මිතුරාගේ උපන් දිනය දා සදාකාලිකව ම රෝද පුටුවට වැටුණු ක්‍රිස්ටිනා | සිළුමිණ

මිතුරාගේ උපන් දිනය දා සදාකාලිකව ම රෝද පුටුවට වැටුණු ක්‍රිස්ටිනා

අන්තර්ජාතික පාපැදි සංගමය (යු.සි.අයි) විසින් මෙහෙයවන වාර්ෂික පාපැදි ට්‍රැක් (පථ) ලෝක ශුරතාවලිය මෙම වසරේ පෙබරවාරි මස 27 සිට මාර්තු 03 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ පෝලන්තයේ පෘස්කොව් නුවරදීය. මෙම පාපැදි ට්‍රැක් තරග පැවැත්වෙන්නේ ගෘහස්ථ ක්‍රීඩාංගණයකදීය.

 

මෙවර ලෝක ශුරතාවලිය පැවැත්වෙන විට එදෙස දැඩි අවධානයකින් බලා සිටින ශුරියක් වේ. ඒ ජර්මනියේ ක්‍රිස්ටිනා වෝගෙල්ය. මෙම ක්‍රීඩා ඉතිහාසයේ ඉතා විශිෂ්ටතම ශූරියක් ලෙසට ඇය සැලකෙයි. ක්‍රිස්ටිනා ඔලිම්පික් රන් 02, ලෝක ශුරතා රන්11 සහ යුරෝපීය ශූරතා රන් 03 ක හිමිකාරිනියකි. ඇය මෙතරම් ජයග්‍රහණ රැසක් හිමි කර ගත්තේ කේවල (තනි) සහ කණ්ඩායම් තරග ජය ගනිමිනි.

 

මෙවර තම 12 වැනි ලෝක ශුරතා රන් පදක්කම හිමි කර ගැනීම ඇගේ බලාපොරොත්තුව විය. එහෙත් තවමත් 28 හැවිරිදි වියේ සිටින ක්‍රිස්ටිනාට එය මෙවර ඉටු කර ගැනීමට හැකි වන්නේ නැත. මෙහි ඉතා කණගාටුදායක සත්‍යයකුත් ඇත. එනම් යළි කිසි දිනෙක ජයග්‍රහණයක් පමණක් නොව මෙවැනි තරගයකට සහභාගි වීමටත් ඇයට නොහැකි වන බැවිනි. ඒ ඇය මේ වන විට අංශභාග රෝගියෙක් වන නිසාය. එමෙන්ම රෝද පුටුවකට වී සිටීමට ඇයට සිදු වී ඇති නිසාය. මේ විශිෂ්ට ක්‍රීඩිකාවගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වූයේ ඇය 27 හැවිරිදි වියේදීය. එනම් ගෙවී ගිය වසරේ දී පුහුණුවීම් අතරතුරදී ඇය හදිසි අනතුරකට ලක්වීමත් සමඟින්ය.

 

දිනය 2018 වසරේ ජුනි මස 26 වැනිදාය. ස්ථානය ජර්මනියේ කොට්බස් නගරයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයකි. ක්‍රිස්ටිනා ජර්මන් ජාතික ට්‍රැක් පාපැදි කණ්ඩායමේ පෝලින් ග්‍රාබොෂ් සහ මැක්ස් ලේවි සමඟ පුහුණුවෙමින් සිටියහ. මැක්සිමිලියන් මැක්ස් ලේවි (උපත 1987 ජුනි 26) ඔලිම්පික් පදක්කම් ලාභියෙකි. ඒ 2008 -12 ඔලිම්පික් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමෙනි. මීට අමතරව හෙතෙම 2009 -18 අතර කාල‍ෙය්දී ලෝක ශුරතා රන් 04, රිදී 03ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් ද හිමිකර ගත්තේය. පෝලින් ග්‍රාබොෂ් (උපත 1988 ජනවාරි 14) 2018 ලෝක ශුරතාවලියේ රන් සහ ලෝකඩ පදක්කම් හිමිකර ගෙන සිටියාය. එමෙන්ම ඇය 2016 යුරෝපීය ශුරතාවලියේ රිදී පදක්කම්ලාභිනියෙකි.

 

“එදා ජුනි 26 සාමාන්‍ය දවසක්. අපි එදා සවස කළ යුතු දේවල් කිහිපයක් ගැන සැලසුම් කරලා තිබුණේ. ඒ එදා මැක්ස්ගේ උපන් දිනය නිසා” ක්‍රිස්ටිනා තීරණාත්මක දිනය ගැන පසුව බී.බී.සී. සේවයට එසේ පැවසුවාය.

“අපි ධාවන පථයේ පුහුණුවෙමින් සිටියා. පෝලින් මට ඉදිරියෙන් සිටියේ. මම ඇයව පසුකර ගෙන ගියා. ඊට පසුව කිසිවක් නැහැ. තනිකරම අඳුරු වුණා විතරයි”

 

ක්‍රිස්ටිනා ඒ වන විට පාපැදිය පදිමින් සිටියේ පැයට සැතපුම් 40 කට පමණ ආසන්න වේගයකිනි. ඇයට සිය වේගය පාලනය කර ගැනීමට නොහැකි වූවාය. එහි ප්‍රතිඵලය වූයේ ඒ වන විට එම පථයේම පුහුණුවෙමින් සිටි නෙදර්ලන්ත කනිෂ්ඨ ක්‍රීඩකයකු සමඟ ගැටීමයි. මෙම ගැටීමෙන් ඉවතට විසි වුණු ක්‍රිස්ටිනා කොන්ක්‍රීට් බිම මත වැටුණාය. එම නිසා ඇගේ අස්ථි කිහිපයක්ම ඒ වන විටත් බිඳී තිබුණි.

 

“අනතුර සිදු වී සුළු වේලාවකින් මම අවදි වුණා. මම ඒ වන විට බිම වැතිරිලා හිටියේ. ඒ වේලාවේ හුස්ම ගන්න කියලා මම මටම කිව්වා. ඔවුන් මගේ සපත්තු ගැලෙව්වා. ඒ වේලාවේ මට කිසිම දෙයක් දැනුණේ නැහැ. ඔවුන් මගේ පාදවල පතුල් ස්පර්ශ කළාමත් කිසිම දෙයක් මට දැණුනේ නැහැ. ඔවුන් මගේ සපත්තු ඉවත් කර වෙනත් තැනක තිබ්බා. ඒ වෙලාවේ මට හිතුණා. එච්චර තමයි. මගේ අඩිවලට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ මගේ කකුල්වලටත් එහෙමයි”.

 

“ඔහු (නෙදර්ලන්ත ක්‍රීඩකයා) සහ මම සිටිය අතර දුර ප්‍රමාණය මීටර් දෙකක්වත් තිබුණේ නැහැ. මම ක්ෂණයකින්ම සම්පුර්ණයෙන්ම නවතින්න ඇති. මෙම අනතුර සිදු වූ වෙලාවේ මට හදිසි හෝ මහත් බියක් දැණුනේ නැහැ. මම ඒ වෙලාවේදී මැක්ස් ලේවිට කිව්වා මගේ අත් අල්ලාගෙන සිටින්න කියලා. මැක්ස් අනේ කරුණාකර මාව තනි කරන්න එපා. මගේ අත අත්හරින්න එපා.ඒ වෙලාවේ තවදුරටත් මට ඇවිදින්න බැරි වෙනවාට වඩා මම බිය ව‍ුණේ තනිවම සිටින්නයි. මට ඕනෑ වෙලා තිබුණේ කවුරු හරි කෙනෙක් මගේ ළඟටම වී සිටීමයි”.

 

මරණ බිය

 

ක්‍රිස්ටිනාව වහාම රෝහල් ගත කෙරිණි. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබුණි. එහෙත් ඇගේ දෙපා පණ නැති බවත් සුව කිරීමට යළි නොහැකි බවත් ඇය මෙන්ම සෙසු සියලු දෙනාත් ඒ වන විටත් අවබෝධ කරගෙන සිටියහ.

 

“අවංකවම කියනවානම් මැරෙයි කියල මට හිතුණා. ප්‍රථම සැත්කමට පසුව මට කළ යුතු නිවැරදි ප්‍රතිකාර කුමක්ද යන්නත් තෝරා ගැනීම අසීරු වුණා. සිහිසුන්ව සිට නැවත අවදි වෙලා සිටි මුල්ම දවස් දෙක තමයි මගේ ජීවිතයේ අසීරුතම සටන වුණේ හැම හුස්ම ගැනීමක්ම මට දැඩි වේදනාවක් වුණා.”

 

ක්‍රිස්ටිනාට තමන්ට සිදු වූ මේ අවාසනාවන්ත සිදුවීම ගැන වරින් වර සිහිපත් වුවාය. “ඒ කාලය කොහොම ගත කළා ද කියලා මට හිතා ගන්නවත් බැහැ. දවසක් රෝහලේ කාමර පිරිසිදු කරන කාන්තාවක් පැමිණියා. සාමාන්‍යයෙන් කාමර පිරිසිදු කරන විට ඔවුන් දන්නවා වේදනාවෙන් පිරුණු මිනිසුන් එහි වැතිර සිටින බව. ඒ නිසාම ඇය මගෙන් ඇහුවා සෑම දෙයක්ම හොඳින් ද කියලා”

 

“මම කිව්වා නැහැ කියලා, කරුණාකර ඩොක්ටර්ට කතා කරන්න. ඇය මගේ ඇඳ ළඟට වෙලා හැඬුවා. මගේ ප්‍රථම සතිය ඒ තරම්ම අසීරු වුණා.” ක්‍රිස්ටිනාට තම ජීවිතයේ අපුරු රහසකුත් ඇත. ඒ ඇය දැඩි හැඟුම්බර තරුණියක් නොවන බවයි.

 

“මෙම අනතුරින් පසුව මම තේරුම් ගත් දෙයක් තියෙනවා. ඒ තමයි හැඬීම හරි දෙයක් කියලා. මම කවදාවත් හුඟාක් හඬන කෙනෙක් නොවේ. විශේෂයෙන්ම ඔලිම්පික් ජයග්‍රහණ නොලැබුණු විට පවා මම කවමදාවත් හැඬුවේ නැහැ. හුඟාක් මිතුරු මිතුරියන් විතරක් නෙමේ මගේ පවුලේ අය පවා මම හඬනවා දැකලා තිබුණේ නැහැ. ඒ වුනත් හැඬීම හරි දෙයක්. මගේ තත්ත්වය කෙතරම් නරකද ? එය නරකයි. මට තවදුරටත් ඇවිදින්නට බැහැ.” සමහර දිනවලදී ක්‍රිස්ටිනා සිය සමීපතම මිතුරියන්ව තමන් වෙතට කැ‍ඳෙව්වාය. “ඔවුන් මාව හමුවෙන්න එනවා. ඊට පසුව අපි විනාඩි ගණනක් හඬනවා. ඊට පසුව හොඳයි. පසුව මම කඳුළු පිසදාගන්නවා.”

 

ක්‍රිස්ටිනා වෝගෙල් සිය ජීවිතයේ මුහුණ දුන් ප්‍රථම බරපතල අනතුර 2018 වසරේදී සිදු වූ දෙය නොවේ.

 

“මෙය මගේ දෙවන ලොකු අනතුරයි. 2009 වසරේදී මම මිනි බස් රථයක හැපුණා.” එදාත් ඇය අනතුරකට ලක් වුයේ පුහුණුවීම් අතරතුරදීය. ඒ ඇගේ නිවෙස අසළ දීමයි. එහිදී ඇය දෙදිනක්ම කෝමා තත්ත්වයක සිටියාය. එසේ වුවත් මේ දිරියවන්ත ක්‍රීඩිකාව තවත් වසරක් ගත වන විට තරගවලට සහභාගී වුවාය. 2010 ලෝක ශූරතාවලියේ දී කේවල ස්ප්‍රින්ට් තරගයේදී ඇය 05 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුවාය. එමෙන්ම එහිදී කණ්ඩායම් ස්ප්‍රින්ට් තරගයේදී ඇය සහ මිරියම් වෙල්ටේ (උපත 1986 දෙසැම්බර් 09) හට හිමි වුයේ 06 වැනි ස්ථානයයි.

 

මිරියම් වෙල්ටේ ද ඔලිම්පික් ශුරියකි. ඇය 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේ කණ්ඩායම් රන් පදක්කම්ලාභිණියකි. එමෙන්ම 2016 රියෝ නුවරදී කණ්ඩායම් ලෝකඩ පදක්කම්ලාභිණියකි. ක්‍රිස්ටිනා සහ මිරියම් 2012 ලෝක ශුරතාවලියේදී කණ්ඩායම් ස්ප්‍රින්ට් තරගය ජය ගත්හ. ඒ ලෝක වර්තා දෙකක් ද සමඟින්ය. එමෙන්ම ඔවුන් මෙම තරග ඉසව්වම ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදීත් ජය ගැනීමට සමත් වුහ. ක්‍රිස්ටිනාගේ ඉදිරි ජීවිතය රෝද පුටුවක ගත කිරීමට සිදුවන බවට ස්ථිර වූ විට ඇගේ සහකරු සහ මිතුරු මිතුරියන් අරමුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ඇරඹුහ. එහි නම වුයේ ‘ස්ටේස්ට්‍රෝංග් ක්‍රිස්ටිනා’ හෙවත් ශක්තිමත්ව සිටින්න ක්‍රිස්ටිනාය. එමඟින් ලැබෙන මුදල් ක්‍රිස්ටිනාගේ වෛද්‍ය ප්‍රතිකාරවලට යෙදවීම ඔවුන්ගේ අරමුණ වුහ.

 

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසය වන විට එම අරමුදලට එකතු වූ මුදල යුරෝ 120, 000 කට ආසන්න විය. එම අවස්ථාවේදී බොහෝ සාමාන්‍ය මිනිසුන් මෙන්ම ක්‍රිස් හෝයි වැනි ට්‍රැක් පාපැදි ක්‍රීඩාවේ විශිෂ්ටතමයෙක් ද ක්‍රිස්ටිනාට උපකාර කිරීමට ඉදිරිපත් විය.

 

“විවිධ මිනිසුන් උපකාර කිරීමට ඉදිරිපත් වූ බව දුටුවාම මම හැඬුවා. ඒ වගේම ක්‍රිස් හෝයි ඔහුගේ ක්‍රීඩා බැනියම් මම වෙනුවෙන් මුදල් උපයා ගැනීමට ලබා දෙනු දැකලා මම යළිත් හැඬුවා.” ක්‍රිස්ටිනා වැඩි දුරටත් පවසන්නීය. ක්‍රිස් හෝයි යනු නයිට් නම්බුනාමයකින් පිදුම් ලැබු ට්‍රැක් පාපැදි ක්‍රීඩාවේ මෑත යුගයේ විශිෂ්ටතමයාය. ශ්‍රීමත් ක්‍රිස් හෝයි 1976 මාර්තු මස 23 වැනිදා උපත ලැබුවේය. ඒ ස්කොට්ලන්තයේදීය.

 

ක්‍රිස් බ්‍රිතාන්‍යය සහ ස්කොට්ලන්තය නියෝජනය කරමින් අන්තර්ජාතිකව අති විශිෂ්ට දස්කම් දැක්වුයේය. හෙතෙම 2000- 2012 අතර කාලයේදී ඔලිම්පික් ක්‍රීඩා උලෙළවලදී හිමිකර ගත් මුළු පදක්කම් ගණන 07කි. ඒ රන් 06 ක් සහ රිදී එකක් වශයෙනි.

 

එමෙන්ම ඔහුට 1999 – 2012 ලෝක ශුරතාවලියන් හිදී රන් 11කි. රිදී 08 කි. ලෝකඩ 06කි. 2010 යුරෝපීය ශුරතාවලියේදී ලෝකඩ පදක්කමකි. තවද 2002 – 2006 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළහිදී රන් සහ ලෝකඩ පදක්කම් දෙක බැගින් සතරක්ම හිමිකර ගත්තේය.

 

ගත වූ කාලයේ දී තමන්ට උපකාර කළ සියලුම දෙනා පිළිබඳ ක්‍රිස්ටිනා තුළ තිබෙන්නේ විශාල ගෞරවයකි. “ඒ සියලුම දෙන‍ාට ස්තූතියි යැයි කීමට ඔවුන්ට මම කුමක් දිය යුතුද යන්න ගැන දන්නේ නැහැ. ඔවුන් මට උදව් කළ ආකාරයටම ස්තූතියි කීමට මට නොහැකියි.” ක්‍රිස්ටිනාගේ ජීවිතයට සම්බන්ධ ඉතා සමීපතමයින් දෙදෙනෙක් සිටිති. ඒ ආදරණීය මැණි‍යන් සහ සහකරුවාය.

 

“මේ වගේ අනතුරකින් මට දැන් ඇවිදින්නට නොහැකියි. ඒ වුණත් මට ඇත්තටම ආඩම්බරයි. මෙවැනි අස්ථාවකදී මගේ ජීවිතය සාර්ථකව ගත කිරීම සඳහා මට අවශ්‍ය ශක්තිය ලැබුණේ මගේ අම්මාගෙන්”. දුකේදීත් සැපේදීත් ක්‍රිස්ටිනාගේ සෙවණැල්ල මෙන් සිටින්නේ ඇගේ පෙම්බර සහකරුවා වන මයිකල් සෙයිඩෙන්බෙචර්ය. 1984 නොවැම්බර් 06 වැනි දින උපත ලැබූ මයිකල් ද හිටපු ට්‍රැක් පාපැදි ක්‍රීඩකයෙකි. ඔහු 2006 ,07,08 සහ 10 වසර වලදී ජර්මනිය නියෝජනය කරමින් ලෝක ශුරතාවලියන්ට සහභාගි වුයේය. ක්‍රිස්ටිනාගේ සහකරු ලෙසට ඔහු සිටින්නේ 2009 වසරේ සිටය.

 

“මට හරිම සතුටුයි. මට ඔහු සිටින එක ගැන. අනතුර වූ මුල් සතියේ රාත්‍රිය පුරාවට ම ඔහු මගේ ඇඳ ළඟටම වී සිටියා. ඔහු නිදා ගත්තේ පුටුවකයි. ඔහු බොහෝ විට සිටියේ මගේ අත් අල්ලාගෙනයි.”

 

එය විශේෂිත වූ ආදරයකි. ක්‍රිස්ටිනාත් එය පිළිගන්නීය. “සමහර විට ඒක පිස්සුවක් වගේ. එය ආදරය වෙන්න ඇති. ඒ වුණත් මේ වගේ නරක තත්ත්වයකට ඔහුව මම පත් කළේ දෙවන වතාවටයි. 2009 මම අනතුරට පත් වුණාමත් මයිකල් මා ළඟම සිටියා. දැන් 2018 අනතුර නිසාත් මම ඔහුට හුඟාක් වේදනාවක් දීලා තියෙනවා. එය ඔහුට ඉතා අසීරු වුණා. මොකද කියනවානම් ඔහුගේ ජීවිතයත් ඒ වෙලාවේම වෙනස් වූ නිසා. මම ඔහුට හුඟාක් ස්තූතිවන්ත වෙනවා.”

ක්‍රිස්ටිනා දිවියෙන්

 

ක්‍රිස්ටිනා වෝගෙල් උපත ලැබුවේ 1990 වසරේ නොවැම්බර් මස 10 වැනිදා ය. ඇය උපතින් ජර්මානුවෙක් නොවේ. ඇ‍ගේ උපන් රට වන්නේ කිර්ගිස්තානයයි. එය පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ වත්මන‍දී ස්වාධීන රටකි. ඇයට මාස 06 ක් වන විට දෙමාපියන් සමඟ ජර්මනියේ පදිංචියට ගියාය. ඇය කුඩා කල සිටම ට්‍රැක් පාපැදි ක්‍රීඩාවට දක්ෂතා දැක්වුවාය. ක්‍රිස්ටිනාගේ දක්ෂතා මුලින්ම අන්තර්ජාතිකව දක්නට ලැබුණේ කනිෂ්ඨ යුරෝපීය සහ ලෝක ශූරතාවලියන්හීදීය. ඇය එහිදී හිමිකර ගත් යුරෝපීය ශුරතා ගණන දෙකකි. මීට අමතරව ලෝක ශූරතා හයකි. ඇය බොහෝ විට දස්කම් දැක්වුයේ කෙටි දුර ඉසව්වලදීය. එහිදී වේගය අතීශයින්ම වැදගත්ය. ඇගේ උස අඩි 5 අඟල් 3කි.

 

ක්‍රිස්ටිනා සිය ක්‍රීඩා දිවිය තුළදී දිනා ගත් මුළු ඔලිම්පික් පදක්කම් ගණන 03 කි. ඒ රන් 02 කි. ලෝකඩ පදක්කමකි. රන් පදක්කම් ඇය හිමිකර ගත්තේ 2012 වසරේ බ්‍රිතාන්‍යයේදී පැවැති ලන්ඩන් සහ 2016 බ්‍රසීලයේ රියෝ ඔලිම්පික් උලෙළහීදීය. ලෝකඩ පදක්කම රියෝ නුවරදීය. ඇ‍ගේ වර්ණවත් ක්‍රීඩා දිවියේදී හිමි කර ගත් මුළු ලෝක ශූරතා රන් පදක්කම් ගණන 11කි.

 

ලෝක ශුරතාවලියන්හිදී ඇයට රිදී පදක්කමකුත් හිමිය. ඒ 2013 වසරේදීය. එමෙන්ම ලෝකඩ පදක්කම් සතරකි. ක්‍රිස්ටිනාගේ දස්කම් දක්නට ලැබුණු තවත් ශුරතාවලියක් වේ. එනම් යුරෝපීය ශූරතාවලියේදීය. එහිදී ඇය හිමිකර ගත් මුළු පදක්කම් ගණන 09 කි.

 

අනතුර සිදු වී මාස කිහිපයක් ගත විය. “ඔබට තරහා යන්නේ නැද්ද”? දිනක් මාධ්‍යවේදියෙක් ක්‍රිස්ටිනාගෙන් ඇසුවේය. “මේ අනතුර සිදු වීමට පෙරත් මම කෝපයට පත් වෙන පුද්ගලයෙක් නොවේ. මම සැම විටම සතුටෙන් හිටිය කෙනෙක්. සැම විටම මගේ ජීවිතයට ආදරය කළා. අනතුර සිදු වුණා. කියලා කිසිම දෙයක් වෙනස් වී නැහැ. මම තවමත් මගේ ජීවිතයට ආදරය කරනවා. ඇත්තටම මේ රෝද පුටුවේ සිට මම ගොඩාක් දේවල් කරනවා. හැබැයි එය වෙනස්. ඒ වුණත් එය තවමත් මගේ ජීවිතයයි. ඉතින් සතුටු නොවී කොහොමද ?”

 

“නැවත වතාවක් මම ආපසු එනවා. ඒ සමහර විට ක්‍රීඩාවක් තුළින් වෙන්න පුළුවන්. සමහර විට නොවෙන්නත් පුළුවන්. මේ අනතුරින් මගේ වම් හකු පවා බිඳිලා. වරක් වෛද්‍යවරයෙක් මට යමක් කිව්වා. ඒ අත් දෙකම භාවිතා කරන සමහරුන්ට වඩා තනි අතින් මම වේගවත් කියලා.”

 

තම ක්‍රීඩා දිවිය මෙතරම් ඉක්මනින්ම නිමාවට පත් වනු ඇතැයි ඇය කිසිවිටකවත් සිතුවේ නැත. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් විට පුර්ණකාලීනව පොලිස් සේවයේ නිරත වීම ඇගේ අරමුණ විය. ඒ ඇය අර්ධ කාලීන පොලිස් නිලධාරිනියක් ලෙසට කටයුතු කරමින් සිටිය බැවිනි.

 

ක්‍රිස්ටිනා තවමත් වේගයට කැමැත්තක් දක්වන්නීය. අනතුරට පෙරත් එසේමය. අනතුරට පසුවත් එහි වෙනසක් නැත. “මට තවමත් වේගයෙන් යාමට අවශ්‍යයි . සමහර විට ඒ මම තවමත් මගේ හදවතින් සටන්කාමි‍නියක් නිසා වෙන්න ඇති. මම මේ ගැන වෛද්‍යවරුන්ට කිව්වා. එවිට ඔවුන් කිව්වේ ක්‍රිස්ටිනා ඔබට කාලය අවශ්‍යයි කියලයි.”

 

එහිදීත් ඇය වෛද්‍යවරුන්ට පිළිතුරක් ලබා දෙන්නීය. “නැහැ.නැහැ. ඔයාලට පෙන්වන්නම් මම කෙතරම් වේගවත් ද කියලා. කොටි දෙනක් තවමත් මගේ හදවතේ සිටිනවා. එක්වරක් සටන්කාමිනියක් නම් සැම විටම සටන්කාමිනියක්.”

 

තව දින කිහිපයකින් මෙම වසරේ ට්‍රැක් ලෝක ශුරතාවලිය පැවැත්වෙනු ඇත. එයට ක්‍රීඩිකාවක් ලෙසට සහභාගි වීමට ඇයට නොහැකිය. “සමහර විට මෙවර ලෝක ශුරතාවලිය පැවැත්වෙන විට මට එය දැනේවී. මම මගේ ප්‍රථම ලෝක ශූරතාව ජය ගෙන දැන් වසර දහයක් පමණ ගත වෙනවා. අනතුරට පෙර සැළැස්ම වුයේ මෙවර මගේ 12 වැනි රන් පදක්කම හිමිකර ගන්නයි. එහෙත් දැන් මට එය කරන්න බැහැ. කොහොම වුණත් ඒ ගැන සිතීමට මගේ හිතේ දැන් ඉඩක් නැහැ.”

 

කෙසේ වෙතත් සිය ජීවිතය මේ දක්වා සාර්ථක බව ඇගේ මතයයි. “සමහර විට මගේ ජීවිතයේ තවත් රන් පදක්කමක් කරා ළඟා වීමට වෙනත් අවස්ථාවක් ලැබේවි. එහෙම වුණේ නැති වුණත් මගේ ජිවිතයේ බොහෝ දේවල් කරා මම ළඟා වුණා.“

 

අදහස්