්සිල් කොබ්බෑකඩුව අවසන් තරගය තෙක් මහනුවර කණ්ඩායම රැගෙනවිත් සී.ආර්. සහ එ‍ෆ්.සී. හමුවේ පරාජය වී ඇත්තේ 12 – 6 ක් ලෙසය.

ජනාධිපති කුසලානයට අමතරව කැල්ටෙක්ස් ලිග් ශූරතාව වසර 18 ක් තුළ 15 වතාවක් ජය ගෙන තිබෙන අතර, පිළිමළුන් පිටු දැකීමේ ක්ලිෆර්ඩ් කුසලානය වසර 20 ක් තුළ 18 වතාවක් ජය ගැනීමට සමත්ව තිබේ. 2014/ 15 දී යෝහාන් ටේලර් පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් මහනුවර කණ්ඩායම නව මාවතකට අවතීර්ණ කිරීමට සමත්ව තිබේ. වත්මන් පුහුණුකරු වශ‍ෙයන් ෂෝන් විජේසිංහ කටයුතු කරන අතර, ෆසීල් මරිජා සහ ලසන්න විජේසූරිය යෝධ සෙවණැලි මෙන් මේ පිටුපස කටයුතු කරති.

ධර්මසිරි මඩුගල්ලේ, මොරිස් පෙ‍රේරා, වයි.සී. චෑං මහනුවර ක්‍රීඩා සමාජයේ ගමන් මගෙහි තවත් නොමැකෙන සටහන් තැබ‍ූ පුරුක් කිහිපයකි.

විද්‍යාර්ථ විද්‍යාලයේ සත්කාරක ක්‍ර‍ීඩා පිටිය ලෙස සැලකෙන්නේ ද නිත්තවෙල ක්‍රීඩාංගණයයි. මහනුවර පාසල් බොහොමයක් නිත්තවෙල ක්‍රීඩාංගණයෙන් ලබා ගන්නා ප්‍රයෝජනය ද සුළු පටු නොවේ. මහනුවර පාසල් අතර රග්බි ක්‍රීඩාව උසස් මට්ටමකට ගෙන ඒමට මෙකී ක්‍රීඩාංගණය කරන්නා වූ නිහඬ සේවාව ද බැහැර කළ නොහැකියි. මෙරට පාසල් ක්‍රීඩකයන්ගෙන් සහ අන්තර් සමාජ මට්ටමේ ක්‍රීඩකයන්ගේ බහුතරයකගේ එකම සිහිනය මහනුවර රග්බි කණ්ඩායම නියෝජනය කිරීම බව නොරහසකි. ක්‍රිකට් ක්‍රීඩාවේ දී ලෝඩ්ස් පිටියට හිමි වන ස්ථානයට සමාන දෙයක් මෙරට ක්‍රීඩා පිටි අතර වේ නම් ඒ මහනුවර කණ්ඩායම නියෝජනය කරමින් සත්කාරක නිත්තවෙල ක්‍රීඩාංගණයේ ක්‍ර‍ීඩා කිරීම ලාංකේය රග්බි ක්‍රීඩකයන්ගේ එකම ප්‍රාර්ථනාව වී තිබේ.

රග්බි ක්‍රීඩාවට වඩා ජනප්‍රිය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සිටින මෙරට රග්බි ක්‍රීඩාවට ළැදි ප්‍රේක්ෂකයන් සිටී නම් එකී ප්‍රමාණයෙන් වැඩි හරියක් මහනුවර ප්‍රේක්ෂකයන් බව නොරහසකි. මේ රග්බි ප්‍රේක්ෂකයන් අතරින් පවා මහනුවර ක්‍රීඩා සමාජයේ දිරිගන්වන්නකු වන කැන්ඩිෆා හෙවත් ෆාරුක් හමීඩ්ට හිමිවන්නේ ද සුවිශේෂ ස්ථානයකි. පසුගිය දිනෙක ජීවිතයෙන් හදිසියේ සමුගෙන ගිය කැන්ඩිෆා වෙනුවෙන් තුරඟ තරග පිටියේ මහනුවර සහ සී.ආර්. ක්‍රීඩකයෝ විනාඩි දෙකක නිශ්ශබ්දතාවකින් ගෞරව කළේ රග්බි ක්‍රීඩාවට ඔහු දැක් වූ ළබැඳියාව නිසාවෙනි.

කොළඹ - නුවර වෙනසක් කිසිදා නුදුටු කැන්ඩිෆා සිය කණ්ඩායමට කලින් මහනුවර ක්‍රීඩා සමාජ ධජය රැගෙන ක්‍රීඩා පිටියට පිවිසීමට අමතක නොකළේ ය. කැන්ඩිෆාගේ නික්ම යාම විශේෂයෙන් මහනුවරට මෙන් ම ලාංකේය රග්බි ක්‍රීඩාංගණවල දැනෙනු ඇත. මහනුවර ජනතාව රග්බි ක්‍රීඩාවට මොන තරම් ඇබ්බැහිවී ඇද්ද කියන්නේ සෙනසුරාදා දිනෙක නිත්තවෙල ක්‍රීඩාංගණයේ තරගයක් පවත්වනවාට ද ඔවුහු අකැමැති ය‍. මහනුවර කණ්ඩායම නිත්තවෙල දී තරග වදිනවා බලන්න ඔවුන් මොන තරම් කැමැත්තක් දක්වන්නේ ද යන්න සිය ව්‍යාපාර කටයුතු පවා අවසන් කර ක්‍ර‍ීඩාංගණයට රොද බැඳීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ඒ නිසා ම තරග සංවිධායකයන් පවා නිරතුරුව ම උත්සාහ කරනුයේ මහනුවර තරගයක් ඉරිදා පැවැත්වීමට ය.

වසර දෙකක් පමණ පුරා පැවැති මහනුවර ක්‍රීඩා සමාජයේ ආධිපත්‍යයට මෙවර මුලින් තිත තැබුවේ යුද හමුදා කණ්ඩායම නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ය. මෙකී පරාජය දරා ගත නොහැකිව ප්‍රේක්ෂකයන් දෙදෙනකු ම රෝහල් ගත කරන්නට පවා සිදු විය.

නිත්තවෙල ක්‍රීඩාංගණයේ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයට ප්‍රතිවිරුද්ධ දිශාවේ රුපියල් සියයේ ප්‍රවේශ පත්‍රවලට තරග නරඹන්නට රොද බඳින ප්‍රේක්ෂකයන්ට ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයට ආරාධනා කළ ඔවුන් එකී නිහතමානීව ප්‍රතික්ෂේප කරන්නේ වෙන හේතුවක් නිසා නොව, වසර 20 - 30 තරග නැරඹූ හුරු පුරුදු ස්ථානය වෙනස් කිරීමට ඇති අකැමැත්තය.

එමෙන් ම මහනුවර රග්බි ප්‍රේක්ෂකයන් සිය මාසික වැඩකටයුතු පවා සැලසුම් කර ගන්නේ මහනුවර කණ්ඩායමේ තරග සටහන විමසා බැලීමෙන් අනතුරුවය. එමෙන් ම ඔවුන්ට නිත්තවෙල තරගයක් මඟ හැරීයෑම පවා සලකන්නේ පාප කර්මයක් ලෙසය. ඒ තරමට ම මෙකී ප්‍රේක්ෂක පිරිස රග්බි ක්‍රීඩාව අදහන පිරිසක් බවට පත්ව සිටිති. එමෙන් ම මහනුවර ක්‍රීඩා සමාජය පාසල් මට්ටමින් නැ‍ඟී එන දක්ෂයන්ට ද නිරන්තරයෙන් ම අත දීමට අමතක නොකරයි.

ගෙවී ගිය වසරේ පාසල් රග්බි පිටියේ ත්‍රිත්ව විද්‍යාලයේ මෙන් ම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දක්ෂයන් දෙදෙනකු කණ්ඩායමට එක් කරගෙන තිබෙන අතර, ඊට අමතරව ගෙවී ගිය වසරේ රග්බි පිටියේ සුවිශේෂ දස්කම් දක්වමින් මෙවර පළමු පෙළ කාණ්ඩයෙන් තරග කරන කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ක්‍රීඩකයන් පස් දෙනෙකුට ද මහනුවර ක්‍රීඩා සමාජයට සම්බන්ධවීමට අවස්ථාව ලබා දී තිබේ.

මෙය මෙරට ප්‍රසිද්ධ පාස‍ල් රග්බි සංකල්පයෙන් බැහැර වීමට ගත් ප්‍රශංසනීය උත්සාහයකි. මෙකී නවකයන් අනාගතයේ වෙන ක්‍රීඩා සමාජයකට ගිය ද ඒ යන්නේ මහනුවර රග්බි අභිමානය රැගෙන ය.

ක්‍රීඩකයන්, පුහුණු කාර්යය මණ්ඩලය, පරිපාලනය අතර සියයක් අදහස් තිබුණ ද අවසන් අදහස වශයෙන් පිටතට යන්නේ ජයග්‍රහණයයි. මහනුවර රග්බි කණ්ඩායමේ විජයග්‍රහණයේ රහස වන්නේ ද එය බව නොරහසකි.

ඡායාරූප - සචිත්‍ර සුභාෂණ යාපා

 

 

අදහස්